2020-04-04

නොපිට අකුරින්, උඩු-යටිකුරු කළ අකුරින් හා 'දෙපැති' රටාවට ලියූ ආදි බ්‍රාහ්මී ලිපි

මහාචාර්ය රත්නසිරි අරංගල

වංස කථාව හා ජනප්‍රවාද මඟින් පැවසෙන්නේ දිවයිනේ ශිෂ්ටාචරය ක්‍රිස්තු පූර්ව පස් වන සියවසින් පසු ව ආරම්භ වූවක් බව ය. එසේ ද වුව උතුරු ඉන්දියානු සම්බන්ධතා සහිත ශිෂ්ටාචාරයක ආරම්භය පිළිබඳ පුරාවිද්‍යා සාධක ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රකයේ මුල් භාගය තරම් ඈතට දිවෙන බව පෙන්වා දෙනු ලැබේ. කලාපයේ අක්ෂර භාවිතය සම්බන්ධ පැරණි ම නිදර්ශක බව පැවසෙන, අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලින් හමු වූ ආදි බ්‍රාහ්මී අක්ෂර රූප සහිත වළන් කැබලිති කිහිපය ඒ සම්බන්ධ ප්‍රමුඛතම සාධකයක් ලෙස පෙන්වා දෙනු ලැබේ. මේ වළං කැබලිති වාග්විද්‍යාත්මක හා පුරාක්ෂරරූපවිද්‍යාත්මක පක්ෂයෙන් විමර්ශනය කර දැක්වීමට ප්‍රමාණවත් සාධක සහිත ය. ඒවායින් යටත් පිරිසෙයින් කැබලිති දෙකක පැනෙන අක්ෂර රූප කලාපයෙහි පැරණි ම කියවා තේරුම් ගත් අක්ෂර මාලාව වන බ්‍රාහ්මී අක්ෂර මාලාවට අයත් බව ද ඒවායින් නියෝජනය වන භාෂාව ඉන්දු-ආර්ය ප්‍රාකෘතයක් සේ ද පිළිගැනේ (Deraniyagala 1992: 745-746). බ්‍රාහ්මී අක්ෂර මාලාව බටහිර ආසියානු සෙමිටික් වෙළෙඳුන් මාර්ගයෙන් සම්භවය වූවක් ය යන මතය සැලකීමේ දී, විජයාගමනය යනුවෙන් වංස කථාවේ හා ජනප්‍රවාදයන්හි සඳහන් වන උත්තර භාරතීය ජන සංක්‍රමණයට සමකාලීන ව හෝ ඊට පූර්වයෙහි හෝ මෙරටට පැමිණි බටහිර ආසියානු ජනයාගේ දායකත්වය කෙරෙහි ද ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතු වෙයි (Deraniyagala 1992: 744;1998:284). ඉන්දු-නිම්න ශිෂ්ටාචාර වාසීන් වෙළෙඳ ගනුදෙනු සඳහා සුමේරියානු ප්‍රදේශවලට ගොස් ඇති බවට සාධක හමු වන බැවින් වාණිජ අවශ්‍යතා සඳහා මේ දිවයි සමඟ ද ඔවුන්ගේ සම්බන්ධයක් නො පැවතිණැයි සැලකිය යුතු නො වේ. මේ දිවයිනේ නව ශිෂ්ටාචාරයෙහි පදනම වැටෙනුයේ ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රකය ආරම්භයෙහි පටන් සිදු වූ සංක්‍රමණවල ප්‍රතිඵල වසයෙනැයි ඒ අනුව නිගමනය කළ හැකි ය.
සිංහල භාෂාවට පදනම වැටෙනුයේ උතුරු ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයෙන් හා බටහිර හා වයඹ ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනයා හේතුවෙන් වුව ද භාෂාමය වර්ධනය කෙරෙහි උත්තර හා මධ්‍ය ප්‍රදේශවලින් ද සිදු වූ සංක්‍රමණ ද බල පා ඇති බවට සාධක හමු වෙයි. නිශ්චිත ව පැවසිය නො හැකි බටහිර ආසියානු ප්‍රදේශවලින් ද වරින් වර වර සිදු වූ ජන සංක්‍රමණ භාෂා භූ දර්ශනය සකස් වීමෙහි බල පාන්නට ඇති බව ද පිළිගත හැකි ය. මේ ජන සංක්‍රමණ සිදු වන්නේ වසර තිස්-හතළිස් දහසක පමණ අතීතයක සිට මානව ජනාවාසයක් ව පැවති භූ කලාපයකට ය.
