2020-04-04

හෙළ බස එදා - අද සහ හෙට

එච්. ඩී. සුගතපාල අනුස්මරණ දේශනය

ප්‍රධාන දේශක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගල මහතාගේ දේශනය

2015 පෙබරවාරි 27 වන දින කොළඹ 07 සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ දී පවත්වන ලද එච්.ඩී. සුගතපාල අනුස්මරණ උළෙලේ දී පවත්වන ලද දේශනය.

(පියසේන වික්‍රමගේ මහතා විසින් පටිගත කොට විද්‍යුත් යතුරු ලියනය කරවන ලදි)

ගරු සභාවෙන් අවසරයි. ආචාර්ය ඒ. ටී. ආරියරත්න මැතිතුමා, සිබිල් වෙත්තසිංහ මැතිනිය, සිරිසුමන ගොඩගේ මැතිතුමා, මගේ හිත මිත්‍ර ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මැතිතුමා සහ අපේ ප්‍රකාශක සංගමයේ ප්‍රේමසිරි මැතිතුමා, ඒ වගේම අනුර සී. පෙරේරා මහත්මයා, වීරමන් මහත්මයා, කරුණා පෙරේරා මැතිනිය, හේමා චන්ද්‍රිකා මැතිනිය, සුනීතා වික්‍රමගේ මැතිනිය ඇතුළු මේ සියලු ම දෙනා දන්නා පුරුදු මුහුණු. මේ සියලු දෙනා ම පෞද්ගලික ව දන්නා අය. සභාවකට වඩා කිසියම් සුහද හමුවක් කියලායි මට දැනෙන්නේ. සභාවකට ආවාම හුඟාක් වෙලාවට දකින්නේ දන්නේ නැති මුහුණු. මේ අපේ මාධ්‍යවලින් පැමිණ සිටින සහෝදරවරුනුත් අපි දන්නා අය. ඒ නිසා එක අතකින් මට සතුටක් ඇති වුණා.

සාහිත්‍යවේදී, අධ්‍යාපනඥ එච්. ඩී. සුගතපාල සූරීන් අනුස්මරණය කරමින් එතුමන්ගේ 103 වන ජන්ම සංවත්සරය - එතුමා ඉපදිලා තිඛෙන්නේ 1912 පෙබරවාරි 27 වන දා. මට වඩා අවුරුදු 50කටත් වඩා වැඩිමල් - වෙනුවෙන් සහ එතුමන් විසින් සම්පාදනය කරන ලද - ඒ කාලයේ ශ්‍රී ලංකාව නොවෙයි නේ ද? - ලංකාවේ ළමා සහ යෞවන සාහිත්‍යය පිළිබඳ පුස්තිකාව ජනගත කර එතුමා සම්බන්ධයෙන් මතකය අවදි කිරීමට, ප්‍රණීත් අබේසුන්දර මිතුරා කිව්වා වාගේ කෘතගුණ සැලකීමට, මෙවැනි රැස්වීමක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එච්. ඩී. සුගතපාල සමරු කමිටුවට සහ අපේ හිතමිත්‍ර පියසේන වික්‍රමගේ මහතාට මම ඛෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

සුගතපාල මහත්මයා ගැන මම අහලා තිබුණාට මට කවදාවත් එතුමා දකින්න හම්බ වුණේ නැහැ. මට මතකයි, නවමඟ සමහර පොත් මම කියෙව්වා. ඉර තරුවකි සහ Sun is a Star කියන පොත් දෙක මම කියෙව්වා. ඒ කාලයේ 70 ගණන්වල 80 ගණන්වල විතර හංස පොත් ප්‍රකාශකයෝ සමාගම තිඹිරිගස්යායේ හන්දියේ තිබුණා. ඒ එම ආයතනය වැහිච්ච කාලය. ඒ කාලයේ තමයි මම පොත් එකතු කරන්න ගියේ, ප්‍රණීත්ටත් මතක ඇති. එතැන තිබුණා, හංස පොත් සමාගමෙන් හොඳ පොත් ගහලා තිබුණා. මහාචාර්ය සුරවීර මහතාගේ පිඹිත් නළා සුරා මතින්, සිරිල් සී. පෙරේරා මහත්තයා පරිවර්තනය කරපු පිස්සු තරුණයා දුටුවිකාර සිහිනය, මහල්ලා සහ මුහුද හා චාමලී , ඒ. පී. ගුණරත්න මහතාගේ රන් කැකිර වැනි හංස නිවසෙන් පළ කළ පොත්. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ කළු නික සෙවීම; සයිමන් නවගත්තේගම මහතාගේ සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා; විමල් දිසානායක මහතාගේ ගිරිකුළ හා සඳ මඬල; ටී. බී. ඉලංගරත්න මහතා පරිවර්තනය කළ චාල්ස් ඩිකන්ස්ගේ අ ටේල් ඔෆ් ටූ සිටීස් දෙනුවර කතාව හා බර්ට්රන්ඩ් රසල් ශ්‍රීමතාණන්ගේ සුප්‍රකට පොතක් වන Marriage and Morals දයාරත්න ගරුසිංහ මහතා විසින් විවාහය හා සදාචාරය මැයෙන් පළ කළේත් හංස ප්‍රකාශනයක් වසයෙන්. ඉතා වැදගත් පොතක් හැටියට හඳුන්වන්න කැමති යි මහගම සේකරයන්ගේ සරු පොළොවක් අපට ඇතේ කියන පොත. - ගොඩගේ මහත්තයා අලුතෙන් මේ පොත පළ කරලා තිඛෙනවා.- මෙය ළමා පොතක්; ළමයින් සඳහා ලියූ පොතක්. මහගම සේකර මහතා විසින් ම අඳිනු ලැබූ චිත්‍රවලට ලීවලින් බ්ලොක් කපලායි ඒ පොතේ මුල් මුද්‍රණය පළ කරලා තිබුණේ. තවත් වැදගත් පොතක්, හුඟ දෙනකුට අමතක යි පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ සීතාවක උරුමය මාක්ස්වාදී දේශපාලනඥයෙක් ලංකාවේ ඉතිහාසය දෙස හෙළන 'දේශප්‍රේමී බැල්මක්'. හංස නිවස, හංස පොත් ප්‍රකාශකයෝ ඒ වාගේ හොඳ පොත් පළ කරන්න දැවැන්ත පියවරක් අරගෙන තිබුණා. මෙය එච්. ඩී. සුගතපාල මහත්තයාගේ දැවැන්ත ව්‍යාපෘතියක්.

අපට සුගතපාල මැතිතුමා වැදගත් වනවා, කාරණා කීපයක් නිසා. එක පැත්තකින් අපේ භාෂා අධ්‍යාපනය නඟා සිටුවන්නට සම්බන්ධ වුණු විද්වතෙක්. ඒ සඳහා ප්‍රධාන වැදගත් ම සාධකය තමයි එතුමා විසින් සම්පාදනය කරන ලද නවමඟ කියවීම් පොත් පෙළ. මේවා අතිරේක කියවීම් පොත් කියලා හඳුන්වන්නට පුළුවන්. අතිරේක කියවීම් පොත් කියලා කියන්නේ ශිෂ්‍යයාට භාෂාව ඉගෙන ගන්න අත් උදව්වක් හැටියට සම්පාදනය කරන බොහොම රසවත් කතාන්දර සහ පද්‍ය නිර්මාණ ඇතුළත් කළ, ශිෂ්‍යයාගේ වාක්කෝෂය වර්ධනය වන විධියට නව වචන සංග්‍රහ කළ, ඒ වාගේම ඔහුගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය වන අන්දමට පිළියෙල කළ පොත්. මේ නවමඟ පොත් වැටෙන්නේ මේ ගණයට.

අපේ රටේ ළමයින්ට කියවන්නට පොත් ලිවීම ආරම්භ වෙලා වැඩි කාලයක් නැහැ. අපි බොහොම අභිමානයෙන් කියනවා, අපට අවුරුදු 2500ක ඉතිහාසයක් තිඛෙනවා කියලා. ඒ 2500ක ඉතිහාසය තුළ අපට හම්බ වෙන සාහිත්‍යය ළමයා අමතක කළ සාහිත්‍යයක්. සමහර සාහිත්‍ය කෘතිවල, කාව්‍යශේඛරයේ ළදරු වර්ණනාව වැනි තැනක, ළමයින් ගැන සඳහන් ව තිබුණාට ළමයා කේන්ද්‍ර කර ගත් සාහිත්‍යයක් නැහැ. ඊ ළඟට අපට හමු වෙනවා, මහනුවර කාලයේ පිරිවෙන්වල උගන්වන්න සම්පාදනය කරපු පොත් කීපයක්. ඒවාත් හාමුදුරුවන්ට භාෂා ව්‍යවහාරය උගන්වන්නට පිළියෙල කරපු පොත් මිසක් බාලයන්ට පිළියෙල කළායි කියලා අපට හඳුනා ගන්නට බැහැ. නමුත් කිසියම් විධියක අධ්‍යාපන සම්ප්‍රදායයක් මෙරට පැවති බව පෙනී යනවා. එක්තරා විධියකින් අපේ රටේ ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයට ම අධ්‍යාපනය ලබා දුන් බවට සාධක හමු වෙතත් ඒ ලබා දුන් අධ්‍යාපනයේ ස්වරූපය නිශ්චිත ව හඳුනා ගත හැකි සාක්ෂ්‍ය හමු නො වන බව කිය යුතු වෙනවා. මෙවැනි පසුබිමක ළමයින්ට කියවීම් පොත් සම්පාදනය ආරම්භ කරන්නේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු ලන්දේසි ජාතිකයෝ 1700 ගණන්වල දී. ඒ අය තමයි මෙහි පුරෝගාමීන් වෙන්නේ. ඒ අය අප යටත් කර ගන්න ආවත් ඒ අයට නිසි ගෞරවය අපි ලබා දෙන්න ඕනෑ.

ලබන සඳුදාට බ්රිතාන්යයන් අපේ රට යටත් විජිතයක් බවට පත් කොට ගෙන අවුරුදු 200ක් සම්පූර්ණ වෙනවා. හරි නම් අපි ඇත්තට ම දැවැන්ත සංස්කෘතික වැඩ සටහනක්, උත්සවයක් පවත්වන්නට ඕනෑ, ඒ වෙනුවෙන්. අද අපි මේ නූතන සමාජයට ඇවිත් තිබෙන්නේ ඒ නිසායි. නමුත් කවුරුවත් ඒ ගැන අවධානය යොමු කරලා නැහැ. අපි ''යටත් විජිතවාදය", "ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියලා පපුවට ගහ ගත්තාට අපි මේ නූතනත්වයට ආවේ ඒ සුද්දෝ මේ රටට ආපු හින්දා. එහෙම නැත්නම් සමහර විට අපි තාමත් ඉතියෝපියාවටත් වඩා පසුගාමී වෙයි. යටත් විජිතයක් නොවුණු රටක් නේ ඉතියෝපියාව.

කොහොම නමුත් ඊට පසුව ළමයින් සඳහා විධිමත් පොත් සහ පාඩම් පොත් ආරම්භ වන්නේ බ්රිතාන්යයේ සම්ප්‍රදායත් එක්ක. බ්රිතාන්යයන් ලංකාව යටත් කර ගන්න කොට දියුණු පාසල් සම්ප්‍රදායයක් ඔවුනට තිබුණා. එහි ප්‍රතිඵලය හැටියට ඔවුන් මේ රටේ ආරම්භ කරනවා, නව පෙළ පොත්. මේ සම්බන්ධයෙන් මා දීර්ඝ වශයෙන් අදහස් පළ කරන්නට යන්නේ නැහැ. අපේ රටේ භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍යය සම්බන්ධ කීර්තිමත් උගතකු වූ අපේ ගුරුදේව මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමා මේ පෙළ පොත් ආරම්භය ගැන වටිනා ශාස්ත්‍රීය අධ්‍යයනයක් කර තිඛෙනවා ආරම්භක සිංහල කියවීම් පොත් පිළිබඳ ව මහාචාර්ය ඩී. ජේ. විජයරත්න උපහාර කලාපය සඳහා. එච්. ඩී. සුගතපාල මහත්මයාගේ අවධානය යොමු වුණු පළමු වන අංශය තමයි ශිෂ්‍යයන් සඳහා යෝග්‍ය කියවීම් ද්‍රව්‍ය සම්පාදනය කියන කාරණය.

දෙවනුව, එතුමා ග්‍රන්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් දැක්වූ අවධානය සහ උනන්දුව හා ඒ සම්බන්ධයෙන් එතුමාගේ ඇති විශේෂඥභාවය විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ග්‍රන්ථ ප්‍රකාශනයත් අපට ලන්දේසීන්ගෙන් ලැබුණු උරුමයක්. උරුමය කියන්නේ දෙමළ වචනයක්. උරුමය කියන එක මෙතැනට ගැළපෙනවා, මම හිතන්නේ. යමක් අපේ බවට පත් වෙලා නම් ඒක අපේ උරුමයක්.

