2020-05-09

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*

සෙනරත් පරණවිතාන

සිංහල පරිවර්තනය: රත්නසිරි අරංගල


[Paranavitana, S., 'Pre-Buddhist Religious Beliefs in Ceylon', Journal of the Royal Asiatic Society (Ceylon Branch), Vol. XXXI, No. 82, 1929, pp.302-3 ලිපියේ පූර්ණ සිංහල පරිවර්තනය යි. මේ පරිවර්තනය පළමු වරට ඒ.වී. සුරවීර නිර්මාණ විචාර විමර්ශන (සංස්. සිරිල් සි. පෙරේරා සහ තවත් අය), 1990 සංග්‍රහයෙහි පළ වූවකි. ඉන් අනතුරු ව එය තවත් ලිපි සංග්‍රහ කිහිපයක ද පළ වී තිබේ.]



ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී සිංහලයන් විසින් බුදුසමය පිළිගනු ලැබීමට පෙර ඔවුන් අතර ප්‍රචලිත ව පැවති ආගමික විශ්වාස පිළිබඳ ව මෙතෙක් අධ්‍යයනය කර ඇත්තේ මඳ වසයෙනි. එවැනි අධ්‍යයනයක් සඳහා උපයෝගි කර ගත හැකි සාධක ද අත්‍යල්ප වේ. වංසකථාවලින් ද තත් විෂයය සම්බන්ධයෙන් අපට දැන ගත හැකි වනුයේ කරුණු ස්වල්පයක් පමණි. එ් අල්ප තොරතුරු කෙරෙහි ද ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු වී නොමැත.

ක්‍රිස්තු පූර්ව සිව් වැනි සියවසේ දී පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීම පිළිබඳ මහාවංස වාර්තාව එ් රජු ඉදි කරවූ ආගමික සහ පොදුජන ආයතන කිහිපයක් ගැන ද සඳහන් කරයි. පසු කාලයේ දී අනුරාධපුරය සිංහල බෞද්ධයන්ගේ පූජ්‍ය නගරය බවට පත් වූයේ ය. මේ හේතුව නිසා එහි සම්භවය සම්බන්ධයෙන් විශ්වාස කටයුතු ප්‍රවාද ආරක්ෂා කිරීමට බෞද්ධ භික්ෂූන් පෙලඹුණ බව සිතිය හැකි ය. මේ අනුව, යථෝක්ත මහාවංස වාර්තාව සත්‍ය තොරතුරු ආශ්‍රයෙන් සම්පාදනය වූවක් සේ පිළිගැනීමට ඉඩ තිබේ. මේ නිබන්ධය වූ කලි ප්‍රධාන වශයෙන් ම පණ්ඩුකාභය යුගයේ ආගමික සංස්ථා පිළිබඳ අධ්‍යයනයක් වෙයි. ඊට අමතර ව, මේ මාතෘකාවට අදාළ තොරතුරු ලැඛෙන තන්හි ශිලා ලේඛනගත සහ අන්‍ය සාහිත්‍යගත සාක්ෂ්‍යවලින් ද සාධක ඉදිරිපත් කෙරෙනු ඇත.

මේ කරුණ වංසකථාවන්හි වාර්තා කෙරෙන අනුපිළිවෙළින් සාකච්ඡා කිරීමට මම අදහස් නො කරමි. අනෙක් අතට, විවිධ ඇදහිලි විශ්වාස ගැන සාකච්ඡා කිරීමේ දී ඒ අදාළ කරුණු උපයෝගි කර ගැනීම වඩාත් පහසු වනු ඇත. එසේ කිරීමේ දී, සංස්කෘතික වසයෙන් පහත් කක්ෂයකට ගැනෙන යක්ෂ වන්දනාව වැනි ඇදහිලි විශ්වාස අපි පළමුවෙන් සාකච්ඡා කරමු.