ක්‍රිස්තු පූර්ව ප්‍රථම සහස්‍රකයේ උතුරු ඉන්දියාවේ ව්‍යවහාර වූ භාෂා සම්බන්ධ අධ්‍යයනවලින් පැහැදිලි වන්නේ ඒවා පුළුල් උපභාෂාමය ව්‍යාප්තියක් සහිත බව යි. ප්‍රධාන වසයෙන් උතුරු ඉන්දියානු ප්‍රාකෘත භාෂා නැඟෙනහිර, මධ්‍ය, බටහිර හා වයඹ යනුවෙන් හෝ නැඟෙනහිර, මධ්‍ය, බටහිර, උතුරු හා දකුණු යනුවෙන් හෝ උපභාෂා ධාරා කිහිපයකට ඛෙදා දැක්වේ. 'සිංහල' යනුවෙන් හැඳින්වෙන භාෂාවට පදනම වැටෙනුයේ එවැනි ප්‍රාකෘත උපභාෂා කිහිපයක් වෙනත් ආදි භාෂා සමඟ සම්මිශ්‍රණයෙන් බව නිගමනය කිරීම යුක්ති සහගත ය. එ් ආදි භාෂා යට කී ප්‍රාකෘත භාෂා සමඟ භාෂාමය වංශ පරම්පරාත්මක සම්බන්ධයක් නොමැති වෙනත් භාෂා පවුල්වලට අයත් භාෂා සේ සැලකීමට ප්‍රමාණවත් සාධක දැක්විය හැකි ය.
'සිංහල' භාෂාවට පදනම වැටුණු භාෂා ස්වරූපය ස්වාධීන ලක්ෂණ සහිත ව ස්ථාපනය වීම ක්‍රිස්තු පූර්ව තෙවන සහස්‍රකය වන විට සම්පූර්ණ වී තිබුණු බව මෙන් ම එය ඒ වන විට ලේඛන සම්ප්‍රදායක් සහිත ව්‍යවහාර ස්වරූපයක් වසයෙන් ස්ථාපනය වී තිබුණු බව ද ඓතිහාසික හා පුරාවෘත්තාගත ප්‍රවාදවලින් මෙන් ම පුරාවිද්‍යාත්මක සාධකවලින් ද තහවුරු කෙරේ. එසේ ස්ථාපනය වූ භාෂා ස්වරූපය ඓතිහාසික වාග්විද්‍යාඥයන් විසින් 'සිංහල ප්‍රාකෘතය' යනුවෙන් හැඳින්වෙයි. ඒ භාෂාවේ ආරම්භක අවධිය හා එහි විකාසනය සිදු වූ ආකාරය හැදෑරීම සඳහා ප්‍රමාණවත් සාධක ආරක්ෂා වී තිබීම සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය සම්බන්ධ ඉදිරි විමර්ශනයක දී අතිශයින් වැදගත් වෙයි. පුරාක්ෂර විශේෂඥයන් හා භාෂාඥයන් විසින් ඒ සාධක අනුසාරයෙන් ඉදිරිපත් කරන ලද කරුණු පදනම් කොට ගනිමින් මේ වන විට සිංහල භාෂාවේ විකාසනයෙහි පියවර සම්බන්ධ පිළිගත හැකි නිගමන ඉදිරිපත් වී තිබේ. මේ සාධක අනුව සිංහල භාෂාවට පදනම වැටුණු ආදි ම ව්‍යවහාරය ස්වරූපයට අදාළ ලේඛන සාධක ක්‍රිස්තු පූර්ව තෙවන සියවසට අයත් සේ සැලකෙයි (Geiger 1935; Paranavitana 1970; බලගල්ලේ (1992) 2014 හා 1995). ඒ සම්බන්ධ ව ඉදිරිපත් වී ඇති විකල්ප මතයක් අනුව එහි ආරම්භක කාල සීමාව සියවසක් තරම් මෑතට ගෙන එනු ලැබේ ( ප්‍රියංක 2009). මේ කවර මතයක් අනුව වුව ද ක්‍රිස්තු වර්ෂාරම්භය වන විට සිංහල භාෂාවෙහි ආදි ම ස්වරූපයට අදාළ ලේඛන ව්‍යවහාරය ස්ථාපනය වී තිබීම පිළිගනු ලැබේ. ඒ ලේඛන සාධක දිවයින පුරා විශේෂයෙන් හඳුනා ගත හැකි විවිධ ප්‍රමාණයේ වාරිමාර්ග කේන්ද්‍ර කොට ගෙන ගොඩ නැඟුණු ගම හෝ නගරය හෝ යනුවෙන් හඳුන්වනු ලැබූ ජනාවාස ප්‍රදේශයන්හි ව්‍යාප්ත වී ඇති ආකාරය පෙන්වා දිය හැකි ය (Paranavitana 1970; Bandaranayake 2000).
