2020-04-11

රාමායණය කවි කල්පිතයක් පමණක් ද?

මහාචාර්ය රත්නසිරි අරංගල


රාමායණය සාහිත්‍ය කෘතියකි. සාහිත්‍යය යන්නට අර්ථ කිහිපයක් තිබුණත් එහි ප්‍රධාන අර්ථය යම් නිර්මාණාත්මක හැකියාවක් අති අයකු විසින් ගොතන ලද රස වින්දනය අරමුණු කර ගත් රචනාවක් යන්න යි. ඒ කෘතිය සඳහා ඉන්දියාවේ පැවති විවිධ 'ජන කතා' පාදක කොට ගෙන තිබේ. අග්නි පුරාණ, කුර්ම පුරාණ, විෂ්ණූ පුරාණ, භාගවත පුරාණ, පද්ම පුරාණ වැනි කෘතිවල රාමායණ කතාව ඇතුළත් වෙයි. දසරථ ජාතකය ම හෝ, එම ජාතක කතාවට මුල් වූ ජන කතාව හෝ දෙකෙන් එකක් ද රාමායණයට වස්තු වී තිබේ. රාමායණයේ එකිනෙකට වෙනස් ස්වරූප (versions) ඇති අතර ඒවායින් එකිනෙකින් වෙනස් කරුණු හමු වන බව උගතුන්ගේ මතයයි. එයින් 'දකුණු ස්වරූපය' (southern version) වඩාත් විශ්වාසදායක ලෙස පිළිගැනේ. මේ නිසා රාමායණය වරින් වර කොටස් එකතු කිරීමෙන් සම්පාදනය වූවක් බව පෙනේ. (වාල්මීකි විසින් මුලින් ම ලියූ කොටස හෝ 'වාල්මීකි' නමට ආරෝපණය කොට තිබූ කොටස හෝ දිගු කලක් මුඛ පරම්පර‍ාවෙන් 'ජන කතාවක්" වසයෙන් ගෙන ආ පසු ව මෙසේ අලුතින් කොටස් එකතු කිරීම සිදු විය හැකි ය.) හින්දු ආගමික සංකල්පවල වර්ධනය හා ඒවා ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව මත මෙසේ විවිධ කොටස් වරින් වර එකතු කිරීම සිදු වූ බව පෙනේ. කුර්ම පුරාණයේ 'විෂ්ණු' හා 'ලක්ෂ්මී' සම්බන්ධ වෘත්තාන්තය රාමායණයට පිවිස ඇත්තේ 'රාම' – 'සීතා' පුවත ලෙසිනි. එහි අරමුණ පති භක්තියෙන් යුතු භාර්යාව පිළිබඳ හින්දු ආගමික සංකල්පය ප්‍රචලිත කිරීම යි. එහි පළමු කාණ්ඩය රචනා වන්නට ඇත්තේ ක්‍රි.ව. සිවු වන සියවසේ දී හෝ ඉන් පසුව බව විශ්වාස කෙරේ. රාමායණයෙි ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය ද කාව්‍යමය අගය ද ආගමික සංකල්පවල වැදගත්කම ද නිසා සකු බසට අමතර ව ඉන්දියාවේ ව්‍යවහාර වන භාෂා ගණනාවකින් ම රාමායණය නැවත ලියවී තිබේ. රාමායණයේ ජෛන ස්වරූපයක් (versions) ද ඇත. එය පඋමචරියා (=පද්මපුරාණ(චරිතය)) නම් වෙයි. මෙයින් පෙනෙන්නේ රාමායණය ඉන්දියාවේ ප්‍රචලිත වෘත්තාන්තයක් වී පැවති බව යි. ඒ සමඟ ම සිහි තබා ගත යුත්තක් වන්නේ මේ සියලු රචනා කිරීම් හා නවිකරණ සිදු විය හැක්කේ සංස්කෘත භාෂාව සාහිත්‍ය මාධ්‍යයක් වසයෙන් ස්ථාපනය වීමෙන් අනතුරු ව පමණක් බව ය.

දැනට පිළිගැනෙන සාධක අනුව කාව්‍ය සංස්කෘතය හෙවත් ලෞකික සංස්කෘතය ක්‍රි.පූ. තෙ.වන සියවසින් ඈතට නොයන අතර සංස්කෘතය විධිමත් රීති මාලාවක් අනුව විග්‍රහ කළ පාණිනී විසූ කාලය කි.ව. සිවු වන සියවස පමණ වෙයි. එසේ නම් රාමායණය ක්‍රිස්තු වර්ෂාරම්භක සියවස් දෙක තුන ඇතුළත රචනා වූවක් විනා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෘතියක් නොවන බව සැලකිය යුතු වෙයි. ග්‍රන්ථය රචනා කළ නිශ්චිත දිනයක් ග්‍රන්ථාභ්‍යන්තරයෙහි නොදැක්වෙන කෘතියක කාලය සෙවීමේ දී අභ්‍යන්තර සාධක රාශියක් කෙරෙයි අවධානය යොමු කෙරේ. රාමායණයේ කාලය සම්බන්ධයෙන් උගතුන්ගේ අවධානය යොමු වූ එවැනි කරුණු කිහිපයක් සඳහන් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. එකක් නම් එහි භාෂා ව්‍යවහාරයෙහි යටි තලයෙන් අනාවරණය වන කරුණු යි. අදාළ කෘතියෙහි ඇතුළත් ඇතැම් වචන ක්‍රි.පූ. යුගයේ ‍ව්‍යවහාරයෙහි පැවතුණේ ද ඒවාහි මූලය කුමක් ද යන්න මෙහි දී සලකා බැලේ. කෘතියක ඇතුළත් වන සමාජ චාරිත්‍ර ඇවතුම් පැවතුම් ආදිය සම්බන්ධයෙන් ද මෙහි ලා අවධානය යොමු කෙරේ. රාමායණය සම්බන්ධයෙන් නම් බ්‍රාහ්මණ හා ක්ෂත්‍රිය ස්තර දෙකෙහි ම සාමාජිකයන් එක් ව දුනු කෙළියෙහි යෙදීම වැනි සිද්ධි ආදි බ්‍රාහ්මණ සමාජයට අදාළ වන්නක් නොවීම මෙහි ලා නිදසුන් කළ හැකි ය.

