2020-04-01

ලංකාවේ ශිලාලේඛන ගවේෂණයේ හා අධ්‍යයනයේ ආරම්භය (පළමු කොටස)

මහාචාර්ය රත්නසිරි අරංගල

මුල් මූලාශ්‍රය - රත්නසිරි අරංගල, ලංකාවේ ශිලාලේඛන ගවේෂණයේ හා අධ්‍යයනයේ  ආරම්භය (පළමු කොටස), ලක්දිවැ පැරැණි ලියවිලි සඟරාව, I කාණ්ඩය I හා II කලාප, ඩී. ඇම්. ද සිල්වා වික්‍රමසිංහ, නව මුද්‍රණය, ගොඩගේ පැරැණි ග්‍රන්ථ ව්‍යාපෘතිය, 2009, V-XI පිටු. (මෙම ලිපිය එම ලිපිය තවදුරටත් සංස්කරණය කර සකස් කරන ලද්දකි.)


I

ශ්‍රී ලාංකේය ලේඛන ඉතිහාසයට විශ්ව ලේඛන වංසකථාවෙහි ප්‍රමුඛ පරිච්ඡේදයක් හිමි වෙයි. දිවයිනේ සම්මත ඉතිහාසය අනුව නම් ක්‍රිස්තු පූර්ව පස් වන සියවසෙහිල එනම් උතුරු ඉන්දියානු ජන කණ්ඩායම් මේ දිවයිනෙහි ක්‍රමානුකූල වාසභූමි පිහිටුවීම ආරම්භ කළ අවධියෙහි පටන් ම මෙරට අක්ෂර භාවිතය හා ලේඛනය පැවති බවට ප්‍රවාද හා වෘත්තාන්ත ඉදිරිපත් කළ හැකි ය. කෙසේ වුව ද ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ උතුරු ඉන්දියාවේ විසූ අසෝක රජු කලාපීය රාජ්‍යයන්හි බුද්ධ ධර්මය හා සංඝ සාසනය පතුරුවා හැරීමට අනුගමනය කළ කාර්යාවලියෙහි ප්‍රතිඵලයක් වසයෙන් කලාපීය වසයෙන් සිදු වූ සමාජ වෙනස් වීම මෙරට ලේඛන කාර්යයන්හි ආරම්භයට කෙසේ වෙතත් ලේඛනය ප්‍රචලිත වීමට බල පෑ ප්‍රධානතම සාධකය සේ පිළිගැනීම විශ්වාසදායක වෙයි. මන්ද යත්, මෙරටින් හමු වන ආදිතම ලේඛන අසෝක අධිරාජයාගේ ලේඛනයන්හි භාවිත වූ අක්ෂර මාලාවෙන් ලියවී තිබීම හා ඒවාහි බුදු සමය හා සඟ සසුන මෙරට ප්‍රචලිත වීම සම්බන්ධ කරුණු අන්තර්ගත වීම හේතුවෙනි. 

දිවයිනේ ආදිතම අභිලේඛන සම්බන්ධ අධ්‍යයනයන්හි නිරත වෙමින් අදහස් දක්වා ඇති විද්වතුන්ගේ මත අනුව ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ මෙරට පාලකයා වූ දේවානම්පිය තිස්ස රජුගේ නාමය සඳහන් වන බවට හඳුනා ගැනෙන ලිපි එරජු හා සමකාලීන සේ පිළිගත හොත් ඒවා ශ්‍රී ලංකාවේ ලේඛන කාර්යයන්හි ආරම්භය ක්‍රිස්තු පූර්ව තෙවන සියවස තරම් ඈතට දිවෙන බව නිශ්චිත ව පෙන්නුම් කෙරෙන සාධක සේ සැලකිය හැකි වෙයි. මහාවංසයෙහි දේවානම්පිය තිස්ස රජුට පූර්වයෙහි සිදු වූ ලියුම් ගනුදෙනු කිහිපයක් පිළිබඳ ව දැක්වෙයි. ක්‍රිස්තු වර්ෂාරම්භයට වසර දහසකට පමණ පෙර සිට වරින් වර මේ දිවයිනට පැමිණ ජනාවාස පිහිටුවා ගත් උත්තර භාරතීය සාංක්‍රමණිකයන් අතුරෙන් සෑහෙන පිරිසක් භාරතයේ සම්මුතිගත ව පැවති ක්ෂත්‍රිය හා වෛශ්‍ය යන සමාජ ස්තරවලට අයත් වූවන් බව පවත්නා සාහිත්යික සාධක අනුව නිගමනය කළ හැකි ය. මේ ස්තර දෙකට අමතර ව භාරතී‍ය සමාජයෙහි ප්‍රභුත්වය හිමි කොට ගෙන සිටි බ්‍රාහ්මණයන්ගෙන් සුළු පිරිසක් හෝ ආදිතම සාංක්‍රමණිකයන් සමඟ මේ දිවයිනට පැමිණි බව සැලකීම ශාස්ත්‍රයුක්තියට එකඟ ය. එබැවින් දේවානම්පිය තිස්ස සමයට පූර්වයෙහි දිවයිනේ ලේඛන කටයුතු සිදුවීම අභව්‍ය තත්ත්වයක් නම් නො වේ. 

ලක්දිවට බ්‍රාහ්මී අක්ෂර මාලාව ලැබුණේ කවර මාර්ගයකින් දැයි පැවසීමට නිශ්චිත සාධක නැත. අසෝක රජුගේ සමකාලිකයා බවට ඉතිහාසයෙහි සඳහන් වන දේවානම්පිය තිස්ස රජු කල පටන් එය මෙරට බහුල වසයෙන් භාවිත වීම ඇරඹුණු බවට සාධක ඉදිරිපත් කළ හැකි ය. (ප්‍රනාන්දු, 1990 342.) මෙතෙක් මෙරටින් හමු වී ඇති නිශ්චිත ව කියවා අර්ථකථනය කළ හැකි පැරණි ම ලේඛන සේ සැලකිය හැකි, ඉහත සඳහන් කළ බ්‍රාහ්මී අකුරින් ලියන ලද ලේඛන අසෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරක කටයුතු සම්බන්ධ ඓතිහාසික වාර්තාවලින් හෙළි වන සමාජ සංසිද්ධීන් සමඟ ගළපා ලිය හැකි ය. එනම් එකී ලේඛන පැහැදිලි ව ම බෞද්ධාගමික අන්තර්ගතයක් සහිත ඒවා ය. මේ හේතුව නිසා මෙරටට අක්ෂර මාලාව හඳුන්වා දෙනු ලැබූයේ අශෝකාධිරාජයාගේ අනුග්‍රහයෙන් මෙරටට පැමිණි ධර්මදූතයන් විසිනැයි ද මතයක් පවතී. එසේ ද වුව, ලක්දිව ආදි අභිලේඛනවලින් හෙළි වන ආභ්‍යන්තරික සාධක සහ දකුණු ඉන්දියානු පුරාවිද්‍යා ගවේෂණ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ අසෝක රාජ්‍ය සමයට පෙරාතු ව පවා මෙම ලේඛන ක්‍රමය මෙරට භාවිත වී ඇතැයි යන්න ය (Paranavitana 1970: xxiii; ප්‍රනාන්දු, 1990 345). මෙහි ලා ඉදිරිපත් කෙරෙන එක් සාධකයක් වන්නේ අසෝකාධිරාජයාගේ ලේඛනයන්හි හමු නො වන ඉ හා ම අක්ෂර රූප ද්වයයක් දක්ෂිණ භාරතීය හා ශ්‍රී ලාංකේය අභිලේඛනවලින් හමු වීම යි. අසෝක සමයට පූර්වයෙහි බ්‍රාහ්මී අක්ෂර මාලාවට සියවස් ගණනක ප්‍රවර්ධනයක් ඇතැයි ද පිළිගත හැකි ය (Paranavitana 1970: xxiii).