යක්ෂ ඇදහිලි: චිත්තරාජ


මහාවංසයේ දස වන පරිච්ඡේදයේ 84-88 පද්‍යවල මෙසේ සඳහන් වේ "ඔහු (පණ්ඩුකාභය) කාළවේල යක්ෂයා නගරයේ නැඟෙනහිර දිසාවෙහි පදිංචි කරවූයේ ය; චිත්තරාජ යක්ෂයා අභය වැවේ පහළ කෙළවරෙහි පදිංචි කරවූයේ ය. කාරණාකාරණ දන්නා රජ තෙමේ අතීතයෙහි රජ වාසලට හිතවත් දාසියක ව සිටි මේ අත්බැව්හි යක්ෂණියක ව උපත ලද තැනැත්තියක නගරයේ දක්ෂිණ ද්වාරයෙහි පදිංචි කරවූයේ ය. වෙළඹ වෙස් ගෙන සිටි යක්ෂණිය (=වළවාමුඛී) රාජකීය වාසභවන සීමාව ඇතුළත වැස්වූයේ ය. පණ්ඩුකාභය වර්ෂයක් පාසා මොවුන් සහ වෙනත් යක්ෂයන් උදෙසා යාග පූජා පැවැත්වූයේ ය. එසේ ද වුව, උත්සව අවස්ථාවන්හි දී ඔහු චිත්තරාජගේ අසුන හා සම උසැති අසුනක හිඳ ගෙන දිව්‍ය-මනුෂ්‍ය නාටක නරඹා උත්කර්ෂවත් ලෙස සන්තෝෂ වූයේ ය" (Mahavamsa 1912:74). එ් පරිච්ඡේදයෙහි ම 104-108 පද්‍යවලින් කාළවේල සහ චිත්තරාජ යන දෙදෙන ඔවුන්ගේ පියවි රූපයෙන් ම පෙනී සිට (දිස්සමානේහි) පණ්ඩුකාභය රජු සමඟ විනෝද වූ බව ද රජු යක්ෂයන් හා භූතයන් සමඟ මිත්‍රසන්ථවයෙන් පසු වූ බව ද පැවසේ (Mahavamsa 1912:67-75).

චිත්තරාජ සහ කාළවේල යන යකුන් දෙදෙනා ලක්දිව මුල් පදිංචිකරුවන්ගේ නායකයන් දෙදෙනෙකු විය හැකි බවත් පණ්ඩුකාභය ඔවුන්ට විශේෂ ගෞරවයකින් සැලකූ බවත් එසේ කරන ලද්දේ ආක්‍රමර්‍ණක සිංහලයන් ඒ දේශීය මුල් පදිංචිකරුවන්ගේ වාසභූමිය අහිමි කිරීම නිසා ඔවුන්ගෙන් එල්ල විය හැකි විරෝධතා මැඩ ලීම සඳහා ඒ අශීලාචාර පිරිස් සතුටු කිරීමේ අපේක්ෂාව පදනම් කර ගත් රාජතාන්ත්‍රික උපක්‍රමයක් ලෙසින් බවත් හෙන්රි පාකර් අදහස් කරයි (Parker 1909:26). එහෙත්, මහාවංස වෘත්තාන්තය අනුව, මේ යක්ෂ නායකයන් දෙදෙනාට පණ්ඩුකාභය හා සමසුන් දීමෙන් ඔවුන්ට යම් ලාභ ප්‍රයෝජනයක් අත්පත් වූ බවක් නම් නො පෙනේ. අනෙක් අතට, මේ වෘත්තාන්තයෙන් පෙනෙනුයේ මෙකී අධිමානුෂික පුද්ගලයන් හා සම අසුන් දැරීම රජුගේ ශ්‍රේෂ්ඨත්වය හා මහන්තත්වය පිළිබඳ සාධකයක් බව ය. චිත්තරාජ නම් යක්ෂයා පුරාතන ඉන්දියාවේ ප්‍රචලිත ජන ඇදහිල්ලක් හා සම්බන්ධ වන බව සනාථ කිරීමට අන්‍ය මූලාශ්‍රයක් සාක්ෂ්‍ය වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. ඒ මෙසේ ය; කුරුධම්ම ජාතකයේ දී කුරු රට ධනංජය රජු ගැන මෙසේ සඳහන් වේ, "සැම තෙවසරකට ම වරක් ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වීමට රජ පුරුදු වී සිටියේ ය. මේ උත්සවය පැවැත්වෙද්දී රජවරු අත්‍යලංකාරයෙන් සැරසී දිව්‍යරාජයන් මෙන් හැඳ පැලඳ චිත්‍රරාජ නමැති යක්ෂයකු සමීපයෙහි සිට විචිත්‍ර වර්ණයෙන් යුත් හී සතර දිසාවට විදිති. මෙම රජතෙමේ උත්සවය පවත්වනුයේ වැව් කණ්ඩියක් මත චිත්‍රරාජ අබියස සිට සතර දිගට මල් හී විද්දේ ය" (Jataka1895b:254).