ලෝකයේ මේ ග්‍රන්ථ ප්‍රකාශනය ආරම්භය සිදු වී තිඛෙන්නේ ධනේශ්වර ක්‍රමය කියලා හඳුන්වන මේ අලූත් සමාජ ආර්ථික ක්‍රමයේ වර්ධනයත් එක්ක. ඊට කලින් ලෝකය පුරා ම පොත තිබුණේ පූජ්‍යස්ථානවල; පන්සල්වල නැත්නම් පල්ලිවල හා ප්‍රභූන් භාරයේ පමණ යි.

සිංහල උගතුන් අතර බොහොම ප්‍රසිද්ධ කවියක් තිඛෙනවා, කව් සිළුමිණේ පිටපතක් ඉල්ලා, ප්‍රහේලිකා ස්වරූපයෙන් කරතොට හාමුදුරුවෝ ලියපු.

රැකලා කෙවුලූ ලීසිට තැළුවා සෙමින
පැනලා ගිය මෙගණ සය මැද වණ කෙමෙන
දැනලා මෙනම් යුත් පොත විමසා සොඳින
නුමුලාසි ව එවනු අප වෙත කර කුලුන

කියලා.

පණ්ඩිතයන්ටවත් තේරෙන්නේ නැති විධියට යාළුවකුට ලියලා යවනවා, "මට කරුණාකරලා කව් සිළුමිණේ පිටපත එවන්න" කියලා. උගතුන් අත මේ පොත් තිබුණා. මේ පොත්වලට වැන්දා.

සුරවීර මහාචාර්යතුමා වාර්තා කරනවා නවසිය හැට ගණන්වල දී එතුමාගේ අත්දැකීමක්. පුස්කොළ පොතක් අරන් දුම්රියේ යද්දී වැඩිහිටි ස්ත්‍රියක් - මාතාවක් - මහත්තයෝ දෙන්න පොත් වහන්සේ මම ගරුසරු ඇතිව තියා ගන්නම් කියලා පුස්කොළ පොතට වැඳලා දෝතට ගත්තු බව. අපි එදා කිව්වේ, 'පොත් වහන්සේ' කියලා. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ කියලා එදා කිව්වේ. ඒ තත්ත්වය වෙනස් වෙනවා, මුද්‍රණයත් එක්ක. පොතට වෙළෙඳ වටිනාකමක් එනවා. අද 'පොත් වහන්සේ' කියලා කියන්නේ නැහැ. අද පොත වෙළෙඳ භාණ්ඩයක්. සැප්තැම්බර් මාසයේ දී ප්‍රේමසිරි මහත්තයාලා, වීරමන් මහත්තයාලා, ගොඩගේ මහත්තයාලා මුල් වෙලා කරන කොළඹ අන්තර්ජාතික පොත් සල්පිලේ දී අපට පෙනෙනවා, පොත වෙළෙඳ භාණ්ඩයක් වෙලා කියන එක. වාණිජ භාණ්ඩයක් වීමත් එක්ක පොතට මිලක් නියම වුණා වාගේ ම අනෙක් පැත්තෙන් පොත යාන්ත්‍රික ව නිෂ්පාදනය කිරීම වැඩි වුණා. ඒ එක්ක ම අලූතින් පාඨකයන් බිහි වුණා. ඉස්සර හිටියේ නැහැ, පාඨකයෝ. ඉස්සර හිටියේ ශ්‍රාවකයෝ. ඉස්සර උගතාට කිව්වේ 'බහුශ්‍රැතයා' කියලා. 'බහුශ්‍රැත' කියන්නේ බොහෝ දේවල් ඇසූ කියන එක. බොහෝ දේ අසා දැනුම පුරවා ගත් නැත් නම් දැනුමින් පිරුණු තැනැත්තා. අද කියවන තැනැත්තෙක්, එනම් පාඨකයෙක් බිහි වෙලා. මෙවැනි වෙනස්කමක් තමයි අපේ රටේ දහනව වන ශතවර්ෂයේ දී පොතට සිද්ධ වුණේ. මේ තත්ත්වය මත දැන් ප්‍රකාශකයෝ ඉන්නවා.

මේ තත්ත්වය යටතේ අපට හම්බ වෙනවා, 'ප්‍රකාශකයා' කියලා අලුත් කෙනෙක්. ප්‍රකාශකයා යනු සාහිත්‍යය හා සංගීත නිර්මාණ හෝ තොරතුරු හෝ විතරණය කරන්නා කියා හැඳින්වෙනවා. ප්‍රකාශකයාගේ කාර්යය - එනම් ප්‍රකාශනය - නිෂ්පාදනය හා පතළ කිරීම සඳහා යෝග්‍ය පොත් හෝ සංගීතමය නිර්මාණ හෝ තෝරා ගැනීම, නිෂ්පාදනය සහ ඛෙදා හැරීම යනුවෙන් ත්‍රිවිධාකාර වන බව සාහිත්යික සමාජවිද්‍යා පර්යේෂක රොබට් එස්කාපිට් දක්වනවා තනි පුද්ගලයකුගේ කාර්යයක් විශාල ජන කොට්ඨාසයක් ඉදිරියට පැමිණවීම ප්‍රකාශකයාගේ පරම කාර්යය බවත් එස්කාපිට් පෙන්වා දෙනවා. මෙහි දී පාඨක පිරිස කෙරෙහි අවධානය යොමු කරමින් කෘති තෝරා ගැනීම මෙන් ම කෘතියට යෝග්‍ය පාඨක පිරිස තෝරා ගැනීමත් ප්‍රකාශකයා කළ යුතු වෙනවා. ලේඛකයාත් පාඨකයාත් අතර සුහද සම්බන්ධය ඇති කර ගැනීමත් ප්‍රකාශකයාගේ වගකීමක්.

දැන් මෙතැන ඉන්නවා, අපේ රටේ ඉන්නා ප්‍රධාන ග්‍රන්ථ ප්‍රකාශකයෝ කිහිප දෙනා. මා දන්නා හැටියට ගොඩගේ මහත්තයා තමයි දැනට අවුරුදු දශක තුනකට වැඩි කාලයක් හොඳ ම ප්‍රකාශකයා හැටියට සම්මාන ලබා ගත්ත වැඩි ම පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශකයා. හොඳ පොත් ප්‍රකාශන ආයතන සහ පොත් වෙළෙඳසැල් වෙනුවෙන් අපේ ප්‍රේමසිරි මහත්මයා ආදීන් සම්මානයට ලක් වුණා. මේ අයගේ වෘත්තිය අපේ ලංකාවට විධිමත් ව ඇවිල්ලා තව ම අවුරුදු සියයකට වැඩිය නැහැ. මේ තත්ත්වය තුළ අපේ සුගතපාල මහත්මයා 1970 දී ග්‍රන්ථ ප්‍රකාශනය විධිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශේෂයෙන් අපේ අවධානයට යොමු කරන්න ඕනෑ කාරණයක්. 1970 දී හංස පොත් ප්‍රකාශකයෝ සමාගම පිහිටුවීමෙන්, එතුමා ඊට පුරෝගාමී වීමෙන් ප්‍රකාශකයාට සමාජයේ වගකීමක් තිඛෙන බව එතුමා පෙන්නුම් කළා.

ප්‍රකාශකයා කියන්නේ අතට අහු වෙන හැම දේ ම අච්චු ගහන කෙනෙක් නොවෙයි. සමහර විට මම ගොඩගේ මහත්තයා එක්කත් මේ ගැන කියනවා. "ගොඩගේ මහත්තයෝ, මේ වාගේ පොත් ගහන්නේ ඇයි?" කියලා මම එතුමාගෙන් සමහර විට අහනවා. ගොඩගේ මහත්තයා කියනවා, "මේ ආධුනිකයන්ට අත දෙන්න කෙනෙක් නැහැ, මම මේවා නොගැහුවොත් කියලා." නමුත් මම කියනවා, අතට අහු වෙන හැම එකක් ම ගහන්න එපා කියලා. අපි වුණත් දෙයක් දුන්නොත් ඒක ගහන්න එපා. හොයලා බලලා ගහන්න. සුගතපාල මහත්තයා ඒ වගකීම ගැන මීට දශක හතරකට කලින් - හතරකට කලින් නේ ආරම්භ කරන්නේ. ඒ කියන්නේ ඊටත් කලින් අවබෝධ කර ගෙන ඇති.- අවබෝධයෙන් සවිඥානක ව සිටපු කෙනෙක්.

ඒ වාගේ හොඳ ප්‍රමිතියෙන් සහ නිෂ්පාදන ගුණාත්මකභාවයෙන් යුක්ත පොත් පළ කිරීම ප්‍රකාශකයාගේ වගකීමක්. මා ළඟ තව ම තිඛෙනවා, මහගම සේකර මහත්තයාගේ සරු පොළොවක් අපට ඇතේ පොතේ මුල් මුද්‍රණය. ඒ කාලයේ අච්චු ගැසුවේ ලෙටර් ප්රෙස් ක්‍රමයට නේ. ලෙටර් ප්රෙස් ක්‍රමයට අච්චු ගහපු පරණ පොත් අල්ලන කොට අර බ්රේල් ක්‍රමයට කියවන්නන්ට වාගේ අකුරු අනෙක් පැත්තෙන් මතු වෙලා තිඛෙනවා. මේක එහෙම නොවෙයි, ඕෆ් සෙට් මුද්‍රණය කළා වාගේ ඉතා හොඳින් මනහර අන්දමින් ඒ පොත් තිබෙනවා. ගුණාත්මක බවින් යුත් නිෂ්පාදනය සහ උසස් ප්‍රමිතිය ගැන එතුමා අවධානය යොමු කර තිබුණා. ඒ ගැන අපි අගය කරන්න ඕනෑ. එතුමාගේ ආයතනය දීර්ඝකාලීන ව පවත්වා ගෙන යාමට නොහැකි වීම එක පැත්තකින් අපේ අවාසනාවක්. ඒ හිස් තැන පුරවන්න අද අපේ ප්‍රකාශක මහත්වරු සිටීම ගැන අපි සතුටු වෙනවා.

සාහිත්‍යයේ සමාජීය අගය ගැන මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා කියලා තිඛෙනවා, හොඳ සාහිත්‍ය කෘතියක් කියවන තරුණයා තැන්පත් නුවණින් යුතු මහල්ලෙකු බවට පත් වෙනවා කියලා. වික්‍රමසිංහ මහත්තයා එහෙමයි කියන්නේ. හොඳ සාහිත්‍ය කෘතියක් කියවන තරුණයා මහල්ලකු බවට පත් වෙනවා කියලා එතුමා කියනවා. අපිත් ඩයි එහෙම ගාන්නේ නැතුව, රැවුලේ සුදු පාට එහෙම ම තියා ගෙන, මහලූ පෙනුම පෙන්නා ගෙන ඉන්නවා, ගතිගුණවලින් කොහොම වෙතත් පෙනුමින්වත් මහල්ලෙක් වෙන්න. එහෙම මහල්ලෙක් නොවෙයි, හැසිරීමෙන් මහල්ලෙක්, ඇවතුම් පැවතුම්වලින් මහල්ලෙක්, ගතිගුණවලින් මහල්ලෙක් ඒ කියන්නේ පරිණතභාවයෙන් මහල්ලෙක් ගැනයි එතුමා කිව්වේ. 'ජීවිත පරිඥානය' කියන යෙදුම වික්‍රමසිංහ මහත්තයා යෙදුවා. ඒ වාගේ ම එතුමා කිව්වා, "ජාතක පොත කියවීමෙන් අවුරුදු දෙතුන් සියයක ජීවත් වීමෙන් ලැබිය නො හැකි තරම් ජීවිතාවබෝධයක් ලබන්න පුළුවන්" කියලා.

අද නම් සාහිත්‍යය කියලා නිකුත් කරන කඩදාසි ගොඩවල් දැකීමෙන් ජීවිත පරිඥානය නොවෙයි, ජීවිතය ගැන අප්පිරියාවකුයි ඇති වෙන්නේ. "අනේ! අපොයි!! මම දකින ඒවා." කියලා හිතෙනවා. ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙනවා වෙනුවට ජීවිතය ගැන මහා හිරිකිතයක් ඇති වන තත්ත්වයක් ඇති වෙනවා. මම ඕක නිතර කියනවා. කරන්න දෙයක් නැහැ. ජීවිතය ගැන පරිඥානය නොවෙයි සිය දිවි නසා ගන්න තරම් හිතෙනවා. ඒ වාගේ තත්ත්වයක් ඇති වෙනවා, අද නම්. මනුෂ්‍ය ජීවිතවලවත්, සමාජයේවත් මොනවත් ම නැහැ, බලා ගෙන ගියාම.