1 රූපය - සිරස් රේඛාවක මැදින් දෙතිතක් තැබූ පරිදි දැක්වෙන 
ලක්දිව ආදි බ්‍රාහ්මී අභිලේඛනවලින් හමු වන 'ඉ' කාර රූපය

2 රූපය - ත්‍රිකෝණයක මුලු තුන සලකුණු කෙරෙන අයුරින් 
ලියා ඇති  අසෝක ලේඛනවලින් හමු වන  'ඉ' කාර රූප


3 රූපය - යූ නළයක මැදින් තිරස් රේඛාවක් දැක්වෙන පරිද්දෙන් 
ලියා ඇති ලක්දිව ආදි බ්‍රාහ්මී අභිලේඛනවලින් හමු වන 'ම' කාර රූප

4 රූපය
වෘත්තයක් මත ඉහළට විවර වුණු අඩ කවයක් තැබූ පරිද්දෙන්
 දැක්වෙන අසෝක ලේඛනවල හමු වන 'ම' කාර රූප





























1984 දී අනුරාධපුර ඇතුළු නුවර ප්‍රදේශයේ සිදු කෙරුණු පුරාවිද්‍යා ගවේෂණවල දී අනාවරණය කර ගන්නා ලද බ්‍රාහ්මී අක්ෂර රූප සහිත මැටි බඳුන් කැබලි සඳහා තාපසන්දීප්තතා ක්‍රමය මඟින් ඉදිරිපත් කෙරෙන කාල නිර්ණයනය ක්‍රිස්තු පූර්ව 600-500 තරම් ඈතට දිවෙන්නකි (Deraniyagala 1992: 740 ff). මේ අදහස පිළිගනිතොත් මේවා මෙතෙක් දකුණු ආසියාවෙන් හමු වී ඇති පැරණි ම බ්‍රාහ්මී අක්ෂර සේ සැලකීමට සිදු වෙයි. මීට පෙර පැරණි ම බ්‍රාහ්මී ලේඛනය සේ සැලකුණු පිඵ්‍රාවා කරඬු ලිපිය අක්ෂර රූපාකාරය අනුව මුල දී අදහස් කළ අන්දමට ප්‍රාග්-මෞර්ය අවධියට නො ව ක්‍රි.පූ. තෙවන සියවසට අයත් සේ සැලකිය හැකි බැවින් උත්තර භාරතීය බ්‍රාහ්මී ලේඛනයන්හි ආදිතම කෙළවර අසෝක සමය සේ පිළිගැනීමට සිදු වෙයි. (Dani (1963) 1986). මෙතෙක් හමු වී ඇති දක්ෂිණ භාරතීය බ්‍රාහ්මී ලේඛන ද ඒ හා සමකාලීන බව හෝ ඇතැම් විට ක්‍රි.පූ. දෙවන සියවසට වඩා ඈතට ගෙන යා නො හැකි බව කියනු ලැබේ. බ්‍රාහ්මී අක්ෂරයන්හි සම්භවය කිකලක සිදු වුව ද එය උත්තර භාරතයේ සිට පැමිණි මුල් ම ජානපදිකයන් විසින් මෙරටට හඳුන්වා දෙන්නට ඇතැයි ද මෙකියන මැටි බඳුන් කැබලි ලිපි එහි ප්‍රතිඵලයක් විය හැකි යැයි ද නිගමනය කළ හැකි ය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර පරිශ්‍රයෙහි සිදු කළ ප්‍රාග් හා ආදි ඓතිහාසික ගවේෂණවල දී හමු වුණු බ්‍රාහ්මී අක්ෂර රූප වළං කැබලි හා පන්හිද කොටස් වසයෙන් හඳුනා ගනු ලබන අස්ථිමය ශිල්පකර්ම සාධක අනුව දිවයිනේ ලේඛන කටයුතුවල ආරම්භය ක්‍රි.පූ. 600-500 වකවනුවට දිවෙන බව පෙන්වා දෙනු ලැබේ (Deraniyagala 1992-ii:740 ff). එහි ලා දක්වනු ලබන නිදර්ශන අක්ෂරරූපවිද්‍යාත්මක ව මෙන් ම වාග්විද්‍යාත්මක ව ද භාරතීය සම්භවයක් පෙන්නුම් කරන බව පිළිගත යුතු ය. අදාළ කාල නිර්ණය ඉදිරිපත් කොට ඇත්තේ ස්තර සඳහා වන අතර එකී කාල නියමය සම්බන්ධයෙන් සිරාන් දැරණියගල පැහැදිලි ව පවසන පරිදි මේ කාල නිර්ණයනය අදාළ වන්නේ අධ්‍යයනයට ලක් වූ සිවු වන ස්තරයට විනා අකුරු සහිත වළං කැබලිවලට නො වන බව සැලකිය යුතු ය: 

''අසම්බන්ධ මූලාශ්‍රයයක් (එනම් කුරුටු අකුරු සහිත වළං කැබලි ම (පමණක්) තාපසංදීප්තතා කාල නිර්ණයනය කිරීම) මඟින් ස්වාධීන කාල නිර්ණයනය කිරීමකින් ඉහත තර්කය ඛණ්ඩනය නොකරන්නේ නම්, විකිරණශීලී කාබන් සහ තාපසංදීප්තතා කාල නිර්ණයනය මගින් පමණක් නොව, AMP-88 (75)හි සංඝටිත සංස්කෘතික රාශිගත වීම පිළිබඳ සියලු පරිවේෂණීය සාධක මඟින් ද සමර්ථනය කෙරෙන මේ උපකල්පනය සාධාරණීකරණය කළ හැකි ය'' (Deraniyagala 1992-ii:744). 

(It can thus be affirmed that ‍unless an independent source of absolute dating (e.g.ල TL on the inscribed shreds themselves) refutes the above argumentල which is supported not only by the radiocarbon and TL dating but by all the circumstantial evidence of the associated cultural assemblage in AMP-88 (75), one is justified in assuming its validity.) 


5 රූපය - අනුරාධපුරයේ ඇතුළු නුවර ප්‍රදේශයෙහි සිදු කළ කැණීමක ක්‍රි.පූ, 600-500 කාලයට දින නියමකොට ඇති ස්තරයකින් හමු වූ බ්‍රාහ්මී අක්ෂර රූප සහිත මැටි බඳුන් කැබලිත්තක් 


(අක්ෂර රූපාකාරය අනුව මෙන් ම වාග්විද්‍යාත්මක ලක්ෂණ අනුව ද මෙය භාරතීය ප්‍රභවයක් ඉඟි කරයි (Deraniyagala 1992-ii:744).) 