මහාවංසයේ හා ජාතක පොතේ සඳහන් වන භූතයන් දෙදෙනාගේ නම්වල ඇති සමානකමට අමතර ව වෙනත් සමානකම් ද තිබේ. අනුරාධපුරයේ චිත්තරාජ යක්ෂයාගේ වාසස්ථානය පිහිටියේ අභය වැවේ (බසවක්කුළමේ) පහළ ඉවුරේ ය. කුරුධම්ම ජාතකයේ සඳහන් වන පරිදි ධනංජය රජ චිත්තරාජගේ පසෙකින් සිටී; ඒ ද වෑ කණ්ඩියක් මත ය. මේ අනුව චිත්තරාජ යනු දිය රකුසෙකු බව පැහැදිලි වේ. විශේෂ උත්සව දිනවල දී පණ්ඩුතකාභය රජු චිත්තරාජ සිටියදී රතික්‍රීඩාස්වාදයෙහි යෙදුණු බව කියවේ. කුරුධම්ම ජාතකෙය් සඳහන් වන්නේ කුරු රජු කාර්තික උත්සව දිනයේ දී චිත්තරාජගේ පසෙකින් හිඳ සිව් දෙසට මල් හී විදින බව ය. පශ්චාත්කාලීන ඉන්දියානු පුරාණෝක්ති අනුව මල් හී වනාහි කාමයට අධිපති අනංග දේවයාගේ සංකේතය යි. මේ ජාතක කතාවේ සඳහන් වන පරිදි චිත්තරාජ ද අනංගයා හා සමාන බව මෙයින් හෙළි වෙයි. මහාවංස වාර්තාව අනුව පණ්ඩුකාභයගේ දෙමාපියන් වූ චිත්‍රා හා ගාමිණී අතර පැවති රහසිගත ප්‍රේමසම්බන්ධ වෘත්තාන්තයේදී මෙම යක්ෂයා ද තරුණ පෙම්වතෙකු සේ කටයුතු කරමින් මේ තරුණ පෙම් යුවළ නොයකුත් උපද්‍රවවලින් ගලවා ගත් බව සඳහන් වීමෙන් පූර්වෝක්ත කරුණ තව දුරටත් සනාථ වේ (Mahavamsa 1912: ch. IX).

චිත්තරාජ යන නාමය සිතට හෝ හදවතට අධිපති ලෙස දැක්විය හැකි ය.(1) සිතට හෝ හදවතට අධිපති චිත්තරාජ යන නාමය ම හින්දු සමයාගත අනංගයාට යෙදෙන එක් නාමයක් වන 'මනෝභාව' යන නාමය හා සමරූප වේ. චිත්තරාජ යක්ෂයා පූජා කරනු ලැබූ කාර්තික උත්සවය කාමෝත්සවයක ස්වභාවය දැරූ බව සිතා ගත හැකිය. මේ දිනයේදී විවිධ ලිංගිකාචාරවලට ඉඩ ලැබිණ.(2) එක් වාර්තාවක් අනුව, මේ උත්සව දින රාත්‍රියේ අලංකාර ව සැරසුණු රජු නගර ප්‍රධානීන්ගේ නිවාස ද්වාරයන් කරා යාමත් ඒ ඒ තන්හි දී තරුණියන් පැමිණ ඔහුගේ හිස මත මල් විසුරුවීමත් චාරිත්‍රය වූ බව පෙනේ (උම්මදන්තී ජාතකය බලන්න: Jataka 1905:109ff).

