2020-04-04

අශෝක බ්‍රහ්මී ලේඛනවල දක්නට ඇති බැඳි අකුරු

ශකිල රාජකරුණා


සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ උපන් ස්ථානය සම්බන්ධයෙන් පවත්නා ඓතිහාසික සාධක අතර ලුම්බිණි ශිලා ලේඛනයට අතිශය වැදැගත්කමක් හිමි වේ. නමුත් මෑත කාලයේ දී බුදුන් වහන්සේ ගේ උපන් භූමිය ලංකාව යැයි පවස එක්තරා කල්ලියක් ලුම්බිණි ශිලා ලේඛනයේ සත්‍යතාවය ප්‍රශ්න කළෝ ය. තත් ශිලා ලේඛනය ව්‍යාජ එකක් බවට තහවුරු කිරීම පිණිස ඔවුහු කාරණා කීපයක් ම ගෙන හැර පෑහ. එහි යම් යම් කාරණාවලට මීට පෙර ද අප විසින් පිළිතුරු දී ඇතත්, තරමක් සවිස්තරාත්මක ව ඇතැම් කාරණාවලට පිළිතුරු දීම යහපතැ’යි හැඟිණි. ලුම්බිණි ලේඛනය කූට ලේඛනයක් බව තහවුරු කරනු වස් තත් කල්ලිය විසින් ගෙන හැර දක්වන කරුණුවල පවත්නා අර්ථ ශූන්‍ය බව පෙන්වා දෙනු වස් මේ ලිපිය මෙසේ සටහන් කරනු ලැබේ.

ලුම්බිණි ලේඛනය ව්‍යාජ ලේඛනයක් බව පෙන්වනු පිණිස, බුදුන් වහන්සේ ලංකාවේ උපන්නේ යැයි පවසන කල්ලිය විසින් පුනා පුනා දක්වනු ලබන කාරණාවක් වන්නේ ලුම්බිණි ශිලා ලේඛනයේ එන බැඳි අක්ෂරයයි. ‘සක්‍යමුනීති’ යන වදන තුළ ඉහත සඳහන් කළ බැඳි අක්ෂරය සටහන් කොට තිබේ. ලුම්බිණි ශිලා ලේඛනයේ එන තත් අක්ෂරය සටහන සමග අමුණා ඇති පළමු වැනි ඡායා රූප සටහනෙන් දැක ගත හැකි ය. ලුම්බිණි ශිලා ලේඛනයේ එන ‘ක්‍ය’ ශබ්දය සටහන් කර ඇත්තේ ‘ක’ අක්ෂරය හා ‘ය’ අක්ෂරය එකට සම්බන්ධ කර සකස් කර ගත් අක්ෂරයකිනි. අක්ෂර ද්විත්වයක් එකට සම්බන්ධ කර ගත් පසු සම්බන්ධ කර ගත් අක්ෂර ද්විත්වයේ ප්‍රථම අක්ෂරය හල් වන බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු කාරණාවක් නොවේ. ලුම්බිණි ලිපියේ ‘ක්‍ය’ ශබ්දය පෙන්වා ඇත්තේ ද එ කී සිද්ධාන්තය මුල් කර ගනිමිනි. නමුත් ලුම්බිණි ලේඛනය ව්‍යාජ ලේඛයක් යැයි පවසන කල්ලියේ ප්‍රමුඛ තර්කය වන්නේ ඒ වනාහි ‘ක්‍ය’ ශබ්දය නොව ‘යො’ ශබ්දය බවත්, තත් වදන ‘සක්‍යමුනීති’ නොව ‘සයොමුනිති’ බවත් ය. අශෝක බ්‍රහ්මී අක්ෂරවල පිල්ලම් භාවිතය පිළිබඳ ව ඔවුන් තුළ පවත්නා අවබෝධය එයින් ම ප්‍රකට වේ (වැඩි දුර අවබෝධය පිණිස ‘යො’ අක්ෂරය සටහන් කරනු ලබන ආකාරය පළමු වැනි රූප සටහනේ ම දක්වා ඇත).

බුදුන් වහන්සේ ලක්දිව උපන්නේ යැයි පවසන කල්ලියට අනුව අශෝක බ්‍රහ්මීවල බැඳි අකුරු නැත. අශෝක ලේඛන එකිනෙක අධ්‍යයනය කළේ නම් එ වැනි අමනෝඥ ප්‍රකාශයක් ඔවුහු කිසි දිනෙක සඳහන් නො කරනු ඇත. මන්ද යත් අශෝක ලේඛනවල සටහන් කර ඇති බැඳි අක්ෂර සැලැකිය යුතු ප්‍රමාණයක් පවතින හෙයිනි. නිදසුන් වශයෙන් ‘ම්හ’, ‘ම්හි’, ‘ම්ය’ ආදි අක්ෂර අශෝක ගේ ගිරිනාර් ලිපියේ දක්නට ලැබේ (2 වැනි රූප සටහන). ‘ශ්ව’ අක්ෂරය ධෞලි ලිපියේ දක්නට හැක (3 වැනි රූප සටහන). ‘ක්‍යං’, ‘ක්‍ය’ වැනි අක්ෂර කාල්සි ලිපියේ සටහන් ව පවතී (4 වැනි රූප සටහන). අශෝක ලේඛනවල එන තවත් බැඳි අක්ෂර බොහෝ ප්‍රමාණයක් දක්නට ඇතත් මෙහි සඳහන් කරන ලද්දේ ශිලා ලේඛන ත්‍රිත්වයකින් ගත් බැඳි අකුරු කීපයක් පමණි.

අශෝක ලේඛනවල පමණක් නොව ලංකාවේ ඇතැම් ශිලා ලේඛනවල ද බැඳි අක්ෂර පවතින බව පෙනේ. නිදසුන් වශයෙන් මෝලාහිටියාවැලේගල ශිලා ලේඛනය පෙන්වා දිය හැකි ය. එහි ‘සිද්ධම’ යන තන්හි ‘ද්ධ’ ශබ්දය සංකේතවත් කරනු පිණිස බැඳි අක්ෂරයක් භාවිතා කර තිබේ (5 වැනි රූප සටහන). 5 වැනි රූප සටහන හොඳින් අධ්‍යයනය කර බැලුවහොත් තත් බැඳි අක්ෂරය සකසා‍ ගෙන ඇති ආකාරය ද වටහා ගත හැකි ය.

මේ කාරණා අනුව බැඳි අක්ෂර සහිත එක ම ශිලා ලේඛනය ලුම්බිණි ශිලා ලේඛනය නො වන බව පැහැදිලි කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

No comments:

Post a Comment

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*