2020-04-04

ලෝක භාෂා අතර සිංහල භාෂාව ස්ථානගත කිරීම හා සිංහලයේ භාෂා ඥාති සම්බන්ධතා විමර්ශනය - යළි සලකා බැලීමක්


මහාචාර්ය රත්නසිරි අරංගල


සම්මත භාෂා වර්ගීකරණ ක්‍රම අනුව සිංහල භාෂාව ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ශතම් ශාඛාවේ ඉන්දු-ඉරාණීය ගණයේ ඉන්දු-ආර්ය හෙවත් ඉන්දික උපගණයට අයත් ය යන්න මේ වන විට තහවුරු වූ මතය වෙයි. සිංහලය ඉන්දු-ආර්ය ගණයට අයත් භාෂාවකි යි පිළිගත් උගතුන් අතර ද එයට පදනම වැටුණේ ඉන්දු දේශයේ නැඟෙනහිරි දිග ව්‍යවහාර වූ ප්‍රාකෘත භාෂාවක විපරිණාමයෙන් ද නැති නම් එහි මූලය ඉන්දු දේශයේ බටහිරි දිග භාෂාවක් ද යන ප්‍රශ්නය විවාදයට තුඬු දුන්නක් විය. සිංහල භාෂාවෙන් ලිඛිත, මෙතෙක් ලැබී ඇති ආදිතම නිදර්ශනයන්හි භාෂා ස්වරූපය මෙන් ම ලක්දිව ජනාවාස කිරීම හා සම්බන්ධ ඓතිහාසික වාර්තා හා පුරාවෘත්ත ද නැඟෙනහිරි-බටහිරි සම්මිශ්‍රණයකට ඉඟි කිරීම මේ මත භේදයට හේතු වූ බව පෙනේ (බලගල්ලේ (1992) 2014 37-43; (1996) 2016 56-61).
[ප්‍රභවාත්මක සම්බන්ධතා අනුව භාෂා වර්ගීකරණයේ දී සැලකෙනුයේ යම් භාෂා කිහිපයක් පොදු මූල භාෂාවකින් සම්භව වී ක්‍රමයෙන් සකස් ව වෙනස් වෙනස් භාෂා බවට පත් ව වර්ධනය වී ඇති ආකාරය ය (Voeglin and Voeglin, 1975: 663). මේ වර්ගීකරණය පුරාතන ලේඛන වසයෙන් දක්නට ලැඛෙන භාෂා සම්බන්ධයෙන් මෙන් ම ප්‍රාතඃ භාෂා (proto languages) නමින් හැඳින්වෙන, කල්පිත වසයෙන් ගොඩ නඟන ලද භාෂා (උදා ඉන්දු-යුරෝපීය මූල භාෂාව) සම්බන්ධයෙන් ද යොදා ගනු ලැබේ (Voeglin and Voeglin, 1975: 662-663).]
පසුගිය සියවසකට අධික කාලයක් තිස්සේ දිවයිනේ භාෂාමය විස්තෘතිය පිළිබඳ අධ්‍යයන සිදු කෙරුණේ එහි ආදි ම සීමාව ක්‍රි.පූ. 5-4 සියවස් කාලය සේ සලකමිනි. ඒ සම්බන්ධයෙනුදු වැඩි අවධානයක් යොමු කෙරුණේ වංස කථාගත හා පුරාවෘත්තාගත සාධක කෙරෙහි පමණක් බව පෙනේ. එසේ ද වුව ක්‍රි.පූ. පස් වන සියවසට පූර්ව කාලයෙහි දිවයිනේ ජනාවාස ව්‍යාප්තිය සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක කෙරෙහි අවධානය යොමු කිරීම දිවයිනේ භාෂා විස්තෘතිය පිළිබඳ නිරවුල් අධ්‍යයනයකට මඟ පාදන බව පෙන්වා දිය හැකි ය. 'නූතන මානවයා' නැඟෙනහිර ආසියා, නිව්ගිනියා හා ඕස්ට්රේලියා ප්‍රදේශ කරා සංක්‍රමණය වූ මාර්ගය බටහිර ආසියාව හා ඉන්දියාව ඔස්සේ වැටී තිබුණු බව පිළිගැනේ. ඒ සංක්‍රමණ ධාරාවලින් සමහරක් නැඟෙනහිර දෙසට විස්ථාපනය නො වී එම මාර්ගයෙහි තැනින් තැන නතර වූ සේ සැලකිය හැකි වෙයි. නැඟෙනහිර ආසියාවෙන් හමු වන පැරණි ම මානව අවශේෂ සේ සැලකෙන චීනයේ Zhoukoudian ඉහළ ලෙනෙන් හමු වුණු සාධක අදින් වසර 30,000ක් පැරණි යැයි පිළිගැනේ (Foley 1998(342). ආසියාවෙන් හමු වන පුරාණතම මානව අවශේෂ වනුයේ ශ්‍රී ලංකාවේ 'පාහියන් ලෙන' යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙන් හමු වී ඇති මානව ඇටසැකිලි කොටස් ය: ඒවා අදින් වසර 34,000ක් පැරණි නිර්ණය කොට ඇත (Deraniyagala 1998:277-285). කුරුවිට බටදොඹ ලෙනෙන් හමු වූ මානව අවශේෂ 28,500-11,500 කාලයට ද කිතුල්ගල ඛෙලි ලෙනෙන් හමු වූ ඒවා 27,000-3,500 කාලයට ද කෑගල්ල ප්‍රදේශයේ අත්තනගොඩ අලූ ලෙනෙන් හමු වූ අවශේෂ 10,500 කාලයට හා ඇඹිලිපිටිය ආසන්නයේ ඛෙල්ලන්බැඳිපැලැස්ස නමි ම් ස්ථානයෙන් හමු වූ අවශේෂ අදින වසර 6,500 කාලයට ද දින නියම කරනු ලැබ ඇත (Deraniyagala 1998:278). ඒ අනුව සම්මත ජනාවාස පිහිටුවීමට පෙර වසර 25,000කටත් එහා අතීතයක පටන් මේ දිවයින නූතන මානවයාගේ වාසභූමියක් ව තිබූ බව පිළිගත යුතු වෙයි.
මේ දිවයිනේ ආදිවාසීන් ලෙස වර්තමානයෙහි පිළිගැනෙනුයේ වැදි ජනයා යි. අද වන විට ඔවුහු දිවයිනේ මධ්‍යම හා ගිනිකොන ප්‍රදේශයන්හි කුඩා ජනාවාසවලට සීමා වී සිටිති. ඔවුන් සාම්ප්‍රදායික දඩයක්කාර-එක්රැස් කරන්නනගේ ජීවන රටාවෙන් මිදී කෘෂිකාර්මික-වාණිජ ජීවන රටාවකට අනුගත වෙමින් 'සිංහලීකරණය' වෙමින් පවතින ආකාරය දැක ගත හැකි වෙයි. වැදි ජනයාගේ 'ආදිතමයන්'ගේ උන්හිටි තැන් නැති වීමේ මූලාරම්භය ක්‍රිස්තු පූර්ව ප්‍රථම සහස්‍රකයේ මධ්‍ය භාගයෙහි පමණ ඇරඹුණු බව නිගමනය කළ හැකි ය. ඔවුන් ඒ වන විට දඩයක්කාර එක්රැස් කරන්නනගේ මට්ටමෙන් ඉහළ ශිෂ්ටාචාර මට්ටමක පසු වූ බව ද අනුමාන කිරීම අයෝග්‍ය නොවේ. වංස කථාවෙහි දැක්වෙන පරිදි සාංක්‍රමණික උතුරු ඉන්දියානුවන් විසින් සංහාරයකට ලක් කොට මුල් බිම්වලින් පලවා හළ බැවින් (ම.ව. VII'3¦59-68) ඔවුන්ට ශිෂ්ටාචාරයේ ආපසු ගමනක් කරා යොමු වන්නට සිදු වී යැයි සැලකිය හැකි වෙයි. උතුරු ඉන්දියානු සාංක්‍රමණිකයන් එම 'මුල්-ආදිවාසීන්'ට වඩා 'සංවෘද්ධ ශිෂ්ටාචාර මට්ටමක' පසු වීම හේතුවෙන් පසු බැසීම හැර අන් මාර්ගයක් ඔවුන්ට ඉතිරි නො වන්නට ඇත. ඒ අනුව දිවයිනට නව ශිෂ්ටාචාරයක් උදා වීමට ඉඩ දෙමින් ඔවුන් වනගත වූ බව පිළිගත හැකි ය.