මම මේ මුල් හැඳින්වීම කළේ සුගතපාල මහත්මයා ගැන මූලික හැදින්වීමක් හැටියට. මෙහි සංවිධායක අපේ වික්‍රමගේ මහත්තයා මට මාතෘකාවක් දුන්නා

සිංහල බස එදා - අද සහ හෙට... කියලා.

මේ මාතෘකාවේ අංශ හතරක් තිබෙනවා. පළමු ව, සිංහල භාෂාව කියන අංශය.

අද ලෝකයේ භාෂාව පිළිබඳ දත්ත සහ තොරතුරු සම්පාදනය කරන ප්‍රධාන ආයතනයක් තිඛෙනවා, Ethnologue කියලා. මේ ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2007 වන විට සිංහල භාෂාව ව්‍යවහාර කරන, ඒ කියන්නේ සිංහල මවු බස වන ජන සංඛ්‍යාව 1,55,00,000ක් වෙනවා. ඊට අමතර ව, සිංහල කථා කරන්න දන්න අය 1,57,00,000 ආසන්න සංඛ්‍යාවක් කියලා ඒ අයගේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. දෙවන බසක් හැටියට සිංහල බස ව්‍යවහාර කළ හැකි සංඛ්‍යාව ඇතුළත් වූ කල එය කෝටි දෙකක් බවත් මේ අයගේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. ඔවුන් කියනවා, මේ මුළු දිවයිනේ ම සිංහල භාෂාව පැතිර තිඛෙනවා කියලා. විශේෂයෙන්ම උතුර, නැඟෙනහිර පළාත් දෙකේ සහ මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශ හැර දිවයින පුරා ම සිංහල භාෂකයන් ව්‍යාප්ත ව සිටිනවා. අපි දන්නවා, උතුරු හා නැඟෙනහිර පළාත්වල ප්‍රධාන භාෂාව සිංහල නොවෙයි කියලා. මධ්‍යම පළාතේත් සිංහල කථා නොකරන ප්‍රදේශ කීපයක් තිබෙනවා. ඒ හැරෙන්න රට පුරා ම සිංහල භාෂාව ව්‍යාප්ත වෙලා තිඛෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල භාෂාව රට පුරා ම ජාතික භාෂාවක් හැටියට පත් වෙලා තිඛෙනවා.

ලෝකයේ භාෂා වර්ග කරන ක්‍රම කීපයක් උගතුන් අතර, භාෂාඥයන් අතර සම්මත වී තිබෙනවා. එයින් එක් ක්‍රමයක් වනනේ භාෂා ඥාති සම්බන්ධතා අනුව කෙරෙන වර්ගීකරණය. සිංහල භාෂාවේ ඥාති සම්බන්ධකම් අනුව සිංහල භාෂාව වර්ග කළ විට එය, ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ඉන්දු-ආර්ය ගණයට අයිති වෙනවා. ඊට අමතර ව, සිංහල භාෂාවේ සම්බන්ධකම් තිඛෙන භාෂා. සිංහල භාෂාවෙන් බිඳුණු භාෂා දෙකක් හැටියට දැක්වෙන්නේ, රොඩී බස හා වැදි බස. දිවෙහි බස එහෙමත් නැත්නම් මාලදිවයින් භාෂාව සිංහල භාෂාවේ දුවක් හෙවත් දුහිතෘ භාෂාවක් කියා සැලකෙනවා. එනම් සිංහලයෙන් බිඳී ගිය බසක් හැටියට සැලකෙනවා. පොලොන්නරු රාජධානි සමයේ පමණ ලංකාවෙන් ගොස් මාල දිවයින් ජනාවාස කළ "සිංහලයන්" ව්‍යවහාර කළ භාෂාව වෙනස් වීම නිසා දිවෙහි බස ඇති වූ බව පිළිගැනෙනවා.

මෙන්න මේ ටික තමයි සිංහල භාෂාවේ උප්පැන්න සහතිකය. මේ හැර තවත් උප්පැන්න සහතික සිංහල භාෂාවට තිබේදැයි මම නොදනිමි.

භාෂාවේ තත්ත්වය ගැන සලකන කල සිංහල භාෂාව සම්පූර්ණයෙන් සංවර්ධනය වුණු භාෂාවක් කියා සැලකෙනවා. fully developed කියන වචනය Ethnologue ආයතනය යොදනවා. ඒ අය ඊට හේතුව දක්වනවා

පළමු වැන්න ලේඛනය සඳහා වර්තමානයේ විධිමත් සංකේත පද්ධතියක් හෙවත් අක්ෂර මාලාවක් භාවිත වීම හා එය දීර්ඝකාලීන ඓතිහාසික පරිණාමයක් සහිත වීම

දෙවැන්න භාෂකයන්ගේ සාක්ෂරතා අනුපාතය ඉහළ අගයක් ගැනීම හා භාෂා කලාපයේ ප්‍රධාන භාෂාවක් සේ සැලකීම

තෙවනු ව විවිධ වර්ගයේ සාහිත්‍ය ප්‍රවර්ගයන්හි (ගද්‍ය පද්‍ය නිර්මාණ, පරිවර්තන කෘති (සෞඛ්‍ය, සංවර්ධන සාහිත්‍යය හා බයිබලය) පැවැත්ම හා පුවත් පත්, සඟරා ආදි වෙනත් මුද්‍රිත මාධ්‍යයන්හි පැවැත්ම } 1823 සිට 1992 දක්වා අවුරුදු 160ක පමණ කාලයක් තුළ බයිබලයේ පරිවර්තන ගණනාවක් සිංහලෙන් පළ වී තිඛෙනවා. 1700 ගණන්වල දී බයිබලය මුලින් ම ලන්දේසීන් ආරම්භ කරනවා. ඒ බයිබලය වරින් වර සංශෝධනය කරලා සම්මත ස්වරූපයකට ගෙනෙනවා. කිසියම් පොතක් සම්පාදනය කරලා, විධිමත් ව සංස්කරණය කරලා සම්මත ස්වරූපයකට යම් භාෂාවක් ගෙනෙනවා නම් එය දියුණු භාෂාවක් කියා සැලකිය හැකි යි.

සිවු වනු ව, ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි විකාශන මාධ්‍ය, සංයුක්ත හෙවත් සංගත තැටි හා පටිගත කළ මාධ්‍ය, ඩිජිටල්, වීඩියෝ තැටි ආදිය, හෝ චිත්‍රපට හා වීඩියෝ පට, නව මාධ්‍ය යනුවෙන් හඳුන්වනු ලබන චැට් කාමර, Podcasts සහ MP3 ආදි බාගත කිරීම් හා ජංගම දූරකථන හෝ වෙනත් ඉලෙක්ට්රොනික උපාංග මාර්ගයෙන් භාවිත කළ හැකි වීම, කෙටි පණිවුඩ හා අන්තර්ජාල පෘෂ්ඨ (වෙබ් පිටු) මත භාෂා භාවිතය.

පස් වනු ව පරිපාලන කාර්ය සඳහා භාෂා භාවිතය.

සවනු ව සිය දෙවැනි භාෂාව ලෙස අන් අය විසින් භාෂා භාවිතය.

මේ ලක්ෂණ සියල්ල සිංහල භාෂාව සම්බන්ධයෙන් ගැළපෙනවා.

ඒ සියල්ල කෙසේ වෙතත් ප්‍රධාන වසයෙන්

graphization - රේඛා චිත්‍රීකරණය එනම් ලේඛන පද්ධතික සංවර්ධනය හෙවත් ස්වාධීන වූ අක්ෂර රූප මාලාවක් තිබීම.

standardization - ප්‍රමිතිකරණය කලාපීය හා සමාජීය උපභාෂා වසයෙන් පවත්නා ප්‍රභේදන ඉක්මවූ ප්‍රතිමාන සහිත සම්මත ව්‍යවහාරයක් තිබීම.

modernization - නවීකරණය කාර්මික, ලෞකික හා ව්‍යූහාත්මක රූප විභේදිත නවීකෘත සමාජයන්හි පුළුල් පරාසයක විෂයානුබද්ධ සංකථන පරිවර්තනය හා පවත්වා ගෙන යෑමේ හැකියාව වර්ධනය වී තිබීම.

සිංහල භාෂාව සම්බන්ධයෙන් මේ ලක්ෂණ තුන පමණක් සැලකුවත් සිංහලය පූර්ණ වසයෙන් සංවර්ධිත භාෂාවක් සේ හැඳින්විය හැකි යි. භාෂා සංවර්ධනය යනු භාෂක ප්‍රජාවකට ඔවුන්ගේ භාෂාව ඔවුන්ගේ සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථීක මෙන් ම ආධ්‍යාත්මික අපේක්ෂා සාධනය සඳහා ඵලදායී ලෙස භාවිත කළ හැකි බව තහවුරු කිරීම සඳහා පවත්නා සැලසුම් සහගත ක්‍රියාමාලාවේ ප්‍රතිඵලයක් විය යුතු යි.

අපි දන්නවා, සිංහල භාෂාව ලෝකයේ තිඛෙන භාෂා අතර සුවිශේෂ භාෂාවක් බව. හැබැයි සමහරු කියනවා, එහෙම නො වෙයි කියලා. දැනට සති කීපයකට ඉහත දී අපේ හිතවත් ආචාර්යවරයකු වන මහාචාර්ය විනී විතාරණ මහත්මයා පත්තරයක සම්මුඛ සාකච්ඡාවකට කියලා තිබුණා, '' සමහරු කියනවා, සිංහල භාෂාව සුවිශේෂී භාෂාවක් කියලා, නමුත් ඒක එහෙම නො වෙයි, එහෙම කියන්නේ සමාජය තුළ කැපී පෙනෙන ආශාවෙන් පෙළෙන අය යි " කියලා. එතුමාගේ මතයට අපට එකඟ වන්න බැහැ. එතුමාගේ මතයට ගිය සතියේ දී මගේ ගුරුදේව මහාචාර්ය බලගල්ලේ මැතිතුමාට පිළිතුරු දෙන්න සිදු වුණා. එතුමා කිව්වා, "එහෙම කියන්න ඕනෑ නැහැ. සිංහල භාෂාව සුවිශේෂ භාෂාවක්" කියලා. ඔව්. ඒ නිසා ම තමයි මට මේ මාතෘකාව වික්‍රමගේ මහත්තයා දුන්නේත්, ඒ මාතෘකාවට මා එකඟ වුණෙත්. සිංහල භාෂාව 'සුවිශේෂ භාෂාවක්' ඇයි ඒ?

පළමු ව, අපි මේ භාෂාව සුවිශේෂ භාෂාවක් කියලා කියන්නේ, අපට මේ භාෂාව ගැන ගෞරවාන්විත හැඟීමක් තිඛෙන නිසා. මෙය අපේ මවුබස හැටියටයි අපට උරුම වුණේ. මේ භාෂාවෙන් අපට සියලූ ම දේවල් කරන්නට පුළුවන්.

එක වතාවක් මාර්ටින් වික්‍රමසිංහයන් ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් සඳහන් කෙළේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇමීබාගේ පටන් බුදු දහම සහ මාක්ස්වාදය දක්වා ලියූ බව යි. ඇමීබා කියන්නේ ජීවයේ මූලික ම, සරල ම අවස්ථාවක් වන ඒක සෛලික ජීවියෙක්. බුදු දහම සහ මාක්ස්වාදය කියලා කිව්වේ පෙරදිග සහ අපරදිග සම්ප්‍රදායයන් දෙකකට අයිති, කාල වකවානු දෙකකට අයිති, දාර්ශනික චින්තන ධාරා දෙකක්. ජීවයේ වර්ධනයේ උසස් ම සංකීර්ණ ම අවස්ථාව වන මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ ම මට්ටමෙන් බිහි වූ දර්ශන දෙකක්. මේවා සියල්ල ගැන සිංහලෙන් ලියන්න පුළුවන්. අපට එය අභිමානයෙන් කියන්න පුළුවන්. සිංහල භාෂාවේ ඒ අභිමානය තිඛෙනවා. ඒ නිසා අපට වෙන භාෂාවකින් කටයුතු නො කර, සිංහල භාෂාවෙන් කටයුතු කරන්න හැම තැනක දී ම පුළුවන්. අපට දෙවන භාෂාවක් අවශ්‍ය වන්නේ සිංහල නො දන්නා භාෂක කණ්ඩායමක් අමතන්න වුණොත් පමණයි. මෙතැන සිංහල නො දන්නා පිරිසක් සිටියොත් අප මේ අදහස් පළ කළ යුත්තේ වෙනත් භාෂාවකින්, ඔවුන්ට තේරෙන මාධ්‍යයක් භාවිත කරන්න වෙනවා. එහෙම නැත්නම් ඕනෑ ම සභාවක, මේ සිංහල භාෂාව තේරුම් ගත හැකි පිරිසක් සිටින සභාවක අපට ඕනෑ ම විෂයයක් පිළිබඳ ව කථා කරන්න පුළුවන්. භෞතික විද්‍යාවේ පදාර්ථයේ මූලික ගුණාංගයන්හි පටන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව දක්වා අපට කථා කරන්න පුළුවන්. දර්ශනය සම්බන්ධයෙන් පූර්ව සොක්‍රටීය දර්ශනයේ සිට විශ්ලේෂී හා මහාද්වීපීය දර්ශනය තෙක් කතා කළ හැකි යි. සිංහලෙන් යහපාලනය ගැනත් කථා කරනවා; ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් කථා කරනවා; වගවීම, විනිවිදභාවය, උපායමාර්ගික දැක්ම, නීතියේ පරමාධිපත්‍යය, නිර්වාණය, ස්වර්ගය, අපාය ගැන... ඕනෑ ම විෂයයක් ගැන කථා කරන්න පුළුවන්. සිංහලය ගැන අපට ඒ අභිමානය තිඛෙනවා. එය දියුණු භාෂාවක්.