කාළවේල මෙන්ම චිත්තරාජ ද දේශීය සම්භවයක් ඇත්තන් බව මහාවංසය අනුව අපට පිළිගත හැකි ය. යක්ෂයෙකු මෙන් උපත ලබන්නට පෙර චිත්තරාජ පණ්ඩුකාභය රජුගේ පියාගේ අතවැසියෙකු වී සිටි බව කියවේ. ගාමිණී කුමරාගේ රහසිගත ප්‍රේම සම්බන්ධයේ දී ඔහු ඉටු කළ කාර්යය ඉහත සඳහන් කෙරිණ. ජන කොටසක් අතර ව්‍යවහාර වන දේවකථා ඔවුන්ගේ වීරයන් ආශ්‍රය කර ගනු ලබන බව බහුල ව දක්නට ලැඛෙන්නකි. පණ්ඩුකාභය ප්‍රාග්-බෞද්ධ ලංකාවේ ජාතික වීරයා ය. සමකාලීන ව ව්‍යවහාරයෙහි පැවති ජනශ්‍රැති වංසකථාවෙහි සඳහන් වන අද්භූත විස්තරයට ඈඳා ගැනීම බොහෝ දුරට සිදු විය හැකි ය. මෙසේ කිරීමේ දී මේ කතාවලට දේශීය පසුබිමක් ඇති කිරීම ස්වාභාවික ය. චිත්තරාජ ඇදහිල්ල සමකාලීන හෝ පූර්වකාලීන ඉන්දියාවේ ව්‍යාප්ත ව පැවතුණ ද මේ යක්ෂයා දේශීය සම්භවයක් ඇත්තෙකු සේ දැක්වෙනුයේ යට කී ආකාරයෙනි. ජාවා දේශයේ හින්දු ආක්‍රමණිකයන් සම්බන්ධයෙන් මහාභාරත වීරයන් ජාවා රටේ ම සම්භවය වූවන් ලෙස දැක්වීම ද කුරු-පාණ්ඩව යුද්ධය ඒ රටේ දී ම සිදු වූවක් ලෙස දක්වා තිබීම ද මීට සමාන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි ය.


තිසා වැවේ දිය රකුසා


අභය වැවට චිත්තරාජ නම් ආරක්ෂක යක්ෂයෙකු සිිටි පරිදි ම තිසා වැවෙහි ආරක්ෂාවට ද නිර්නාමික දේවතාවෙක් විය. ක්‍රි. ව. දස වන සියවසට අයත් සෙල්ලිපියක් අනුව ඉසුරුමුණි විහාරය තිසා වැව පසෙකින් පිහිටි බවත් මිහිඳු හිමියන් විසින් බුදුසමයට හරවා ගනු ලැබූ රකුසෙකු තිසා වැවෙහි විසූ බවත් ඒ රකුසා සසුන් වැඩ ලෝ වැඩ දෙකෙහි යොදා ගනු ලැබූ බවත් කියවේ.(3) මේ භූතාත්මය මෙහි දී 'රකුස්' යනුවෙන් හැඳින්වේ. එහෙත්, 'යක්ෂ' හා 'රාක්ෂස' යන වචන ද්වයය එක ම සත්ත්ව වර්ගය සඳහා අවිශේෂයෙන් භාවිත වෙයි.(4) මේ අනුව, තිසා වැවට අධිගෘහීත දේවතාවා ද යක්ෂ ඇදහිල්ල හා ආශ්‍රිත ව සඳහන් කෙරේ. ලාංකික බුදුසමයේ ආදි කර්තෘ මිහිඳු හිමියන් විසින් මෙම රකුසා සම්‍යග්දෘෂ්ටියට හරවා ගනු ලැබූ බව දස වන සියවසේ ජනයා විශ්වාස කිරීමෙන් මේ රකුසා ප්‍රාග් බෞද්ධ යුගයේ දැන සිටි බව පැහැදිලි ය. මා දන්නා තරමින් මිහිඳු හිමියන් විසින් මෙම රකුසා සම්‍යග්දෘෂ්ටිගත කරවීම පිළිබඳ ව කිසිදු සාහිත්‍ය ග්‍රන්ථයක සඳහන් වී නැත; එමෙන් ම, මිහිඳු හිමියන් සමඟ කාශ්මීරය සහ වෙනත් රටවල ධර්මදූත ව්‍යාපාරයෙහි යෙදුණ අනෙක් තෙරවරුන් විසින් එවැනි කටයුතු කළ බවක් ද වාර්තා වී නැත.