ලක්දිව පැරණි ම වංස කථා වසයෙන් ඉතිරි ව පවත්නා දීපවංසය හා මහාවංසය වාර්තා කරන පරිදි මේ දිවයිනේ පරම්පරාගත ඉතිහාසය පටන් ගන්නේ 'විජය' නමැති රාජකීයයකුගෙනි. මේ වාර්තා ලේඛනගත කෙරුණේ සහස්‍ර වර්ෂාසන්න කාලයක් තුළ ඒවා මුඛ පරම්පරාගත ව පැවතීමෙන් අනතුරු ව ය. ''මුල් කාලයේ ඉතිහාසය ජනප්‍රවාද සමඟ කොතරම් දුරට මිශ්‍ර වී තිබේ ද යත හොත්, විජය කුමරු පිළිබඳ කථාව හුදු ජනප්‍රවාදයක් ද, නැද්ද යන්න නිසැක ලෙස දැන ගැනීමට පවා අපි පොහොසත් නො වෙමු. දැනට තිඛෙන ආකාරයෙන් ම සැලකුව ද, ඒවා විහාරවල ඇති වූ කථා ය යි සැලකීමට ඉඩක් නැත" (පෙරේරා 1964: 96). එහෙත් ''මේ පාරම්පරික කථාව ඓතිහාසික සත්‍යයක් වශයෙන් නම් කිසි සේත් විශ්වාස නො කළ හැක්කක් වුව ද එයින් වැදගත් කරුණු උපුටා ගත හැකි ය'' (බෂාම් 1962: 59). දීපවංසය විජය පිළිබඳ කථාව ඇතුළත් පැරණි ම කෘතිය යි. එහි මේ පුවත දැක්වෙනුයේ ලුහුඬිනි. කුවේණිය පිළිබඳ සිදුවීම් ද මධුරාවෙන් කුමරියක ගෙන්වා ගැනීම ද එහි ඇතුළත් නො වේ. එහෙත් මේ විජයාගමන කථාව මහාවංසයේ පරිච්ඡේද දෙකකින් විස්තර කෙරේ. වඩාත් නූතන යුගයට අයත් චූල සම්ප්‍රදායයේ සාහිත්‍ය කෘතියක් වන රාජාවලිය මේ සම්බන්ධ වැඩිපුර කරුණු කිහිපයක් ද ප්‍රකාශ කරයි (පෙරේරා 1964: 96).
උතුරු ඉන්දියානු සාංක්‍රමණිකයන් විසින් මේ දිවයින ජනාවාස කිරීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රචලිත ප්‍රවාදය වනුයේ ඉහත සඳහන් කෙරුණු විජය පුරාවෘත්තය වුව ද ඒ සම්බන්ධ විකල්ප ප්‍රවාදයක් ද වෙනත් මූලාශ්‍රයයන්ගෙන් හමු වෙයි. උක්ත විජය ප්‍රවාදය ථේරවාදී භික්ෂූන්ගේ හා රාජකීයයන්ගේ ආගමික දෘෂ්ටිවාදයට හා ඓතිහාසික උරුමයට අනුකූල එකක් වන අතර විකල්ප ප්‍රවාදය මහායානිකයන්ගේ හා වෙළෙඳුන්ගේ දෘෂ්ටිවාදයට හා සමාජ-සංස්කෘතික සම්බන්ධතාවලට ගැළපෙන්නක් වන බව පැවසිය හැකි ය. එහි ලා දැක්වෙනුයේ දිවයින ජනාවාස කිරීමට මුල් වූ ආදි පුරුෂයා 'සිංහල' නමින් හැඳින්වූවකු බව යි. මේ සම්බන්ධ ප්‍රවාදය ලේඛන මූලාශ්‍රයාගත ව මෙන් ම බිතුසිතුවම් මූලාශ්‍රයාගත ව ද පවතී. සිංහල වාණිජ ප්‍රවාදය මහායාන ශාඛාවක් වන මූලසර්වාස්තිවාදීන්ගේ විනය ග්‍රන්ථය සේ සැලකෙන දිව්‍යාවදානයෙහි ඇතුළත් වෙයි (The Divyavadana 1886: 523-528). ක්‍රි. ව. 4-6 සියවස් අතර කාලයට අයත් සේ සැලකෙන අජන්තා ලෙන් විහාර චිත්‍ර අතර ද සිංහලගේ ලංකාගමනය සිතුවම් කර තිබේ (Spink 2006: 233). අජන්තාවේ මේ අවධිය මහායාන සම්ප්‍රදායට අයත් සේ සැලකෙන බැවින් සිංහල නම් වෙළෙඳා සම්බන්ධ ප්‍රවාදය මහායානිකයන් අතර ප්‍රචලිත ව පැවති බව නිගමනය කිරීම අසීරු නො වේ.
චීන දේශාටක භික්ෂු හියුංත්සාන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙහි මේ ප්‍රවාද දෙක ම ඇතුළත් ව තිඛෙන බැවින් ලක්දිව නව ශිෂ්ටාචාරය පිහිටුවීම සම්බන්ධ ථේරවාදී-රාජකීය ප්‍රවාදය හා මහායාන-වෙළෙඳ ප්‍රවාදය යන මේ ප්‍රවාද දෙක ම ක්‍රි.ව. සත් වන සියවස පමණ වන විට භාරතයෙහි ප්‍රචලිත ව පැවති බව නිගමනය කළ හැකි ය. මේ ප්‍රවාද දෙකින් දිවයින ජනාවාස කිරීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන ව පැවති ඓතිහාසික මතකය නිරූපණය කෙරෙන බවත් ඉන් එකක් ථේරවාදී භික්ෂූන්ගේ හා රාජකීයයන්ගේ මූලිකත්වයෙන් පවත්වා ගෙන ආ එකක් වන අතර අනික මහායාන භික්ෂූන්ගේ හා ඔවුන්ගේ අනුගාමික-අනුග්‍රාහකයන්ගේ මූලිකත්වයෙන් පවත්වා ගෙන ආ එකක් බව සැලකීම යෝග්‍ය ය. මේ ප්‍රවාද දෙක තුලනාත්මක ව විමසීමේ දී පෙනී යන්නේ මේ දිවයින ජනාවාස කිරීම සිදු වී ඇත්තේ ඉන්දු උපමහාද්වීපයෙහි සිට වරින් වර මෙරටට පැමිණි ජන කණ්ඩායම් මාර්ගයෙන් බවත් ඉහත ප්‍රවාද දෙකින් පෙනී යන පරිදි ඔවුන් විවිධ සමාජ-සංස්කෘතික ස්තර නියෝජනය කරන්නවුන් සේ හඳුනා ගත හැකි බවත් ය.
චීන දේශාටක ෆාහියන් හිමියන් ද මේ දිවයිනට පැමිණි වෙළෙඳුන් හා සම්බන්ධ ප්‍රවාදයක් ගෙන හැර දක්වා ඇත. එනම් ''පළමු කොට මෙහි මනුෂ්‍ය වාසයක් නො වී ය. යක්ෂයෝත් නාගයෝත් -(Spirits and Nagas)- පමණක් වාසය කළහ. පිට රටවල වෙළෙන්දෝ වෙළෙඳාම සඳහා මෙහි පැමිණෙති. ඔවුන් පැමිණි කල යක්ෂයෝ -(Spirits)- ඔවුන්ට පෙනී නො සිටින නමුත් මිල සලකුණු කරන ලද දුර්ලභ වෙළෙඳ බඩු සූදානම් කොට තබති. වෙළෙන්දෝ එසේ දක්වා ඇති මිල ගණන්වලට එකඟ ව මිල ගෙවා බඩු රැගෙන යති." ලොව ආදි ම ලේඛන සේ සැලකෙන මෙසපොටේමියානු ලේඛන වෙළෙඳ බඩු සම්බන්ධ තොරතුරු කල් තබා ගැනීමට යොදා ගත් සලකුණු බවට ඇති මතය හා මෙය සසඳනු වටී. මාන්තායිවලින් හමු වන ආදිතම සාධක ක්‍රි.පූ. දෙවන සියවසට අයත් සේ සැලකෙයි. ක්‍රි.පූ. දෙවන සියවසින් පූර්වයෙහි ද මෙය ප්‍රධාන වාණිජ තීර්ථයක් ව පැවති බව පිළිගත හැකි ය. ෆාහියන් හිමියන් දක්වා ඇත්තේ මෙවැනි තොටමුණුවල පැවති පැරණි තත්ත්වයක් විය යුතු ය. මේ යක්ෂයන් හා නාගයන් අතුරෙහි ප්‍රාග්-ද්‍රාවිඪ, ඉරාණීය, ඔස්ට්රෝ-ඒශියාටික, ඔස්ට්රොනීශියන් භාෂක ජන කොටස් සිටිය හැකි ය (Wijesekera 1987: 60-68; විජේසේකර, 1964: 28-34 පිටු).