පෞරාණිකත්වය සම්බන්ධයෙන් අපට විශේෂත්වයක් තිබෙනවා. ලෝකයේ බොහෝ භාෂා තිබෙනවා. වර්තමාන ව්‍යවහාර භාෂා සංඛ්‍යාව ගැන ඒකමතිකත්වයක් නැහැ. භාෂාධ්‍යයනයේ නිරත වන සමහරු කියනවා, ලෝකයේ භාෂා 7,000ක් තිඛෙනවා කියලා, තවත් සමහරු කියනවා, භාෂා 10,000යි කියලා. එයට හේතු වී තිඛෙන්නේ ජන සංගණන ආදියේ දී තොරතුරු එකතු කරන විට සමහර භාෂකයන් දක්වන අදහස්. "අපි කථා කරන්නේ අර පැත්තේ අර ගංගාවෙන් එහා පැත්තේ ඉන්න අයගේ භාෂාව නොවෙයි, වෙනත් භාෂාවක්" කියා ඇතැම් විට කිසියම් භාෂක ප්‍රජාවක් කියනවා විය හැකි යි. එක ම භාෂාවක, පළාත අනුව, සමහර විට ජන කණ්ඩායම් අනුව, උච්චාරණ වෙනස්කම් අනුව පවත්නා විශේෂතා හේතුවෙන් ඒ ඒ ජන කොටස තම තමන්ගේ භාෂා ව්‍යවහාරය ස්වාධීන භාෂාවක් නැත් නම් තනි භාෂාවක් හැටියට සැලකීමක් විය හැකි යි. ඇත්තට ම එය ස්වාධීන භාෂාවක් නො වී තවත් භාෂාවක ප්‍රදේශීය ව්‍යවහාරයක් විය හැකි යි. සිංහලයේ එහෙම භේදයක් නැහැ. උඩරට අය කථා කරන සිංහල භාෂාවටත් ඒ අය කියන්නේ සිංහලය කියලා, පහත රට අය කථා කරන සිංහල භාෂාවටත් ඒ අය කියන්නේ සිංහලය කියලා. බස්නාහිර පළාතේ සිංහලත් සිංහල. බැරි වෙලාවත් උඩරට අය කිව්වොත් අපි කථා කරන්නේ කොළඹ තිඛෙන සිංහල නො වෙයි, ඒ උඩරට සිංහල, ඒක වෙන භාෂාවක් කියලා, අන්න ඒ අය අර සංඛ්‍යා ලේඛනවලට දමනවා, ''වෙනත් භාෂාවක්" කියලා. එක හින්දා තමයි ඉලක්කම් ගැන ඒකමතිකත්වයක් නැත්තේ. කොහොම හරි මේ භාෂා 7,000 හෝ 10,000 ඇතුළත තිඛෙනවා, 'පැරණි භාෂා' යැයි සැලකිය හැකි භාෂාත්.

ඇත්තට ම ලෝකයේ පැරණිම භාෂාව කුමක් දැයි නිශ්චිත ව කිය නොහැකි යි. පැරණි භාෂණය හා උච්චාරණය අපට දැක ගත හැකි වන්නේ නැහැ. භාෂාවක පැරණිකම සලකන්නේ පවත්නා පැරණි ම ලේඛන නිදර්ශන අනුව යි. සමහර පැරණි භාෂා සම්බන්ධ ලේඛන නිදර්ශන තිබුණාට අද ව්‍යවහාරයෙන් ඈත් වෙලා. අද මේ ලෝකයේ තිඛෙන පැරණි භාෂා අතරින් ග්‍රීක භාෂාව හා චීන භාෂාව හැරුණු කොට දීර්ඝ කාලයක් අඛණ්ඩ ව භාවිත කළ භාෂාවක් වන්නේ සිංහල යි.

සිංහල භාෂාව ගැන අපට ක්‍රිස්තු පූර්ව තුන් වන ශතවර්ෂයේ සිට ලිඛිත සාධක තිබෙනවා. සමහරුන් උත්සාහ කරනවා ලංකාවෙ ලේඛන සාධක ක්‍ර්ස්තු පූර්ව 600-400 තරම් ඈතට යන බව පෙන්වන්න. අනුරාධපුර ඇතුළු නුවරින් හමු වුණු, අකුරු කුරුටු ගා තිබෙන වළන් කටු දෙකක් පදනම් කර ගෙන. ඒ වළන් කටු අයිති කොයි කාලෙට ද කියා කිසි .තැනක කාල නිර්ණය කර නැහැ. මා මේ ගැන ආචාර්ය සිරාන් දැරණියගල මහතාගෙනුත් විමසුවා. එතුමා කිව්වේ කාල නිර්ණය කළේ කැණීම් ස්තර පමණක් බව යි. යම් විධිහකින් අකුරු සහිත වළන් කටුවලටත් ඈත දිනයක් ලැබුණොත් ලංකාව තමයි මේ කලාපයේ පැ‍රණි ම ලේඛන සාධක තියෙන රට. එහෙම වෙන්න තවත් සංස්කෘතික සාධක ගණණාවක් අවශ්‍ය වෙනවා. ඒ ගැන මෙතන දී දිගින් දිගට කතා කිරීම මාතෘකාවෙන් පිට පැනීමක් වෙයි. කොහොම වුණත් අද ඒකමතික ව පිළිගන්නවා ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ පටන් අපි අකුරු ලිව්වා කියලා. ඇයි? ඒ බවට නොබිඳිය හැකි සාධක තිබෙන නිසා. යම් භාෂාවක ලිඛිත සාධක හමු වන්නේ භාෂාවට අකුරු මාලාවක් හදා ගත්තු දිනයේ පටන් ම නොවෙයි. එතකොට ඒක ඊටත් වඩා අවුරුදු පන්සීයකට, දාහකට ඉස්සර සිට භාවිත කරන්න ඇති. මවාවංසෙ කියනවා දේවානම්ලිය තිස්ස රජුගේ කාලයට පෙර ලිපි ගනුදෙනු කිහිපයක් ගැන. අකුරු තියෙන්න ඇති. වෙළඳාමට නාවිකයන් පැමිණි බවට ප්‍රවාද වගේ ම පුරාවිද්‍යා සාධකත් හමු වෙන නිසා එහෙම විය හැකි යි. කොහොම වුණත් ක්‍රිස්තු පූර්ව තුන් වැනි දෙවැනි සියවස්වල පටන් ඒ ලිඛිත සාධක තිබෙනවා. ඊට වඩා පැරණි මිසර කොප්ටික්, සුමේරියන් වැනි භාෂාවලට පැරණි ලිඛිත සාධක තිබුණාට ඒවා මඟ දී නතර වුණා; කැඩුණා. ග්‍රීක භාෂාව හැරුණු විට චීන භාෂාවටත් ඒ ඉතිහාසය තිඛෙනවා. හීබ්රූ භාෂාව ක්‍රිස්තු වර්ෂය ආරම්භ වීමට වසර දහසකට පමණ පෙර සිට භාවිත වී තිබෙන බසක්. මේ භාෂා දෙක තුන පමණයි පැරණි භාෂාවලට තිඛෙන්නේ. මිසර, සුමේරියන් භාෂා අවුරුදු තුන් හාර දහසක් පැරණි වුණාට ඒවා මඟ දී කඩා ගෙන වැටුණා. සංස්කෘත භාෂාවත් එවැනි යි. අද වන තෙක් ඒ ගොල්ලන්ගේ අඛණ්ඩ පැවැත්මක් නැහැ. ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසේ සිට අඛණ්ඩ පැවැත්මක් පිළිබඳ ලිඛිත සාධක තිබීම අපේ භාෂාවේ විශේෂත්වයක් වෙනවා. ඒක වැදගත්. එදා සිට අද දක්වා අකුරු ලියා ඇති සැටි ආරක්ෂා වෙලා තිඛෙනවා. අකුරු විකාසනය වුණු ආකාරයත් සියවසින් සියවසට විග්‍රහ කර දැක්විය හැකි යි. ඒ වගේ ම භාෂාවත් ක්‍රමයෙන් පරිණාමය වුණු ආකාරය දැක්විය හැකි යි. සමහර භාෂාවලට ඒ තරම් පැරණි ලේඛන ඉතිහාසයක් නැහැ; ලේඛනය සාහිත්‍යය සම්බන්ධයෙන් නිදර්ශනත් නැහැ. ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ සිට අපේ පොත් ලියැවුණු බවට සාධක තිඛෙනවා. ක්‍රිස්තු වර්ෂ දහ වැනි ශතවර්ෂයේ ඉඳලා ලියැවුණු පොත් ඉතිරි වෙලා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ හත් වැනි, අට වැනි ශතවර්ෂවල ඉඳලා ලියැවුණු සාහිත්‍ය නිර්මාණ තියෙනවා. ඒ සීගිරි ගී. ගැහැනු ළමයි කොණ්ඩා කටුවලින් කැටපත් පවුර සීරුවේ නැත්නම් මේවා තව අවුරුදු දහස් ගණනක් තියෙයි. ඒ වාගේ අවාසනාවන්ත තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. මේ නිසා සිංහලයේ මේ වැදගත්කම තියෙනවා. පෞරාණික භාෂාවක්.

සිංහල භාෂාව ගැන කියන කොට හුඟ දෙනෙක් කියනවා, පාලි සහ සංස්කෘත සිංහලයේ මාතෘ භාෂා කියලා; මවුබස් කියලා. පවතින සාධක අනුව ඒකට එකඟ වෙන්න බැහැ. මම කලිනුත් මේ ගැන පැහැදිලි කරලා ලිපියක් ලිව්වා, අපේ කේ. එන්. ඕ. ධර්මදාස මහාචාර්යතුමන් වෙනුවෙන් කරපු උපහාර කලාපයට. සංස්කෘත භාෂාව පිළිබඳ සාධක හම්බ වෙනවා, ක්‍රිස්තු පූර්ව 1500 පමණ කාලයේ ඉඳලා වේදයේ. වේදය කියන්නේ ලිඛිත ස්වරූපයක්. එය ලිඛිත ස්වරූපය වසයෙන් පිළිගැනෙන්නේ මිනිස්සු කථා කරපු භාෂා ගණනාවක් තියෙද්දි. ඉන්දියාවේ එක එක පළාත්වල කථා කරන භාෂා තියෙනවා. ඒකෙන් එකක් කමයි වේදය ලියන්න බමුණෝ සකස් කර ගත්තේ. ඒ වේදයේ ඊ ළඟ අවස්ථාව තමයි හම්බ වෙන්නේ සංස්කෘත සාහිත්‍යයේ. මේ තමයි ඉන්දියාවේ තියෙන පරණ ම භාෂා. සිංහල භාෂාව ආරම්භ වෙලා තියෙන්නේ, අර වේදයට සමගාමී ව තිබුණු පොදු ජනතාව අතර ව්‍යවහාර වුණු ප්‍රාකෘත භාෂාවක් කථා කළ මිනිසුන් හෝ වෙනස් භාෂා කිහිපයක් කථා කරපු මිනිසුන් කණ්ඩායම් කිහිපයක් හෝ වරින් වර මේ දිවයිනට පැමිණීම නිසා. වෛදික සංස්කෘත භාෂාව එක්ක සමකාලීන ප්‍රාකෘත භාෂාවලින් තමයි සිංහලය ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව සංස්කෘතය සිංහලයේ මාතෘ භාෂාවක් කියලා සලකන එක යෝග්‍ය නැහැ.

