Showing posts with label බෞද්ධ ඉන්දියාව - Buddhist India. Show all posts
Showing posts with label බෞද්ධ ඉන්දියාව - Buddhist India. Show all posts

2020-04-04

අශෝක බ්‍රහ්මී ලේඛනවල දක්නට ඇති බැඳි අකුරු

ශකිල රාජකරුණා


සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ උපන් ස්ථානය සම්බන්ධයෙන් පවත්නා ඓතිහාසික සාධක අතර ලුම්බිණි ශිලා ලේඛනයට අතිශය වැදැගත්කමක් හිමි වේ. නමුත් මෑත කාලයේ දී බුදුන් වහන්සේ ගේ උපන් භූමිය ලංකාව යැයි පවස එක්තරා කල්ලියක් ලුම්බිණි ශිලා ලේඛනයේ සත්‍යතාවය ප්‍රශ්න කළෝ ය. තත් ශිලා ලේඛනය ව්‍යාජ එකක් බවට තහවුරු කිරීම පිණිස ඔවුහු කාරණා කීපයක් ම ගෙන හැර පෑහ. එහි යම් යම් කාරණාවලට මීට පෙර ද අප විසින් පිළිතුරු දී ඇතත්, තරමක් සවිස්තරාත්මක ව ඇතැම් කාරණාවලට පිළිතුරු දීම යහපතැ’යි හැඟිණි. ලුම්බිණි ලේඛනය කූට ලේඛනයක් බව තහවුරු කරනු වස් තත් කල්ලිය විසින් ගෙන හැර දක්වන කරුණුවල පවත්නා අර්ථ ශූන්‍ය බව පෙන්වා දෙනු වස් මේ ලිපිය මෙසේ සටහන් කරනු ලැබේ.

ලුම්බිණි ලේඛනය ව්‍යාජ ලේඛනයක් බව පෙන්වනු පිණිස, බුදුන් වහන්සේ ලංකාවේ උපන්නේ යැයි පවසන කල්ලිය විසින් පුනා පුනා දක්වනු ලබන කාරණාවක් වන්නේ ලුම්බිණි ශිලා ලේඛනයේ එන බැඳි අක්ෂරයයි. ‘සක්‍යමුනීති’ යන වදන තුළ ඉහත සඳහන් කළ බැඳි අක්ෂරය සටහන් කොට තිබේ. ලුම්බිණි ශිලා ලේඛනයේ එන තත් අක්ෂරය සටහන සමග අමුණා ඇති පළමු වැනි ඡායා රූප සටහනෙන් දැක ගත හැකි ය. ලුම්බිණි ශිලා ලේඛනයේ එන ‘ක්‍ය’ ශබ්දය සටහන් කර ඇත්තේ ‘ක’ අක්ෂරය හා ‘ය’ අක්ෂරය එකට සම්බන්ධ කර සකස් කර ගත් අක්ෂරයකිනි. අක්ෂර ද්විත්වයක් එකට සම්බන්ධ කර ගත් පසු සම්බන්ධ කර ගත් අක්ෂර ද්විත්වයේ ප්‍රථම අක්ෂරය හල් වන බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු කාරණාවක් නොවේ. ලුම්බිණි ලිපියේ ‘ක්‍ය’ ශබ්දය පෙන්වා ඇත්තේ ද එ කී සිද්ධාන්තය මුල් කර ගනිමිනි. නමුත් ලුම්බිණි ලේඛනය ව්‍යාජ ලේඛයක් යැයි පවසන කල්ලියේ ප්‍රමුඛ තර්කය වන්නේ ඒ වනාහි ‘ක්‍ය’ ශබ්දය නොව ‘යො’ ශබ්දය බවත්, තත් වදන ‘සක්‍යමුනීති’ නොව ‘සයොමුනිති’ බවත් ය. අශෝක බ්‍රහ්මී අක්ෂරවල පිල්ලම් භාවිතය පිළිබඳ ව ඔවුන් තුළ පවත්නා අවබෝධය එයින් ම ප්‍රකට වේ (වැඩි දුර අවබෝධය පිණිස ‘යො’ අක්ෂරය සටහන් කරනු ලබන ආකාරය පළමු වැනි රූප සටහනේ ම දක්වා ඇත).