විජය ප්‍රවාදය හා සම්බන්ධ ස්ථාන නාම සැලකීමේ දී සිංහල ජනයාගේ ආදිතමයන්ගේ සම්භව දේශය සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් උදා වෙයි. වංස කථාවල එන සිංහබාහු වෘත්තාන්තයෙහි කථා නායිකාව දැක්වෙනුයේ වංග (වගු) රජුගේ දියණියන් වසයෙනි. 'වංග' යන්න ඛෙංගාල/බාංග්ලා යන්නෙහි රූපාකාරයක් බව පෙනේ. ඒ අනුව වංග දේශය වූ කලි ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයේ වත්තමාන බංග්ලා දේශය හා බටහිර ඛෙංගාලය යන භූ-දේශපාලන ඒකකවලින් නියෝජනය වන ප්‍රදේශය සේ සැලකිය හැකි ය (^https://www.britannica.com/place/West-Bengal #ref486986&. ඇයගේ මව, එනම් වගු රජ මෙහෙසිය කලිඟු රජ දුවකි. කාලිංගය වර්තමාන ඔරිස්සා ප්‍රදේශය යැයි සැලකේ (Majumdar 1996: 1). වගු රජුගේ හා කලිඟු රජ දුවගේ දියණියන් වූ "ඉතා රූමත් වූ ද අතිශයින් කාමයෙහි ගිජු වූ ද" රාජ කන්‍යාව "ස්වච්ඡන්ද වෘත්ති සුව කැමැත්තෙන්" රජ මැඳුරෙන් පිටත් ව "මගධ රට බලා යන වෙළෙඳ සමූහයකට" එක් වෙයි (ම.ව.VI). මගධ දේශය වර්තමාන බිහාර් ප්‍රදේශය යි (Majumdar 1977). සිංහබාහු සිය නැඟණියන් වූ සිංහ සීවලිය අග මෙහෙසුන් කොට ගෙන රාජ්‍යය කරනුයේ ලාළ/ලාට රට සිංහපුරයෙහි වෙසෙමිනි. ලාළ/ ලාට/රාට යනු විකල්ප රූප සේ සැලකේ. ක්‍රි.ව. සත් වන සියවස පමණ කාලයනට අයත් මූලාශ්‍රය අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි රාට නම් ප්‍රදේශයක් වෙයි; ලාට යනු ගුජරාට ප්‍රාන්තයෙහි මධ්‍ය ප්‍රදේශය යැයි ද මතයකි (Sharma 1978: 218). සිංහබාහු-සිංහසීවලී දෙපළගේ පුත් වූ විජය ප්‍රමුඛ පිරිසෙහි විසමාචාර හේතුවෙන් ඔවුන් පිටුවාහල් කළ කල්හි ඔවුන් රැගත් නැව සුප්පාරක නම් පටුනට පැමිණෙයි. එහි දී ද නොපනත්කම්හි යෙදීම හේතුවෙන් ඔවුන්ට යළි නැව් නැඟීමට සිදු වෙයි. සුප්පාරකයෙන් පිට වූ විජයාදීන් තෙමසක් භරුකච්ච නම් ස්ථානයක ද ගත කළ බව පැවසේ. මේ පිරිස ලංකාවෙහි ගොඩ බසිනුයේ ඉන් අනතුරු ව ය. 'සුප්පාරකය' යනු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි වර්තමාන 'සොපාරා' පෙදෙස යැයි ද 'භරුකච්ච' යනු ගුජරාටයෙහි 'බරුච්' ප්‍රදේශය යැයි ද සැලකේ. මේ ස්ථාන නාම සැලකීමේ දී පෙනී යන්නේ එක්කෝ වංස කථා රචකයන් තත්කාලීන ඉන්දියාවේ භූ-දේශපාලනික ව්‍යූහය නිවැරදි ව නො දත් බැවින් නැඟෙනහිර වංග දේශයේ සිංහබාහු කුමරා බටහිර ලාට රටට පැමිණි සේ සිය ප්‍රබන්ධ ගොඩ නඟා ඇති බවකි; නො එසේ නම් ගුජරාට-මහාරාෂ්ට්‍ර ප්‍රදේශ සමීපයෙහි ද තවත් වංග දේශයක් වූ බවකි. කෙසේ වුව ද මේ ප්‍රවාදය අනුව වැඩි බරක් යෙදෙනුයේ විජයාදීන් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙහි ජන්ම ලාභය කළවුන් සේ සැලකීමට ය.
ඉහත දැක්වුණු ප්‍රවාද දෙක ප්‍රධාන ජන ප්‍රවාහ පිළිබඳ ව වන අතර ඊට අමතර ව වෙනත් ජන කණ්ඩායම් ද මෙරටට සංක්‍රමණය වූ බව හෙළි කරන සාධක වංස කථාවලින් හා වෙනත් මූලාශ්‍රයවලින් ද හමු වෙයි. ඉන් පළමු වැන්න නම් විජයාදීන්ට භාර්යාවන් වසයෙන් මධුරා පුරයෙන් ගෙන්වා ගනු ලැබූ පඬි රජ දියණියන් ප්‍රමුඛ ස්ත්‍රීන් පිරිස ගෙන්වා ගැනීම සම්බන්ධ ප්‍රවෘත්තිය යි. මේ පඬි රට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය ද නැත හොත් පාණ්ඩ්‍ය නමින් හැඳින්වුණු, විජයාදීන්ගේ මුල් බිමට ආසන්නයෙහි වූ ප්‍රදේශයක් ද යන්න අපැහැදිලි ය (බලගල්ලේ(1992) 2006: 12). මෙකී පාණ්ඩ්‍ය දේශය දක්ෂිණ භාරතයේ ද්‍රාවිඩ භාෂක කලාපයක් විය යැකි ය යන මතය ගන්නා බෂාම් එය යුක්ති සහගත කරනුයේ ලංකාවට ද්‍රවිඩයන් සංක්‍රමණය කිරීම ඓතිහාසික කාලයේ දී පමණක් නො ව ඊට පෙර සිට ද පැවතෙන්නට ඇත. පාණ්ඩ්‍ය කුමරිය පිළිබඳ පුවත පැන නැඟී ඇත්තේ ලංකාවේ ද්‍රවිඩ කොටසක් සිටීමට හේතු දැක්වීමටත් ඔවුන්ට ලංකාවේ සමාජීය සහ ජාතික සැලැස්මෙහි තැනක් ලබා දීමටත් ය" යනුවෙනි (බෂාම් 1962: 64).
විජයගෙන් පසු ව දිවයිනේ රජකම සඳහා ගෙන්වා ගනු ලැබූ බව පැවසෙන විජයගේ බාල සොහොවුරු සුමිත්තගේ පුත් වූ පණ්ඩුවාසුදේව (සිං. පඬුවස්දෙව්) ආගමනය විජයගේ මුල් බිම හා සම්බන්ධ තවත් සංක්‍රමණයක් සේ සැලකිය හැකි ය. ඉන් අනතුරු ව ශාක්‍ය වංශික භද්‍රකාත්‍යායනා කුමරිය ප්‍රමුඛ ස්තී්‍රන්ගේ පැමිණීම සිදු වෙයි. ශාක්‍ය වංශිකයන් වර්තමාන නේපාල ප්‍රදේශයෙහි හෝ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙහි හෝ ආධිපත්‍යය දැරූවන් සේ අදහස් දැක්වෙයි. ශාක්‍ය වංශිකයන්ට ඉරාණීය හෝ සිතියන් (Scythians) සම්භවයක් ඇති බවට ද මත පළ වී තිබේ. පඬුවස්දෙව්ගේ පැමිණීම සිදු වනුයේ දෙතිසක් ඇමතියන් කැටුව බව වංස කථාව පවසයි. භද්‍රකාත්‍යායනා ප්‍රමුඛ ස්ත්‍රීන් ද දෙතිස් දෙනකු වූ බව ද ඔවුන් පැවිදි වෙස් ගෙන සිටි බව ද කියනු ලැබේ. මේ සම්බන්ධයෙන් බෂාම් දක්වන අදහස නම් දිවයිනේ විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන්හි ව්‍යාප්තිය පිළිබඳ ව ඉයින් ඉඟියක් ලැඛෙන බවකි (බෂාම් 1962: 69). ඉන් අනතුරු ව තවත් එවැනි සංක්‍රමණයක් සිදු වන්නේ දෙවනපෑතිස් රජ දවස මහා බෝධි ශාඛාව ගෙන ඒම සමඟිනි. එනම් මහා බෝධියට පරිවාරයන් වසයෙන් විවිධ සමාජ ස්තරවලට අයත් ජන සමූහයන්ගේ පැමිණීම යි. මේ අන්දමින් රාජකීයයන්ගේ පරිවාර ජනයා වසයෙන් මෙන් ම බෝධියට අවශ්‍ය සේවා හා පුදපූජා පැවැත්වීමට පැමිණියවුන් ඇතැම් විට පෙර කී ප්‍රධාන ජන ප්‍රවාහවලට සම්බන්ධ විවිධ සමාජ ස්තරවලට අයත් වූවන් මෙන් ම එම ප්‍රධාන ධාරාවලට පිටස්තර ජන කොට්ඨාසවලින් ද සමන්විත වූවන් සේ ද සැලකිය හැකි ය.
(මහාබෝධි ආගමනයට පූර්වයෙහි සිදු වූ මහින්දාගමනය තවත් ඉන්දියානු ජන සංක්‍රමණයක් සේ සැලකිය හැකි වෙතත් මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්ෂූන්ගෙන් දිවයිනේ ජන ව්‍යුහයට දායකත්වයක සිදු නො වූ බැවින් එම ආගමනය මෙහි ලා අවධානයට ලක් නො කෙරේ.)