පාලි භාෂාව ගැන කියනවා නම්, පාලි භාෂාවේ උත්පත්තිය ගැන උගතුන් අතර එකඟබවක් නැහැ. මොකද, ඉන්දියාවේ කොහේ වත් පාලියෙන් ලියවුණු සෙල් ලිපියක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔච්චර ධර්මය ප්‍රචාර කරපු, ධර්මය මාර්ගයෙන් අවට රටවල් තමන්ට නතු කර ගත්තු අශෝක රජ්ජුරුවෝ අශෝක චින්තනය පාලියෙන් ලිව්වේ නැහැ. ඒ නිසා උගතුන් කොටසක් පිළිගන්නවා, පාලිය ලංකාවේ හාමුදුරුවෝ හදා ගත් භාෂාවක් කියා. එහෙම නම් පාලිය ඇති වුණේ ලංකාවේ සිංහලයන් මෙහේ පදිංචි වුණාට පස්සේ. එහෙම නම් පාලිය කොහොම ද, සිංහලයේ මවුබසක් වෙන්නේ? එහෙම නැත්නම් ඉන්දියාවේ හිටපු හාමුදුරුවරු බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ යම් කාලයක, බුදු හාමුදුරුවෝ උගන්වපු දේවල් පොදු භාෂා ස්වරූපයකට නැඟීමේ අවශ්‍යතාව නිසා පාලි භාෂාව හදා ගත්තා විය හැකි යි. ඒ අනුව බලන විට පාලි හා සංස්කෘත දෙක ම සිංහලයේ මවුභාෂා නොවෙයි. සංස්කෘතයට සමාන්තර ව තිබුණු ප්‍රාකෘත භාෂා කිහිපයක වෙනස් වීමෙන් සිංහලය ඇති වෙනවා. පාලිසිංහල ප්‍රාකෘතය වෙනස් වෙමින් පුරාණ සිංහලය ආරම්භ වන අවධීයේ දී එය සමඟ සමකාලික ව එක කාලයේ ඇති වුණු භාෂාවක් කියා සලකන්න පුළුවන්. ඒ නිසා දීර්ඝ ඉතිහාසයක් තිඛෙන භාෂාවක් අපට තිබීම ගැන, ඒ අතීත උරුමය ගැන අපි ආඩම්බර වනවා.

සිංහලය ක්‍රිස්තු වර්ෂ සත් වැනි සියවස වන විට ස්වාධීන භාෂාවක් බවට පත් වූ සේ සැලකිය හැකි යි යන්න අද ඓතිහාසික වාග්විද්‍යාඥයන්ගේ පිළිගැනීම. අනික් ඉන්දු-ආර්ය භාෂාවල හෝ ඉන්දු-යුරෝපීය පවුලට අයත් සෙසු භාෂවල හෝ හමු නො වන සඤ්ඤක අකුරු පහක් හා ඇ, ඈ යන ස්වර දෙකත් සිංහලයේ ඇති වී තිඛෙන්නේ ක්‍රිස්තු වර්ෂ සත් වැනි සියවස පමණ කාලයේ දී යි. ඒ නිසා ඉන්දියාවේ අද ප්‍රමුඛස්ථානයට පත් ව තිඛෙන භාෂාවලට කලින් සිංහලය ස්වාධීන ලක්ෂණ සහිිත තත්ත්වයකට පත් වී අවසන් වූ බව කිය හැකි යි.

සිංහල භාෂාව ගැන තවත් ආඩම්බර වෙන්න කාරණයක් තියෙනවා. අපටත් තියෙනවා, අපෙන් වෙන් වෙලා ගිය තවත් භාෂාවක්. ඒ තමයි මාලදිවයිනේ කථා කරන භාෂාව. අපි කියනවා, ඒ භාෂාව සිංහල භාෂාවේ දුහිතෘ භාෂාවක් කියලා. අපෙන් ගිය මිනිස්සු තමයි එහේ පදිංචි වෙලා තියෙන්නේ. ඒ අය කථා කළ සිංහල වෙනස් වෙලා, අද මාලදිවයින් භාෂාව බවට පත් වෙලා. මේ, සිංහලයේ එදා තත්ත්වය.

අපේ විත්‍රමගේ මහත්මයා මට දුන් මාතෘකාව ''සිංහල භාෂාව එදා - අද සහ හෙට". සිංහල භාෂාවේ අද තත්ත්වය මොකක්ද? මම කිව්වා, අද සිංහලය ඉතා හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා. ඒ පත් වුණේ දීර්ඝ කාලයක් මේ භාෂාවෙන් වැඩ කළ නිසා, සාහිත්‍ය කටයුතු කළ නිසා. විශේෂයෙන් ම දහනව වැනි ශතවර්ෂයේ අපට අලූත් මාධ්‍යයක් එනවා; පුවත්පත් එනවා, සඟරා එනවා, ආගමික විෂයයන්ගෙන් බැහැර වෙනත් දේවල් ගැන සංවාද ඇති වෙනවා. මේවා කලිනුත් ඇති වෙන්න ඇති. නමුත් වාර්තා වුණේ නැහැ. මේවාට සාමාන්‍ය මිනිස්සු එකතු වෙනවා. ඉස්සර මේවා ගැන කථා කළේ හාමුදුරුවරු. අද "අපේ හාමුදුරුවනේ" කියලා කියන්න මේ සභාවේ හාමුදුරු නමක් නැහැ; ඉන්නේ ගිහියෝ. දහනව වැනි ශත වර්ෂයේ ඔන්න ඔය වැදගත් වෙනස් වීම වනවා. එතෙක් කල් භික්ෂූන්ගේ ආධිපත්‍යයේ තිබුණු භාෂාමය කාර්යයන්, සාහිත්‍ය කටයුතු ප්‍රධාන වශයෙන් ගිහියන්ගේ අතට පැවරෙනවා. ගිහියෝ යි, මේ භාෂාව වර්ධනය කළේ. අපි සිංහල භාෂාව පන්සලෙන් මුදවා ගත්තා; හාමුදුරුවරුන්ගෙන් බේරා ගත්තා. සභාවේ හාමුදුරුවෝ නැති නිසා භය නැතිව ඕනෑ දෙයක් කිව්ව හැකි. ඒ හින්දා භාෂාව වර්ධනය වුණා, මේ ලෞකික දේවල් කථා කරන්න භාෂාව යොදා ගත්තා. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා සිංහල නවකතාවේ ආරම්භය සම්බන්ධයෙන් මේ තත්ත්වය බල පෑ අන්දම පෙන්වා දී තිඛෙනවා.

ලෞකික දේවල් මිනිස්සු කථා කරන්නේ හොර රහසේ ලූ. බොහෝ දෙනා දකින්න ඇති, අර “PK” කියන ළඟ දි ප්‍රචලිත වුණු ඉන්දියානු චිත්‍රපටය. ඒකේ එන ප්‍රධාන චරිතය වන වෙනත් ග්‍රහලෝකයකින් ආපු ජීවියා අහනවා, " ඇයි, මේ පොළොවේ මිනිස්සු හුඟක් දේවල් එළිපිට කරනවා, නමුත් සමහර දේවල් හොර රහසේ කරන්නේ? විවාහ මංගල්ලය මහා ලොකුවට උත්සවයක් හැටියට කරනවා. නමුත් ලිංගික කටයුතු කරන්නේ හොර රහසේ. ඒ ගැන කථා කරන්නේත් නැහැ" කියලා.

කොහොම හරි භාෂාවේ මේවා කථා කරන්න ඇති, මේවා වාර්තා වුණේ නැහැ. දෛනික ජීවිතයේ ලෞකික දේවල් වාර්තා කළේ නැහැ. නමුත් දහනව වැනි ශතවර්ෂයේ මේ අලුත් සාහිත්‍යයත් එක්ක, පත්තර සඟරාවල මේ ලෞකික ජීවිතයේ ගැටලු පිළිබඳ කතන්දර පළ වුණා. ඒවාත් එක්ක අලුතින් මේ සාහිත්‍යය සමඟ භාෂාව වර්ධනය වනවා.

යටත් විජිතවාදයට ප්‍රතිචාර දක්වපු අපේ හාමුදුරුවරු, විශේෂයෙන් ම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ සහ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හාමුදුරුවෝ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ, විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ කිරීම, ඒ එක්ක ඇති වුණු ප්‍රබෝධය එක්ක සිංහල භාෂාව නැවතත් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා සාහිත්‍යයට යෝග්‍ය භාෂාවක් ඇති වනවා. මෙන්න මේ කාරණා නිසා දහනව වැනි ශතවර්ෂය අග භාගය වෙන කොට මේ නව ප්‍රබෝධය ඇති වනවා. ඒ සමඟ විසි වැනි සියවසේ ඉඳලා මේ භාෂා පුනර්ජීවනයට උර දුන් පඬිවරුන්ගේ ක්‍රියාකාරිත්වය, අපේ පැරණි පිරිවෙන් ආශ්‍රිත පඬිවරු, හික්කඩුවේ සුමංගල සහ රත්මලානේ ධර්මාලෝක හාමුදුරුවෝ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා, ඒ. එම්. ගුණසේකර, ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන මුදලිවරුන් ප්‍රමුඛ ගිහි පඬිවරුන්, ඉන් පසු ව කුමාරතුංග පඬිතුමා ප්‍රමුඛ ඒ භාෂාප්‍රේමීන්, පියදාස සිරිසේන, ඩබ්ල්යු. ඒ. සිල්වා, හේමපාල මුනිදාස ආදි ඒ පැරණි පරම්පරාවේ ලේඛකයෝ, මේ සියලු දෙනාගේ ම දායකත්වය නිසා සිංහලය අද වන විට පරිපූර්ණ භාෂාවක් බවට පත් වෙලා තිඛෙනවා.

මේ පරිපූර්ණ භාෂාව රට පුරා පැතිරුණා, එක පැත්තකින් මාධ්‍ය නිසා; අනෙක් පැත්තෙන් අධ්‍යාපනය නිසා. විශේෂයෙන් ම නිදහස් අධ්‍යාපනය කියලා හඳුන්වන, නිල වශයෙන් මුදල් අය නො කර ලබා දෙන අධ්‍යාපනය නිසා. අධ්‍යාපනය නො නිල වශයෙන් මුදල් අය කරනවා. මම අදත් දැක්කා, අපේ ප්‍රණීත් අබේසුන්දර මහත්මයාත් දකින්න ඇති. අපේ විශ්වවිද්‍යාලයේ පෝස්ටරයක් ගහලා තියෙනවා, පාසල්වල මුදල් අය කිරීමට නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කරනු කියලා. නමුත් අපි කියනවා, නිදහස් අධ්‍යාපනයක් තිඛෙනවා කියලා. නො මිලේ අධ්‍යාපනයක් දෙනවා. මේක රට පුරා ම එක සමාන ව ව්‍යාප්ත ව ගියා, සමාන ව ගියා කියලා අපි විශ්වාස කරනවා. ප්‍රණීත් අබේසුන්දර මහත්තයා කිව්වා, වැලිකන්ද ප්‍රදේශයේ තත්ත්වය ගැන. ලොකු ගොඩනැඟිලි හැදුවා. ගොඩනැඟිලි හදන එක බොහොම ලාභදායී ව්‍යාපෘතියක් වෙලා තිබුණ බවත් ගොඩනැඟිල්ලට යන මුදල වාගේ තුන් හතර ගුණයක් සාක්කුවලට වැටුණු බවත් අපි දැන ගත්තා, පසු ගිය කාලයේ. කම්පියුටර් අර ගත්තා කියලා කිව්වා. මේ වාගේ දේවල් නිසා සම ව්‍යාප්තියක් මොකක් හරි පෙන්නුවා. කිසි යම් දුරට සම ව්‍යාප්තියකුත් සිද්ධ වුණා. ඒ නිසා රට පුරා ම එක සමාන තත්ත්වයකින් භාෂාව ව්‍යවහාර වුණා. අපේ ගුවන් විදුලියෙන්, "කොළඹින් කථා කරමි" කියලා ඒ කාලයේ කොළඹගේ මහත්මයා කියපු දේ ඇහුණා, ඈත පළාත්වලට. ඒක ඒ අයට තේරුණා. භාෂාව සමරූපී වුණා, රට පුරා ම. අනිත් පැත්තෙන් දේශපාලන ක්‍රියාකාරකම් හින්දාත් ඒ දේ වුණා. විශේෂයෙන් ම වාමාංශික ව්‍යාපාරය, පොදු ජනයාට තැනක් දෙන්න ඕනෑ කියපු නිසා, ඒකත් බලපෑවා, මිනිසුන්ගේ චින්තනයට. ඒ නිසා එක ම භාෂාවක් රට පුරා ම ව්‍යාප්ත වුණා.