මේ අනුව, ලක්දිව ජනාවාස කළ ආදි ම භාරතීයයන් විසින් මේ ලේඛන ක්‍රමය ද මෙරටට හඳුන්වා දෙන්නට ඇතැයි සැලකීම යෝග්‍ය ය. ඇතැම් විට මෙසේ ලක්දිවට ලැබුණු බ්‍රාහ්මී අක්ෂර මාලාව අසෝක සමයෙහි ඉන්දියාවේ භාවිත වූ සංවර්ධිත අවධියට පත් වන්නට පෙර එහි මූලයෙන් ම පැන නැඟී ප්‍රචලිත වූවක් හෝ අසෝක ලිපි කෙටූවන් අයත් වන ගුරුකුලයට පරිබාහිර ගුරුකුලයකට අයත් වූවක් හෝ විය හැකි ය (ප්‍රනාන්දු 1990: 345-346). එසේ නම් දැනට අපට ලැබී තිඛෙන පැරණි ම අභිලේඛන ඒවායේ භාෂා ස්වරූපය අතින් (බලගල්ලේ 1996: 34-38) මෙන් ම අක්ෂර රූපවල විකාසනය අතින් (ප්‍රනාන්දු 1990: 346) ද ලක්දිව ජනාවාස කළ භාරතයේ විවිධ ජන කොටස් විසින් භාවිත අක්ෂර රූපාකාරයන්හි සම්මිශ්‍රණයත් මහින්දාගමනයෙන් පසු ව සිදු වූ සංස්කෘතික සම්පර්කයත් පිළිබිඹු කරන බව නිගමනය කරනු වටී (ප්‍රනාන්දු 1990: 346-347). 


II 


දැනට හමු වන ලක්දිව පැරණි ම ලේඛන පර්වතයන්හි ද ගලින් කළ ටැම්වල හා පුවරුවල ද කොටා ඇති ලේඛන යි. ගල් පර්වතයන්හි කොටා ඇති ලේඛන ද වර්ග දෙකකි. මෙරට බුදු සමය හා සංඝ සාසනය ව්‍යාප්ත වීම ආරම්භ වූ වකවනුවෙහි සංඝයා සඳහා ආවාස වසයෙන් සකස් කළ ගල් ලෙන්වල දොරටුවට ඉහළින් ඒ ඒ ලෙන සංඝයා සඳහා පිදූ බව පවසමින් කොටා ඇති ලේඛන හා ඉන් පසු ව විවිධ අවස්ථාවන්හි පර්වත පෘෂ්ඨයන්හි කොටන ලද ලේඛන වසයෙනි. සීගිරි කැටපත් පවුරු ලිපි ද අභිලේඛන විශේෂයකි. ඒවා ලිවීම සඳහා විශේෂයෙන් ම සකස් කළ පෘෂ්ඨයක් මත ලියන ලද ලේඛන යි. මෙය දිවයිනේ සාහිත්‍යකරණයේ හා සාක්ෂරතාවේ වර්ධනීය මට්ටමතක් පෙන්නුම් කරන්නකි. විවිධ ලෝහවලින් සකසා ගත් 'පත්‍ර' ද ලේඛන කටයුතු සඳහා යොදා ගෙන තිඛෙන අවස්ථා දැක ගත හැකි ය. ශාක පත්‍ර ලේඛන මාධ්‍යයක් වසයෙන් භාවිතයට ගත් බවට වෘත්තාන්ත හමු වන නමුදු එකී මාධ්‍යයන්හි අස්ථාවරභාවය හේතුවෙන් ඒවා ආරක්ෂා වී නොමැත. මෙරට පොත් ලිවීම ද ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී ආරම්භ වූ බව පැවසෙතත් දැනට හමු වන පැරණි ම පොත් වසයෙන් හඳුනා ගැනෙනුයේ ක්‍රිස්තු වර්ෂ දස වන සියවස පමණ කාලයෙහි ලියවී ආ පොත් දෙකතුනකි. ඒවා ද ආරක්ෂා වී ඇත්තේ පසු ව සකස් කර ගත් පිටපත් වසයෙන් විනා මුල් ම පිටපත් හෙවත් කර්තෘන්ගේ ම හස්තලිඛිත වසයෙන් නො වේ. පොත් ලිවීමේ ප්‍රචලිත මාධ්‍යය වන්නේ තල් කොළවලින් සකස් කර ගත් පත්‍ර විශේෂයක් වන අතර ඒවා 'පුස්කොළ' යනුවෙන් හැඳින්වේ. දිවයිනෙන් හමු වන ආරක්ෂිත ව පවත්නා පැරණි ම පුස්කොළ පොත් ක්‍රිස්තු වර්ෂ 13 වන සියවස තරම් වඩාත් මෑත කාලයෙහි සම්පාදනය කරන ලද ඒවා සේ පිළිගැනේ. පොත් ලිවීම සඳහා ද ලෝහ පත්‍ර යොදා ගත් අවස්ථා පිළිබඳ ව ඉතිහාස පුවත්වල සඳහන් වෙයි. 

කෝට්ටේ රාජධානි සමයෙන් පසු ව සිදු වූ සමාජ විපර්යාස හේතුවෙන් සෙල් ලිපි පිහිටුවීමේ සම්ප්‍රදාය යටපත් වීමක් සිදු වූ බව පෙනී යයි. මේ කාලයට අයත් සෙල් ලිපිවලට අමතර ව තඹ පත්වල ලියවුණු සන්නස් හා තුඩපත් වැනි ලේඛන ද සුලබ ව හමු වෙයි. ඒවා ද දිවයිනේ පැරණි ලේඛන අධ්‍යයනයේ දී විශේෂ අවධානය දිනා ගැනීමෙහි සමත් වෙයි. දිවයිනෙන් හමු වන සෙල් ලිපි හා සෙසු පුරාලේඛන වලින් බහුතරය අපේක්ෂා කළ යුතු පරිද්දෙන් ම සිංහලයෙන් (එහි විවිධ පරිණාමීය අවධි නියෝජක ස්වරූපවලින්) ලියවුණු ඒවා ය. දෙමළ, සංස්කෘත, පාලි, අරාබි, චීන, පුරුතුගීසි, ලන්දේසි හා ඉංගිරිසි භාෂාවලින් ලියවුණු සෙල් ලිපි ද ස්වල්පයක් මේ දිවයිනෙන් අපට හමු වෙයි. දෙමළ හා සංස්කෘත ලිපි අතර ක්‍රිස්තු වර්ෂ 7 - 10 සියවස් තරම් අතීතයකට අයත් ඒවා ද දැක ගත හැකි ය. අරාබි හා චීන ලිපි මෙන් ම නූතන යුරෝපීය භාෂාවලින් ලියවුණු ඒවා ද සමීප සියවස් පහ තරම් මෑත අවධියට අයත් ඒවා ය. 