මේ දිවයිනට උතුරු ඉන්දියානු සාංක්‍රමණිකයන්ගේ පැමිණීම දිවයිනේ බටහිර/වයඹ වෙරළ තීරයෙන් මෙන් ම නැඟෙනහිරි වෙරළ තීරයෙන් ද සිදු වන්නට ඇත. මේ දෙපස ම පැවති වෙළෙඳ තොටමුණු සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක හමු වෙයි. තම්මැන්නාව වයඹ දිග නො ව නැඟෙනහිර - ගිනිකොණ ප්‍රදේශයේ වූ බවට- නැත හොත් පාකර් රාජාවලිය ද ඉවහල් කොට ගනිමින් පෙන්වා දෙන පරිදි- තම්මැන්නාව දකුණේ මාගම බවට තර්ක කළ හැකි ය. ආරම්භක අවදියෙහි මෙරට නගර නො වී ය. ජනාවාසයේ මුල් පියවර 'ගම' ය. ප්‍රධාන ග්‍රාමය 'මහා ග්‍රාමය' යි; මාගම යි. විජයගේ අනුප්‍රාප්තිකයන්ගේ පාලන මධ්‍යස්ථානය ජන සමූහයේ ප්‍රධානයා වූ 'අනුරාධ'ගේ නම මුල් කොට ගෙන 'අනුරාධගාම' ('අනුරෝග්‍රාම') යනුවෙන් නම් කරනු ලැබුණු අතර දක්ෂිණ ප්‍රදේශයේ වූ ජනාවාසය ප්‍රධාන ජනාවාසය යනු අරුතින් ''මාගම'' (මහාග්‍රාම) යනුවෙන් නම් කෙරුණු බව පෙනේ. ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයෙන් පැමිණි ආදි ම සාංක්‍රමණිකයන්ට පහසුවෙන් ළඟා විය හැක්කේ දිවයිනේ නැඟෙනහිර - ගිනිකොණ ප්‍රදේශයට බව ද සැලකිය යුතු ය.
මේ ආකාරයේ ජන සංක්‍රමණ දිවයිනේ ශිෂ්ටාචාරයේ විකාසනයෙහි සැම අවධියක් සම්බන්ධයෙන් ම හඳුනා ගත හැකි වෙයි. එහෙත් මෙහි දී විශේෂාවධානය යොමු කෙරෙනුයේ දිවයිනේ ආදි ම අභිලේඛන ලියවුණු කාලය සේ සැලකෙන ක්‍රි.පූ. 3/2 සියවස කාලය හා ඊට පූර්ව සමය කෙරෙහි පමණකි.
ඉහත දක්වන ලද ජන සංක්‍රමණ පිළිබඳ ප්‍රවාද විමර්ශනයෙන් පෙනී යන්නේ උතුරු ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයෙන් මෙන් ම බටහිර ප්‍රදේශයෙන් ද සිදු වූ ජන සංක්‍රමණ පිළිබඳ මතකය පදනම් කොට ගනිමින් එම ප්‍රවාද ගොඩ නැඟී ඇති බවකි. වංස කථා ලේඛනගත වන අවධිය වන විට මේ විවිධ ජන කණ්ඩායම්වල අනුප්‍රාප්තිකයන් ප්‍රධාන ජන වර්ගයකට, සංස්කෘතික ධාරාවකට හා පොදු භාෂා ස්වරූපයකට අනුගත වී සිටි බව සැලකිය හැකි ය. එහෙත් එක් එක් ජන කණ්ඩායමෙහි ප්‍රභවය හා අනන්‍යතාව පිළිබඳ විශ්වාස කටයුතු ප්‍රවාද පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වෙමින් පැවති බව නිගමනය කිරීම අසීරු නො වේ. දීපවංසය හා මහාවංසය අයත් වන්නේ දිගු කලක් මුඛ පරම්පරාවෙන් ගෙන එනු ලැබූ වෘත්තාන්ත ලේඛනගත කිරීම ආරම්භ වුණු අවදියට යි. ලේඛනය සැම ආකාරයකින් ම මානව ඥානය හා සම්බන්ධ වෙයි. එය මානව ඥානයේ ඉතිහාසය සුරක්ෂිත කරන අතර ම ස්මෘතිය අනාගත පරම්පරාවන් වෙත සම්ප්‍රේෂණය කිරීමෙන් මානව සංහතියේ අනාගත ප්‍රගතිය හා සංවර්ධනය වෙත සම්බන්ධ වෙයි. ''ලේඛනය පවතින්නේ ශිෂ්ටාචාරයක පමණි; ලේඛනයෙන් තොර ව ශිෂ්ටාචාරයක් නො පවතී" (Gelb 1965: 222).
දිවයිනේ පූර්ව ඓතිහාසික අවධිය සේ පිළිගැනෙන ක්‍රි.පූ. 1000-500 පමණ කාලය ආදි අයස් යුගය සේ සැලකෙනුයේ මේ අවධිය ලේඛන ක්‍රම භාවිතය පිළිබඳ සාක්ෂ්‍ය රහිත අවධියක් බැවිනි. ඉන්දියානු මහා භූමියෙන් ලේඛන සාධක හමු වන්නේ ක්‍රි.පූ. තෙවන සියවස පමණ කාලයෙහි පටන් ය. එහෙත් මේ දිවයිනෙන් හමු වන ආදි ම ලේඛන සාධක ඉන්දියානු සාධක හමු වන කාලයෙන් සියවස් දෙකක් පමණ ඈත කාලයට, එනම් ක්‍රි.පූ. 600-500 අතර කාලයට- අයත් යැයි නිර්ණය කිරීමේ ප්‍රයත්නයක් දැකිය හැකි ය. එනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර පරිශ්‍රයෙහි සිදු කළ ප්‍රාග් හා ආදි ඓතිහාසික ගවේෂණවල දී හමු වුණු බ්‍රාහ්මී අක්ෂර රූප වළං කැබලි හා පන්හිද කොටස් වසයෙන් හඳුනා ගනු ලබන අස්ථිමය ශිල්පකර්ම සාධක අනුව දිවයිනේ ලේඛන කටයුතුවල ආරම්භය ක්‍රි.පූ. 600-500 වකවනුවට දිවෙන බව පෙන්වා දෙනු ලැබේ (Deraniyagala 1992-ii:740 ff). ඊට පදනම් වී ඇත්තේ අදාළ ලේඛන සාධක හමු වූ පාංශු ස්තර සම්බන්ධ කාබන් විකිරණ හා තාප සංදීප්තතා කාල නිර්ණය යි. එහි ලා දක්වනු ලබන නිදර්ශන අක්ෂරරූපවිද්‍යාත්මක ව මෙන් ම වාග්විද්‍යාත්මක ව ද භාරතීය සම්භවයක් පෙන්නුම් කරන බව පිළිගත යුතු ය. අදාළ කාල නිර්ණය ඉදිරිපත් කොට ඇත්තේ ස්තර සඳහා වන අතර එකී කාල නියමය සම්බන්ධයෙන් සිරාන් දැරණියගල පැහැදිලි ව පවසන පරිදි මේ කාල නිර්ණයනය අදාළ වන්නේ අධ්‍යයනයට ලක් වූ සිවු වන ස්තරයට විනා අකුරු සහිත වළං කැබලිවලට නො වන බව සැලකිය යුතු ය. එ් සමඟ ම එකී සාධක විජයගේ සහායකයන් වසයෙන් වංස කථාවෙහි දැක්වෙන පුද්ගල නාම හා ගැළපීමෙන් දිවයින ආර්ය ජනාවාසයක් බවට පත් වීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රවාද සමඟ ද ඒවා අනන්‍ය කොට දක්වනු ලැබේ (Deraniyagala 1992: 746-747). මෙනයින් සලකන කල, පුරාවිද්‍යාත්මක සාධක මෙන් ම වංසකථාගත සාධක ද විවේචනාත්මක ව විමර්ශනයෙන් දිවයිනේ ජනපද ආරම්භ කිරීම හා සම්බන්ධ ඉන්දියානු සංක්‍රමණ වංස කථාවන්හි දැක්වෙන අවධියෙන් සියවස් පහක් තරම් වත් පූර්වයෙහි සිට සිදු වෙමින් පැවති බව යෝජනා කිරීම යුක්ති සහගත ය.
දිවයිනේ ශිෂ්ටාචාරය ආරම්භයේ දී සාංක්‍රමණික උතුරු ඉන්දියානු කණ්ඩායම් ආරම්භයේ දී කුඩා කෘෂිකාර්මික ප්‍රජා සමූහ වසයෙන් දිවයිනේ තැනින් තැන ජනපද පිහිටුවා ගත් බව පෙනේ (ම.ව. VII:43-46). ප්‍රථමයෙන් ඔවුන් දේශීය ජනයාට එරෙහි ව සටන් කරමින් පාලන බලය පිහිටුවා ගත් ආකාරය ද (ම.ව. VII:30-39) ද අනතුරු ව ඔවුනොවුන් අතර සටන් ඇති වූ ආකාරය (ම.ව. X) ද වංස කථාවෙහි දැක්වෙයි. මේ තත්ත්වය ආර්යාගමනය සිදු වූ සමයෙහි ඉන්දු නිම්න ප්‍රදේශයෙහි උද්ගත වූ තත්ත්වයට සමාන වේ (Thapar and Rahman 1996: 674).