රාමායණයේ රචනා සමය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරක් ග්‍රන්ථාභ්‍යන්තරයෙන් ම සපයා ගත හැකි ය. එනම් රාමායණයේ සුන්දර කාණ්ඩයේ ඇතුළත් වන හනුමාන් සීතා දේවිය හා කතා කිරීම සම්බන්ධ කොටස යි. සීතාට සංස්කෘත භාෂාවෙන් ඇමතුව හොත් තමා 'ද්විජයකු' (බ්‍රාහ්මණයකු) එනම් රාවණ යැයි සලකා සීතා බියපත් වනු ඇතැයි සිතන හනුමාන් ඇයට මනුෂ්‍ය භාෂාවෙන් ඇමතිය යුතු යැයි තීරණය කරයි. මෙය සංස්කෘතය හා සමගාමී ව ප්‍රාකෘත ව්‍යවහාර බල පැවැත්වූ කාලයකට සම්බන්ධ වෙයි. ලෞකික හෙවත් කාව්‍ය සංස්කෘතයේ භාවිතය හා සමගාමී ව ප්‍රාකෘත ව්‍යවහාර භාවිතය සිදු වනුයේ ක්‍රි.පූ, තෙවන සියවසින් මෑත අවධියේ බැවින් ඉහතින් සාකච්ඡා කරන ලද රචනා සමය සම්බන්ධ අදහස මෙයින් ද තහවුරු වෙයි.



එමෙන් ම යම් කෘතියකින් ගත් කොටස් ව්‍යාකරණ, කාව්‍යාලංකාර හෝ ඡන්දස් හෝ සම්බන්ධ නිදසුන් පසු කාලයෙහි කෘතිවල ඇතුළත් වී තිබීම ද කෘතියක කාල නිර්ණය සම්බන්ධයෙන් සලකා බැලෙන්නකි. උදහරණ වසයෙන් සිදත් සඟරාවෙහි හා එළු සඳස් ලකුණෙහි ඇතුළත් නිදසුන් පාඨ හා පද්‍ය දඹදෙණි රාජධානි සමයට පෙර ලියවුණු සිංහල කෘතිවලින් උපුටා ගැනුණු ඒවා සේ පිළිගැනීම මෙහි ලා දැක්විය හැකි ය. ඒ අනුව රාමායණයෙහි ඇතුළත් විශේෂ ප්‍රයෝග, වියරණ විදි ආදිය පාණිනීගේ අෂ්ටාධ්‍යායීහි ඇතුළත් නොවීම රාමායණය පාණිනී සමයට පසු කාලයට අයත් වන්නක් සේ සැලකීමට තුඩු දෙන හේතුවකි. භාෂා ලක්ෂණ අතින් රාමායණයෙහි ශුද්ධ සංස්කෘත මෙන් ම සංස්කෘතීකරණය වූ ප්‍රාකෘත ව්‍යවහාර ද ඇතුළත් බව වියතුන්ගේ අවධානයට ලක් වූ කරුණකි. මේ ශෛලීය ලක්ෂණ ද කෘතියෙහි කාලය සම්බන්ධයෙන් ආලෝකයක් සපයන බව කිව යුතු ය. මේ සියලු ම කරුණු සලකා බැලීමෙන් අනතුරු ව සංස්කෘත භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ විශාරදයන් පෙන්වා දෙන්නේ රාමායණය අවධි තුනක දී වරින් වර කොටස් එකතු කිරීමෙන් සම්පාදනය වී ඇති බවකි. එහි මුල් ම කොටස ක්‍රිස්තු පූර්ව 400 දී පමණ ද අවසාන කොටස ක්‍රිස්තු වර්ෂ සිවු වන සියවස වැනි කාලයක ද සම්පාදනය වන්නට ඇතැයි නිගමනය කිරීම ශාස්ත්‍රයුක්තියට එකඟ බව එනයින් දැක්විය හැකි ය. සිවු වන සියවසේ භෘරතයට පැමිණි ෆාහියන් හිමියන් අයෝධ්‍යා පුරය සම්බන්ධයෙන් කරන විස්තරයේ දී එය රාම චරිතය හා සම්බන්ධ බවක් දක්වා නොතිබීමෙන් ද පෙනී යන්නේ මේ වෘත්තාන්තය ඒ වන විට ප්‍රචලිත ව නො පැවති බව යැයි විද්වතුන්ගේ මතය යි. රාමායණයේ යවනයන් ගැන සඳහන් ව තිබීම ද ඇලෙක්සැන්ඩර්ගේ ආගමනයෙන් පසු කාලයක රචනා වන්නට ඇතැයි යන මතයට සාධක සපයයි.