ඊ ළඟට සිංහලය අධ්‍යාපන මාධ්‍යය වීම, මවුබසින් නව විෂය ඉගැන්වීමට ගත්ත පියවර මේ ආදි හේතු නිසා අපේ සිංහලය සංවර්ධනය වුණා. ඒක තමයි අද තත්ත්වය. මේ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ආදි ආයතන අලුත් විෂය සම්බන්ධ පොත් පත් පළ කළා. සිංහලෙන් වාගේ ම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් මේ ග්‍රන්ථ දෙමළෙනුත් රටේ ප්‍රධාන ජාතික භාෂා දෙකෙන් ම, උසස් අධ්‍යාපනයට අවශ්‍ය පොත් පළ කළා. හැබැයි, අද කියන්නේ මේ සමාජ සංවාද ඊයේ වෙච්ච තත්ත්වය. මෑත දශකයක දෙකක ඉඳලා ඒ තත්ත්වය වෙනස් වෙලා. අද සිංහලෙන් අලුත් දැනුම එන්නේ නැහැ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් මොනවත් ම කෙරෙන්නේ නැහැ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ප්‍රකාශන පළ කරනවා ආරියරත්න මැතිතුමනි, භාෂාවේ මූලික නීති රීතිවත් දන්නේ නැති මිනිස්සු ඒවායේ ලියන්නේ. මම අවස්ථා කිහිපයක දී ම කථා කරලා කිව්වා, රාජ්‍ය භාෂා කොමසාරිස්තුමාට. මම ඇමැතිතුමාටත් කථා කරලා කිව්වා. තේරෙන්නේ නැහැ, බීරි අලින්ට වීණා ගැයුවා වාගේ තමයි මේ අයට මේවා කියන එක. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නොමිලයේ පාඩම් පොත් දෙන එකට සීමා වෙලා. ඒ නිසා ඒ ගොල්ලෝ අලුත් විෂය දැනුම බෙදා දෙනපොත් කිසිවක් පළ කරන්නේ නැහැ. අද ඒ කාර්යයට උර දීලා තිඛෙන්නේ පෞද්ගලික ප්‍රකාශන ආයතන. ඒ ආයතන නැත්නම් නව දැනුමක් ජනගත වෙන්නේ නැහැ; අලුත් විෂය නැහැ.

කළමනාකරණය කියලා අලූත් විෂයයක් තිඛෙනවා, සිංහලෙන් පොත් නැහැ. වෛද්‍ය විද්‍යාවට පොත් නැහැ. ඉංජිනේරු විද්‍යාවට පොත් නැහැ. අපි කියනවා, පරිගණක විද්‍යාවට "අයි ටී" "අයි ටී" කියලා ජප කරනවා, එකසිය අට වාරයක්. පොත් නැහැ, සිංහලෙන්. අර ආණ්ඩුවෙන් දෙන, නොමිලයේ දෙන පෙළ පොත් ටික විතරයි තිඛෙන්නේ. ඒකට හොඳ පොත් සම්පාදනය කළේ නැහැ. ඒ ව්‍යාපාරය කෙරුණේ නැහැ. ඒ හින්දා කිසියම් විධියකට කඩා වැටීමක් සිද්ධ වුණා.

අනෙක් පැත්තෙන් සන්නිවේදන මාධ්‍ය ව්‍යාප්ත වුණු හින්දා එදා භාෂාව වර්ධනය වුණත්, අද වන විට මේ තත්ත්වය වෙනස් වෙලා, අද ඒ සන්නිවේදන මාධ්‍යවල භාෂාව පිළිබඳ ව උනන්දුවක් දක්වන අය නැහැ. මම මේ මාස දෙක තුනකට කලින් ගුවන් විදුලි සංස්ථාවේ උත්සවයකට ගියා. ඒ වෙලාවේ එහි හිටපු සභාපතිතුමා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා හිටියා. මම ඒ දෙන්නාට කිව්වේ, ගුවන් විදුලියෙන් අපි ඉස්සර ඉගෙන ගත්තා; භාෂාව ඉගෙන ගත්තා; උච්චාරණය ඉගෙන ගත්තා. පුළුවන් නම් මේ නිවේදක නිවේදිකාවෝ ගෙන්වලා ඒ අයට පුහුණුවක් දෙන්න ප්‍රවෘත්ති කියවන්න. කියලා යි. ඔන්න ප්‍රවෘත්ති කියන්න එනවා. පටන් ගන්නේ හ්..ග් ගාලා ඉහළට ඇදලා. නිකම් කාසකාරයෝ වාගේ. " හ්..ග්, මේශ්රලංකාගුවන්විදුලිසංස්තාවයි, හ්...ග්... මෙන්නප්‍රවුර්තීප්‍රකාශය... " කියලා. අඩු ම තරමින් නිවැරදි ව උච්චාරණය උච්චාරණය කරන්නත් බැහැ. ඉස්සර අපි කුඩා කාලයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ඇහුවා. අමරබන්දු රූපසිංහලා, සිරිල් රාජපක්ෂලා ඉතා ම ව්‍යක්ත ව " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි, මෙන්න ප්‍රවෘත්ති, ප්‍රකාශය සිරිල් රාජපක්ෂ" කියලා කියනවා. "හ්...ග්.... මේශ්‍රලංකා ගුවංවිදුලීසංස්තාවයි, හ්...ග්..." කියලා කිව්වේ නැහැ, එදා. අද මාධ්‍යවල තත්ත්වය ඕකයි. "ශ්‍රී ලංකා" නෙමෙයි ''ශ්‍ර ලංකා" ; "ක්‍රීඩා" නෙමෙයි '' ක්‍රඩා" ; "ප්‍රවෘත්ති" නෙමෙයි "ප්‍රවුර්තී" .. මේ විදිහට යි අද උච්චාරණය. මම ප්‍රසිද්ධියේ කිව්වා, හුඟක් තැන්වල කියනවා. හුඟක් දෙනෙක් මා එක්ක අමනාපත් වුණා. දැන් මොන ම මාධ්‍ය ආයතනයකවත් හොඳට නිවැරදි ව භාෂාව දන්නා අය නැහැ. මම හිතන්නේ මුළු රටෙන් ම කෝටි දෙකක් වූ ජනතාවගෙන් ම හොඳට සිංහල දන්නා අය දෙසීයක්වත් හොයා ගන්න නැහැ. මම කිව්වහම සමහරු අමනාප වෙනවා. ඇත්ත තත්ත්වය ඕකයි.

භික්ෂූන් වහන්සේගේ උච්චාරණය ගැනත් මම කියන්න ඕනෑ. මම ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට සවන් දෙනවා. උදේ අටයි නවයයි අතරයි, රෑ අටයි නවයයි අතරයි බණ ප්‍රචාරය වෙනවා. අනේ! මේ හාමුදුරුවන්ට "බුද්ධං සරණං ගච්ඡාමි" කියන්න බැහැ. කියන්නේ "බුද්දං සරණං ගච්චාමි" කියලා. "ධම්මං සරණං" කියලා කියන්න බැහැ, කියන්නේ "දම්මං සරණං" කියලා. සංඝයාට, "සංඝං" කියලා කියන්න බැහැ. කියන්නේ ''සංගං" කියා. "ගච්ඡාමි" කියලා කියන්න බැහැ, කියන්නේ "ගච්චාමි" කියලා. "ධම්ම" කියලා වත් "ධර්මය" කියලා වත් කියන්න බැහැ, කියන්නේ "දම්ම" කියලා. "මේ දර්මය තුළින් පැහැදිලි වන්නේ..." කියලා කියන්නේ. ඒ වාගේ අව්‍යක්ත තත්ත්වයට භාෂා භාවිතය පත් වෙලා. අද මාධ්‍යවල භාෂාව ව්‍යවහාර කරන්නේ මෙහෙම අය.

අද මට අයිටීඑන් එකේ සභාපතිතුමා හම්බ වුණා. ප්‍රසිද්ධියේ මම එතුමාට මගේ විරෝධය පළ කළා, අයිටීඑන් එකේ භාෂාව දූෂණය කිරීම ගැන. ප්‍රසිද්ධියේ මම එතුමාට කිව්වා, මම කලින් ලියලාත් තිඛෙනවා. අද මම එතුමාගේ මුහුණට ම කිව්වා. "අලුත් ආණ්ඩුවේ ඔබතුමාගේ අනික් වැඩ පිළිවෙළ ගැන මම දන්නේ නැහැ. ගැහැනු ළමයින්ගේ ඇඳුම් මෝස්තර වෙනස් කළත්, දණ හිසෙන් උඩ කොටස පෙන්නුවත් මට කමක් නැහැ, භාෂාවට ඔය දේ කරනවාට මම විරුද්ධයි. භාෂාවට මේ දේ කරන්න එපා" කියලා.

මම මේ දේ ගැන දකින්නේ මේ එක ම මාධ්‍ය ආයතනයකවත් භාෂාව ගැන දන්නා අය නැහැ කියලායි. මේ ගොල්ලන්ට ඕනෑ විධියකට කියා ගන්න කියලා මේවා ලියලා ඇරලා තිබෙනවා. හරක් ගාල ලිහලා ඇරලා. උන් ඇත්තට ම කකා යනවා. ඒ තත්ත්වයට අද අපේ මාධ්‍ය ආයතන පත් වෙලා. මාධ්‍යවල අපේ මිත්‍රයෝ ඉන්නවා. කමක් නැහැ. ඕකයි තත්ත්වය.

සාවද්‍ය භාෂා ප්‍රයෝග හැම තැන ම තිඛෙනවා. සාවද්‍ය වචනෝච්චාරණය, සාවද්‍ය අක්ෂර වින්‍යාසය, සාවද්‍ය පද සාධන, සාවද්‍ය වාක්‍ය වින්‍යාස, ආකුල/සාවද්‍ය පද බෙදීම් තිඛෙනවා. මම මේවා ගැන ලියලාත් තිඛෙනවා. මෑත දී අප කිහිප දෙනකු මහාචාර්ය බලගල්ලේ මහතාගේ මූලිකත්වය ඇති ව ජනමාධ්‍ය සඳහා භාෂා අත් පොත මැයෙන් පොතක් සකස් කළා. එහි දී මේ ගැන කරුණු සාකච්ඡා කෙරෙනවා. අප හැම විට ම මාධ්‍යකරුවන්ගේ දොස් දකිනවා; ඔවුන්ට බණිනවා, භාෂාව වරද්දනවා කියා. මා මේ ගැන මාධ්‍ය හා පොතපත විමසමින් සොයා බැලුවා. භාෂාව වරද්දන්නේ මාධ්‍යයට සම්බන්ධ වූවන් ම පමණක් නොවෙයි. ශිෂ්‍ය අවධියේ පටන් ම මා කියවන පොත්වල ව්‍යාකරණ වැරදි - එපමණක් නො වේ අන්තර්ගතයේ සාවද්‍ය තැනුත් ලකුණු කිරීම පුරුද්දක් කොට ගෙන තිඛෙනවා. ලංකාවේ, බස්නාහිර පළාතේ ජාතික විශ්වවිද්‍යාලයවල සිංහල අංශවල ආචාර්යවරුන්ගේ පොත්වලින් මම සොයා ගත්තා, භාෂා වැරදි. මම ලිපියක් ලියුවා, "නූතන සිංහල අපභ්‍රංශ" කියලා. ඒ මාතෘකාව සැර වැඩියි කියා කීප දෙනෙක් කියූ නිසා මම ඒක "නූතන සිංහලයේ අපභාෂා ලක්ෂණ" කියලා දැම්මා. "අපභාෂා" කියන්නේ කුණු හරුපවලට. බණින කොට කෑ ගහලා කියන වචන නොවෙයි කුණු හරුප කියන්නේ. ඒවා නැතුව බණින්නත් බැහැ නේ. "මට ගෙදර ගියේ ය" කිව්වොත් ඔන්න කුණු හරුප. "මා මෙසේ පවසමි" කියලා කිව්වොත් කුණු හරුප. ඒවාට තමයි කුණු හරුප කියන්නේ. ඒ ලිපිය රාජ්‍ය ආයතන කීපයක අය මගෙන් ඉල්ලලා ප්‍රකාශන කීපයක පළ කළා. ඒ ලිපිය අන්තර් ජාලයේත් දාලා තිඛෙනවා. Google සෙවුම් යන්ත්‍රයක Apabhasha කියලා ගැහුවා ම ඒ ලිපිය බලන්න පුළුවන්. මම ඒ ලිපියෙන් කථා කළා භාෂා ව්‍යවහාරයේ සාවද්‍ය ස්ථාන පිළිබඳ ව.