ආර්යාගමනය සිදු වූ සමයෙහි ඉන්දු-නිම්න හා තදාසන්න ප්‍රදේශයේ භාෂාමය විස්තෘතිය සම්බන්ධයෙන් අපට ආදි ඉන්දු-ආර්ය අවධියට අයත් භාෂා ලෙස සැලකෙන වෛදික භාෂාව, සංස්කෘත භාෂාව, ප්‍රාකෘත උපභාෂා හා පාලි, යන භාෂා පිළිබඳ පවත්නා සාධක මත තීරණ ගැනීමට සිදු වෙයි. මේ භාෂා සම්බන්ධයෙන් ද පවත්නා සාධක ඇතැම් විට ඍජු තොරතුරු මත නො ව ද්විතීයික දත්ත- එනම් එනම් ව්‍යාකරණඥයන්ගේ නිරීක්ෂණ හා ප්‍රකාශ, වෛදික ස්තෝත්‍රාගත සාධක, සංස්කෘත නාට්‍යයන්හි අන්තර්ගත සංස්කෘත නො වන භාෂා නිදර්ශක හා ඉන්දු-ආර්ය නො වන භාෂාවන්හි අවශිෂ්ට ව ඇති පුරාතන ඉන්දු-ආර්ය බලපෑම දක්වන සාධක ආදිය - මත පදනම් වෙයි. ආදි ඉන්දු-ආර්ය භාෂකයන් පැමිණෙන අවධිය වන විට ඉන්දු උපමහාද්වීපික ප්‍රදේශ පැවතුණේ භාෂාමය රික්තක (linguistic vacuum) වසයෙන් නො වේ. වෛදික සාහිත්‍යයෙන් හමු වන ඉන්දු-යුරෝපීය නො වන භාෂා ලක්ෂණ පිළිබඳ අධ්‍යයනයන්හි නිරත විද්වතුන් පෙන්වා දෙන පරිදි ද්‍රාවිඩ, ඔස්ට්රෝ-ඒශියාටික් හා චීන-තිබ්බත භාෂා පවුල්වලට අයත් භාෂාවන්හි බලපෑම ඒ කෙරෙහි දැක ගත හැකි ය. එපරිද්දෙන් ම විජය හෝ වෙනත් නායකයකු හෝ යටතේ මේ දිවයිනට ඉන්දු-ආර්ය භාෂක ජනයා සංක්‍රමණය වන විට මෙහි ද භාෂාමය රික්තයක් නො පැවති බවත් ඇතැම් විට එය ආර්යාවර්තය යනුවෙන් හැඳින්වෙන ඉන්දියානු භූමියෙහි පැවති භාෂාමය විස්තෘතියට ද වඩා පෘථුල වූවක් විය හැකි බවත් සැලකීම යෝග්‍ය වෙයි (Southworth 2005).
විජය ප්‍රමුඛ පිරිසගේ මුල් භූමිය කවරක් ද යන්න පිළිබඳ නිශ්චිත සාධක වංස කථා ප්‍රමුඛ මූලාශ්‍රයවල ඇතුළත් ව නො තිබීම මෙන් ම එක ම මූලාශ්‍රයයෙහි පවා එය අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ වසයෙන් සටහන් වී තිබීම ද නිසා ඇතැම් ඉතිහාසඥයන් ප්‍රකාශ කරනුයේ ඓතිහාසික මූලාශ්‍රයවල පැනෙන විජයාවතරණ ප්‍රවෘත්තිය බෞද්ධයන්ගේ පුරාණෝක්ති සංග්‍රහය වන ජාතක පොතත් ඇතැම් ඓතිහාසික සිදුවීම් පිළිබඳ ඡායා මාත්‍ර දැනුමත් මතු නො ව පරිකල්පනයනුත් සංකලනයෙන් ක්‍රිස්තු වර්ෂ 2-5 සියවස් අතර කාලයේ දී සම්පාදිත ප්‍රවාදයක් පමණක් බව යි. (පෙරේරා, 1964 98 - 102.)
ශ්‍රී ලාංකිකයන්ගේ බහුතර ජන කොට්ඨාසය වන සිංහල ජනයා සම්බන්ධයෙන් සිදු කෙරුණු ජානවිද්‍යාත්මක අධ්‍යයනවලින් ද ලැබී ඇත්තේ මිශ්‍ර සම්භවයක් පිළිබඳ සාධක බව පෙනේ. ජාන විද්‍යාත්මක ලක්ෂණ අනුව සිංහල ජනයා හා නැඟෙනහිර ඉන්දියා ප්‍රදේශයේ (බංග්ලා දේශය/ ඛෙංගාලය) ජනයා කේරලයේ හා දකුණු ඉන්දියාවේ ජනයා සමඟ සමීප සම්බන්ධයක් පෙන්නුම් කරන බව කියනු ලැබේ (Papiha and Mastana 1998; Kirk 1976&). එසේ ද වුව සිංහල භාෂාවේ සම්භවය සම්බන්ධයෙන් ඊට පරස්පර සාධක හමු වන බව පෙන්වා දිය හැකි ය.
වංස කථාගත විජය ප්‍රවාදය ක්‍රි.පූ. පස් වන සියවසින් ඔබ්බට නො ගිය ද දිවයිනේ නව ශිෂ්ටාචරය පිළිබඳ පුරාවිද්‍යා සාධක ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රකයේ මුල් භාගය තරම් ඈතට දිවෙන බව පෙන්වා දෙන ප්‍රමුඛතම සාධකය සේ සැලකෙන ඉහතින් සඳහන් කරන ලද අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලින් හමු වූ ආදි බ්‍රාහ්මී අක්ෂර රූප සහිත වළන් කැබලි කිහිපය යි. ඒවා වාග්විද්‍යාත්මක පක්ෂයෙන් විමර්ශනය කර දැක්වීමට ප්‍රමාණවත් සාධක අපට ලබා දෙයි. ඒ අනුව එම අක්ෂර රූපවලින් නියෝජනය වන භාෂාව ඉන්දු-ආර්ය ප්‍රාකෘතයක් සේ පිළිගැනේ (Deraniyagala 1992: 745-747). බ්‍රාහ්මී අක්ෂර මාලාව බටහිර ආසියානු සෙමිටික් වෙළෙඳුන් මාර්ගයෙන් සම්භවය වූවක් ය යන මතය සැලකීමේ දී විජයාගමනයට සමකාලීන ව හෝ ඊට පූර්වයෙහි හෝ මෙරටට පැමිණි බටහිර ආසියානු ජනයාගේ දායකත්වය කෙරෙහි ද ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතු වෙයි (Deraniyagala 1992: 744; 1998: 284). ඉන්දු-නිම්න ශිෂ්ටාචාර වාසීන් වෙළෙඳ ගනුදෙනු සඳහා සුමේරියානු ප්‍රදේශවලට ගොස් ඇති බවට සාධක හමු වන බැවින් වාණිජ අවශ්‍යතා සඳහා මේ දිවයිනට ද ඔවුන්ගේ සම්බන්ධයක් නො පැවතිණි යි සැලකිය යුතු නො වේ.
සිංහල භාෂාවට පදනම වැටෙනුයේ උතුරු ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයෙන් හා බටහිර හා වයඹ ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනයා හේතුවෙන් වුව ද භාෂාමය වර්ධනය කෙරෙහි උත්තර හා මධ්‍ය ප්‍රදේශවලින් ද සිදු වූ සංක්‍රමණ ද බල පා ඇති බවට සාධක හමු වෙයි. නිශ්චිත ව පැවසිය නො හැකි බටහිර ආසියානු ප්‍රදේශවලින් ද වරින් වර වර සිදු වූ ජන සංක්‍රමණ භාෂා භූ දර්ශනය සකස් වීමෙහි බල පාන්නට ඇති බව ද පිළිගත හැකි ය. ක්‍රිස්තු පූර්ව ප්‍රථම සහස්‍රකයේ උතුරු ඉන්දියාවේ ව්‍යවහාර වූ භාෂා සම්බන්ධ අධ්‍යයනවලින් පැහැදිලි වන්නේ ඒවා පුළුල් උපභාෂාමය ව්‍යාප්තියක් සහිත බව යි. ප්‍රධාන වසයෙන් උතුරු ඉන්දියානු ප්‍රාකෘත භාෂා නැඟෙනහිර, මධ්‍ය, බටහිර හා වයඹ යනුවෙන් හෝ නැඟෙනහිර, මධ්‍ය, බටහිර, උතුරු හා දකුණු යනුවෙන් හෝ උපභාෂා ධාරා කිහිපයකට බෙදා දැක්වේ. (Deo 2018: 535-546).