බෞද්ධයන්ට අඛණ්ඩ හා විශ්වාසදායක ඉතිහාස ලේඛන සම්ප්‍රදායක් පැවතුණු බවට හොඳ ම සාධක වන්නේ ලංකාවේ වංස කථා මාලාව යි. මේවායේ ආරම්භක කොටස්වල දී පාරම්පරික විශ්වාසය අනුව ඇතුළත කෙරුණු ලෝක විස්තරය, බුදුන්ගේ ලංකාගමනය හා පූර්ව ඉතිහාසීය සමය සේ ගත හැකි විජයාගමනය, පණ්ඩුකාභය වෘත්තාන්තය වැනි ජනප්‍රවාද ඇතුළත් වෙයි. එහෙත් ඉතිහාසය ආරම්භ වීමෙන් පසු කාලය සම්බන්ධ වාර්තාවන්හි විශ්වසනීයත්වය පුරාවිද්‍යාත්මක සාධකවලින් ද සනාථ වී තිබේ. හින්දූන්ට එවැනි ඉතිහාස සම්ප්‍රදායක් නොතිබිණි. හින්දූන් සිද්ධි වාර්තා කිරීමේ දී ඉතිහාසීය අනුපිළිවෙළ නොසලකන බව ඉන්දියානු අධ්‍යයනයන්හි පුරෝගාමියා සේ සැලකෙන අල්බිරූනි නම් පර්සියානු ඉතිහාසඥයා ද වාර්තා කරයි. එබැවින් දීපවංස, මහාවංස, බෝදිවංස, ථූපවංස ආදි සිංහල වංසකථාවන්හි ඇති ඓතිහාසික අගය රාමායණය වැනි ප්‍රබන්ධයන්හි ඇතුළත් නොවන බව මෙහි ලා සඳහන් කළ යුතු ය. එබැවින් රාමායණයෙහි ඇතුළත් වන්නේ සත්‍ය ප්‍රවෘත්තියක් නො වේ. එහි හමු වන දශරථ, රාම, ලක්ෂ්මන, ජනක, සීතා මෙන් ම රාවණ ද කල්පිත චරිත පමණි. රාම - රාවණ යුද්ධය ද හුදු කවි කල්පිතයකි. එහෙත් මේ චරිත ක්‍රියාකරනුයේ - කෘතියෙහි පසුබිම වනුයේ- භාරතීය භූ-සමාජීය පසුබිම යි. මෙය වර්තමාන සාහිත්‍යය සම්බන්ධ නිදසුනකින් දක්වතොත් ගම් පෙරළියෙහි චරිත වන පියල්, නන්දා, ජිනදාස, අනුලා, කයිසාරුවත්තේ මුහන්දිරම්, මාතර හාමිනේ, තිස්ස ආදීන් කිසි කලක ඒ නම්වලින් යුක්ත ව ජීවත් වූ සැබෑ මනුෂ්‍ය චරිත නො වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එහි පසුබිම වන විසි වන සියවසේ මුල් කාලයේ ලංකාව - විශේෂයෙන් දකුණු ලංකාව- මත ඒ චරිත හැසිරවීමට මාර්ටින් වික්‍රමසිංහ සමත් වූ ආකාරය පාඨකයා තුළ විශ්වසනීයත්වයක් ඇති කරයි. යට කී රාම, සීතා ආදි කල්පිත චරිත මුල් කොට ගත් රසවත් කතා පුවතක් අතීත භාරත සමාජය සම්බන්ධ කොට ගනිමින් ගෙතීමට වාල්මීකි හා සෙසු කවීන් සමත් වී ඇත්තේ ද ඒ ආකාරයෙනි. කවියා මේ කල්පිත චරිත භාරතීය පු‍රාණෝක්තීන්හි ඇතුළත් වන ඉක්ෂ්වාකු, මහා සම්මත, මන්ධාතෘ ආදි චරිත හා සම්බන්ධ කරනුයේ තත්කාලීන භාරත වාසියාගේ දෘෂ්ටිවාදයන්ට අනුකූල වන පරිද්දෙනි. නොඑසේ නම් ගතානුගතික භාරතීය සමාජයට මේ කාව්‍ය නිර්මාණය පිරිනැමීමට ඔහුට අපහසු වනු ඇත. රාමායණයේ මුල් කොටස් අනුව පෙනී යන්නේ වාල්මීකී විසින් රාම ආදීන් නිරූපණය කොට ඇත්තේ ඔවුන් තමන් ජීවත් වන කාලයෙහි ම ජීවත් වන චරිත පරිද්දෙනි. ඔවුන් වෙසෙනුයේ ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රකයේ දෙවන භාගය හා ක්‍රිස්තු වර්ෂ පළමු සහස්‍රකයේ මුල් භාගය ඇතුළත භාරතීය සමාජයේ -එනම් ඒ වන විට ජන විඥානයේ තැන්පත් ව ඇති සමාසන්න ඉතිහාසයෙහි- යැයි පෙනී යන පරිද්දෙන් කවියා සිය කෘතිය ගෙත්තම් කොට තිබේ. රාමායණයෙහි හමු වන විදේහ, අංග, වෛශාලී ආදි ස්ථාන නාම (නගර, ගංගා ආදිය) එදා රාමායණ කවියා දැන සිටි භාරතීය භූ-සමාජීය පසුතලයට අයත් වෙයි. ඒ සමඟ ම ඇතැම් කල්පිත ස්ථාන ද ගොඩ නඟා ගැනීමට කවියා කටයුතු කොට තිබේ. රාමායණයේ ලංකා යනු එවැනි තැනකි. එය කතාව විකාසනය සඳහා යොදා ගත් පසුබිමෙහි සඳහන් වන, භාරතීය නගර, ගංගා ආදිය මෙන් නිශ්චිතව හමු වන තැනක් නොවේ. එහෙත් පුද්ගල නාම සම්බන්ධයෙන් ඒ විශ්වසනීයත්වය කවියාට අවශ්‍ය නැත. ජනක, රාම ආදීන් යම් ආකාරයකින් භෘරතීය සමාජය හා ගැළපිය හැකි වුව ද එසේ ගැළපීමක් අවශ්‍ය නොවන 'රාවණා' චරිතයක් ගොඩ නඟන්නේ කවි අවශ්‍යතාව මත බව පෙනේ. නැවතත් නූතන සිංහල සාහිත්‍යයෙන් වැඩි දෙනා කියවා ඇති කෘති සම්බන්ධයෙන් උදාහරණයක් දක්වතොත් ගම් පෙරළියේ තිස්ස චරිතය දැක්විය හැකි ය. එය කලියුගය හා යුගාන්තය තෙක් දිවෙන්නකි. 1904 අප්රේල් මාසයේ සිංහල අවුරුද්ද ගැන කෙරෙන විස්තරයට අදාළ ව සලකන කල තිස්ස ඒ වන විට පාසල් යන අවුරුදු 10ක් වයසැති දරුවෙකි. කලියුගයේ දී පියල් හා නන්දා විවාහ වී කොළඹ පදිංචියට පැමිණීම සිදු වන්නේ ගම් පෙරළියේ හා කලියුගයේ අදාළ සිදුවීම් දැක්වෙන අන්දමට අඩුම තරමින් ගම්පෙරළිය ඇරඹෙන 1904 සිට වසර විස්සකට පමණ පසුව විය යුතු ය. කලියුගයේ දී නන්දාගේ හා පියල්ගේ දරුවන් වන ඇලන් හා නාලිකා උපදින්නේ එසේ කොළඹ පැමිණි පසු ව වන බැවින් ඒ 1925-30 පමණ කාලය සේ සැලකිය හැකි ය. නාලිකා හා සයිමන් කබලාන විවාහ වන්නේ පියල්ගේ මරණින් බසුව බව පෙනේ. දළ වසයෙන් එය 1958/60 පමණ සේ සැලකිය හැකි ය. ඔවුන්ගේ පුත් මාලින් එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලබා ආපසු පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 20-25 පමණ වන්නට ඇතැයි සැලකුවහොත් යුගාන්තය ඇරඹෙන්නේ 1980 මුල දී සේ සැලකීම යෝග්‍ය ය. මේ වන විට තිස්ස අවුරුදු 80 ඉක්මවූ අයෙකි. වික්‍රමසිංහ ඔහු හැට වයස් ඉක්මවූවකු බව කියයි. එහෙත් යුගාන්තයේ ඔහු නිරූපණය වන්නේ -තවත් අවුරුදු කීපයක් ඉදිරියේ දීත්- මාලින්, නාලිකා හා අරවින්ද ආදීන් සමඟ සමාන අදහස් ඇත්තකු පරි‍ද්දෙනි. එහෙත් යුගාන්තයේ තිස්සගේ චරිතය සම්බන්ධයෙන් පාඨකයාට අවිශ්වාසයක් ඇති වන බවක් වාර්තා නොවේ. වික්‍රමසිංහගේ අවශ්‍යතාව මේ රටේ සිදු වූ සමාජ පෙරළිය ප්‍රතිනිර්මාණය කිරීම යි. (මා දන්නා තරමින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කොට ඇත්තේ මහාචාර්ය සුරවීරයන් පමණි. එතුමා මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවල ශිල්පධර්ම පිළිබඳ ව ලියූ ශාස්ත්‍රී‍ය ලිපියක දී මේ කරුණු සාකච්ඡා කරයි. එතුමා පවසන්නේ සමාජ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කොට ගෙන එය ප්‍රතිනිර්මාණය කිරීමට යෑමේ දි වික්‍රමසිංහයන් ගණිත ප්‍රශ්න විසඳීමට උනන්දු නො වූ බව යි!) නූතන යථාර්ථවාදී ලේඛකයාට පවා චරිත නිර්මාණය සම්බන්ධයෙන් එවැනි නිදහසක් භුක්ති විඳිය හැකි නම් පැරණි කාව්‍ය සම්ප්‍රදාය අනුව වාල්මීකි භුක්ති විඳි නිදහස අපට වටහා ගත හැකි ය. රාවණාගේ චරිතය ද එවැන්නකි. වාල්මීකි සිය අරමුණ අනුව රාම චරිතයේ උතතරීතරභාවය හා සීතාගේ පාරිශුද්ධිය සම්බන්ධ හින්දු සංකල්ප වර්ණනා කිරීමට යෑමේ දී චරිතවල විශ්වසනීයත්වය ගැන උනන්දු වී නැත. 'රාවණා' නම් චරිතයක් ගොඩ නැ‍‍ඟ‍ෙනුයේ එපරිද්දෙන් බව සැලකුව මනා ය.