III


පොත් හැරුණු විට සෙසු පැරණි ලේඛන බොහෝ දුරට ආගමික ප්‍රදාන පිළිබඳ වාර්තා හා රාජ නියෝග වේ. පොත් සාහිත්‍ය කෘති හෝ ආධ්‍යාපනික අගයක් ඇති ලේඛන විශේෂයක් වසයෙන් හෝ අවධානයට ලක් වූ බැවින් ඒවා පිටපත් කොට පරපුරෙන් පරපුරට ගෙන ඒම සිදු විය. එහෙත් ආගමික ප්‍රදානයක් හෝ රාජ නියෝගයක් හෝ වාර්තා කිරීමට ගලෙහි කොටන ලද ලේඛන සම්බන්ධයෙන් එවැනි අවධානයක් යොමු වූ බවක් නො පෙනේ. එසේ හෙයින් එබඳු ලේඛන ඒවා ලියවුණු කාලයෙන් පසු ව, නැත හොත් එයින් ප්‍රකාශිත සංස්කෘතික සන්දර්භයෙහි වෙනස් වීම සමඟ මතකයෙන් ඈත් වූ තත්ත්වයකට පත් විය. පැරණි ලේඛන හඳුනා ගැනීම, කියවීම හා අර්ථකථනය ද ඒවා අධ්‍යයනය කරමින් අතීත සමාජය හඳුනා ගැනීමට උත්සාහ දැරීම ද මෑත කාලයෙහි ප්‍රචලිත වූ ශික්ෂණ මාර්ගයක් බැවින් 19 වන සියවස වන තෙක් ම පැරණි ලේඛන කිසිවකුගේ අවධානයකින් තොර ව හැර දමා තිබිණි. මේ හේතුවෙන් ඒවා ස්වාභාවික තත්ත්ව යටතේ විනාශ මුඛයට පාත්‍ර වීම නො වැළැක්විය හැකි සිද්ධියක් විය. පැරණි ලේඛන අධ්‍යයනය ආරම්භ වීම ලෝකය නූතනත්වයට පිවිසීමේ ප්‍රතිඵලයක් සේ හැඳින ගත හැකි වෙයි. මේ තත්ත්වය ආරම්භ වූ සමයෙහි ම, නැත හොත් ඊට මඳක් පසු කාලයෙහි, ගල් මත කොටා ඇති කියවා ගත නො හැකි පැරණි ලේඛන මුල් කොට ගත් ජන විශ්වාසයක් ද පහළ වී තිබේ. එනම් මේ ලේඛනවලින් පැවසෙන්නේ ඒවා කොටා ඇති පර්වතයන්හි විවිධ අගනා භාණ්ඩ හා ධනය තැන්පත් කොට තැබීම් පිළිබඳ වාර්තා ය යන මිථ්යා විශ්වාසය යි. මෙය මුල් කොට ගෙන ගූඪ ලේඛනාවලියක් ද නිර්මාණය විය. මේ විශ්වාසය හා ඒ පදනම් කොට ගත් සාහිත්‍යයෙන් අවු වැසි ආදි ස්වාභාවික තත්ත්වයන්ගෙන් සිදු වූ හානියට ද වැඩි නො පිරිමැසිය හැකි හානියක් මේ පැරණි ලේඛනවලට සිදු වී තිබේ; දැනුදු සිදු වෙමින් පවතී.


IV

6 රූපය- ආදි බ්‍රාහ්මී අකුරින් ලියවුණු ලෙන් ලිපි කොටස් දෙකක් (කොක්-එබේ)

දිවයිනේ නොයෙක් ස්ථානයන්හි ගල් මත කොටා ඇති ලේඛන සම්බන්ධයෙන් නූතන ලෝකයෙහි අවධානය යොමු වීමට පූර්වයෙහි ඒ සම්බන්ධයෙන් සමාජයෙහි යම් අවධානයක් යොමු වූ අවස්ථා අපට හමු වන්නේ දෙක-තුනක් පමණි. ඉන් පළමු වැන්න අනුරාධපුර දිස්තිරික්කයේ ග‍ලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරේගල නම් ස්ථානයෙහි ඇති ලිපි දෙකක් හා බැ‍ඳෙන්නකි. විහාරෙගල පර්වතයෙහි කොටා ඇති ලිපි දෙකින් වඩාත් පැරණි ලිපිය වන්නේ 'සබ' නම් රජකු විසින් එම ස්ථානයෙහි පිහිටි විහාරයේ සංඝයා සඳහා උපෝසථඝරයක් කරවා කහවණු 500ක් වැය කොට වැවක් මිලට ගෙන තවත් කහවණු 500ක් වැය කොට ඒ වැව පිළිසකර කරවා පුද කළ පුවත යි. (මේ 'සබ' රජු ලංකා ඉතිහාසයේ සුබ නමින් ප්‍රචලිත රජු බව ද ඔහු 'සුබ' යනුවෙන් නම් කෙරෙනුයේ පසු කාලයෙහි ඉතිහාස පොත් ලියූවන් විසින් බව ද ඉතිහාසඥයෝ පෙන්වා දෙති. 'සබ' යන රාජ නාමය එරජුගේ වෙනත් ලේඛනවලින් ද අනාවරණය වෙයි.) මේ රජුගේ පාලන කාලය ක්‍රිස්තු වර්ෂ 60 - 67 අතර කාලය යැයි සැලකෙයි. මේ ලිපිය ලියා ඇති පර්වතයෙහි ම ඊට පහළින් ඇති ලිපිය 'සබ' රජු සඟනට පිදූ වැව ද එහි වූ උපෝසඝරය ද 'ගමණි අබ' නම් රජු විසින් නැවත සඟ සතු කළ බව පවසයි. මේ 'ගමණි අබ' රජු 'සබ' හෙවත් සුබ රජුගෙන් පසු බලයට පත් වසභ රජුගේ මුණුබුරා වූ ගජබාහු බව ද ඒ ලිපියෙන් ම හඳුනා ගත හැකි ය. ගජබාහුගේ වෙනත් ලේඛනවල ද ඔහු 'ගමණි අබ' නමින් දැක්වෙයි. මහාවංසය ඔහු හඳුන්වන්නේ 'ගජබාහුකගාමිණී' යනුවෙනි. 'ගමණි අබ' හෙවත් ගජබාහු රජුගේ පාලන කාලය ක්‍රිස්තු වර්ෂ 114 - 136 අතර කාලය යැයි පිළිගැනේ. මේ වූ කලි එක ම කරුණ සම්බන්ධයෙන් එක ම ස්ථානයෙන් හමු වන, අඩ සියවසකට මඳක් වැඩි කලක් ඇතුළත ලියවුණු ලේඛන දෙකකි. පළමු වන ලේඛනයේ පහළින් උඩු-යටිකුරු කොට ලියා ඇති අකුරු තුන 'කඩවි' යනුවෙන් කියවන මහාචාර්ය සෙනරත් පරණවිතාන එයින් කියවෙන්නේ පළමු ලේඛනය 'අවලංගු' කළ බව යැයි ද එසේ කරන්නට ඇත්තේ 'සබ' රජු මරා බලයට පැමිණි වසබ රජු විසින් යැයි ද පෙන්වා දෙයි. වසබ රජුගේ මුණුබුරු වූ ගජබාහු විසින් සිය මුත්තණුවන් විසින් අවලංගු කළ ප්‍රදානය නැවත සඟ සතු කරමින් මුල් ලිපිය වූ ස්ථානයෙහි ම සිය ප්‍රදානය තහවුරු කරමින් ලේඛනයක් පිහිටුවා තිබීමෙන් පැහැදිලිි වන්නේ පූර්ව ලේඛනය කෙරෙහි ඔහුෙග් අවධානය යොමු වූ බව ය. 'කඩවි' යන අක්ෂර රූප සම්බන්ධයෙන් පරණවිතාන දක්වන මතය පිළිගනිතොත් පැරණි ලිපියක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ මුල් ම අවස්ථාව එය සේ හැඳින්විය හැකි ය (Paranavitana 1883: 61, 93).