සිංහල භාෂාවට මුල් පදනම වැටුණු ඉන්දියානු සංක්‍රමණ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණේ ඒවා ඉන්දියාවේ නැඟෙනහිර (බෙංගාලි) ප්‍රදේශයට සම්බන්ධ ද නැත හොත් බටහිර-වයඹ ප්‍රදේශයට සම්බන්ධ ද යන්න පමණක් බව පෙනේ. ඊට හේතු වී ඇත්තේ එම සංක්‍රමණ සමුද්‍ර මාර්ගයෙන් සිදු වීමත් උපමහාද්වීපයෙහි ප්‍රකට නාවික තීර්ථ නැඟෙනහිර හා බටහිර වෙරළේ පිහිටා තිබීමත් ය. මේ විවාදය ඓතිහාසික සාධක හා භාෂාමය සාධක පදනම් කර ගනිමින් සිදු විය. සිංහල භාෂාව ඉන්දු දේශයේ නැඟෙනහිරි පෙදෙසට අයත් භාෂාවක් ද බටහිරි පෙදෙසට අයත් භාෂාවක් ද යන දීර්ඝ ශාස්ත්‍රීය විවාදයේ දී විල්හෙල්ම් ගයිගර් (ජයතිලක (1937), 1977( º¸¹¦ Geiger, 1938: vi - xii), එච්. ඩබ්ලියු. කොඩ්රිංටන් (සෙ නෙවිරත්න (පරි.) (1957) 1961 6 පිටුවේ සිට ඉදිරියට), සුනීති කුමාර චැටර්ජි (හෙට්ටිආරච්චි 1964: 37) යන පඬිවරුන් බටහිර මතයට පක්ෂ ව කරුණු දැක්වූ අතර රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි (Siddhartha 1935: 123), මොහොමඩ් ෂහිදුල්ලා (Shahidullah, 1933: 742 ff ), පී. බී. එෆ්. විජේරත්න (Wijeratne 1946: 586ff), ඩී. ජේ. විජයරත්න (Wijayaratne, 1956:2), සුකුමාර් සෙන් (Sen, 1960: 12) යන පඬිවරු සිංහලය නැඟෙනහිරි භාෂාවක් යැයි යන මතය දැරූහ. නැඟෙනහිර මතයට පක්ෂ ව කරුණු දැක්වූවන් ඒ සඳහා ප්‍රධාන වසයෙන් පාදක කොට ගත්තේ විජය රජුට අනතුරු ව රජ පැමිණි පඬුවස්දෙව් නැඟෙනහිරි ඉන්දු රාජ්‍යයක සිට පැමිණි කුමරියක සරණ පාවා ගත් බවට දැක්වෙන වංස කථා ප්‍රවෘත්තිය යි. ඩී. ෙජ්. විජයරත්න සිය History of Sinhalese Noun කෘතියෙහි ලා ශබ්දයෝග විචාරාත්මක සහ පදකයෝග විචාරාත්මක සාධක ද ගෙන හැර පාමින් නැඟෙනහිරි මතය තහවුරු කිරීමට යත්න දරා ඇත (Wijayaratne, 1956: 2). මේ මතානුසාරී ව ඉදිරිපත් කොට ඇති සාධක විමල් ජී. බලගල්ලේ විසින් අනුපිළිවෙළින් සංග්‍රහ කොට ඇත බලගල්ලේ (1992) 2014: 37-43¦ (1996) 2016: 56-61). එහෙත් එහි පැනෙන ඇතැම් සාධක සම්බන්ධයෙන් දැක ගත හැකි වන්නේ සම්මිශ්‍ර ස්වරූපයක් බව පෙන්වා දිය යුතු වෙයි.
නිදසුනක් වසයෙන්
පු.ඉ.ආ. 'ක්ෂ' සංයෝගය නැ. භාෂාවල 'ක/ඛ/ක්ඛ' බවට පෙරළෙන නමුදු බටහිර එය 'ච/ච්ඡ' හරහා 'ස' බවට පෙරළේ. (මෙය ඉරාණීය ලක්ෂණයක්ද වේ.)
නිදසුන්:
ක්ෂුද්‍රක > වුඩක > සුළු
ක්ෂුධා > ඡුධා > සුදහ
ක්ෂණ > ඡණ > සැණ
මක්ෂිකා > මච්ඡිකා > මැසි
අක්ෂි > අච්ඡි > ඇස්
ඍක්ෂ > අච්ඡ > අස් (බලගල්ලේ (1992) 2014: 40)
එසේ ද වුව මෙහි නැඟෙනහිරි ලක්ෂණය ද විකල්ප වසයෙන් භාවිත වනු දැක ගත හැකි ය. සුළු - කුඩා විකල්පය හා 'මැස්සා' - 'මැක්කා' විකල්පය නිදසුන් වෙයි.
පු.ඉ.ආ. 'පඤ්චාශත්' ශබ්දයේ 'ඤ්ච' සංයෝගය නැඟෙනහිර භාෂාවල නිරනුනාසිකව 'පචාස්' (ඛෙංගාලි) යනුවෙන් සිටින නමුදු බටහිර භාෂාවල 'පණ්ණාස' (මහාරාෂ්ට්‍රී) යනුවෙන් අනුනාසිකය ශේෂ වී සිටී. සිංහල 'පණස්' (පනස්) යන්නෙහිදු ඇත්තේ එම බටහිර ලක්ෂණයයි.
මෙහි ද පස් - පන් විකල්පය හමු වෙයි. සිංහල පස් පවු, පසැස්, පස් මහ බැලූම් ආදියෙහි හමු වන ස කාරය 'ඤ්ච්' සංයෝගය නිරනුනාසිකත්වයට පත් වී ශේෂ වූ 'ච්' කාරය සිංහලයට ආවේණික ශබ්දයෝග රීත්‍යනුකූල ව 'ස' කාරත්වයට පත් වූ අවස්ථාවක් සේ සැලකිය හැකි ය.
නැඟෙනහිර භාෂාවල වචනයක ආදි 'ව' > 'බ' බවටත් ආදි 'ය' > 'ජ' බවටත් පෙරළෙන නමුත් වයඹ/බටහිර භාෂාවල එය එ් අයුරින්ම රැකේ. සිංහලයෙහිදු එම ලක්ෂණය ඇත.
නිදසුන්:
විංශති > විසි
වීණා > වෙණ
වාම > වම්
ව්‍යාධ > වැදි (බලගල්ලේ (1992) 2014: 40)
වෘද්ධ > වෙඩ > වැඩ යනුවෙන් ව > ව නිරූපණය සිංහල ප්‍රාකෘත යුගයෙහි පටන් දක්නට ලැඛෙතත් මේ ලක්ෂණයෙහි විකල්ප අවස්ථාවක් (ව > බ බවට පෙරළීම) ලෙස ප්‍රාදේශික ව්‍යවහාරයකට සීමා වී පවතින 'බුඩා' යන්න දැක්විය හැකි ය (සෝරත (1956) 1970: 654).
ප්‍රාකෘත භාෂා සම්බන්ධයෙන් දක්වනු ලබන නැඟෙනහිර-බටහිර ලක්ෂණ පිළිබඳ විසම්මුතිය වෛදික භාෂාව හා පාලි භාෂාව සම්බන්ධයෙන් ද පවතින්නකි. (Levman 2010( 56-86). වෛදික භාෂාව උපභාෂා කිහිපයක සම්මිශ්‍රණ ලක්ෂණ පෙන්නුම් කළ ද සමාජවාග්විද්‍යාත්මක සාධක මත වයඹදිග උපභාෂා ලක්ෂණ එහි කැපී පෙනෙන භාෂා ලක්ෂණ බවට පත් වී ඇති සේ සැලකෙයි. අශෝක ලිපි සම්බන්ධයෙන් ද පෙන්වා දෙනු ලබන ලක්ෂණයක් වන්නේ ඒවා කථා ව්‍යවහාරාගත ප්‍රාකෘත භාෂාවලට වඩා සංස්ථායික ලක්ෂණවලින් සමන්විත බව යි.
මේ දිවයින ජනාවාස කිරීම සම්බන්ධ කරුණු අළලා තුලනාත්මක අධ්‍යයනයක යෙදෙන ඒ. එල්. බෂාම්, ඓතිහාසික සාධක අනුව විජය ප්‍රමුඛ පිරිසගෙන් නියෝජනය කෙරෙන ලක්දිව ජනාවාස කරවූ ප්‍රථම භාරතීය සංඝය බටහිර ඉන්දියාවෙන් පැමිණි බවට නිගමනය කළ හැකි වුව ද වාග්විද්‍යාත්මක සාධක අනුව ආදි සිංහලය නැඟෙනහිරි ප්‍රාකෘත ලක්ෂණ බහුල ව දක්වන බව සඳහන් කරයි (බෂාම් 1962( 66). එසේ ද වුව වාග්විද්‍යාත්මක වසයෙන් ම වුවත් බටහිරි මතයට පක්ෂ සාධක ඉදිරිපත් කළ හැකි බව ද බෂාම් වැඩි දුරටත් දක්වයි. මීට අමතර ව බටහිරි මතය ස්ඵුට කළ හැකි සංස්කෘතික සාධක ද බෂාම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත (බෂාම් 1962( 67). පුරාක්ෂර රූප සම්බන්ධ පශ්චාත්කාලීන අධ්‍යයනයන්හි දී හෙළි වූ කරුණු අනුව ආදි ම සිංහල ලේඛනවල භාෂාව සහ අක්ෂර රූප ඉන්දියාවේ බටහිර දිග අසෝක සෙල් ලිපිවල අක්ෂර රූපවලට දක්වන සමානකම නැඟෙනහිරි අක්ෂර රූපවලට දක්වන සමානත්වයට වඩා වැඩි ය (Fernando 1948: 282-301). මේ මත විමසිල්ලට ලක් කළ සෙනරත් පරණවිතානගේ අදහස වනුයේ "සිංහල භාෂාවට වනාහි දඹදිව පෙරදිගට අයත් වරින් වර ඛෙහෙවින් ලිය ලා වැඩී ගිය භාෂා ශ්‍රේණියකින් ඉතා හැඩ ගැසුණු ලකුණු ඇති අපරදිගට අයත් ප්‍රකෘත භාෂා විශේෂයක් පදනම වූයේ ය" යන්න යි (පරණවිතාන 1956 (1970): 1204).