රාමායණයේ ඇති සාහිත්යික අගය නිසා එහි කතුවරයාට දිව්‍යමය සම්බන්ධයක් ආරෝපණය කොට තිබේ. ඒ අනුව වාල්මීකි රාමායණය ලියනුයේ මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙනි; ඔහුගේ මුවෙහි සරස්වතිය පහළ වෙයි. මෙයින් පෙනෙන්නේ රාමායණය විශිෂ්ට කාව්‍ය නිර්මාණයක් වසයෙන් ඇති පිළිගැනීමයි. කවියකු නිසා වාල්මීකිට (මෙන් ම 'වාල්මීකි' යනුවෙන් පෙනී සිටිමින් වරින් වර රාමයණය ගෙතූ කවීන්ට) විවිධ සංකේත භාවිත කිරීමේ හැකියාව තිබෙන බව පෙනේ. ජන කතාවල තිබූ චරිත කවියා වෙනස් ආකාරයෙන් නිරූපණය කරයි. රජු (=ජනක) යනු උත්පාදකයා ය. ඔහුගේ හී විටෙන් (නඟුල් දතෙන්) සීතා හෙවත් ''හී වැල" උපදියි. රාවණා විසින් සීතා පැහැරගෙන යනු ලැබීමෙන් සංකේතවත් කෙරෙන්නේ දැඩි නියඟයක් නිසා ගහකොළ වියළී යෑම යි. හනුමාන්ගේ වානර රංචුව මේඝය යි. මේඝය වර්ෂාව උපදවා වියළී ගිය ගහකොළට යළි ජීවය ගෙන දීම සීතා ගලවා ගැනීම යි. මේ සංස්කෘත භාෂාවත් කවි සමය හා අලංකාර ශාස්ත්‍රයත් දන්නා උගතුන් රාමායණයට අර්ථ දක්වා ඇති අයුරු යි. මෙය රසවත් කාව්‍යයකි. සාහිත්‍ය කෘතියක ඇත්තේ වචනාර්ථය පමණක් නොවේ. වචනයේ මුල් තේරුම ඉක්මවා ගිය අර්ථ දැක්වෙන පරිදි සාහිත්‍ය කෘතියක් වටහා ගත හැකි ය.

සාහිත්‍ය කෘතියක් කල්පිතයක් (ඇත්තක් සේ පෙනෙන්ට ගෙතූ කතාන්දරයක්) වුවත් එහි පසුබිමට යම් සත්‍ය කරුණු ඇතුළත් විය හැකිය. නවකතාව වැනි නූතන සාහිත්‍යයකදී නම් සත්‍ය ලෙස පෙනෙන චරිතවල ක්‍රියාකාරිත්වය ඇදහිය යැකි ආකාරයෙන් පෙන්වීම අපේක්ෂා කෙරෙයි. රාමායණය ආදි 'අද්භූත' කථා සම්ප්‍රදායට අනුව නම් කාලය දේශය ආදි ප්‍රකෘති සීමා ඉක්මවා යෑමේ බාධාවක් නැතත් සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය අනුව කවියකුට කාල, දේශ, ලෝක, සමය, කලාව, න්‍යාය ආදිය සම්බන්ධයෙන් පවත්නා සම්මත උඩු-යටිකුරු කළ නොහැකි ය. කෙසේ වුවත් රාමායණයේ ඇති පරිසර හා ස්ථාන වර්ණනා ඇසුරෙන් ඊට පදනම් වූ - එනම් කතා පුවත පිහිටුවා ඇති- කාලය දේශය හඳුනා ගත හැකි ය. මේ නිසා සාහිත්‍ය කෘතියක් අධ්‍යයනයෙන් සමාජ සංස්කෘතික තොරතුරු හැදෑරීමට මඟ පාදා ගත හැකිය. අද ලෝකයේ මේ ආකාරයෙන් සාහිත්‍යය අධ්‍යයනය කිරීම සිදු වෙයි. එහි දී සාහිත්‍ය කෘතියේ සැබෑ සමාජ-සංස්කෘතික පසුබිම එයට බැහැරින් එකතු කළ කවි කල්පිතවලින් වෙන් කොට හඳුනා ගැනීමට විවිධ විෂයන්ගෙන් සාධක අපේක්ෂා කෙරෙයි. රාමායණයේ නිරූපණය වන සමාජ තත්ත්වය හඳුනා ගැනීමට සාහිත්‍යය හා ඉතිහාසය හැදෑරූ උගතුන් ප්‍රයත්න දරා ඇත. ඒ රාමායණය පමණක් කියවීමෙන් නොව පුරාවිද්‍යාවෙන් හා සාහිත්‍යයෙන් ද ලබා ගත හැකි දත්ත ද එක්රැස් කිරීමෙනි. එයින් පැහැදිලි වී ඇත්තේ රාමායණයේ පසුබිම මුළුමනින් ම භාරතය බව යි. එහි ඇතුළත් ලංකාපුරය ද භාරතීය දේශයෙහි නගර හා මාලිගා ආදිය පදනම් කොට ගනිමින් නිර්මාණය කළ කල්පිත ප්‍රදේශයක් බව පැහැදිලි වී තිබේ.