කාළවේල


පණ්ඩුකාභය කතාවේ චිත්තරාජ හා එකට සඳහන් වන කාළවේල පිළිබඳ ව අන් කිසිදු මූලාශ්‍රයයක සඳහන් නො වේ. නගරයේ නැඟෙනහිර ද්වාරාසන්නයෙහි පිහිටි මොහුගේ දෙවොල පිළිබඳ තොරතුරු පසු කාලය දක්වා ද වාර්තා කෙරේ. ක්‍රි.ව සිව් වන සියවසේ දී මහසෙන් රජු එම ස්ථානයේ චෛත්‍යයක් සෑදවීම පිළිබඳ සඳහන ඊට උදාහරණයකි (Mahavamsa 1912: XXXVII.44). මහාසේනගේ චෛත්‍යය යක්ෂ දෙවොල මත ඉදි කරවන ලද්දක් ද යන්න සඳහන් වී නැත. ඒ නිසා චෛත්‍ය පූජාව හා සමගාමී ව, පූර්වයේ සිට පැවත එන යක්ෂ ඇදහිල්ල ද පැවති බව අනුමාන කළ හැකි ය. සිද්ධි අනුපිළිවෙළින් සැලකීමේ දී ද චේතිය වූ කලි ප්‍රාග් බෞද්ධ ඉන්දියාවේ යක්ෂ ඇදහිල්ලේ අංගයක් වූ බව පැහැදිලි වේ. මහසෙන් රජු කරවූ මේ චෛත්‍යය ද කී යක්ෂ ඇදහිල්ල සඳහා ඉදි කරන ලද්දක් විය හැකි ය. අනුරාධපුරයේ නැඟෙනහිර ද්වාරභූමිය පිහිටියේ වර්තමාන නකා වෙහෙර අසල ය.‍


මහේජ


පණ්ඩුකාභය සමයේ සිංහලයන් විසින් වන්දනා කරනු ලැබූ අනෙක් යක්ෂයා නම් මහේජ ය.(5) එම යක්ෂයාගේ දෙවොල වර්තමාන ථූපාරාම දාගැබට මඳක් බටහිර දෙසින් පිහිටා තිබිණ. එය 'මහේජඝර' නමින් හැඳින්විණි (Mahavamsa 1912: X.90). ථූපාරාමය ඉදි කිරීම හා සම්බන්ධ වාර්තාවේ සඳහන් වන පරිදි ථූපයේ තැන්පත් කිරීමට නියමිත වූ සර්වඥ ධාතු පිට තබා ගත් මඟුල් ඇතා නගරයේ දකුණු වාසල් දොරින් පිට වී මේ යක්ෂයාගේ දෙවොල තෙක් ගමන් කර ඉනික්බිති ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානයට පෙරළා පැමිණ ඇත. පශ්චාත්කාලීන සාහිත්‍යයේ මහේජ ගැන වෙනත් කිසිදු තොරතුරක් දක්නට නො ලැබේ. ථූපාරාමය වටා ඇති බෞද්ධ ගොඩනැඟිලි සඳහා ඉඩ ලබා ගැනීම පිණිස මහේජඝරය කඩා බිඳ දමන්නට ඇත.


වෛශ්‍රවණ සහ අනෙක් යක්ෂයෝ


යක්ෂාධිපති වෛශ්‍රවණ බෞද්ධ පුරාකථාවන්හි බහුල වසයෙන් සඳහන් වන්නෙකි. ඔහු, සදෙව්ලොව අතරින් පහළ ම ලෝකයේ වෙසෙන සිව්වරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. මොහු, හින්දු පුරාණෝක්තිවල, ධනයට අධිපති කුවේර වසයෙන් ද ප්‍රකටය. පණ්ඩුකාභය විසින් ආගමික ගොඩනැඟිලි ඉදි කිරීමේ දී මොහුට වඩා අවශේෂ වූ ද මොහුගේ අතවැසියන් සේ සලකනු ලැබුවා වූ ද අය වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කරන ලද අතර මේ වැදගත් පුද්ගලයා ද අමතක කර නැත. ඔහුගේ වාසස්ථානය වසයෙන් නගරයේ බටහිර ද්වාරාසන්නයේ පිහිටි නිග්‍රෝධ වෘක්ෂයක් වෙන් කරනු ලැබ ඇත (Mahavamsa 1912: X.89). වෘක්ෂ වන්දනාව පිළිබඳ ව අපි ඊට අදාළ අවස්ථාවේ දී කතා කරමු.