යම් භාෂාවක ලේඛන ව්‍යවහාරය පිළිබඳ සාධක ආරම්භ වීමට එම භාෂණ ව්‍යවහාරයට පදනම වැටීමෙන් අනතුරු ව යම් සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව පිළිගත යුතු වෙයි. යෝග්‍ය අක්ෂර මාලාවක් සම්මත කර ගැනීම වැනි භාෂා භාවිතයට අදාළ තාක්ෂණික හා සම්ප්‍රදායීය සාධක මෙන් ම ජනගහන ව්‍යාප්තිය හා සම්බන්ධ සමාජීය සාධක ද අක්ෂර ලේඛනයේ අවශ්‍යතාව පැන නැඟීමට අදාළ සංස්කෘතික සාධක ද ඒ කෙරෙහි බල පාන බව පෙන්වා දිය හැකි ය. දිවයිනේ ලේඛන ක්‍රම භාවිතය දිවයින උතුරු ඉන්දියානු සාංක්‍රමණිකයන්ගේ ජනාවාසයක් වීම සම්බන්ධයෙන් වංස කථාවෙහි සඳහන් වන පැරණි ම කාලය තෙක් ඈතට ගෙන යා හැකි යැයි සැලකීමට තුඩු දෙන සාධක පිළිබඳ ව අවධානය යොමු වී ඇතත් (Deraniyagala 1992: 745-746) පවත්නා සාධක ඒ සම්බන්ධයෙන් අවසාන ශාස්ත්‍රීය නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් නො වීම හේතුවෙන් (ප්‍රියංක 2009: 36) තව මත් විද්වත් පිළිගැනීම වන්නේ ක්‍රි. පූ. තෙවන සියවසේ දී උත්තර භාරතීය ධර්මදූතයන්ගේ පැමිණීමෙන් අනතුරු ව සිදු වූ සමාජ-සංස්කෘතික කාර්යාවලීන්හි ප්‍රතිඵලයක් වසයෙන් මෙරට ලේඛන ක්‍රම භාවිතය ප්‍රචලිත වූ බව යි (එහෙත් ලක්දිව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ ප්‍රභවය භාරතීය ධර්මදූතයන්ගේ ආගමනයට පූර්වයෙහි සිදු වූ බව එයින් ප්‍රතික්ෂේප නො කෙරේ.) ඒ අනුව දැනට පිළිගන්නා මතය වන්නේ ශිලා ලේඛන පිහිටුවමින් ආගමික ප්‍රදාන වාර්තා කිරීම භාරතීය ධර්මදූතයන්ගේ ආගමනය හා සමකාලීන විය යුතු ය යන්න යි (සිරිසෝම 1990: 5). එහි ඈත සීමාව තත්කාලීන පාලකයා වූ දේවානම්පිය තිස්සගේ රාජ්‍ය කාලය,- එනම් ක්‍රි. පූ. 247/250 – 207/210-, සේ සැලකේ; මෑත සීමාව සේ සැලකෙනුයේ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ දෙවන භාගය යි. මේ ලේඛන තත්කාලීන ඉන්දු අර්ධද්වීපයෙහි පරිභාවිත, වර්තමාන දකුණු ආසියානු අක්ෂර මාලාවන්හි මූලාවස්ථාව සේ සැලකෙන, එකුන්විසි වන සියවසේ ඉන්දුවේදීන් විසින් ''බ්‍රාහ්මී" යනුවෙන් නම් කරනු ලැබූ (Salomon 1998:17-18) අක්ෂරවලින් උල්ලිඛිත