හැම මට්ටමක ම අය භාෂාව වරද්දනවා. මේ ගොල්ලෝ කියනවා, භාෂාවේ සම්මතයක් නැහැයි කියලා. සම්මතයක් නැති කම නොවෙයි, සම්මතයක් තිඛෙනවා. ඔය ගැන කිව්වාම සමහරු කියනවා, එක විධියකට යොදන්න බැහැ නේ. එක එක ගුරුකුල තිඛෙනවා නේ කියලා. අද ගුරුකුල නැහැ. ගුරුකුල තිබුණේ, හතළිස් ගණන්වල, පණස් ගණන්වල. හැට ගණන්වලින් පස්සේ ගුරුකුල නැහැ. ඇත්තට ම අපේ භාෂා ගුරුකුලයක් තිබුණේ හෙළ හවුල විතරයි. 1969 දී ඊරියගොල්ල මැතිතුමාගේ කාලයේ සම්මත සිංහලය කියලා එකක් හැදුවා. පොතකුත් පළ කළා භාෂා රීති ඇතුළත් වුණු. ඒකට ඒ කාලයේ බොහෝ දෙනෙක් විරුද්ධ වෙලා තිබෙනවා. ඒක ඉතා හොඳ පියවරක්. එදා ඒක යූඑන්පී ආණ්ඩුවෙන් කරපු හින්දා සමහර අය දේශපාලන හේතු මත විරුද්ධ වුණා. හෙළ හවුලේ අය මුල් වූ නිසාත් විරුද්ධ වී තිඛෙනවා. නමුත් ඒක ඉතා හොඳ පියවරක්. එක ම ප්‍රශ්නය කුමාරතුංග රීතිය මුල් කොට ගැනීම. නැවත 1989 දී වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇමැතිතුමාගේ කාලයේ ජාතික අධ්‍යාපනය ආයතනය මුල් වී හැදුවා, සිංහල ලේඛන රීතිය. මේ දෙකේ ම තිබෙනවා, සමකාලීන සම්මතය. අද ගුරුකුල නැහැ. හෙළ හවුල කියලා අද ඉතුරු වෙලා ඉන්නේ හතර පස් දෙනායි. පැරණි පඬිවරු, අ. ආ. ගුණතිලක මහත්තයා වාගේ කෙනෙක් විතරයි ඒ අන්තවාදයට එන්නේ. විනී විතාරණ මහත්මයා වගේ කෙනෙකුත් එහෙම හෙළ හවුලේ අන්තවාදයේ නැහැ. සඳදස් කෝපරහේවා මහත්මයා වාගේ කෙනෙකුත් අන්තවාදයට නැහැ. තරුණයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා, පොදුවේ අන්තගාමීකමක් තිඛෙන. කැලර්‍ණය විශ්වවිද්‍යාලයේ රන්දුල කියලා ශිෂ්‍යයෙක් ඉන්නවා. අපේ ශ්‍රීනාත් ගණේවත්ත මහත්තයා, සිළුමිණ පත්තරේ ජයත් පියදසුන් වාගේ කිහිප දෙනෙක් තමයි හෙළ හවුලේ තරුණයන් ඉතුරු වෙලා ඉන්නේ. මේ දෙතුන් දෙනා බොහොම හුදකලා ව ඒක කරනවා.

අද ගුරුකුල භේද නැති හින්දා භාෂාව අරක ද මේක ද කියලා නිශ්චය කර ගන්න බැරි කමක් නැහැ. අද නිශ්චය කර ගන්න බැරි නො දන්නාකම හින්දා යි. මෙන්න මේක වැදගත් වෙනවා. අපි අවස්ථා කිහිපයක දී උත්සාහ දැරුවා, රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ගණේගල මහත්තයා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හැටියට ඉන්න කොට මාධ්‍යවල පිරිස් ගෙන්වලා එතුමා අපට වැඩ මුළු කීපයක් සංවිධානය කරන්න අවස්ථාව දුන්නා. වැඩක් නැහැ. හැබැයි ඒ වැඩසටහන කරද්දී හිටපු මාධ්‍ය ඇමතිතුමා -අනුර ප්‍රියදර්ශන යාපා මහත්තයා- කිව්වා ලූ, "ඔය කොම්බුව කොහොම ලියුවත් එකයි, ඕවා වැඩක් නැහැ" කියලා. ඉතින් අමාත්‍යාංශය මේ වැඩ සටහන නවත්වලා දැම්මා. දේශපාලනඥයන්ට මේ දේවල් ගැන වුවමනාවක් නැහැ. ඒ ගොල්ලන්ට ඕනෑ, ඊට වඩා ලාභදායී ව්‍යාපෘති. මෙන්න මේ කටයුත්ත කරන්න ඕනෑ, කවුරු හෝ මුල් වෙලා. ඔබතුමන්ලා කරන මේ වැඩය වැදගත් වන්නේ අන්න ඒ නිසා. එච්. ඩී. සුගතපාල මහත්තයා එහෙම දායකත්වයක් දුන්නා. දැන් ඒක නතර වෙලා. අද වන විට කෝටි එකහමාරක් වන සිංහල ජනයාගෙන් දෙතුන් සියයක් වත් නිවැරදි සම්මත සිංහලය නොදන්නා බවට පත් වෙලා. එක ම මාධ්‍ය ආයතනයක වත් ප්‍රකාශන ආයතනයක වත් භාෂා ප්‍රවීණයන්, භාෂා සංස්කාරකවරුන් නැහැ. අද නව දැනුම සිංහලයෙන් නැහැ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා අධ්‍යාාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එදා නව දැනුම ව්‍යාප්ත කිරීමට ගත් පියවර ලොප් වෙලා. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගහන්නේ කිලෝ පේර වගේ හරසුන් ලිපි එකතු.

අපි අපේ අනන්‍යතාව රැක ගන්න ඕනෑ. අපි සිංහලකම රැක ගන්න උදචු කරනවා. සිංහලකම කොහේ ද තිඛෙන්නේ? පපුවට ගහ ගත්තාට සිංහලකම එන්නේ නැහැ. ඇඳුමේ සිංහලකමක් නැහැ. මේ අය අඳින්නේ නානාප්‍රකාර ඇඳුම්. අපේ ගෙවල් දොරවලූත් එහෙමයි. අපේ අලුත් පාර්ලිමේන්තුව හදලා තිඛෙන්නේ ජපන් සම්ප්‍රදායට ලු! පැරණි පාර්ලිමේන්තුව, කටු ගේ, කොළඹ නගර සභාව ගොතික් ගෘහ නිර්මාණ සම්ප්‍රදාය හා ඩොරික් ගෘහ නිර්මාණ සම්ප්‍රදාය වාගේ බටහිර සම්ප්‍රදායන් අනුව හැදුණු ගොඩනැඟිලි.

අපේ නම් ගැන බැලූවාම පාලි, සංස්කෘත මිශ්‍ර වූ නම් අපට තිඛෙන්නේ. මගේ නම රත්නසිරි. රත්න කියන නම සංස්කෘත, සිරි කියන නම පාලි. ප්‍රණීත් මහත්තයාගේ නම සංස්කෘත. නම් එහෙමයි. අලූත් නම් තිඛෙනවා, තේරෙන්නේ නැහැ. අචිනි කියලා තිඛෙනවා, අයෝනි කියලාත් නම් තිඛෙනවා ලූ. ජේ. බී. දිසානායක මහත්තයා එහෙම නම් ගැන බොහොම උපහාසයෙන් කියනවා මම අහලා තිඛෙනවා. අපේ නම්වලත් සිංහලකම නැහැ; අපේ කෑම බීමෙත් සිංහලකම නැහැ. අපේ සිංහලකම තිබෙන්නේ භාෂාවේ. අපි ඒක රැක ගන්න ඕනෑ. ඒක තමයි අපි අද නො කරන්නේ. මේ සිංහලකම නැති වන එක, භාෂාව නැති වන එක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නො වෙයි; අපේ තිඛෙන මෝඩකම හින්දා, අපේ තිබෙන නොසැලකිල්ල නිසා අපි කර ගත්තු දෙයක්.

අද භාෂා උගතුන්- වාග්විද්‍යාඥයන් - අතරේ සංකල්පයක් තිඛෙනවා, language death කියලා. ඒ වාගේ ම endangerous language කියලාත් යෙදුමක් තිඛෙනවා. භාෂා වියෝගය, භාෂා මරණයට පත් වෙනවා කියලා කියනවා. ඒ වාගේ ම තර්ජනයට පත් වෙච්ච භාෂා කියලා වර්ගයක් හඳුනා ගෙන තිඛෙනවා. භාෂාඥයෝ වාගේ ම UNESCO එකත් කියනවා, ලෝකයේ තිබෙන භාෂාවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ඉතා ඉක්මනින් නැති වෙලා යයි කියලා. සියවසක් ඇතුළත දී ලෝකයේ තිඛෙන භාෂාවලින් සියයට 90ක් නැත්තට ම නැති වෙලා යයි කියලා කියනවා. අන්න එවැනි තත්ත්වයක් තිඛෙනවා. භාෂාව නැති වුණොත් මොකද, වෙන්නේ? අන්න ඒ ගැන අපේ අවධානය යොමු කරන්න ඕනෑ.

සියබස්ලකරේ පද්‍යයක් තිඛෙනවා, මෙහෙම

පෙර මහරු මහ රජ යස පිළිබිඹු ගොස්,
බස් කැට තෙලෙහි සිටුනෙ පෙනේ පිළි ඔවුන නට කල්හිදු

පූර්වයෙහි වාසය කළ මහාර්ඝ වූ මහරජවරුන්ගේ යස පිළිබිඹුව, කීර්තියෙහි ප්‍රතිබිම්බය ගොස් භාෂාව නමැති කැටපතෙහි, දර්පණ තලයෙහි, ප්‍රතිබිම්බනය වන්නේ ය, ඔවුන් මිය ගිය කල්හි ද එය දර්ශනය වෙයි. ඒකයි එහි තේරුම. මේක සියබස්ලකර සම්පාදනය කළ සේන රජතුමාගේ අදහසක් නො වෙයි. දිගු කලක් තිස්සේ භාරතයේ භාෂාවේදීන් අතර ප්‍රචලිත මතයක් බව පැහැදිලි යි. මේ සියබස්ලකර පැදියට මුල් වෙන්නේ දණ්ඩී කියන පඬිවරයා ලියූ "ආදිරාජ යශෝබිම්බමාදර්ශං ප්‍රාප්‍ය වාංමයම් - තේශාම සන්නිධානේපි න ස්වයං පශ්‍ය නශ්‍යති" යන ශ්ලෝකය. භාෂාවේ වැදගත්කම ගැන උගතුන්ගේ පිළිගැනීම මෙයින් පෙනෙනවා. කැටපතකින් පිළිබිඹුවක් පේන්නේ එය ඉදිරියෙන් සිටින විට පමණ යි. එහෙත් භාෂාව කියන කැටපතෙන් පෙර මහරු රජදරුවන්ගේ කීර්ති ප්‍රතිබිම්බය ඔවුන් මිය ගිය පසුත් දර්ශනය වෙනවා. භාෂාව එතරම් ප්‍රබල යි.

අපි දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන කථා කරනවා; වළගම්බා රජ්ජුරුවෝ ගැන කථා කරනවා; පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ගැන කථා කරනවා; රාජසිංහ රජ්ජුරුවෝ ගැන කථා කරනවා. භාෂාවෙන් අපට ඒ අය ගැන කියන්න පුළුවන්. අපි කුමාරතුංග මහත්තයා ගැන කියනවා; පරණවිතාන මහත්තයා ගැන කියනවා; වික්‍රමසිංහ මහත්තයා ගැන කියනවා; ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයා ගැන කියනවා. භාෂාව නිසායි ඒ අයගේ නම් ඉතුරු වෙන්නේ. භාෂාව නැති වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ තත්ත්වයට අද ලෝකය මුහුණ දීලා තිඛෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න නම් අප කළ යුත්තේ අපේ අනාගත පරම්පරාව ප්‍රබල ද්විභාෂිකයන් කිරීම යි. ඒ අයට සිංහල විතරක් ඉගැන්නුවොත් ඒ අය ලෝකයෙන් කොන් වෙනවා. හැමෝට ම සිංහල සමඟ තවත් ප්‍රධාන භාෂාවක් උගන්වන්න ඕනෑ. සිංහල එක්ක තවත් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න ඕනෑ. දෙවෙනි භාෂාවෙන් අලුත් දැනුම අරගෙන සිංහල භාෂාවෙන් ඒක කියන්න පුළුවන් වෙන්න ඕනෑ. ජපන්නු, ප්‍රංශකාරයෝ, ජර්මන්කාරයෝ දියුණු වෙන්නේ ලෝක දැනුම තමන්ගේ භාෂාවෙන් දෙන නිසා. ප්‍රබල ඒකභාෂික රටවල් විශේෂයෙන්ම ජර්මනියේ සහ ජපානයේ ඒ තත්ත්වය තිඛෙනවා.