වෙන ම ඇදහිල්ලක් වශයෙන් නො ව, පණ්ඩුකාභය වෘත්තාන්තය ආශ්‍රිත ව ම සඳහන් වන තවත් යක්ෂයෙක් නම් ජුතින්ධර(6) ය. ඔහුගේ වාසස්ථානය වූයේ දිවයිනේ නැඟෙනහිරි භාගයේ පිහිටි මහවැලි ගංගාශ්‍රිත තිඹිරියංගන නම් වැවකි. මොහුගේ භාර්යාව නම් මීට ඉහත ද සඳහන් කෙරුණු චේතියා නම් යක්ෂණිය යි (Mahavamsa 1912: X.53; බටුවන්තුඩාවේ හා ඤාණිස්සර 1895: 269). අරිට්ඨ පබ්බතයේ ජයසේන නමැත්තා ද පුරාතන ලංකාවේ ප්‍රසිද්ධ ව සිටි තවත් යක්ෂයෙකි. මොහු හා දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බර අතර පැවති සටනක් පිළිබඳ රසවත් පුවතක් රසවාහිනියෙහි දැක්වේ (1907: 87සිට).

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ බව කියන ගමන් තුනෙන් පළමු වැන්නේ දී සමනළ ගල මුදුන වාසස්ථානය කර ගෙන සිටි සුමන දේවයාට ධර්මය දේශනා කළ බව පැවසේ. මේ අනුව, සිංහලයන් බුදුසමය වැලඳ ගැනීමට පෙර පවා මෙම දේවතාවා දැන සිටි බව අනුමාන කළ හැකි ය. දීඝ නිකායේ ආටානාටිය සුත්‍රයෙහි 'සුමන' නමැති යක්ෂයෙකු පිළිබඳ ව සඳහන් වේ. සමන්තකූටයේ සුමන ද මේ යක්ෂයා ම විය හැකි බවත් ඔහු පසු කාලයේ දී දෙවියකුගේ තත්ත්වයට උසස් කරන්නට ඇති බවක් සිතා ගත හැකි ය. මොහුගේ වාසස්ථානය කඳු ශිඛරයක් විනා සදෙව් ලොවින් එකක් නොවීම යක්ෂයන් හා ආශ්‍රිත භුම්මදේව (භූමාටු දෙවි) යන උපපදය හා මනා සේ ගැළපේ. ඔහු සමන්තභද්‍ර නමැති මහායාන බෝධිසත්වවරයා ම බව මේ දෙවියාගේ පසු කාලයට අයත් මූර්ති නිරූපණ පදනම් කර ගෙන මවිසින් අනෙක් තැනක පෙන්වා දී ඇත (Paranavitana 1928:64). දේශීය දෙවිවරුන් වඩාත් විශ්වව්‍යාපී දෙවිවරුන් හා සමරූප කිරීම සුලබ ව දක්නට ලැඛෙන්නකි.