7 රූපය - සබ රජුගේ ප්‍රදානයක් වාර්තා කෙරෙන විහාරෙගල ගිරි ලිපිය


8 රූපය - 'ගමණි අබ' හෙවත් ගජබාහු රජු විසින් සබ රජුගේ ප්‍රදානය යළි පිරිනැමූ බව දැක්වෙන
විහාරෙගල ගිරි ලිපිය


අනුරාධපුර පූජනීය නගරයෙහි පෙර රජදරුවන් විසින් ඉදි කෙරුණු ඇතැම් ස්මාරක හා පැරණි ලේඛන අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රවාදයක් කලක් මෙරට ප්‍රචලිත ව පැවති බව වංස කථාවෙන් මෙන් ම වෙනත් සාහිත්යික මූලාශ්‍රයයන්ගෙන් ද හෙළි වෙයි. ඒ ඔවුන් විසින් ඒවා ඉදි කරවනු ලැබීම පිළිබඳ අනාගතවාක්‍ය ස්වරූපී ලේඛන පිහිටුවීම හා ඒවා හමු වීම පිළිබඳ වෘත්තාන්ත යි. දුටුගැමුණු රජු මහා ථූපය කරවන බවට මිහිඳු හිමියන් කළ ප්‍රකාශය දෙවනපෑතිස් රජු විසින් කල් ටැඹක කොටවා තැබීම ද පසු ව දුටුගැමුණු රජුට එය හමු වීම ද මෙබඳු එක් වෘත්තාන්තයකි. ලෝහපාසාදය නව මහල් කොට තැනීම හා මහා ථූූපය ඉදි කරවීම සඳහන් වන ලේඛනයක් සහිත රන් පටක් දුටුගැමුණු රජුට හමු වීම දෙවැන්න යි. ඇතැම් රජවරුන් විසින් යම් සිද්ධි අරභයා ශිලාලේඛන පිහිටුවූ බව ද ඇතැම් සාහිත්‍ය කෘතීන්හි දැක්වෙයි. 

පැරණි කාලයට අයත් ලේඛන කොටා තිබූ තැන් සම්බන්ධයෙන් ආසන්න අවධානය යොමු වූ අවස්ථාවක් තෙළෙස් වන සියවසේ රචිත පූජාවලියෙන් අපට හමු වෙයි. එයින් කියවෙන්නේ වළගම්බා රජු පරසතුරන්ගෙන් වැළහී වනගත ව සිට යළි බලයට පත් වූ පසු ව පෙර තමා වල් වැද සිටිය දී ගල් ලෙන්වල ප්‍රයෝජන දැන ගත් බැවින් ලංකාද්වීපයෙහි ගල් ලෙන්වල කටාරම් කොටවා තැබූ බව යි. ඒ හැරෙන්නට කටාරම්වලට යටින් ඇති ලේඛන සම්බන්ධයෙන් කිසිවක් එහි සඳහන් නො වේ. මෙය වළගම්බා සම්බන්ධයෙන් ඒ වන විටත් පැවති ජනප්‍රිය විශ්වාසයක් බව පෙනේ. ගල් ලෙන්වල කටාරම්වලට පහළින් ඇති ලිපි කියවා ඒවාහි සඳහන් පුද්ගල නාම නිශ්චිත ව හඳුනා ගනු ලැබ තිබිය දීත් ඒවා වළගම්බා රජුගේ කාර්යයන් යැයි පැවසෙන ජනප්‍රිය විශ්වාසයක් අද පවා පැවතීම එහි ම ව්‍යාප්තීකරණයක් සේ හඳුනා ගත හැකි ය. 

මේ හැරෙන්නට ගල්වල කෙටූ පැරණි ලේඛන සම්බන්ධයෙන් සමාජයේ අවධානයක් තිබූ බව පෙන්වන තවත් සාධකයක් නම් මිහින්තලා සන්නසේ සන්නය, මිහින්තෙල් ශිලාලේඛනය, මිහින්තෙල් ශිලාලේඛන සන්නය, පරාක්‍රමබාහු කතිකාවත-පොලොන්නරු ගල්විහාර ශිලාලේඛනය යන නම්වලින් හැඳින්වෙන පුස්කොළ පිටපත් කිහිපය යි. මේ ලේඛන භික්ෂූන් සඳහා පනවන ලද විනය ප්‍රඥප්ති හෙයින් ඒවා ගල්වල කොටවා තැබීමට පිළියෙල කිරීමත් සමඟ ම පුස්කොළ පොත් වසයෙන් ද පිටපත් කර දුරබැහැර ප්‍රදේශවලට ඛෙදා හැරෙන්නට ඇතැයි ද මේ පුස්කොළ පිටපත් එහි ප්‍රතිඵලයක් විය හැකි යැයි ද අනුමාන කළ හැකි ය. (ඇතැම් විට මුලින් විනය ප්‍රඥප්ති වසයෙන් ග්‍රන්ථාරූඪ කොට අනතුරු ව ආරාමී‍ය මූලස්ථානයෙහි ශිලාලේඛන වසයෙන් පිහිටුවන්නට ඇතැයි ද කෙනකුට අදහසක් දැක්විය හැකි වෙයි.) කෝට්ටේ සවැනි පැරකුම්බා රජු දවස විසූ භික්ෂුවක විසින් සම්පාදිත ශිලාලේඛන සංග්‍රහයක් පිළිබඳ ව සෙනරත් පරණවිතාන සඳහන් කරතත් එය විද්වතුන්ගේ අවධානය යොමු විය හැකි අන්දමින් පිළිගත හැකි සාධක මත පිහිටා පවසන ලද්දක් නො වන බව කිය යුතු වෙයි. පැරණි ලේඛන පිළිබඳ උනන්දුවක් දැක්වූ දේශීය උගතුන් පිළිබඳ තොරතුරු 19 වන සියවසේ මධ්‍ය භාගයෙනුදු ඉඳහිට හමු වෙයි. 


V


නූතන යුගයට ප්‍රවිෂ්ට වෙමින් සිටිය දී ලක්දිව නොයෙකුත් ස්ථානයන්හි වූ පැරණි ලේඛන පිළිබඳ අවධානය ගිලිහී යමින් පැවති බව පෙන්නුම් කෙරෙන සාධකයක් අපට මේ ලේඛන සම්බන්ධ නූතන යුගයේ අවධානය ආරම්භ වීම සම්බන්ධ සාධකයක් වසයෙන් ද වැදගත් වෙයි. ඒ වූ කලි මහනුවර රාජධානියේ එළිමහන් සිරකරුවකු ව සිටි ඉංගිරිසි ජාතික රොබට් නොක්ස් ගඩලාදෙණි විහාර පර්වත ලිපිය පිළිබඳ ව තබා ඇති සටහන යි. කන්ද උඩරට රාජධානියේ මෙන් ම ඉන් උතුරු ප්‍රදේශයේ ද විවිධ ස්ානයන්හි පර්වත මත යාර ගණන් දිගට කොටා ඇති අක්ෂර රූප කෙතරම් ගැඹුරට කොටා ඇත්දැයි කිව හොත් ඒවා ලෝක විනාසය තෙක් ම පවතිනු ඇතැයි සඳහන් කරන නොක්ස් ඒවා කියවීමට තබා ඒ ගැන නිශ්චිත අදහසක් දැක්වීමට පවා සමත් වූවකු තමන්ට හමු නො වූ බව ද සඳහන් කරයි. ඔහු ඒ පිළිබඳ ව සිංහලයන්ගෙන් මෙන් ම හින්දූන්ගෙන් ද යෝනකයන්ගෙන් හා මලබාර්වරුන්ගෙන් ද විමසා ඇතත් ඒ කිසිවකුගෙන් ඔහුට සතුටුදායක පිළිතුරක් ලැබී නැත. කෙසේ වුව ද මේ සඳහන නූතන ලෝකයාගේ අවධානය මෙකී ලේඛන කෙරෙහි යොමු වීමේ පළමු අවස්ථාව සේ සැලකිය හැකි ය. ඒ නූතනත්වය යුරෝපීය සමාජය විසින් විහිදුවන ලද්දකි.