මෙතෙක් අවධානයට ලක් කරන ලද කරුණු අනුව එළඹිය හැකි ප්‍රශස්තතම නිගමනය නම් ලංකාව ජනාවාස කිරීම සඳහා ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ බටහිරි - නැඟෙනහිරි දෙදිගින් මෙන් ම මධ්‍යම හා උත්තර ප්‍රදේශවලින් ද විවිධ සමාජ ස්තර නියෝජනය කරන ජන සමූහ වරින් වර පැමිණි බව හා ඔවුන් මෙහි ආ පසු ව එකිනෙකා සමඟත් ප්‍රධාන ශිෂ්ටාචාරයට අයත් ජනයා මෙන් ම විවිධ ගෝත්‍ර හා ප්‍රජා සමූහ (ම.ව. X. 82-105). සමඟත් මිශ්‍ර වීමෙන් නව භාෂා ස්වරූපයක් ජනිත වූ බව යි. ඒ අනුව සිංහල ප්‍රාකෘතය සෙසු ප්‍රාකෘතවලින් වෙනස් වන්නේ සාංක්‍රමණික උතුරු ඉන්දියානුවන්ගේ බස් වහර ස්වදේශිකයන්ගේ භාෂා/උපභාෂාවන්හි ශබ්ද විද්‍යාත්මක ලක්ෂණ අනුව බිඳ ගැනීමේ ප්‍රතිඵලයක් වසයෙන් බව පැවසිය හැකි ය. ආදි ම බ්‍රාහ්මී ලේඛනවලින් නියෝජනය කෙරෙන භාෂා නිදර්ශනයන්හි පටන් ම මේ තත්ත්වය හඳුනා ගත හැකි ය.
සෙසු ප්‍රාකෘත භාෂාවල මහාප්‍රාණ ශබ්ද හා ස්වර දීර්ඝත්ව සංකේත භාවිත කොට ඇතත් සිංහල ප්‍රාකෘතය සමාරම්භයෙහි පටන් මහාප්‍රාණාක්ෂරවලින් තොර වීම විශේෂ තත්ත්වයක් සේ සැලකිය හැකි ය. ක්‍රි.ව. සත් වන අට වන සියවස් පමණ සිට දීර්ඝ ස්වර සංකේත භාවිත වීම ආරම්භ වූ අතර මේ වන විට ස්වරයන්ගේ හ්‍රස්ව-දීර්ඝ භේදය සිංහලයේ වෛශේෂික ශබ්ද ලක්ෂණයක් බවට පත් වී තිබේ. එසේ ද වුව මහාප්‍රාණ ශබ්ද උච්චාරණය අද්‍යතන සිංහල ස්වභාෂකයන්ගේ පවා විධිමත් ව සිදු වන බව දැක ගත නො හැකි වීමෙන් එම ආදි ලක්ෂණය අද වන තෙක් ම ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි අවධානය යොමු කළ හැකි ය. මේ ආකාරයෙන් ප්‍රාකෘත භාෂා සම්මිශ්‍රණයට අමතර ව ආදි වාසී භාෂා ද සිංහල ප්‍රාකෘතයේ මුහුණුවර සකස් වීමෙහි ලා හේතු වී ඇති බව සැලකිය හැකි වෙයි.
මේ තත්ත්වය මත සිංහල භාෂාවට මුල් පදනම වූ 'සිංහල ප්‍රාකෘතයේ' සමාරම්භය සිදු වී ඇත්තේ භාෂා මිශ්‍ර වීමක ප්‍රතිඵලයක් වසයෙන් හට ගත් 'මිශ්‍ර භාෂාවක්' වසයෙන් යැයි සැලකීම යුක්ති සහගත ය. 'මිශ්‍ර භාෂාවක්' යනු ව්‍යාකරණ ලක්ෂණ හෝ වාක්කෝෂීය ලක්ෂණ හෝ අතින් තනි මූල භාෂාවකට සම්බන්ධ කොට දැක්විය නොහැකි භාෂාවකි (Thomason 2003: 21). සිංහලය සම්බන්ධයෙන් පැවති 'ආර්ය-ද්‍රාවිඩ වාදය' මෙන් ම සිංහලයේ සම්භවය සම්බන්ධ 'නැඟෙනහිර - බටහිර/වයඹ ප්‍රාකෘත ප්‍රභවය පිළිබඳ මතය' ද මේ මිශ්‍ර භාෂා ලක්ෂණ හේතුවෙන් උද්ගත වූ ශාස්ත්‍රීය සාකච්ඡා බව පෙනේ. (බලගල්ලේ (1992) 2014: 5-10, 37-44; (1996) 2016 38-59). භාෂා කිහිපයක් ව්‍යවහාර කරන ප්‍රජා සමූහ ඒවා මිශ්‍ර කරමින් නව ව්‍යවහාරයක් ගොඩ නඟා ගැනීම අභිනවයෙන් ගොඩ නැඟෙන වාර්ගික (/ජාතික?) අනන්‍යතාව ප්‍රකට කිරීමේ මාර්ගයක් සේ සැලකේ (Thomason 2001: 11, 48). එහි ආරම්භක පියවර වෛවාහික සම්බන්ධතා පව්ත්වා ගෙන යෑම, දරුවන් සමඟ සන්නිවේදනය මෙන් ම 'එක ම සංස්කෘතියක කොටස්කකරුවන්' (බලගල්ලේ (1995) 2012: 3, 41) බව පෙන්වීම හෝ සමාජ ප්‍රභුත්වය ලබා ගැනීම වැනි අවශ්‍යතා මත ද්විභාෂක හෝ බහුභාෂක හෝ තත්ත්වයක් ජනිත වීම යි; එමෙන් ම දේශපාලන හා ආගමික අවශ්‍යතා මත ද එවැනි තත්ත්වයක් උදා විය හැකි ය (Thomason 2001: 48-49). ආගමික අවශ්‍යතා සඳහා සක්‍රිය ද්විභාෂක තත්ත්වයක් අවශ්‍ය නො වන බව පෙන්වා දී ඇතත් (Thomason 2001: 49) ක්‍රි.පූ. තෙවන සියවසෙහි සිට දිවයිනේ ආගමික තත්ත්වය නව මුහුණුවරක් ගැනීම මේ සම්බන්ධ විශේෂ අවස්ථාවක් සේ සැලකිය හැකි ය.
මේ සියලු සාධකවල ප්‍රතිඵලය වූයේ වර්තමානයේ සිංහලය නමින් දන්නා ස්වාධීන භාෂාව බිහි වීම යි. සිංහල භාෂාවට පදනම වැටුණු ප්‍රාකෘත ව්‍යවහාර ක්‍රි.පූ. 6-5 සියවස් පමණ සිට මුල් භූමියෙන් වෙන් ව මේ දිවයිනෙහි පැළපදියම් වීම සිදු වූ සේ සැලකිය හැකි බවත් මෙරට ආදිවාසීන්ගේ භාෂා සමඟ මෙන් ම ද්‍රාවිඪ භාෂා සමඟත් සෙසු ප්‍රාකෘත භාෂාවලට වෙනස් සම්පර්කයක් පවත්වා ගත් බවත් ඒ හේතුවෙන් 'සිංහල ප්‍රාකෘතය' සෙසු 'භ්‍රාතෘ' භාෂාවන්ට වෙනස් පරිණාමීය මාර්ගයක විකාසනය වූ බවත් ය. 'නූතන ඉන්දු-ආර්ය භාෂා' ආරම්භ වීමට පෙර සිංහලය එහි ස්වාධීන මුහුණුවර ප්‍රකට කරමින් වර්ධනය වීම අරඹා සිටි බැවින් එය 'මධ්‍ය ඉන්දු-ආර්ය' භාෂාවක් අන්‍ය භාෂා හා සම්පර්කයට පත් වීමෙන් බිහි වූ නූතන භාෂාවක් සේ සැලකීම යුක්ති යුක්ත ය.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය:

බලගල්ලේ, විමල් ජී., 1966, "සිංහල භාෂාධ්‍යයනයට යුරෝපීය පඬිවරුන්ගෙන් වූ සේවාව", විචිති, (සංස්.) ඇම්. එච්. ගුණතිලක (සහ තවත් අය), අංක 1, නොවැ. 1966, නුගේගොඩ, විද්‍යෝදය විශ්වවිද්‍යාලය, 88 - 113 පිටු.
1983, "සිංහල සාහිත්‍යය හා අන්තරාලීන ශිලා ලිපි", සංස්කෘති ත්‍රෛමාසිකය, (සංස්.) ඇස්. ජී. සමරසිංහ සහ තවත් අය, 17 කලා., 3 සඟ., කොළඹ, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, 1983, 9 - 28 පිටු.
(1992), 2014, නව සංස්කරණය, සිංහල භාෂාවේ සම්භවය සහ පරිණාමය, කොළඹ.
(1995) 2012, භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය, චතුර්ථ මුද්‍රණය, කොළඹ.
(1996) 2016, සිංහල භාෂාවේ ප්‍රභවය සහ ප්‍රවර්ධනය, ද්විතීය මුද්‍රණය, කොළඹ.
2000, සිංහල භාෂාධ්‍යයන ලිපි - 1, කොළඹ.
2000, සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය, කොළඹ.
Basham, A.L. (1954), The Wonder that was India, 1959, Grove Press Inc., Newyork.
බශාම්, ඒ. ඇල්. 1962, "විජය කුමරු සහ ලංකාවේ ආර්ය සභ්‍යත්වය පිහිටුවීම" (Prince Vijaya and Aryanisation of Ceylon), සිං. පරි. පුරාණ යුගය ශාස්ත්‍රීය ලිපි - 1 කා., දෙහිවල, 59-69 පිටු.