යි. ලක්දිව අභිලේඛන සංහිතාවෙහි පළමු කාණ්ඩය වන, ආදි බ්‍රාහ්මී අභිලේඛන සංග්‍රහ කරමින් සම්පාදිත Inscriptions of Ceylon: Vol. I - Early Brāhmī Inscriptions කෘතියෙහි ලේඛන 1234ක් ඇතුළත් වෙයි (පසු කාලයෙහි අනාවරණය කොට ගැනුණු ආදි බ්‍රාහ්මී ලේඛන විවිධ පර්යේෂකයන් හා ගවේෂකයන් විසින් වරින් වර ප්‍රකාශයට පත් කොට ඇත). මේ සාධකවලින් පැවසෙන පරිදි ක්‍රිස්තු පූර්ව තෙවන/දෙවන සියවසෙහි ලේඛන මඟින් නියෝජනය වන ලේඛනවලින් ආරම්භ වන සිංහලයේ ලිඛිත සන්නිවේදනය වර්තමානය තෙක් ම අඛණ්ඩ ව පවත්වා ගෙන ගොස් තිබේ. ආදි ම ලේඛන සාධක හමු වන ඇතැම් ශිෂ්ටාචාර සම්බන්ධයෙන් සලකන කල එම ශිෂ්ටාචාරවල ලේඛන සම්ප්‍රදාය මෙන් ම භාෂා ව්‍යවහාර ද සියවස් කිහිපයක් ඇතුළත අභාවයට ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. විශාල භූගෝලීය ඒකකයක විස්තෘතියක් නො පෙන්වන හා යටත්විජිතකරණය වැනි සමාජ-දේශපාලන ව්‍යාපෘති මාර්ගයෙන් ස්ව භාෂාව වෙනත් රටවල ව්‍යාප්තියට පියවර නො ගත් සිංහල භාෂක සමාජය තදීය ලේඛන සම්ප්‍රදායේ සමාරම්භය සිදු වූ ක්‍රිස්තු පූර්ව තෙවන/දෙවන සියවස් කාලයෙහි පටන් අද වන තෙක් අඛණ්ඩ ව ක්‍රමික විකාසනයක් පෙන්නුම් කරන භාෂා ස්වරූපයක් හා ලේඛන ක්‍රමයක් පවත්වා ගෙන යාමට සමත් වී ඇති බව පෙන්වා දිය යුතු ය.
ලොව විවිධ ලේඛන ක්‍රම මෙන් ම ඒ ඒ ලේඛන ක්‍රමයට විශේෂ වූ අක්ෂරකරණ දිශා ද සම්මත ව පවතී. ලක්දිව ආදි බ්‍රාහ්මී අභිලේඛනයන්හි පටන් අද තෙක් ම ව්‍යවහාර කෙරෙන ලේඛන ක්‍රමයෙහි අක්ෂරකරණ දිශාව වනුයේ වමේ සිට දකුණට විහිදෙන සේ කෙරෙන අක්ෂරකරණය යි. ආදි බ්‍රාහ්මී අභිලේඛන සංහිතාවෙහි ඇතුළත් ලිපි කිහිපයක අකුරු උඩු-යටිකුරු ආකාරයෙන් හා නොපිටට හැරවූ ආකාරයෙන් ලියා තිබේ. ලිපි කිහිපයක් දකුණේ සිට වමට අක්ෂරකරණයකරන ලද ඒවා ය (ප්‍රනාන්දු 1990: 348-349). ආදි බ්‍රාහ්මී අභිලේඛන සංහිතාවෙහි ඇතුළත් ලිපිවලින් 39ක් දකුණෙහි සිට වමට ලියා ඇත. එයින් දෙකක් පමණක් පශ්චාද් බ්‍රාහ්මී අකුරින් ලියා තිබීමෙන් පෙනී යන්නේ ඒවා ක්‍රි. ව. පළමු සියවසින් මෑත කාලයකට අයත් වීමට ඉඩ ඇති බව යි. තවත් ලිපි අටක් එක් පෙළක් වමේ සිට දකුණට ද අනික් පෙළ දකුණේ සිට වමට ද ලියා ඇති බව පරණවිතාන පවසයි (1970:xxii). උඩු-යටිකුරු කළ හා නොපිටට හැරවූ අකුරු සම්බන්ධයෙන් විද්වතුන්ගෙන් වි‍ශේෂ අදහසක් ඉදිරිපත් වී නැත. 