රොබට් නොක්ස්ට පසු ව දිවයිනේ ශිලාලේඛන සම්බන්ධ අවධානය යොමු කළ පළමු වැන්නා මෙරට අගවිනිසුරුවරයකු ව සිටි සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ය. ඔහුගේ අවධානය යොමු වූ ලේඛනය සිංහල ලේඛනයක් නො ව කෝණාකාර හැඩයකින් යුතු අරාබි අකුරු විශේෂයකින් ලියවුණකි. එය මෙරටින් හමු වන පැරණි ම අරාබි පුරාලේඛනය සේ සැලකෙයි. සැමුවෙල් ලී දේවගැතිවරයා විසින් ඒ ලේඛනය ඉංගිරිසියට පරිවර්තනය කරනු ලැබ ජොන්ස්ටන්ගේ ලිපිය සමඟ පළ කොට තිබිණි. 19 වන සියවසේ මෙරට විසූ කීර්තිමත් පඬිවරයකු සේ හැඳින්විය හැකි සර් ජෝර්ජ් ටර්නර්ල, මේජර් ජොනතන් ෆෝර්බ්ස් විසින් සපයන ලද පිටපත් ඇසුරින් මිහින්තතලේ, පොලොන්නරුව හා දඹුල්ල වැනි ස්ථාන කිහිපයක තිබූ සෙල් ලිපි පිළිබඳ ව 1834 දී තරමක් දීර්ඝ ලිපියක් සම්පාදනය කොට තිබේ. දිවයින නූතන ලෝකයට බද්ධ කළ සමාජාර්ථීක ප්‍රතිසංස්කරණයන්හි පුරෝගාමියා සේ සැලකෙන ඩබ්ලිව්. ඇම්. ජී. කෝල්බ්රූක් ද 1835 තරම් ඈත අවධියක දී මෙරට සෙල් ලිපි සම්බන්ධ අවධානය යොමු කරමින් රාජකීය ආසියාතික සංගමයේ මහා බ්රිතාන්‍ය හා අයර්ලන්ත ශාඛාවේ සඟරාවට කෙටි ලිපියක් සපයා ඇත. ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ මඩකලපු දිස්තිරික්කයෙන් හමු වූ ලිපි කෙරෙහි ය. 1836 දී ජේම්ස් ප්රින්සෙප් විසින් අශෝකාධිරාජයාගේ ලේඛන ලියවී ඇති අක්ෂර මාලාව හඳුනා ගනු ලැබීමෙන් අනතුරු ව දකුණු ආසියානු කලාපයේ පුරාක්ෂරරූපවිද්‍යාත්මක ගවේෂණ හා පුරාලේඛන අධ්‍යයන විධිමත් අදියරකට පිවිසි බව සඳහන් කළ හැකි ය. ප්රින්සෙප් විසින් ම ද ලක්දිව සෙල් ලිපි සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු කෙරුණු අවස්ාවක් දැක ගත හැකි ය. ඒ මෙරටින් හමු වූ සෙල් ලිපි 8ක් පිළිබඳ ව 1836 වසරේ දී ඛෙංගාලයේ රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ලිපියක් සැපයීම යි. 

ජෝර්ජ් ටර්නර් 1835 දී මෙරට සෙල් ලිපි පිළිබඳ ව ලියූ නිබන්ධය 1840 දී ජොනතන් ෆෝර්බ්ස් විසින් ලංකාවේ එකොළොස් වසක් යන හිසින් ප්‍රකාශිත ලංකා විස්තරයෙහි නැවත පළ කෙරිණි. එහි ඇතුළත් කෙරුණු තුදුස් වන සියවසට අයත් ලිපියක් සම්බන්ධයෙන් ෆෝබ්ස් විසින් නිරීක්ෂණාත්මක සටහන් දක්වනු ලැබ තිබේ. ඉන් අනතුරු ව 1853 තෙක් දිවයිනේ සෙල් ලිපි සම්බන්ධ අවධානය යොමු වූ බවට සාධක හමු නො වේ. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාව ප්‍රකාශනය ආරම්භ කිරීමත් සමඟ දිවයිනේ පුරාතත්ත්වය හා සම්බන්ධ ලිපි පළ කිරීමේ ප්‍රබෝධයක් ඇති වූ ආකාරය විද්‍යමාන වෙයි. මෙතෙක් යුරෝපීය උගතුන්ගේ ක්ෂේත්‍රයක් ව පැවති පුරාලේඛන විමර්ශනය කෙරෙහි කෙමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ද අවධානය යොමු වනුයේ මේ සමඟිනි. එහි ප්‍රතිඵලයක් වසයෙන් 1853 දී සයිමන් කාසිචෙට්ටි විසින් පුත්තලම් දිස්තිරික්කයේ පිරමානන්කන්ද නම් ස්ථානයෙහි වූ පර්වත ලිපියක් පිළිබඳ ව ලියූ සටහනක් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ කෙරිණි. ඒ. ඕ. බ්රෝඩි විසින් වයඹ පළාතේ ස්ථාන කිහිපයක වූ සෙල් ලිපි පිළිබඳ ව ලියන ලද ලිපි තුනක් 1853 දී හා 1855 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ කොට තිබේ. උඩරටින් හමු වූ තඹ සන්නසක් පිළිබඳ ව ලයනල් එෆ්. ලී ලියූ ලිපියක් ද 1871 දී එකී සංග්‍රහයෙහි පළ විය. 