යක්ෂණියෝ


ක්‍රිස්තු පූර්ව සිව් වැනි සියවසේ දී ආදි අනුරාධපුර සමාජයේ වන්දනමානනයට පාත්‍ර වූ ස්ත්‍රී භූතාත්ම අතුරින් වෙළඹ වෙස් ගත් වඩවාමුඛී නම් යක්ෂණියට වැදගත් ස්ථානයක් හිමි වේ. ඇගේ වාසස්ථානය රජමාලිග සීමාව තුළ ම පිහිටි බැවින් ඇය පණ්ඩුකාභය රජුගේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ බව පෙනේ. පදකුසල මාණවක ජාතකයෙහි සඳහන් වන අශ්වමුඛී නම් යක්ෂණිය මේ වඩවාමුඛී බව සැකයෙන් තොර ව සිතා ගත හැකි ය (Jataka 1897:298). මේ යක්ෂණිය පදකුසල මාණවක ජාතකයෙහි එන පදකුසල නම් බෝසතුන්ගේ මව වූවා ය. සොරකමක් සිදු වී දස වසරක් ගෙවීමෙන් පසුව වුව සොරා අල්වා ගත හැකි තරම් බලයක් ඇති මන්ත්‍රයක් ඈ බෝධිසත්ත්වයන්ට ඉගැන්වූවා ය. බුදුසමයෙහි උන්නතිය ඇති වූ අවධියෙහි උතුරු ඉන්දියාවේ ජන ඇදහිල්ලක කේන්ද්‍රස්ථානය අශ්වමුඛීට හිමි වී තිබුණු බව පෙනේ. භාජ, සාංචි, බුද්ධගයා සහ පාටලීපුත්‍ර යන ස්ථානවල ආදි බෞද්ධ කැටයම්වල ද ඇය නිරූපණය වී තිබිණ. මේ ඇතැම් කැටයමක පදකුසල මාණවක ජාතකය නිරූපණය වන දර්ශනවල මෑ දක්නට ලැබේ. ඇතැම් තැනක මැය එකලා ව ද නිරූපණය කර ඇත. ඇය ගෝවර්ධන කඳු ශිඛර අතර සිටින අයුරු නිරූපිත කැටයමක් ද මැන්ඩෝරයෙන් ලැබී ඇත. මේ කැටයම පසු කාලයට අයත් වන්නකි (Coomaraswamy 1927: 26).

තවත් යක්ෂණියක වෙනුවෙන් අනුරාධපුර නගරයේ දක්ෂිණ ද්වාරසන්නයේ ස්ථානයක් වෙන් කර තිබිණ. එම යක්ෂණියගේ නම සඳහන් ව නැත. ඈ පණ්ඩුකාභය කුමරාගේ ළදරු වියෙහිදී ඔහුගේ මයිලණුවන් විසින් ඔහු මැරවීමට යොදන ලද උපක්‍රමවලින් බේරා ගැනීමට ඉදිරිපත් වූූ දාසියක් වූවා ය (Mahavamsa 1912: X.85).


පශ්චිමරාජිනී


පණ්ඩුකාභය විසින් පශ්චිමරාජිනී නම් දෙවඟනක පුරාතන අනුරාධපුරයේ බටහිර ද්වාරයෙහි වැස්වූ බව මහාවංසයේ දස වැනි පරිච්ඡේදයේ 89 වැනි පද්‍යය අපට පවසයි.මේ නම සම්බන්ධයෙන් ගයිගර් සිය මහාවංස සංස්කරණයෙහි ප්‍රස්තාවනාවෙහි ලා මෙසේ සඳහන් කරයි " 'පශ්චිමරාජිනී' යන නාමය 'බටහිර රාජිනියෝ' යන අරුත් දෙන බව පෙනේ. මෙය මේ දේවතාවිය උදෙසා ඉදි කෙරුණු සිද්ධස්ථානයක් හෝ වාසස්ථානයක් හෝ සඳහා භාවිත කරන ලදි. පච්ඡිමරාජිනියගේ වාසස්ථානය පශ්චිම දිශා භාගයේ ඉදි කරනු ලැබීම හුදෙක් අහඹු ලෙස සිදු වූවක් නො වන බව මගේ අදහස යි. කෙසේ වෙතත්, යථෝක්ත පච්ඡිමරාජිනීන්ගේ ස්වභාවය ගැන මීට වැඩි කිසිවක් අපි නො දනිමු. ඇතැම් විට ඔවුන් මරණය හා සම්බන්ධ දේවතාවියන් (මෘත්‍යුදේවතා) විය හැකි ය" (Mahavamsa 1912:X.85). ගයිගර් 'පච්ඡිමරාජිනී' යන වචනය බහුවචන රූපයක් ලෙස පරිවර්තනය කරයි. එය ඒකවචන රූපයක් ලෙස ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. අත් පිටපත්වලින් හමු වන පාඨාන්තරයක් වන 'පච්ඡිමරාජිනිං' යන පදය ශුද්ධ පාඨය සේ සැලකුව ද එය යෙදී ඇත්තේ කර්ම විභක්තියේ ඒකවචන රූපයක් ලෙස ය. මේ අනුව, පණ්ඩුකාභය විසින් පශ්චිමරාජිනීන් කිහිප දෙනක නො ව එක ම පශ්චිමරාජිනියක ස්ථාපනය කරවූ බව පැහැදිලි වේ.