'නූගතුන්ගේ' ලේඛනවල එවැනි තත්ත්වයක් දැකිය හැකි බව ඊජිප්තුවේදියකු උපුටා දක්වමින් පී. ඊ. ඊ. ප්‍රනාන්දු සඳහන් කොට ඇත (1990: 348). දකුණේ සිට වමට ලියූ ලිපි සම්බන්ධයෙන් මත කිහිපයක් ඉදිරිපත් වී ත‍ිබේ. බ්‍රාහ්මී ලිපිය සෙමිටික් ප්‍රභවයක් ඇත්තකැයි යන මතය දැරූ ජෝර්ජ් බියුලර් ආරම්භයේ දී එය වමේ සිට දකුණට මෙන් ම දකුණේ සිට වමට ද ලියන ලදැයි අදහස් කරයි (Bühler (1904) 1962:26). දූවේගල ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩී. සී. සර්කාර්ගේ පවසන්නේ ආරම්භයේ දී ඛරෝෂ්ඨී ලිපියේ ආකාරයට බ්‍රාහ්මී ලිපිය ද දකුණේ සිට වමට ලියන්නට ඇති බව ය (1942:233) (මේ සම්බන්ධයෙන් Paranavitana 1970: xxii හා Karunaratne 1984:7-8 පිටුවල වැඩි විස්තර දැක්වෙයි). ඛරෝෂ්ඨි ලිපියෙහි ලේඛන දිශාව ලක්දිව ලේඛනයට බල පෑවේ නම් ගාන්ධාරි ප්‍රාකෘතයෙහි භාෂා ලක්ෂණ ආදි බ්‍රාහ්මී ලේඛනයෙන් නියෝජනය වන සිංහල ප්‍රාකෘතයෙහි ප්‍රකට විය යුතු ය. එසේ ද වුව එබඳු ලක්ෂණ ප්‍රමාණාත්මක ව හමු වන බවක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයන්හි නිරත වූ විද්වතුන් විසින් මෙතෙක් පෙන්වා දී නොමැති බව ද සඳහන් කළ මනා ය.
ආදි අභිලේඛන ගල්වල කෙටූ 'ගල් වඩුවන්' අක්ෂර දැනුමෙන් යුක්ත වූවන් නො වන බැවින් එකී ලේඛන කාර්යය සිදු වන්නට ඇත්තේ කවරාකාරයෙන් දැයි විමර්ශනය යෝග්‍ය වෙයි. කවි ශක්තිය අතින් මෙන් ම භාෂාඥානය අතින් ද ඉහළ මට්ටමක් පෙන්නුම් කරන ඇතැම් සීගිරි කුරුටු ලිපි ද රචකයා විසින් නො ව වෙනත් 'ලියන්නකු' විසින් කැටපත් පවුරෙහි සටහන් කෙරුණු අවස්ථා පෙන්වා දෙනු ලැබේ. වත්මනෙහි පවා අදාළ භාෂාවෙහි හෝ ලේඛන ක්‍රමයෙහි ප්‍රවීණත්වයකින් තොර චිත්‍ර ශිල්පීන් විවිධ භාෂාමය හා අක්ෂර රූපවලින් යුක්ත පාඨ චිත්‍රණය කරන ආකාරය දැක ගත හැකි වෙයි.