සෙල් ලිපි අධ්‍යයනය සමඟ ඊට අදාළ ශිල්ප ක්‍රම පිළිබඳ ව ද උගතුන්ගේ අවධානය යොමු වීම එය විධිමත් ශික්ෂණ මාර්ගයක් බවට පත් වීමේ මුල් පියවර සේ හැඳින්විය හැකි ය. මෙහි සමාරම්භය නියෝජනය කෙරෙන ලිපියක් මෙරට විසූ කීර්තිමත් සිවිල් නිලධරයකු මෙන් ම පාලි ග්‍රන්ථ සමාගමයේ ආරම්භකයා ද වූ ටී. ඩබ්ලිව්. රීස්-ඩේවිඩ්ස් විසින් 1871 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ කරන ලදි. 1871 දී ම වැලිගම විහාරයේ සෙල් ලිපි ගැන එකී සඟරාවට ලියූ ඔහු දෙවුන්දරින් හමු වූ සෙල් ලිපියක් පිළිබඳ ව 1871 - 72 කාලයෙහි ලිපි තුනක් සම්පාදනය කර තිබේ. ඉන් දෙකක් ම රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ වූ අතර අනික Indian Antiquary සඟරාවෙහි පළ කෙරිණි. 1872 දී ඔහු දඹුලු විහාරයේ ලෙන් ලිපි පිළිබඳ ව Indian Antiquary සඟරාවට ලිපියක් ලියූ අතර පොලොන්නරුවේ හැට දා ගේ අසලින් හමු වූ සාහසමල්ලගේ ලිපියක් හා රුවන්වැලි සෑ දොරටුවකින් හමු වූ සෙල් ලිපියක් ගැන 1875 දී රාජකීය ආසියාතික සංගමයේ මහා බ්රිතාන්‍ය හා අයර්ලන්ත ශාඛාවේ සඟරාවට ලිවී ය. පොලොන්නරු රාජකීය නගරයෙන් හමු වූ සෙල් ලිපි කිහිපයක් පිළිබඳ ව ද රීස් ඩේවිඩ්ස් පඬිවරයාගේ අවධානය යොමු වී තිබේ. මහා පරාක්‍රමබාහුගේ රාජ සභා ශාලාවෙහි ඇති ලිපිය ගැන 1873 දී Indian Antiquary සඟරාවෙහි ද පරාක්‍රමබාහුගේ ම ලිපි තුනක් පිළිබඳ ව 1875 දී රාජකීය ආසියාතික සංගමයේ මහා බ්රිතාන්‍ය හා අයර්ලන්ත ශාඛාවේ ස`ගරාවෙහි ද පළ වූ නිබන්ධ ඊට නිදසුන් ය. සීගිරියෙහි වූ සෙල් ලිපි පිළිබඳ ව ඔහු ලියූ ලිපිය ද 1875 දී රාජකීය ආසියාතික සංගමයේ මහා බ්රිතාන්‍ය හා අයර්ලන්ත ශාඛාවේ සඟරාවෙහි පළ කෙරිණි. 

ලුයී ද සොයිසා මුදලිවරයා ද මුල් කාලයේ සෙල් ලිපි අධ්‍යයනය කෙරෙහි අවධානය යොමු කළ දේශීය උගතුන් අතරෙහි හමු වන්නෙකි. කැලණි විහාර සෙල් ලිපිය පිළිබඳ ව 1872 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි ලිපියක් පළ කළ ඔහු 1873 දී එම සඟරාවට ම පැරණි තඹ සන්නසක් වන කදිරාන සන්නස පිළිබඳ ව ලිපියක් සම්පාදනය කෙළේ ය. 

1874 දිවයිනේ සෙල් ලිපි අධ්‍යයනයෙහි කඩඉමක් සලකුණු කරන වසරකි. යටත් විජිත ආණ්ඩුව විසින් ආචාර්ය පී. ගෝල්ඩ්ශ්මිට් පුරාවිද්‍යා කටයුුතු භාර කොමසාරිස්වරයා ලෙස පත් කෙරිණි. ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ ශිලා ලේඛන අධ්‍යයනය කෙරෙහි ය. සෙල් ලිපි 83ක පිටපත් සම්පාදනය කළ ඔහු 1875 රජයේ සැසි වාර්තාවෙහි පළ කෙරුණු උතුරු මැද පළාතේ සෙල් ලිපි පිළිබඳ ලේඛනය හා 1876 දී පළ කෙරුණු උතුරු මැද පළාතේ හා හම්බන්තොට දිස්තිරික්කයේ සෙල් ලිපි පිළිබඳ ලේඛනය ද පිළියෙල කෙළේ ය. ලක්දිව සෙල් ලිපි පිළිබඳ ව ඔහු විසින් සම්පාදිත දීර්ඝ ලිපියක් ද 1879 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ කෙරිණි. සෙල් ලිපි අධ්‍යයනය කරමින් එයින් නියෝජනය කෙරෙන භාෂාව විමර්ශනාත්මක ව හැදෑරූ ඔහු ඒ අනුසාරයෙන් සිංහල භාෂාවේ ව්‍යාකරණය කෙරෙහි ද අවධානය යොමු කෙළේ ය. උතුරු මැද පළාතේ හා හම්බන්තොට දිස්තිරික්කයේ සෙල් ලිපි පිළිබඳ ලේඛනයේ දී ඔහු සිංහල භාෂාව ඉන්දු-ආර්ය ගණයට අයත් යැයි ස්ථීර ව කියා සිටියේ ය. එතෙක් හමු වූ සෙල් ලිපි අක්ෂර රූපවල විකාසනය අනුව කාලානුක්‍රමික ව පෙළ ගස්වා ලීමත් ඔහුෙග් ශාස්ත්‍රීය නම්නතාව පිළිබඳ සාධකයකි. 

1877 දී ගෝල්ඩ්ශ්මිට් අභාවප්‍රාප්ත වීමෙන් පසු ව ඔහු දැරූ තනතුරට එඩ්වඩ් මුලර් පත් කෙරිණි. මුලර් ද සිය පූර්වගාමියාගේ මාර්ගය අනුගමනය කළ පර්යේෂකයෙකු සේ හැඳින්විය හැකි ය. 1878-81 කාලයෙහි ගවේෂණය කළ සෙල් ලිපි පිළිබඳ ව අදාළ වර්ෂයන්හි සැසි වාර්තාවන්හි තොරතුරු දැක්වූ මුලර් උතුරු මැද හා වයඹ පළාත්හි ද අනුරාධපුරය, මාතෙල් හා හම්බන්තොට දිස්තිරික්කයන්හි ද ශිලා ලේඛන සම්බන්ධ අධ්‍යයනයන්හි නිරත වූ බව එහි ලා පෙන්වා දී තිබේ. දිවයිනේ සෙල් ලිපි අධ්‍යයනයෙහි ලා මුලර්ගේ ඉහළ ම දායකත්වය නම් 1883 දී කාණ්ඩ දෙකකින් පළ කෙරුණු Ancient Inscriptions in Ceylon නම් ග්‍රන්ථය යි. එහි සෙල් ලිපි 172ක පෙළ හා පරිවර්තන ද වැඩි ප්‍රමාණයක ඵලක සටහන් ද ඇතුළත් ය. මුලර් ද සිංහලය ආර්ය භාෂාවකැයි යන මතය පිළිගත් විද්වතෙකි. සිංහලයට මුල් පදනම වැටුණේ ඉන්දියාවේ ඊසාන දිගින් පැමිණි ජන කණ්ඩායම්වලින් ය යන මතය ද ඔහු සිය කෘතියෙහි ලා ඉදිරිපත් කරනුයේ සිය අධ්‍යයනයට ලක් වූ සෙල් ලිපිවලින් හෙළි වන සාධක අනුසාරයෙනි. මුලර්ගේ කෘතිය දිවයිනේ සෙල් ලිපි වැඩි ප්‍රමාණයක් සංග්‍රහ කෙරෙමින් සම්පාදිත පළමු කෘතිය යි. පුරෝගාමි කෘතියක අනිවාර්යයෙන් ම විද්‍යමාන විය හැකි ඌනතා රැසක් එහි දැක ගත හැකි ය. දොස් සහිත කියවීම් මෙන් ම සාවද්‍ය පරිවර්තන හා අර්කථන ද ඒ අතර වෙයි. එසේ ද වුව ලක්දිව සෙල් ලිපි සංහිතාගත කිරීමේ ප්‍රයත්නයේ සමාරම්භකයා වසයෙන් මුලර්ට හිමි විය යුතු වැදගත්කම ඒ හේතුවෙන් අඩු නො වන බව කිය යුතු ය. පශ්චාත්කාලීන ශිලාලේඛන අධ්‍යයනයන්හි පදනම බවට පත් වූයේ මුලර්ගේ මේ කෘතිය යි.