රාමායණයේ දැක්වෙන ලංකාපුරය ලංකාව -වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යය - බව ඇතැම් පිරිසකගේ අදහස වී තිබේ. එහි ලා සලකා බැලෙන්නේ 'ලංකා' යන නාමය පමණකි. මෙහි දී සිදු වී ඇත්තේ 'ලංකා' යන්න මේ දිවයින හැඳින්වීමට යෙදුණු පරිද්දෙන් ම රාමායණයේ රාවණාගේ රාජධානිය හැඳින්වීමට ද යොදා තිබීම පමණි. ලංකාවේ සෙල් ලිපිවල ද 'ලංකාද්වීප', 'ලංකාතල' ආදි වසයෙන් මේ රට හඳුන්වා තිබේ. දීපවංසයේ හා මහාවංසයේ දිවයින සම්බන්ධ පූර්ව ඓතිහාසික තොරතුරු දැක්වීමේ දී මෙය 'ලංකා' නමින් හඳුන්වා ඇත. ඒ අනුව මේ දිවයින 'මනුෂ්‍යවාසයක් නොවේ'! මහාවංසයෙහි සඳහන් වන පරිදි විජය කුවේණිය හා ප්‍රථම සම්භෝග රාත්‍රිය ගත කරනුයේ සිරීසවත්ථුවෙහි ය; ඒ රාත්‍රියෙහි තූර්ය ශබ්ද නැත හොත් ගීත-වාදිත ශබ්ද ඇසුණේ ලංකාපුර වාසී කුමරියක ආවාහ කොට ගැනීමේ මංගලය පැවැත්වුණු ස්ථානයෙනි; කුවේණියගේ ආධාරයෙන් සිරීසවත්ථු මෙහෙයුම අවසන් කර කිහිප දිනක් එහි ගත කරන විජය හා පිරිවර තම්බපණ්ණියට පැමිණෙති. මේ අනුව ලංකාදීපයෙහි නගර තුනක් පැවති බව කියවෙයි.

මහාවංසයේ අරමුණ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගනිමින් ගොඩ නැඟුණු නව සංස්කෘතිය සම්බන්ධ ඉතිහාසය වාර්තා කිරීම බව ප්‍රකට ය. එමෙන් ම ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ අශෝකගේ දේශපාලන ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමෙන් අනතුරු ව ඇරඹුණු නව සංස්කෘතියට අනුගත ව ඉතිහාස පුවත් වාර්තාකරණය ඇරඹුණු බව ද නිගමනය කළ හැකි ය. අඩු ම තරමින් රජවරුන් සම්බන්ධ ක්‍රියාකාරකම් මුලින් ම එසේ වාර්තා කරන ලද තොරතුරු සේ සැලකීම අපහසු නොවේ. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි නිදසුනක් වන්නේ දුටුගැමුණු රජුගේ පින් පොත යි. රජුගේ අවසන් මොහොතෙහි එය කියවීම පැවරුණේ ද පින් පොත ලියන්නාට ම ය. මෙය රාජ්‍ය ලේඛන භාරකාර ධුරයක් වැන්නක් විය හැකි ය. මේ අන්දමින් බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ වූ පසු ව තොරතුරු විධිමත් වාර්තා කිරීම ඇරඹුණු බැවින් එය ඉතිහාසකරණයට ප්‍රයෝජනවත් වන්නට ඇති බව නිගමනය කළ හැකි ය. එවැනි වාර්තා නොමැති පූර්වාවධිය සම්බන්ධයෙන් සමකාලීන තොරතුරු අතීතයට ගළපා ලිවීම මෙන් ම ජනප්‍රවාදාගත තොරතුරු යොදා ගැනීම ද සිදු වන්නට ඇත.

දිවයිනේ ඉතිහාසයේ මුල් යුගය සම්බන්ධයෙන් වංස කථාවල ඇති තොරතුරු විශ්වාසදායක ඉතිහාස ලේඛනකරණය ඇරඹීමට පෙර වූ ජනප්‍රවාද ආදියෙන් හා කාව්‍යෝක්තීන්ගෙන් ගහන බැවින් මේ පුවත මුළුමනින් ම පිළිගත හැක්කක් නො වන බව ඉතිහාසඥයන්ගේ මතය යි. මෙයින් අපට ගත හැකි එක ම ප්‍රයෝජනවත් කරුණ නම් අතීතයේ දී මේ දිවයින හැඳින්වීමට 'ලංකා' යන්න යෙදුණු බව පමණි. වංස කථා රචකයන් රාමායණ ප්‍රවාදය දැන සිටි බවක් නම් එයින් කිසි සේත් ම ගම්‍ය නො වේ. විජය ප්‍රවාදය කිසි සේත් ම සත්‍යයක් සේ ගත නොහැකි ය. මහාවංසය ම පවසන පරිදි එය ලියවෙනුයේ කලින් තුබූ පොතපතෙහි වූ කරුණු ම අඩු-වැඩි කරමිනි. මේ පොතපත අතර සංක්ෂිප්තතාව, විස්තාරිතතාව හා පුනරුක්තිය යන දෝෂ සහිත ඒවා තිබුණු බව පවසන මහාවංස කතුවරයා එකී දෝෂ ඉවත් කරමින් අභිනව කෘතිය සම්පාදනය කරන බව පවසා ඇත. මේ කෘති අතුරෙහි නිශ්චිත නිවැරදි කරුණු ඇතුළත් ඒවා මෙන් ම වගකීමෙන් තොර ව ලියවුණු ඒවා ද තිබීමට අවකාස ඇති බව අමුතුවෙන් සිතා ගත යුත්තක් නො වේ. එමෙන් ම කරුණුවල නිරවද්‍යතාව සත්‍යේක්ෂණය කිරීමේ මාර්ගයක් මහාවංස කතුවරයා සතු වූ බවක් ද නො පෙනේ. ඒ හැරෙන්නට ලංකා දිවයින රාමායණය හා සම්බන්ධ කිරීමක් හෝ ලංකාධිපති රාවණ කෙනකුගේ සම්බන්ධයක් දැක්වීමක් හෝ වංස කථාවෙන් සිදු නො වේ.