අභිලේඛන ගලෙහි කෙටීම සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළ බව නිගමනය කළ හැකි ය. පළමු වැන්න, විශේෂයෙන් ම පොළෝ මට්ටමට ආසන්නයෙහි කොටා ඇති ලේඛනවල දී-, අක්ෂරකරණය දන්නා අයකු විසින් කිසියම් වර්ණකයක් - අඟුරු කැටයක් හෝ හිරියල් හෝ විය හැකි ය- භාවිතයෙන් අදාළ පෙළ ශිලා පෘෂ්ඨයෙහි සටහන් කිරීමෙන් අනතුරු ව ගල් වඩුවා විසින් සිය උපකරණ භාවිතයෙන් එය මතුපිට කෙටීම යි. සීගිරි කුරුටු ලිපි ද බොහෝ තැනක දී පළමුවෙන් රත් පැහැ වර්ණකයකින් ලියා පසු ව ඒ මත යම් තියුණු තුඩකින් රේඛනය කොට ඇති බව පරණවිතාන සඳහන් කරයි ((1956) 1982:ix). අදාළ පෙළ යම් ලේඛන මාධ්‍යයක සටහන් කොට ගැනීමෙන් පසු ව ගල් වඩුවා එ් පෙළ බලමින් එය ශිලා පෘෂ්ඨයෙහි කෙටීම දෙවන ක්‍රමය යි. ලේඛනකරණය සම්බන්ධ වංස කථාගත සාධක අනුව ශාක පත්‍ර මෙන් ම පිළී නැත හොත් රෙදි වර්ග හා ලෝහ පත්‍ර ද ලේඛන මාධ්‍ය වසයෙන් උපයුක්ත ය. වළගම්බා රජු ගම්වර ප්‍රදානය කරනුයේ වැටකේ පත්‍රයක ලියා දීමෙනි; මෙය කල් තබා ගත හැකි ආකාරයට සකස් කර පිළියෙළ කර ගත් ශාක පත්‍රයක් විය හැකි ය. ලෙන් ලිපිය කෙටීම සඳහා පෙළ ලියා දෙන පත්‍රය ද ලිවීම සඳහා සකස් කර ගත් පත්‍රයක් හෝ ක්ෂණික ව පිළියෙල කර ගත්තක් හෝ විය හැකි ය; නො එසේ නම් ගල් වඩුවාට ඉහළ සිට කියවිය හැකි ආකාරයට අදාළ පෙළ පොළොවෙහි සටහන් කළා ද විය හැකි ය. එවැනි සටහනක් උපයෝගි කර ගනිමින් අකුරු කොටන ගල් වඩුවා අතින්, ඔහු සාක්ෂරතාවෙන් තොර වීම නිසා අකුරු නො පිටට ලියවීම මෙන් ම දකුණේ සිට වමට ලියවීම සිදු වීම සහේතුක ය. එවැනි අවස්ථා 'ලේඛක භ්‍රම' සේ සැලකීම යෝග්‍ය වෙයි. එබැවින් ආදි බ්‍රාහ්මී අභිලේඛන සංහිතාවෙහි ඇතුළත් වන, දකුණේ සිට වමට ලියූ ලිපි මෙන් ම අකුරු උඩු-යටිකුරු ආකාරයට හා 'දෙපැති' රටාවට ලියූ ලිපි ලේඛක භ්‍රම සේ සැලකිය හැකි ය. ඇතැම් අවස්ථාවක එක ම ලිපියෙහි කොටසක් වමේ සිට දකුණට ද ඉතිරි කොටස දකුණේ සිට වමට මෙන් ම උඩු-යටිකුරු අකුරින් ද ලියා තිබීමෙන් මේ බව පැහැදිලි වෙයි (987).
ආදි බ්‍රාහ්මී ලේඛන කෙටීමේ දී 'කටුසන්' (stencils) පිළියෙල කර ගත් බවට ඇතැමුන් (Fonseka 2008) දක්වන අදහස් තාර්කික නො වන බව කිව යුතු ය. ඒ අදහස පරිදි කටුසන් සඳහා තඹ පත්‍ර යොදා ගනු ලැබුවේ නම් තත්කාලීන ආර්ථීක පදනම අනුව ලිපියෙන් ලිපියට තඹ පත් කටුසන් පිළියෙල කිරීම නිරර්ථක හා දැරිය නොහැකි පිරිවැයක් බව කිව යුතු ය. එමෙන් ම එහි එක ම කටුසන භාවිත කරමින් එකක් සාමාන්‍ය ආකාරයෙන් ද අනික නො පිටට ද ලියූ බවට දක්වන (Fonseka 2008: 76-79), ආදි බ්‍රාහ්මී අභිලේඛන සංහිතාවෙහි අංක 442 හා 445 යටතේ දී ඇති, රජගල පරිශ්‍රයෙන් ලැබුණු ලේඛන දෙකක් වසයෙන් දැක්වෙන ලේඛන දෙක සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතී. මෑත දී සිදු කෙරුණු අභිලේඛන ගවේෂණවලින් එම ලිපිවලින් එකකුදු හමු වී නොමැති බව කරුණාසේන හෙට්ටිආරච්චි පෙන්වා දෙයි (හෙට්ටිආරච්චි පෞද්ගලික තොරතුරු දැක්වීම; හෙට්ටිආරච්චි සහ දිසානායක 2108). ආදි බ්‍රාහ්මී අභිලේඛන සංහිතාවෙහි අංක 445 යටතේ දී ඇත්තේ පිටපත් කරන්නන් විසින් සාවද්‍ය ව ඉදිරිපත් කරන ලද 442 දරන ලිපියේ නො පිට හැරවූ ස්පර්ශ ලාංඡන පිටපතක් විය හැකි බව අදාළ මුද්‍රිත පිටපත පරීක්ෂා කිරීමේ දී අනුමේය වෙයි. මේ සම්බන්ධයෙන් නිගමනය කළ හැක්කේ ශිලා පෘෂ්ඨ මත අකුරු කෙටීම සඳහා ශිලා කර්මාන්තයෙහි පරිචයක් ඇතියවුන්ගේ සහාය ලබමින් අදාළ පාඨයෙහි වැටිසනක් ලිපිය කෙටිය යුතු පෘෂ්ඨයේ සලකුණු කර ගනිමින් ඒ මත අකුරු කෙටීම හෝ ගල් වඩුවාට කියවිය හැකි දුරක බිම හෝ ආසන්න පෘෂ්ඨයක පාඨය සටහන් කර ගනිමින් ඒ අනුව අදාළ පෘෂ්ඨයෙහි ලිපිය කෙටීම හෝ ලියන ලද පාඨය ඇතුළත් තාවකාලික ලේඛනයක් භාවිත කරමින් ලිපිය කෙටීම හෝ කෙරෙන්නට ඇති බව ය.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලේඛන-