බී. ගුණසේකර ද මේ අවධියෙහි සෙල් ලිපි අධ්‍යයනයට එක් වූ තවත් දේශීය උගතෙකි. රුවන්වැලි දාගැබ ආසන්නයේ ඇති සෙල් ලිපියක්, දෙවනගල ගිරි ලිපිය, ලංකාතිලක ලිපිය, කුඩුමිරිස්ස ලිපිය හා පැපිළියාන ලිපිය ඔහුගේ අධ්‍යයනයට ලක් වී තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු සම්පාදනය කළ ලිපි 1882-87 වකවනුවෙහි රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ වී තිබේ. එස්. එම්. බරෝස් පොලොන්නරුවේ ගවේෂණවලින් සොයා ගත් සෙල් ලිපි පිළිබඳ ව 1886 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි ලිපියක් පළ කෙළේ ය. 1887 දී ජී. එම්. ෆව්ලර් මුන්නේස්වරම් දේවාල සෙල් ලිපිය ගැන ලියූ සටහන ද රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළ කෙරිණි.

ලංකා සිවිල් සේවාවේ තරුණ උගතකු වූ හියු නෙවිල් ද දිවයිනේ සෙසු සංස්කෘතිකාංග සම්බන්ධයෙන් මෙන් ම සෙල් ලිපි අධ්‍යයනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ විද්වතෙකි. ඔහු විසින් ආරම්භ කළTaprobanian සඟරාවෙහි 1885 සිට වරින් වර පළ කෙරුණු ලිපිවල දිවයිනේ පැරණි ම ලිපිවල හමු වන අක්ෂර මාලාවෙහි විශේෂතා ද දිවයිනේ නොයෙක් පළාත්වලින් සොයා ගත් සෙල් ලිපි පිළිබඳ තොරතුරු ද සංගෘහීත යි. දිවයිනේ දෙමළ සෙල් ලිපි සම්බන්ධ අධ්‍යයනයන්හි පුරෝගාමියා වසයෙන් ද හියු නෙවිල් හැඳින්විය හැකි ය. තිරුක්කෝවිල්, වේරුගල් විහාරය, තම්බිරානාදර් කෝනනාදන් කෝවිල යන ස්ථානවලින් හමු වූ දෙමළ සෙල් ලිපි ඔහුගේ විමර්ශනයට ලක් වී තිබේ. උතුරු මැද පළාතේ දිසාපති වසයෙන් කටයුතු කළ එස්. එම්. බරෝස් 1887 දී පොලොන්නරුවෙහි පුරාවිද්‍යා ස්මාරක අනාවරණය කර ගැනීමේ කාර්යයන්හි වසරක සාඵල්‍යය පිළිබඳ ව රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවට ලියූ දීර්ඝ ලිපියෙහි ශිලා ලේඛන 12ක පෙළ හා පරිවර්තන ද ඊට අදාළ විවරණ ද ඉදිරිපත් කොට ඇත. 


VI


1890 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපනය දිවයිනේ පුරාතත්ත්ව අධ්‍යයනය හා තදනුබද්ධ ශික්ෂණ මාර්ගයන්හි අභිවර්ධනය විෂයෙහි සිදු කෙරුණු දැවැන්ත කර්තව්‍යයක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු වන කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් සිය රාජකාරියට අදාළ සෙසු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙන් ම පුරාලේඛන සම්බන්ධයෙන් ද විශේෂ උනන්දුවකින් කටයුතු කළ බව පෙනේ. 1891 පටන් ම ඒ ඒ වසර සඳහා ප්‍රකාශිත දෙපාර්තමේන්තු පාලන වාර්තාවන්හි සෙල් ලිපි සොයා ගැනීම් සම්බන්ධ තොරතුරු ඇතුළත් කෙරිණි. ආරම්භයේ පටන් ම සෙල් ලිපිය පිහිටි ස්ථානය නිශ්චිත ව දක්වමින් ඒවා ලේඛනගත කිරීම සිදු කෙරුණු අතර ඇතැම් අවස්ථාවන්හි ඒවා අයත් වන කාලය හා අදාළ රාජ නාම ද දැක්වීමට යොමු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. 1930 දී සෙනරත් පරණවිතාන සෙල් ලිපි සම්බන්ධ අධ්‍යයනයන්ට යොමු වූ පසු ව පාලන වාර්තාවන්හි මේ අඛණ්ඩත්වය පවත්වා ගනිමින් කෙටි ලේඛනයන්හි පෙළ හා පරිවර්තන ඇතුළත් කිරීම තෙක් එය ව්‍යාප්ත කළ බව සඳහන් කළ යුතු වෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කරන ලද ප්‍රදේශයන්හි තිබී සොයා ගන්නා ලද සෙල් ලිපිමෙන් ම සන්නස් හා අත්ලිපි වැනි සෙසු පුරාලේඛන ද පිළිබඳ තොරතුරු පාලන වාර්තාවන්හි දැක්වීමෙන් නො සෑහුණු බෙල් ලේ විශේෂ වැදගත්කමකින් යුතු පුරාලේඛන පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් ලිපි විවිධ සංග්‍රහයන්හි පළ කිරීමට ද පියවර ගෙන තිබේ. මේ වන විට ඉන්දියානු පුරාවිද්‍යා අධිකාරිය Epigraphia Indica නමින් ශිලාලේඛන සංහිතාවක් පළ කිරීම අරඹා තිබිණ. මෙරට ද එවැනි සංග්‍රහයක් ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඛෙල් ඒ කටයුත්ත සඳහා 1899 දී සිය කනිෂ්ඨ නිලධරයකු පුරාලේඛන සහායක තනතුරට පත් කර ගත්තේ ය. එය දිවයිනේ පුරාලේඛන අධ්‍යයනය සම්බන්ධයෙන් ගන්නා ලද විචක්ෂණ තීරණයක් බව කිව මනා ය. 

ඛෙල් විසින් පුරාලේඛන සහායක ධුරයට පත් කර ගන්නා ලද නිලධරයා ඒ වන විට සූතිස් වන වියෙහි පසු වූ තරුණයෙක් විය. ඔහු නූතන යුගයේ භාෂා ශාස්ත්‍ර හා ශ්‍රී ලාංකේය සමාජය සම්බන්ධ විද්වත් පර්යේෂණයන්හි ඉදිරි ගමන සඳහා අනාගත පර්යේෂකයන්ට මං පාදා දීමේ පුරෝගාමියකු සේ හැඳින්විය හැකි ය.

(‌මෙම ලිපියට අදාළ මූලාශ්‍ර ‌ලැයිස්තුව සඳහා ‌මෙම ලිපියේ දෙවන ‌කොටස බලන්න )

(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*