ජෝන් රොස් කියලා ඇමෙරිකානු ලේඛකයකුගේ ලිපියක් තිඛෙනවා, ‘First kill the Language then the Culture’ කියලා. මුලින්ම භාෂාව මරන්න නැත්නම් මැරෙන්න හරින්න, ඉන් පසුව සංස්කෘතිය මරන්න කියලා. එවිට සංස්කෘතිය මැරෙනවා.

ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ කවියක් ඉංගිරිසියට පරිවර්තනය කරනවා

'When a language dies
the divine things
stars, sun and moon
the human things,
to think and to feel
are no longer reflected
in this mirror',

භාෂාව මැරුණු දවසට ඉර, හඳ තරු ගැන අපට කියන්නට බැරි වේවි. අපේ කවි සිංදුවල ඉර හඳ තාරකා ගැන අපි කියනවා. අපට ඉර, හඳ, තාරකා ගැන, සිකුරු ගැන, අඟහරු ගැන, බෘහස්පති ගැන, සෙනසුරු ගැන, සෙනසුරුගේ අපලය ගැන කියන්න බැහැ, සිංහල නැත්නම්. භාෂාව මැරුණොත් මේවා නැති වෙනවා. මිනිසුන් ගැන, මනුෂ්‍යත්වය ගැන සීගිරි අප්සරාවෝ ගැන, ආලකමන්දාව ගැන කියන්න බැහැ. භාෂාව නැහැ. සීගිරිය ඔහේ තියෙයි, වල් බිහි වෙලා. ආලකමන්දාව ගැන අපට කියන්න බැහැ, සිංහල නැහැ. මිසර පිරමීඩ්වලට වෙච්ච දේ වෙයි. අද මිසර පිරමීඩ් ඒ රටේ ජනතාවගේ උරුමයක් නොවෙයි. සීගිරිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, ඉසුරුමුණි පෙම් යුවළ අපේ උරුමයන් වන්නේ ඒ ගැන අපේ භාෂාවෙන් කියන්න පුළුවන් හින්දා. භාෂාව නැති වුණ දාට, තව දුරටත් භාෂාව නමැති දර්පණ තලයේ මේ මිනිසුන්ගේ ජීවිතය, මේ මිනිසුන්ගේ සිතුම් පැතුම් චිත්‍රණය වන්නේ නැහැ; ප්‍රතිබිම්බනය වන්නේ නැහැ.

එහෙම කියලා ඊ ළඟට ඔහු කියනවා, මෙහෙම.

When a language dies,
All that there is in this world
Oceans and rivers,
Animals and plants,
Do not think of them,
Do not pronounce their names,
They do not exist now

පළගැටියෝ, කූඹියෝ, කපුටෝ, ගිරාමලිත්තෝ, බට්ටිච්චෝ උන් ඉඳීවි. නමුත් භාෂාව නැති වුණොත් අපට උන් ගැන කියන්න භාෂාවක් නැහැ. "පෙත්තෝ බත් කෑව ද?" කියලා අහන්න සිංහලයක් නැහැ. පෙත්තා ඉඳියි. දෙන දෙයක් කාලා ඌ ඉඳියි. "පෙත්තෝ බත් කෑව ද?" කියලා අහන්න අපට සිංහලයක් නැහැ. භාෂාව නැති වුණොත් මේවා නැති වෙනවා, ගහ කොළ ගැන කියන්න වෙන්නේ නැහැ. අපේ මුළු විඤ්ඤාණය ම නැති වෙනවා.

When a language dies,
The window and the door
Are closed up
To all the people of the world.

භාෂාව නැති වුණොත් අපට ලෝකය බලන්න කණ්ණාඩියක් නැති වෙනවා. මේ මගේ ඇස් කණ්ණාඩිය ගැලෙව්වාම මට නම් මොනවත් පෙනෙන්නේ නැහැ. මට බත් ටිකක් කන්නත් බැහැ, කණ්ණාඩිය ගැලෙව්වාම. මගේ ඇස් එච්චර දුර්වල යි. කණ්ණාඩිය දැම්මාම මට හරියට පෙනෙනවා, ඈත තියෙන දේවල් වගේ ම ළඟ තියෙන දේවලුත් මට හරියට බාභිගත වෙන්නේ නැහැ මේ කන්නාඩිය නැත්නම්. කන්නාඩිය දැම්මහම මේ මහත්මයා පෙනෙනවා; ප්‍රේමසිරි මහත්මයා පෙනෙනවා; හැරල්ඩ් පීරිස් මහත්මයා පෙනෙනවා. භාෂාවත් හරියට ඒ වගේ. ඈත තියෙන දෙවල් අපට ළං කරලා පැහැදිලි ව පෙන්වා දෙනවා. ඒ භාෂා කණ්ණාඩියෙන් තමයි අපි ලෝකය දකින්නේ. සිංහල නැති වුණොත් භාෂාව නැති වුණොත් අපට ලෝකය දකින්න බැහැ. භාෂාවෙන් අපට ලෝකයට දොර ජනෙල් විවෘත කර දෙනවා. භාෂාව නැති වුණොත් ඒ භාෂාවෙන් පැවසූ දේවල් නැති වෙනවා. අපි සිංහලෙන් හඳුන්වන සතෙක්, 'හංසයා' ගමු. ''තොප තුඩ තුළට කිරි රස දිය හැර වදිය- තොප පිට පිහිට කොට බඹ තෙදිය ඇවිදිය" කියලා හංසයා වර්ණනා කරනවා හංස සන්දේශයේ. ''තොප සැටි රැගෙන සිටි තනටත් කෙරෙති රුතී" කියලත් කියනවා. සිංහල භාෂාව වඳ වෙලා ගිය කාලෙක මේ රටේ මිනිස්සු වෙන නමකින් ඒ සතා හඳුන්වයි. එතකොට අර 'හංසයා' සම්බන්ධ හැඟීම අපට ඇති වෙන්නේ නැහැ.

නිකම් හිතලා බලන්න. සත්ත්වෝද්‍යායනයට ගිහින් ඉන්න වෙලාවක අපේ සතුන් ගැන විදේශිකයන් කථා කරන වෙලාවට, සිංහලයන් කවුරුත් නැති වෙලාවට බලන්න, අපට මොකක් ද දැනෙන හැඟීම කියලා. අපට මේක තේරුම් ගන්න පුළුවන් හොඳ ම අවස්ථාව ඒක. කිසි ම සිංහලයෙක් නැති තැනක සිට බලන්න. අර ඇතුන් නටන කොට අපි කොච්චර දේවල් කියනවා ද? "ළමයින්ට, අලියන්ට නළියන්ට ම යි ඕනෑ" කියන අපූරු කියමනක් තිබෙනවා නේ. ඒක අපේ ඔළුවේ තිඛෙනවා නේ. විදේශිකයෝ විතරක් ඉන්න තැනක අලි නැටුමක් බලන්න ගියොත්, අපට ඒ මිනිස්සු කියන එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. අපට ලොකු පාළුවක්, තනිකමක් දැනෙනවා. ඔන්න ඔය දේ වෙනවා. එතකොට අපේ මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, ආදරය, කරුණාව, මෛත්‍රිය විතරක් නොවෙයි, වෛරය - මෛත්‍රිය- දැන් මෛත්‍රිය කියන වචනය දැන් තහනම් නැහැ නේ. කාලයක් ඒක තහනම් කරලා තිබුණා කිවුවා නේ - ඔය මොනවත් කියා ගන්න බැහැ, භාෂාව නැති වුණොත්.

When a language dies,
then many have died,
and many more will die soon,
mirrors forever broken,
shadows of voices
forever silenced,
humanity grows poorer
when a language dies.

කැටපත, මේ දර්පණය සදාකාලික ව බි‍ෙඳනවා. මුහුණ බලන්න කැටපතක් නැහැ, කණ්ණාඩිය කුඩු වුණා ම අපේ මුහුණ පෙනෙන්නේ නැහැ. භාෂාව කියන කණ්ණාඩියෙන් තමයි අපේ මුහුණ පෙනෙන්නේ. භාෂණ ශබ්දවල තිඛෙන ධ්වනිය, මේවායේ තිඛෙන දෝංකාරය හා එයින් මතු වන ඡායාව සදාකාලික ව ම නැති වෙලා යනවා. භාෂාව නැති වුණොත් මනුෂ්‍යත්වය දුගී භාවයට පත් වෙනවා. මනුෂ්‍යයා අනිවාර්යයෙන් දුප්පතකු බවට පත් වෙනවා. ඔන්න ඕකයි තත්ත්වය. එදා සියබස්ලකර කිව්වේ, රජ්ජුරුවෝ මැරුණත්, රජ්ජුරුවන්ගේ ප්‍රතිබිම්බය, කීර්තිය, භාෂාව කියන කැටපතෙහි තිඛෙනවා කියලා යි. මෙහෙම ගියොත් රජා මැරෙන්න කලින් භාෂාව මැරිලා ඉවරයි. එම නිසා රජාට කලින් භාෂාව බේරා ගන්න ඕනෑ. භාෂාව බේරා ගැනීම සඳහා සංවිධානයක්, සංගායනාවක් අවශ්‍යයි.

මම එකතු කර තිඛෙනවා, වරින් වර භාෂාව ගැන හා සම්මත ව්‍යවහාරය විද්වතුන්ගේ අදහස් ඇතුළත් පත්තර පිටු. මේ ලිපියේත් තිඛෙනවා, "සිංහල ලේඛන ව්‍යවහාරයට සම්මතයක් අවශ්‍යයි" කියලා බලගල්ල මහාචාර්යතුමා කියලා. එතුමා ම කිව්වා, "සම්ප්‍රදාය මඟ හැර නවීකරණය සන්නිවේදනයට බාධාවක්" කියලා. භාෂා උගත්තු මේ ගැන හඬ නඟනවා. පණ්ඩිත සිරි තිලකසිරි මහත්මයා කථා කළා. කරුණාරත්න අමරසිංහ මහත්මයා කථා කරනවා. අ. ආ. ගුණතිලක මහත්මයා කථා කරනවා. "භාෂා අවුලට විසඳුම කුමක් ද?" මේ ආදි වශයෙන් උගත්තු කථා කළා, මේ භාෂාවේ තිඛෙන ප්‍රශ්න ගැන. මේ සුමානේ පත්තරේ කථා කරනවා. ඊ ළඟ සුමානේ ඒක මතක නැහැ. බත් එක ඔතලා පත්තර කෑල්ල විසි කරනවා. ඊට වඩා එහාට ගිය කතිිකාවක් මාධ්‍යයෙන් සිදු කරන්න ඕනෑ. ඒ සඳහා මේ උගතුන්ගේ අවධානය යොමු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

අපේ අනන්‍යතාව තිඛෙන්නේ භාෂාව රැකුණොත් විතරයි, වෙන කිසි දෙයකින් නොවෙයි. භාෂාවක් රැකෙන්න නම් නව දැනුම ඒ භාෂාවෙන් දෙන්න ඕනෑ. ඒ සඳහා පුරෝගාමීන් මේ සභාවේ ඉන්නවා. ඒ තමයි ග්‍රන්ථ ප්‍රකාශන ආයතනවල අධිකාරි භවතුන්. කරුණාකරලා අලුත් දැනුම සිංහලෙන් දෙන්න. ඒක කරන්න. ඔබතුමන්ලා දැනටත් කරනවා. මා එය ගෞරවයෙන් සඳහන් කරනවා. තව තවත් ඒක කරන්න. ඒකෙන් විතරයි සිංහල ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ.

පරිගණක විද්‍යාව ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, අලුත් විෂයයන් ගැන, ජාන තාක්ෂණය ගැන ලෝකයේ අලූත් දැනුම තිඛෙනවා.. සාම්ප්‍රදායික විෂයන් කියන ඒවා ගැනත් නූතන දෘෂ්ටියෙන් පොතපත ලියවෙනවා. භාෂාව ගැන, ඉතිහාසය ගැන,සාහිත්‍යය ගැන. දශකයක් දශකයක් පාසා සිය දහස් ගණනින් එය වැඩි වෙනවා කියා පිළිගන්නවා. එම නිසා අලුත් දැනුම අනාගත පරම්පරාවට දීමෙන් අපි භාෂාව සුරක්ෂිත කරමු. එච්. ඩී. සුගතපාල මහත්මාට කළ හැකි ලොකු ම උපහාරය එය යි. එතකොට එතුමා මේ දරුවන්ගේ කියවීමේ රුචිය, බුද්ධිය වර්ධනය කිරීමට ගත් පියවර සදාකාලික ව ආරක්ෂා වෙයි. සිංහල භාෂාවේ හෙට දවස සුරක්ෂිත වන්නේ එවිට පමණ යි.

බොහොම ස්තුතියි.

* ඡායාරූපය අන්තර්ජාලයෙනි.

No comments:

Post a Comment

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*