Bandaranayake, S., 2000, “The Settlement Patterns of the Protohistoric – Early Historic Interface in Sri Lanka”, Reflections on a Heritage: Historical Scholarship on Premodern Sri Lanka', ed. R. A. L. H. Gunawardana, et.al., Colombo, Central Cultural Fund., pp. 1-14.
බලගල්ලේ, විමල් ජී., (1992) 2006, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, (නව සංස්කරණය), කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
(1995) 2012, භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
(1996) 2014, සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
Bühler, Georg, 1904, Indian paleography.[Calcutta]: Indian Studies, Past & Present; distributors.
ප්‍රනාන්දු, පී. ඊ. ඊ., 1990, සිංහල අක්ෂර මාලාවේ විකාසනය, සිං. පරි. තිස්ස කාරියවසම්, ඒ. වී. සුරවීර නිර්මාණ - විචාර විමර්ශන, සංස්. සිරිල් සී. පෙරේරා¦ ගුණසේන විතාන¦ රත්නසිරි අරංගල, කොළඹ, 314-398 පිටු.
Fonseka, Prasad, 2008, “Environment al and Physic al Factors in the Study of Inscriptions”, Journal of the Royal Asiatic Society of Sri Lanka, N.S. Vol. LIII, 2007, Colombo, pp.65-90.
හෙට්ටිආරච්චි. කේ., සදිනි මනරංගි දිසානායක, 2018, රජගල සෙල්ලිපි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.
Paranavitana, S., (1956) 1982, Sigiri Graffiti, in 2 Vols., Reprint, Colombo.
1970, Inscriptions of Ceylon, Vol. I - Early Brāhmī Inscriptions, Colombo.
Karunaratne, S., 1984, Epigraphia Zeylanica, Vol. VII (Special Volume), Colombo, Archaeological Department.
ප්‍රියංක, බෙනිල්, 2009, පැරැණිතම බ්‍රාහ්මී සෙල්ලිපිවලින් හෙළි වන රුහුණු රාජ්‍යය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
Salomon, Richard, 1998, Indian Epigraphy: A Guide to the Study of Inscriptions in Sanskrit, Prakrit, and the Other Indo-Aryan Languages, Oxford, Oxford University Press
Sircar, Dineschandra, 1942, Select inscriptions bearing on Indian history and civilization / edited by Dines Chandra Sircar.Vol 1, University of Calcutta.
සිරිසෝම, ඇම්. එච්., 1990, ශ්‍රී ලංකාවේ පැරර්‍ණ බ්‍රාහ්මී සෙල් ලිපි ක්‍රි.පූ. තුන් වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 65 දක්වා, නන්දදේව විජේසේකර (සංස්.) අභිලේඛන - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය (1890-1990) සමරු පොත් පෙළ - දෙවන වෙළුම, කොළඹ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 1-56 පිටු.

No comments:

Post a Comment

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*