භාෂා ශාස්ත්‍ර පරිහාණි සමයෙහි ලියවුණු, ජන සම්ප්‍රදායේ ලේඛනයක් වන රාජාවලිය ද විජය ශ්‍රී ලංකාද්වීපයට පැමිණි බව දක්වයි. සිරීසවත්ථු හා ලංකාපුර වෙනුව‍ට රාජාවලියේ දැක්වෙන්නේ ලග්ගල හා ලොග්ගල යන ස්ථාන නාම යි. යකුන් වැනසීමෙන් පසු විජය තම්මැන්නා නුවරට පැමිණෙයි. විජය ප්‍රවාදය හා ඍජු සම්බන්ධයක් රහිත ව රාවණා යන නාමය රාජාවලියෙහි දැක්වෙයි. ඒ විජයගෙන් පසු ව රජ පැමිණි සේ සලකන පඬුවස්දෙව් රජටු වැළඳුණු බව කියන දිවි දොස සමනය කිරීමේ පුවත සම්බන්ධයෙනි. එහි ද පැවසෙන්නේ ''එදාට මූද ශ්‍රී ලකට අතරතුර පළමු රාවණාගේ නුවර විය. රාවණාගේ අධර්මයෙන් රාවණාගේ කෝට්ටයත් මාලිගා පස් විස්සත් වීදි සාරලක්ෂයත් මූදට ගිලී ගියයි දැනගත යුතුයි" යනුවෙනි. මෙයින් පැහැදිලි වන එක ම කරුණ නම් රාජාවලිය ලියවුණු අවධිය වන විට රාවණා සම්බන්ධ ජනප්‍රවාදයක් කනිෂ්ඨ ලේඛකයන් අතර ප්‍රචලිත ව පැවති බව යි. රාජාවලියේ මේ කොටස දැක්වෙනුයේ පඬුවස්දෙව් රජුට වැලඳුණු බව කියන 'දිවි දොස' සුව කිරීමේ පුවතට අදාළ ව ය. 'දිවි දොස' සම්බන්ධ ප්‍රවාදය කෝට්ටේ රාජධානි සමයෙන් ඈතට දිවෙන්නක් නො වන බව මේ සම්බන්ධයෙන් විශේෂ අධ්යයනයන්හි නිරත වූ විද්වතුන් විසින් පැහැදිලි ව පෙන්වා දී තිබේ. කෝට්ටේ රාජධානි සමයේ රජ වාසල කටයුතු සඳහා ගෙන්වා ගැනුණු දකුණු ඉන්දියානුවන් මාර්ගයෙන් මේ ප්‍රවාදය සමාජයේ යම් ස්තරයක් අතරෙහි පැතිර යන්නට ඇතැයි සැලකිය හැකි ය. ශාන්තිකර්ම සඳහා ද ඔවුන් මුල් වන්නට ඇති බවත් එමඟින් ශාන්තිකර්ම සාහිත්‍යයට රාමායණයේ ඡායාව වැටීමත් සිදු විය හැකි ය. කෝට්ටේ යුගයේ මෙන් ම ඊට පෙර ද සිංහල උගතුන් රාමායණය දැන සිටි බවට ද සාධක හමු වෙයි. ඉංගිරිසි හටන කතුවරයා ද රාම-රාවණ යුද්ධය පිළිබඳ කතා පුවත දැන සිටියකු බව පෙනේ. සාහිත්‍යකරුවන්ට තමන් කියවා හෝ අසා හෝ ඇති පුවත්, පුරාණෝක්ති නව නිර්මාණ සඳහා පාදක වීම හෝ ඒවායෙහි බලපෑමක් නැත් නම් ආභාසයක් ලැබීම සිදු විය හැක්කකි. ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම් පොත, රාවණා රාජාවලිය ආදියට ද රාවණා ප්‍රවාදය පිවිසෙනුයේ මේ සමාජ පසුබිම මත බව නිගමනය කළ හැකි ය.

රාමායණයේ දැක්වෙන ලංකාපුරය පිහිටා ඇත්තේ ත්‍රිකූට නම් පර්වතය මස්තකයේ ය. ත්‍රිකූටය පිහිටා ඇත්තේ මහාමේරුව මස්තකයේ ය. (වාසුකී හා වායු භගවාන් අතර සටනේ දී ත්‍රිකූටය මුහුදට කඩා වැටුණු බව ද පුරාණෝකිතීන්හි දැක්වේ (මේ පර්වතය මලය යනුවෙන් ද හැඳින්වෙයි. මලය යන්න සංස්කෘතයෙහි පර්වත අරුතින් යෙදෙනේනකි. ඒ හේතුව මත ම පමණක් ලංකාපුරය පිහිටි පර්වතය නිශ්චය කිරීම අපහසු වෙයි). පුරාණෝකිත අනුව ත්‍රිකූටය මත ලංකාපුරය ගොඩ නංවන ලද්දේ විශ්වකර්මයා විසිනි. ඒ කුවේරයාගේ මාලිගය වසයෙනි. රාවණා විසින් මේ මාලිගය පැහැර ගනු ලැබ තිබේ. මේ මාලිගය නවරත්නයෙන් සෑදු බව ද ඒ වටා පරිවාර මාලිගා නවයක් එක් එක් ග්‍රහයාට නියමිත මාණික්‍යයෙන් නිම කළ බව ද කියනු ලැබේ. වෙනත් පුරාණෝක්තියකට අනුව ලංකාපුරයේ භූමිය වැල්ලෙන් තොර ය. ඊට හේතු වී ඇත්තේ ගරුඩයා අමෘතය සොයා යන ගමනේ දී ගොදුරු පිණිස වසා සිටි සියවක් යොදුන් දුරට අතුපතර විහිදුණු වෘක්ෂය උගේ බරට කඩා වැටුණු පසු ව ඒ වත පුරය ඉති කොට ඇති බැවිනි! මේ සියල්ලෙන් ම පැහැදිලි වනුයේ ලංකාපුරය හුදෙක් කවි කල්පිතයක් පමණක් බව යි.

රාමායණයෙහි දැක්වෙන සෙසු ස්ථාන නාම සියල්ල ම පාහේ ගැළපෙනුයේ භාරතීය භූ දර්ශනයට විනා මේ දිවයිනේ පරිසරයට නම් නො වේ. රාමායණය ලියවෙන කාලය වන විට භාරතය හා මේ දිවයින අතර සම්බන්ධතා වර්ධනය වී පැවතීම හේතුවෙන් රාවණ රාජධානිය සඳහා කතුවරයා මේ ඓශ්වර්යයෙන් යුත් දිවයින සඳහා යෙදුණු එක් නාමයක් භාවිත කළා විය හැකි ය. රාමායණය සම්පාදනය වන අවධිය වන විට මේ දිවයින හැඳින්වීමට 'සීහලද්වීප' යන්න හා එහි රූපාන්තර සුලබ ව භාවිත වූ බැවින් ලංකාපුර යන්න නිදහස් ලෙස භාවිතයට රාමායණ කතුවරයාට හැකි වන්නට ඇති බව සැලකීම යෝග්‍ය ය. එය කථා නායකයා වන රාම චරිතයට ගැළපෙන අන්දමේ ප්‍රතිනායක චරිතයක් ගොඩ නැංවීම අවශ්‍ය බැවින් කරන ලද්දක් සේ සැලකීම යෝග්‍ය ය. එහෙත් ලංකාවේ පිහිටීම හෝ නගර ගම් ආදි සමාජීය ලක්ෂණ හෝ භූ හා අනෙකුත් ස්වාභාවික සාධක හෝ පිළීබඳ ව කතුවරයාට නිරවුල් අවබෝධයක් තුබුණු බවක් නො පෙනේ. අනෙක් අතට, කල්පිත නගරයක් මවා පාමින් නූතන චරිත එහි ගෙන යාමට රයිඩර් හැගාර්ඩ්ට හා ඩබ්ලියු. ඒ. සිල්වාට තිබූ නිදහස ඊට ද වැඩියෙන් රාමායණය ලියූවන්ට තිබීම පිළිගත හැකි ය.