Cardona, George and Ronald Eric Emerie, (1975), "Indo-Iranian Languages", Encyclopadia Britannica, (in 30 Vols.), 15th Edition, Chicago, Macropaedia, Vol. 9, pp. 438 - 457.
කොඩ්රිංටන්, එච්. ඩබ්ලියු. 1961, සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (A Short History of Ceylon, rev. ed.) සිංහල පරිවර්තනය, පරි. එස්. කේ. සෙනෙවිරත්න, (1957), දෙවැනි මුද්‍රණය, කොළඹ.
De Alwis , James, (1852) 1966), A Survey of Sinhala Literature: The Sidath Sangarwa - A Grammar of The Sinhalese Language, Reprint, Colombo.
Deo, Ashwini, 2018, “Dialects in the Indo-Aryan landscape” in The handbook of Dialectology, edited by Charles Boberg, Willey Blackwell, pp.535-546
Deraniyagala S.U.1998, "Pre- and protohistoric settlement in Sri Lanka", XIII u.I.S.P. Congress Proceedings.Vol. 5., A.B.A.CO. s.r.l., Forli, pp. 277-285.
Diringer, D. 1975, "Alphabets", Encyclopadia Britannica, (in 30 Vols.), 15th Edition, Chicago, Macropaedia, Vol. 1, pp. 618 - 627.
Encyclopaedia Britannica Inc., 1975, The New Encyclopaedia Britannica (in 30 vols), Macropaedia- Vol. 1 - 19; Micropaedia, Vol. I - XI, (1768), 15th Edition, Chicago.
Fernondo, P.E.E., 1948, "Palaeographical Development of the Brahmi Scipt in Ceylon from 3rd Century B. C. to 7th Century A. D." University of Ceylon Review, Vol. VII, 1948, University of Peradeniya, pp. 282 - 301.
Foley, Robert, "The Context of Human Genetic Evolution", Genome Research. 1998. 8: 339-347.
Geiger, Wilhelm, 1938, A Grammar of the Sinhalese Language, Colombo.
ගයිගර්, විල්හෙල්ම්, 1968, සිංහල භාෂාවේ ව්‍යාකරණය (A Grammar of the Sinhalese Language, 1944), සිංහල පරිවර්තනය, පරි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, (1964), දෙවැනි මුද්‍රණය,කොළඹ.
Gnana Prakasar, Rev. Fr. S., 1936, ‘The Dravidian Element in Sinhalese’ Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol. XXXIII, No. 83, Pts. I-IV, 1936, pp. 233 - 253.
Gunasekara, Abraham Mendis, (1891) 1962, A Comprehensive Grammar of The Sinhalese Language, Reprint Colombo.
Gunawardhana, W. F., 1918, The Origin of the Sinhalese Language, Colombo.
ගුණවර්ධන, ඩබ්ලිව්. ඇෆ්. (1924) 1959, සිද්ධාන්ත පරීක්ෂණය හෙවත් ස්වභාෂා නීති සාරය, දෙවැනි මුද්‍රණය, කොළඹ.
Hardy, R.S., 1846/47, ‘On the Language and Literature of the Sinhalesse’ Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol. I, Pt. 2, 1846/47, pp. 99 - 104.
හෙට්ටිආරච්චි, ඩී. ඊ., 1964, "ලංකාවේ භාෂා (අ) සිංහල භාෂාව", ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, සංස්. හේම් චන්ද්‍ර රාය සහ තවත් අය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණාංශයේ සිංහල පරිවර්තනය, කැලණිය (I කා., I භා., I ග්‍ර., IV පරි., 34 - 41 පිටු).
ජයතිලක, ඩී. බී. (1937) 1977, සිංහල ශබ්දකෝෂය - ප්‍රථම භාගය (අ - අක්තොල් සිනහව), දෙවැනි මුද්‍රණය, කොළඹ.
Kirk, R.L., 1976, "The legend of prince vijaya a study of sinhalese origins”, American Journal of Physical Anthropology 45(1): 91-99&’
Knox, Robert, (1681), 1958, An Historical Relation of Ceylon, (London - 1681), Ceylon Historical Journal, Vol. VI, 2nd edition , Dehiwala.
Levman, Bryan , 2010, “Asokan Phonology and the Language of the Earliest Buddhist Tradition”, Canadian Journal of Buddhist Studies, Number 6, 2010, pp. 56-86.
Lewis, L. P., 1896, "Reland on Malay, Sinhalese and Tamil", Journal of the Ceylon Branch of the Royal Asiatic Society. Vol. XIV, No. 47, pp. 223 - 236.
Majumdar, R. C. , 1977, Ancient India, Motilal Banarsidass
1996. Outline of the History of Kalinga. Asian Educational Service
Matras, Yaron; Peter Bakker, eds. 2003, The Mixed Language Debate: Theoretical and Empirical Advances. Berlin: Walter de Gruyter,
Moraes, Frank R., 1975, ‘India’, Encyclopadia Britannica, (in 30 Vols.), 15th Edition, Chicago, Macropaedia, Vol. 9, pp. 276 - 302.
Nell, L., 1892, ‘The Ethnology of Ceylon’, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol. XII, No. 43, 1892, pp. 230 - 275.
Papiha, S. S. and S. S. Mastana, 1998, “Classical to Molecular Polymorphisms: Population Genetic Studies from the Indian Sub-Continent” in Genomic Diversity: Applications in Human Population Genetics, ed. Surinder S. Papiha, Ranjan Deka, and Ranajit Chakraborty, Springer Science+Business Media New York, pp.1-21
Paranavitana, S., (1956) 1982, Sigiri Graffiti, in 2 Vols., Reprint, Colombo.
පරණවිතාන, සෙනරත්, (1956) 1970, ''සිංහල භාෂා පරිණාමය", ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, (කාණ්ඩ දෙකකි) ද්විතීය භාගය (ප - ළො), ගල්කිස්ස, 1204 - 1219 පිටු.
පෙරේරා, ලක්ෂ්මන් සු. 1964, "මුටසීව රජු දක්වා ලංකාවේ පැරණි රජවරු", ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, සංස්. හේම් චන්ද්‍ර රාය සහ තවත් අය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාංශයේ සිංහල පරිවර්තනය, කැලණිය, I කා. I භා., I ග්‍ර., VII පරි., 95 - 102 පිටු.
රාය, හේම් චන්ද්‍ර සහ තවත් අය, 1964, ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කා., I භා., (University of Ceylon History of Ceylon, Vol. I, Pt. I, Ceylon University Press Board,1959.), (කැලණිය), විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාංශයේ සිංහල පරිවර්තනය.
Sharma, Tej Ram 1978, Personal and Geographical Names in the Gupta Empire. New Delhi:
Siddhartha, Rev. R., 1935, ‘The Indian Languages and their Relation with the Sinhalese Language’, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol. XXXIII, No. 88, Pts. I-IV, 1935, pp. 123 - 158.
Southworth, Franklin C. 2005, Linguistic Archaeology of South Asia, Routledge, London and Newyork.
Spink, Walter M. 2006, Ajanta: History and Development, Vol. 5: Cave by Cave. Leiden: Brill.
Surinder S. Papiha, Ranjan Deka, and Ranajit Chakraborty, Genomic Diversity: Applications in Human Population Genetics, ed. Springer Science+Business Media New York,
Taraporewala, I. J.S., (1931) 1962, Elements of the Science of Language, 3rd edition, Calcutta.
Thapar, B.K. and Abdul Rahman, “The Post Indus Cultures (1500–700 BC)”, in History of Humanity: Scientific and Cultural Development, Vol.. II: From the third millennium to the seventh century B.C., ed. A. H. Dani and J.-P. Mohen, 1996, UNESCO, p.673-701.
The Divyavadana, A Collection of Early Buddhist Legends, ed. E.B. Cowell and R. A. Neil,1886, Cambridge.
Thomason, Sarah G., 2001,”Social Factors and Linguistic Processes in the Emergence of Stable Mixed Languages”, Matras, Yaron; Peter Bakker, eds. (2003). The Mixed Language Debate: Theoretical and Empirical Advances. Berlin: Walter de Gruyter. pp. 21-40.
Thomason, Sarah G. , 2001, Language Contact, Edinburgh University Press Ltd, Edinburgh.
Voegelin, Charles F. and Florence M. Voegelin, 1975, ‘Languages of the World’, Encyclopadia Britannica, (in 30 Vols.), 15th Edition, Chicago, Macropaedia, Vol. 10, pp. 662 - 672.
Wijayaratna, D. J., 1956, History of Sinhalese Noun, Colombo.
Wijesekera, Nandadewa, People of Ceylon, 3rd Impression, 1987, Colombo.
විජේසේකර, නන්දදේව, 1964, "මනුෂ්‍ය වර්ග", ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, I කා., I භා., සංස්. සෙනරත් පරණවිතාන, කැලණිය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, 28-34 පිටු.
Zvelebil, Kamil V., 1975, ‘Dravidian Languages’, Encyclopadia Britannica, (in 30 Vols.), 15th Edition, Chicago, Macropaedia, Vol. 5, pp. 989 - 992.

No comments:

Post a Comment

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*