බුදුන් වහන්සේ ලක්දිව උපන්නේ යැයි පවසන කල්ලියට අනුව අශෝක බ්‍රහ්මීවල බැඳි අකුරු නැත. අශෝක ලේඛන එකිනෙක අධ්‍යයනය කළේ නම් එ වැනි අමනෝඥ ප්‍රකාශයක් ඔවුහු කිසි දිනෙක සඳහන් නො කරනු ඇත. මන්ද යත් අශෝක ලේඛනවල සටහන් කර ඇති බැඳි අක්ෂර සැලැකිය යුතු ප්‍රමාණයක් පවතින හෙයිනි. නිදසුන් වශයෙන් ‘ම්හ’, ‘ම්හි’, ‘ම්ය’ ආදි අක්ෂර අශෝක ගේ ගිරිනාර් ලිපියේ දක්නට ලැබේ (2 වැනි රූප සටහන). ‘ශ්ව’ අක්ෂරය ධෞලි ලිපියේ දක්නට හැක (3 වැනි රූප සටහන). ‘ක්‍යං’, ‘ක්‍ය’ වැනි අක්ෂර කාල්සි ලිපියේ සටහන් ව පවතී (4 වැනි රූප සටහන). අශෝක ලේඛනවල එන තවත් බැඳි අක්ෂර බොහෝ ප්‍රමාණයක් දක්නට ඇතත් මෙහි සඳහන් කරන ලද්දේ ශිලා ලේඛන ත්‍රිත්වයකින් ගත් බැඳි අකුරු කීපයක් පමණි.

අශෝක ලේඛනවල පමණක් නොව ලංකාවේ ඇතැම් ශිලා ලේඛනවල ද බැඳි අක්ෂර පවතින බව පෙනේ. නිදසුන් වශයෙන් මෝලාහිටියාවැලේගල ශිලා ලේඛනය පෙන්වා දිය හැකි ය. එහි ‘සිද්ධම’ යන තන්හි ‘ද්ධ’ ශබ්දය සංකේතවත් කරනු පිණිස බැඳි අක්ෂරයක් භාවිතා කර තිබේ (5 වැනි රූප සටහන). 5 වැනි රූප සටහන හොඳින් අධ්‍යයනය කර බැලුවහොත් තත් බැඳි අක්ෂරය සකසා‍ ගෙන ඇති ආකාරය ද වටහා ගත හැකි ය.

මේ කාරණා අනුව බැඳි අක්ෂර සහිත එක ම ශිලා ලේඛනය ලුම්බිණි ශිලා ලේඛනය නො වන බව පැහැදිලි කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

සැවැත්නුවර හා ජේතවනාරාමය

ශකිල රාජකරුණා


බුදුන් වහන්සේ ගේ ජීවන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන විට සැවැත් නුවරත්, ජේතවනාරාමයත් විශේෂයෙන් සඳහන් වී තිබේ. ‘සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකෙන ආරාමෙ’ ආදි වශයෙන් ‘අනේපිඩු සිටුහු විසින් කරවන ලද සැවැත් නුවර ජේතවනාරාමය’ බෞද්ධ සූත්‍ර ධර්ම කීපයක ම සඳහන් වී ඇති නාමයකි. මහාභාරතය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇති ආකාරයට සාවත්ථි නම් සෘෂිවරයා ගේ වාසස්ථානය වූ හෙයින් මෙය සාවත්ථි නම් විය. ශ්‍රාව ගේ පුත්‍රයා වූ යුවනාශ් ගේ මුණුපුරු ශාවස්ත විසින් පිහිටුවන ලද හෙයින් සාවත්ථි නම් වී යැයි ද සඳහන් වේ. මහාභාරතය මෙන් ම විෂ්ණු පුරාණය හා හරිවංශය වැනි ග්‍රන්ථවල ද සාවත්ථිය පිළිබඳ ව සඳහන් වී තිබේ. මජ්ඣිම නිකාය අ‍ටුවාව පවසන්නේ ‘මිනිසුන් රැස් වී කුමක් තිබේ දැ’ යි විමසූ විට ‘සබ්බං අත්ථි’ හෙවත් ‘සියල්ල ඇතැ’ යි පැවැසූ හෙයින් ‘සාවත්ථි’ නම් වූ බවයි. සාවත්ථියේ නාගරීකරණය සම්බන්ධයෙන් ද පුරාවිද්‍යාත්මක පර්යේෂණ කීපයක් ම සිදු වී ඇත. ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (මෙහි ‘දෙපාර්තමේන්තුව’ යන වදන කෙතරම් නිරවද්‍ය දැ යි නො දනිමි. මූලාශ්‍රය තුළ සඳහන් වූයේ Archaeological Survey of India යන වදනයි. ) හා ජපානයේ කන්සායි විශ්වවිද්‍යාලය එක් ව කළ කැණීම එක් නිදසුනකි. ජපානය වෙනුවෙන් Takahiro Takahashi හා Taizo Yamaoka යන මහාචාර්යවරු, සහාය මහාචාර්ය Fumitaka Yoneda, Akinori Uesudi (Phd Student) ආදින් සම්බන්ධ විය.

පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති පරිදි, සහේත්-මහේත් වශයෙන් හඳුන්වන්නේ අතීත සාවත්ථිය යි. සාවත්ථිය පිළිබඳ ව තොරතුරු සටහන් කැරැ තැබූ අයවලුන් අතර චීන ජාතික ෆාහියන් හා හියුත් සාං හිමිවරුන්ට වි‍ශේෂ වැදැගත්කමක් හිමි වේ. වි‍ශේෂයෙන් කිව යුතු කරුණක් වන්නේ ඉන්දියාවේ මෙ වැනි ස්ථාන සම්බන්ධයෙන් ‍ගවේෂණය කළ පුරාවිද්‍යාඥයින් බහුතරයක් තත් ස්ථාන හඳුනා ගැනීම පිණිස උපකාරී කරගත් වැදැගත් මූලාශ්‍රයක් වූයේ මෙ වැනි චීන ජාතික දේශාටකයන් ගේ වාර්තා යි.
සහේත්-මහේත් වශයෙන් හඳුන්වනු ලබන මෙහි, ‘මහේත්’ යනුවෙන් හඳුනා ගන්නේ ප්‍රධාන නගරය යි. එය අක්කර සිය ගණනක් විශාල වූවකි. ‘සහේත්’ යනුවෙන් ‘ජේතවන භූමිය’ පවත්නා ප්‍රදේශය හැඳිනගෙන තිබේ.

භාරුත් කැටයම්කරුවා ද ජේතවන ආරාමය අමතක කළේ නැත. භාරුත් කැටයම් අතර එන එක් කැටයමක යටින් බ්‍රහ්මී අක්ෂරයෙන් සඳහන් කැරැ තිබුණේ, ‘ජෙතවන අනාධපෙඩිකො දෙති කොටිසංථතෙන කෙතා’ යනුවෙනි (ඡායාරූපය අමුණා ඇත).

ජේතවන භූමිය සම්බන්ධයෙන් 6 වැනි සියවසේ දී ෆාහියන් හිමියන් විසින් තබා ඇති තොරතුරු වැදැගත් වේ. මහා ප්‍රජාපතිය ගේ ආරාමයේ නෂ්ටාවශේෂ මත, සුදත්ත ගෘහපතියා ගේ ආරාමය පැවැති තැන, අංගුලිමාල ස්ථවිරයන් අර්හත්වයට පැමිණි තැන හා පිරිනිවන් පෑමෙන් පසු ආදාහනය කළ තැන ස්තූප ගොඩනංවන ලද බව ෆාහියන් හිමියෝ පවසති. ජේතවනාරාමය සම්බන්ධයෙන් ද උන් වහන්සේ විස්තරයක් ඉදිරිපත් කැරැ ඇති අතර එහි නැගෙනහිර දිශාවට මුහුණ ලා පැවැති ප්‍රධාන දොරටුව දෙ පස වූ ශිලා ස්ථම්භ දෙකක් පිළිබඳ ව ද උන් වහන්සේ සටහන් තබා තිබේ. වම් පස පැවැති ශිලා ස්ථම්භය මුදුනේ ධර්ම චක්‍රයත්, දකුණු පස පැවැති ශිලා ස්ථම්භය මුදුනේ වෘෂභ ප්‍රතිමූර්තියකුත් නිමවා පැවැති බව උන්වහන්සේ පවසති.

හියුත් සාං හිමියෝ ශ්‍රාවත්ථියට පැමිණෙන විට සම්මිතීය නිකායික භික්ෂූහු ස්වල්ප දෙනකු මෙහි වී යැයි තොරතුරු සටහන් කැරැ තිබේ. අංගුලිමාල ස්තූපය පිළිබඳ ව ද විස්තර තබන හියුත් සාං හිමියන්, ෆාහියන් හිමියන් තැබූ විස්තරවලට සමාන විස්තරයක් ජේතවනාරාමය සම්බන්ධයෙන් ද තබා ඇත. නැගෙනහිර දොරටුව දෙ පස ඇති අඩි 70 ක් පමණ උස් වූ ගල් කණු ද්විත්වයේ වම් පස කණුවේ මූල චක්‍ර සටහනකුත්, දකුණු පස කණුව මුදුනේ වෘෂභ රූප සටහනකුත් පැවැති බවට කර ඇති සඳහන නිදසුන් ය. මේ කණු අශෝක අධිරාජ්‍යයා විසින් කරවන ලද බව ද උන්වහන්සේ පවසා තිබේ.

1862-63 පමණ කා‍ලයේ දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් සහේත් සහ මහේත්වල පැවැති ගොඩැලි ද්විත්වයක් සොයා ගත් අතර ඒවා පිළිවෙලින් ජේතවනය හා සාවත්ථි අගනගරයට අයත් ඒවා බව හැඳින ගන්නා ලදි. එ සේ ම හෙතෙම මූලගන්ධ කුටිය හා සෙසු විහාරවල හා ආරාමවල නටබුන් අනාවරණය කළේ ය.