රාවණා නම් චරිතය හමු වන්නේ වාල්මීකි නම් කවියා ලියූ මේ රාමායණ නමැති කෘතියේ ය. රාවණා මේ ලංකාවේ -වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යයේ- වාසය කළ බවට කිසි ම සාධකයක් (සාහිත්ය හෝ පුරාවිද්‍යා හෝ ඉතිහාස හෝ) නැති බව මේ දිවයිනෙහි මෙතෙක් සිදු කරන ලද ගවේෂණවලින් පෙනී යන කරුණකි. ජන වහරෙහි ඇති රාවණ ඇල්ල, සීතාඑළිය, සීතාවක ආදි ස්ථාන නාම රාවණා වෘත්තාන්තය හා ගැළපීමේ ප්‍රයත්නයක් දැකිය හැකි ය. භාෂාමය පාර්ශ්වයෙන් මේ ප්‍රශ්නය විමසන කල පෙනී යන්නේ 'රාජකුල' යන්න 'රද්කොල්' > 'රදොල්' > 'රදල' යනුවෙන් බිඳී ඒම සිදු වන ආකාරයෙන් 'ප්‍රධාන වනය' නැත හොත් 'රජුට අයිති වන ප්‍රදේශය' යන අර්ථ දෙන 'රාජ වන' යන්න 'රාවන' යනුවෙන් බිඳී ඒමට හැකි බව යි. 'රාජ වන' යන්න 'රාවන' වූමෙන් අනතුරු ව එය ලේඛනගත කිරීමේ දී 'ර' කාරයෙන් පසුව යෙදෙන 'න' කාරය මූර්ධජත්වයට පත් වීමේ රීතිය දන්නා යමකු විසින් එය 'රාවණ' යනුවෙන් සකසා ගැනීම සිදු වන්නට ඇතැයි සැලකීම යෝග්‍ය ය. 'සීතා' යනුවෙන් යෙදෙනුයේ 'සීත' යන්නෙහි සුඛෝච්චාරණීය රූපයක් සේ සැලකිය හැකි ය. මේ ස්ථාන නාමවලට මෑත කාලයේ 'රාවණා' හා 'සීතා' යන නාම ඈඳා ගැනීම සිදු වූ බව පෙනේ. 'කුඩා රාවණා කොටුව' හා 'මහා රාවණා කොටුව' යනුවෙන් හැඳින්වෙන ප්‍රදීපාගාරවලට ඒ නම් යෙදීම මෑත කාලයේ රාමායණය සම්බන්ධ දැනුමක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයන් අතින් සිදු වූවක් බව පෙනේ.

රාවණා විසූ බව කියන කාලය සම්බනධයෙන් ද කිසිවකු අතර නිශ්චිත මතයක් ඇති බවක් නොපෙනේ. ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම් පොතට අනුව රාවණා වාසය කොට ඇත්තේ යුග සතරෙන් එක් යුගයකය. මේ යුග දැක්වීම මිථ්‍යා මතික වූවක් පමණි. කුරුණෑගල් විස්තරය නමැති චූල සාහිත්‍ය ලේඛනයට අනුව රාවණා කාශ්‍යප බුදුන් දවස විසූවෙකි. ගෞතම බුදුන් හැරෙන්නට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන සෙසු බුදුවරුන් ඓතිහාසික චරිත වසයෙන් සැලකීමට සාධක ලැබී නොමැති බව ද කිව යුතු වෙයි. රාජාවලියට අනුව රාවණා වාසය කොට ඇත්තේ ''අප බුදුන් බුදු වන්ඩ පළමුව.. එක්දාස් අටසිය සූසාළිස් අවුරුද්දක්" කාලයට පෙර ය.

රාවණාගේ මාලිගය ඉදි කොට තිබුණේ මේ දිවයිනෙහි නම්, පුරාවිද්‍යා ගවේෂණ කිසිවකින් ‍මේ දිවයිනෙහි මානව ක්‍රියාකාරකම් සම්බන්ධ සාධක හමු වන අදින් වසර 30000කට පූර්ව කාලයෙහි පටන් රාවණා කාලය මෑත ඉතිහාස අවධියට ආසන්න වසයෙන් සම්බන්ධ කොට දක්වන බුදුන් වහන්සේගේ කාලයෙන් වසර 1844කට පෙර කාලය තෙක් වකවනුවලට සම්බන්ධ රාවණා රාජධානියක් පිළිබඳ කිසිදු විශ්වාසදායක හෝ අනුමාන වසයෙන් දැක්විය හැකි හෝ සාධකයක් අනාවරණය වී නොමැත. දිවයිනේ ආදි ම අභිලේඛන වන, ක්‍රි.පූ 3/2 සියවස්හි පටන් ක්‍රිස්තු වර්ෂාරම්භය තෙක් කාලයකට අයත් බවට සැලකෙන, සංඛ්‍යාවෙන් 1300ක් පමණ වන, මේ වන තෙක් හමු වී ඇති බ්‍රාහ්මී අකුරින් ලියවුණු ප්‍රාකෘත ලේඛනවලින් ද රාවණ යන නාම මාත්‍රය හෝ හමු වී නොමැති බව තිර කොට පැවසිය හැකි ය. එසේ ද වුව මේ සෙල් ලිපිවලින් දිවයිනේ බුදුසමයේ ව්‍යාප්තිය සම්බන්ධ මහාවංසාගත ප්‍රවාදය සනාථ කෙරෙන ස්ථිර සාධක නම් හමු වී තිබේ. ආදි බ්‍රාහ්මී ලේඛන සම්බන්ධ පුරාක්ෂරරූපවිද්‍යාත්මක ඥානය හෝ සිංහල ප්‍රාකෘතය ප්‍රමුඛ පුරාතන හා මධ්‍ය ඉන්දු-ආර්ය භාෂා සම්බන්ධ අවබෝධය හෝ නොමැති පුද්ගලයන් මේ ලිපි අතුරින් කිහිපයක අක්ෂර රූප වෙනස් කරමින් ද ප්‍රාකෘත වචනවලට සාවද්‍ය හා පදනම් විරහිත අර්ථ දක්වමින් ද මේවායෙහි රාවණා වෘත්තාන්තය සම්බන්ධ පුද්ගල නාම (රාවණ, කුම්භකර්ණ ආදිය) මෙන් ම ඒ සම්බන්ධ යැයි සැලකෙන වෙන් කරුණු (නිදසුනක් වසයෙන් 'බ්‍රාහ්මණ' යන අරුත් දෙන 'බමණ' යන සිංහල ප්‍රාකෘත රූපය රාවණගේ පුෂ්පක රථය හැඳින්වීම සඳහා තනා ගත් 'බිමන' යන කල්පිත රූපය සේ පෙන්වමින් කරන සාවද්‍ය අර්ථකථන) දක්වන අවස්ථා හමු වෙයි. මේවා ශාස්ත්‍රීය අර්ථකථන නොව වංචක ප්‍රයත්න බව පැවසිය යුතු වෙයි. මේවා හැඳන්විය යුත්තේ 'ව්‍යාජ පුරාවිද්‍යාව' වසයෙනි.