මීට අදාල කැණීම්වල දී ගහදාවල රජු වන මදනපාල් හා ඔහු ගේ පුත්‍ර ගෝවින්ද්චන්ද්‍ර ගේ ශිලා ලේඛන හමු විය. ඒවායේ ජේතවන විහාරය සඳහා සිදු කරන ලද පරිත්‍යාගයන් පිළිබඳ ව තොරතුරු සඳහන් වී තිබුණි. ඩී. ආර්. සාහ්නි විසින් කැණීම්වලදී සොයා ගත් තඹ පත් ඉරු ලිපියක් පදනම් කර ගනිමින් ජේතවන ආශ්‍රමය තව දුරටත් හඳුනා ගන්නා ලදි. කැනෞජ්හි ගෝවින්දචන්ද්‍ර රජුට අයත් තඹ පත් ඉරු ලිපියක් වූ එහි සඳහන් ව පැවැතියේ, ‘ශුද්ධ වූ ජේතවන ආශ්‍රමයේ වාසය කරන්නා වූ බුද්ධහත්තාරක ප්‍රමුඛ බෞද්ධ භික්ෂු සමූහයා වෙත කැරුණු ගම් හයක් පිළිබඳ‍’ තොරතුරු ය. මීට අමතර ව මේ වසර දෙකක කාලය තුළ තවත් විහාර දෙකක කැණීම් කටයුතු සිදු කරන ලදි.

ඒ හැර ආචාර්ය හෝ (1874-1876 හා 1884-1885), වොගල් (1907-1908) හා ආචාර්ය කේ. කේ. සිංහ (1959) සාවත්ථියේ කැණීම් කටයුතු වැඩි දුරටත් සිදු කළ අතර වෙන් වෙන් වශයෙන් පැවැති ව්‍යුහාත්මක ක්‍රියාකාරකම් කිහිපයක් ඔවුන් විසින් සොයා ගන්නා ලදි.

බුදුන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය ද පුරාවිද්‍යාත්මක කටයුතුවල දී මතු කරගෙන තිබේ. දිගින් අඩි 8ක් හා පළලින් අඩි 7ක් පමණ ‍වන මෙහි පාදම අද දක්වාත් දක්නට පවතී. ගන්ධ කුටියට පිටතින් පිළක් පැවැති බවත්, ඊට නැගීමට පඩි පෙළක් පැවැති බවත් පැවැසේ. පිළට පහළින් ගන්ධ කුටි පමුඛය පැවැතියේ ය. එය තරමක ප්‍රමාණයකින් යුතු එළිමහන් ස්ථානයකි. බො‍හෝ විට බුදුන් වහන්සේ සංඝ්‍යාට ධර්මය දේශනා කිරීමේ දී ‍මේ ස්ථානය භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

චීන දේශාටකයින් විසින් ද විස්තර තබා ඇති අංගුලිමාල ස්තූප සම්බන්ධයෙන් ද පුරාවිද්‍යාත්මක වැඩ කටයුතු කීපයක් ම සහේත්හි සිදු විය. අනේපිඩු සිටු මාලිගය සම්බන්ධයෙන් කැරුණු අනාවරණය ද මෙහි දී වැදැගත් ‍වේ. මේ සම්බන්ධ විස්තරයක් Archaeological Survey of India - Annual Report (1907-1908) හි Excavation at Saheth-Maheth යටතේ විස්තර කොට තිබේ.
බුදුන් වහන්සේ හා සම්බන්ධ භාරතීය පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කෙරී ඇති පුරාවිද්‍යාත්මක පර්යේෂණ විශාල ප්‍රමාණයකි. ඒ සියල්ල පිළිබඳ ව ම ලියුවහොත් පිටු සිය ගණනක ග්‍රන්ථයක් ලිවීමට තරම් කරුණු ඇත. නමුත් මේ ලිපිය ඔස්සේ සැවැත්නුවර හා ජේතවනය පිළිබඳ ව පමණක් පුරාවිද්‍යාත්මක ව තහවුරු කැරැගෙන ඇති සාධක සුළු ප්‍රමාණයක් පමණක් කෙටියෙන් මතු කළෙමි. අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙ පමණකි. බුදුන් වහන්සේ ලංකාවේ උපන්නේ යැයි පවසන මනෝභ්‍රමික නඩය, බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය ලංකාවේ පවතින්නේ යැයි පවසන්නේ නම්, තහවුරු කළ පුරාවිද්‍යා සාධක ඔස්සේ එය පෙන්විය යුතු ය. බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය වශයෙන් එය හැඳින ගැනීමට තුඩු දුන් පුරාවිද්‍යාත්මක සාධක කවරේදැ යි ද පෙන්විය යුතු ය. එ සේ නො හැකි නම් අවම වශයෙන් හිතලු ඉදිරිපත් කිරීමෙන් හෝ වැළැකිය යුතු ය.

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*