සුප්‍රකට සීගිරි නගරය හා එහි අවශේෂ ඊනියා රාවණ රාජධානියක් හා සම්බන්ධකොට දැක්වීමේ 'ව්‍යාජ පුරාවිද්‍යාත්මක' ප්‍රයක්නයක් ද දැකිය හැකි ය. කිසිදු ඉතිහාසඥයෙකු සීගිරි නගර නිර්මාණය සම්බන්ධයෙන් වංස කථාව දක්වන කරුණ සත්‍ය්‍ය ඉක්මවා යෑමක් ලෙස සලකා නැත. වංස කථාව සීගිරියේ ‍ඓශ්වර්යය අලංකාරෝක්තියකින් දක්වමින් එය ''කුවේරයාගේ දෙවනආලකමන්දාවක් වැනි" යැයි පවසයි. මේ අලංකාරෝක්තිය යාපහු රාජධානිය සම්බන්ධයෙන් ද යොදා තිබෙන්නකි. මහාවංසය ලියවුණු කාව්‍ය මාර්ගය අනුව එහි රචකයාට මෙවැනි අලංකාර භාවිතයට අවකාස පැවති බව සත්‍යයකි. මෙය පදනම් කොට ගනිමින් සීගිරිය රාවණා රාජධානිය යනුවෙන් විකෘති ඉතිහාසයක් ගොඩ නැඟීමට ඇතැම් පිරිස් උත්සුක වන ආකාරය දැක ගත හැකි වෙයි. සීගිරිය සම්බන්ධයෙන් අධ්‍යයනයේ දී වංස කථාවට ද වඩා විශ්වාස දායක මූලාශ්‍රයනක් වසයෙන් සීගිරි කුරුටු ගී සැලකිය හැකි ය. ඒවා සීගිරි නගර නිර්මාණයට ආසන්න පශ්චාත්කාලීන ලේඛන බව පුරාක්ෂරරූපවිද්‍යාත්මක හා වාග්විද්‍යාත්මක සාධක මත තහවුරු වී තිබේ. සීගිරි කුරුටු ගී රචකයන් සීගිරිය සම්බන්ධයෙන් දක්වන අදහස්වල ගැබ් වන්නේ කාශ්‍යප වෘත්තාන්තය සනාථ කෙරෙන ප්‍රකාශ පමණි. මෙතෙක් කියවා ප්‍රකාශයට පත් කොට ඇති කිසිදු සීගිරි කුරුටු ලිපියක් රාවණා හෝ රාමායණ ප්‍රවාදය හෝ සම්බන්ධ කිසිදු කරුණකට ඉඟියකුදු සපයා නොමැත. සීගිරි භූමියෙන් හමු වන පුරාවස්තුවලින් ද පෙනී යන්නේ පූර්වයෙහි ලෙන් විහාරයක් වූ එය අනුරාධපුර රාජධානි සමයේ අන්තර්ජාතික වාණිජ හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ව පැවති බවත් ඊට පසු නැවතත් ආගමික මධ්‍යස්ථානයක් බවට පත් වූ ආකාරයත් පමණි.

'ඉසුරුමුණි පෙම් යුවළ' යනුවෙන් නම් කෙරෙන, මහායාන බෝධිසත්ත්ව හා ශක්තී නිරූපිත මූර්ති නිර්මාණය ද රාවණා කතාව හා සම්බන්ධ කිරීමේ වෑ‍යමක් දැකිය හැකි ය. මේ සම්බන්ධයෙන් කලාවිචාරකයන් විසින් ප්‍රතිමා නිර්මාණ මූලධර්ම මත පදනම් වෙමින් කර ඇති විග්‍රහවලින් පෙනී යන්නේ එයකිසි සේත් ම රාවණ ප්‍රවාදයට සම්බන්ධ කළ නො හැකි බව යි.

යම් ආකාරයකින් එරාවණා ලක්දිව විසය කෙළේ නම්, ඉහතින් දක්වන ලද නිදසුන අනුව රාවණා සංස්කෘත භාෂකයකු විය යුතු ය. සංස්කෘත ඉන්දියාවෙහි වර්ධනය වීඹ සම්බන්ධ ප්‍රශස්ථ අධ්‍යයන ගණනාවකි. එවායින් පැවසෙන්නේ එහි ප්‍රභව කාලය ක්‍රිස්තු පූර්ව සවන සියවසින් ඈතට නො යන බවකි. එහි පූර්ව අවධිය වන වෛදික සංස්කෘතය ද ක්‍රි.පූත දෙවන සියවසේ මධ්‍ය භාගයෙන ඈතට දිවෙන්නක් නො වේ. දැනට පවත්නා පුරාවිද්‍යා සාධක අනුව දිවයිනට ආර්ය භාෂක සාංක්‍රමණිකයන්ගේ පැමිණීම කි.පූ.7/6 සියවස් තරම් ඈ.තට ගෙන යා හැකි වෙයි. එහෙත් එය සාංක්‍රමණික හෝ වාණිජ අවශ්‍යතා හෝ සඳහා පැමිණීමක් පමණි. මේ සාංක්‍රමණිකයන් දිවයිනේ ජනපද පිහිටුවීම ආරම්භය ද ඒ සමාසන්න කාලයෙහි පටන් ම සිදු වන්නට ඇතැයි සැලකීම අසීරු නො වේ. ඉන්දියානු භාෂා සම්බන්ධ සමාජීය සාධක අනුව සංස්කෘතය ආගමික හා සාහිත්යික භාෂාව වූ අතර බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රමණ සම්ප්‍රදායේ ද සාමාන්‍ය ජනයාගේ ද භාෂාව වී ඇත්තේ ප්‍රාකෘත උපභාෂා ය. දිවයිනේ භාෂා විකාසනය සම්බන්ධයෙන් සලකන කල පෙනී යන්නේ සිංහල භාෂාවට පදනම වැටී ඇත්තේ මුල් භූමියෙහි විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජන කොටස් විසින් වහරන ලද ප්‍රාකෘත විශේෂයන්ගේ සම්මිශ්‍රණයකින් විනා සංස්කෘතයේ විපරිණෘමයෙන් නො වන බව ය. මෙය ද රාවණා මේ දිවයිනේ වාසය නොකළ බවට සාධකයකි.

මේ සියලු කරුණුවලින් සනාථ වන්නේ රාමායණය කල්පිත ප්‍රබන්ධයක් බවත් එහි දැක්වෙන ලංකාපුරය මේ දිවයිනට සම කළ හැක්කේ නාමික වසයෙන් පමණක් බවත් එහි හමු වන චරිත සත්‍ය වසයෙන් ජීවත් වූ චරිත නොව කවියකුගේ මනසෙහි පහළ වුණු මනස් පුතුන් පමණක් බවත් ය.

No comments:

Post a Comment

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*