යථෝක්ත පශ්චිමරාජිනිය හඳුනා ගැනීමට චීන දේශාටක හියුං ත්සියෑං අපට හෝඩුවාවක් සපයයි. සිංහලයාගේ ප්‍රභවය පිළිබඳ වෘත්තාන්තය හා සම්බන්ධ අර්ථකථන දෙකක් හෙතෙම ගෙන හැර පායි. එයින් පළමු වැන්න ඔහුට කාංචිපුරයේ දී හමු වූ සිංහල භික්ෂූන් විසින් පවසන ලද කරුණු මත පදනම් වූ බව බොහෝ දුරට සිතිය හැකි ය. දෙවැන්න සිංහලාවදානය නමැති සංස්කෘත ග්‍රන්ථය පදනම් කර ගත්තකි. පළමු වැනි වාර්තාව අනුව අනුරාගී රජ කුමරිය සිංහයෙකු මුණ ගැසීම, මොවුන්ගේ සහවාසය, පුතකු හා දුවක ඉපදීම, මව සහ දරුවන් සිංහ ගුහාවෙන් පලා ගොස් මනුෂ්‍ය වාසයකට පැමිණීම, සිංහයා සුතනඹුවන් සොයා යාම, ගම්වැසියන් අතරට පැමිණි මෘගරාජයා විසින් කරනු ලැබූ විනාශකාරී ක්‍රියා, මේ අනාරාධිත අමුත්තාගෙන් රට බේරා ගන්නා කවරෙකුට වුව අතිවිශාල ත්‍යාගයක් පිරිනැමෙන බවට රජතුමා විසින් කරන ලද ප්‍රකාශය සහ සිංහයා සිය අතිජාත පුත්‍රයා විසින් ම මරනු ලැබීම යන කරුණු ලක්දිව වංසකථාවල පැනෙන වෘත්තාන්තයට බොහෝ දුරට සමාන ය.

මෙතැන් සිට හ්යුං ත්සියෑංගේ වෘත්තාන්තය හා ලාංකික සම්ප්‍රදාය අතර ඇති වෙනස්කම් බොහෝය. දේශීය සම්ප්‍රදාය අනුව සිංහලයාගේ පුත්‍රයා වංගදේශවාසි කෘතවේදී ජනතාව අතින් රාජත්වයෙන් පිදුම් ලැබී ය. එම ත්‍යාගය ප්‍රතික්ෂේප කරන ඔහු ලාට රටට ගොස් එහි රාජධානියක් ගොඩ නඟා සිය නැඟණියන් බිසව කොට ගෙන රට පාලනය කෙළේ ය. ඔහු පුත් විජය ලක්දිව අත්පත් කර ගත් තැනැත්තා ද සිංහල වර්ගයාගේ මූලාරම්භක වීරයා ද විය. හියුං ත්සියෑං වාර්තාවට අනුව ලංකාව අත්පත් කර ගත්තේ සිංහයාගේ පුත්‍රයා මිස සිංහයාගේ මුණුබුරා නො වේ. සිංහයාගේ දියණියෝ - සිංහලගේ සෙහොයුරිය - බටහිර ස්ත්‍රීන් යනුවෙන් හැඳින්වෙන ඇමසන්(7) වර්ගයාගේ මිත්තණියෝ යි. මේ සාකච්ඡාවට මාතෘකා වූ කරුණට අදාළ වන ප්‍රවෘත්තිය චීන දේශටකයාගේ වචනවලින් ම දැක්වීම යෝග්‍යතර ය.

"එවිට රජ මේ වීරපුරුෂයා කවරෙක් දැයි තොරතුරු විචාළේ ය. සිංහපුත්‍රයා සත්‍යය සැඟවුව හොත් දඬුුවම් ලැබේ ය යන බියෙනුත් ලැබෙන්නට තිඛෙන සම්පත් ගැන සැලකීමෙනුත් තමා පිළිබඳ පුවත් සියල්ල නො සඟවා කී ය. එවිට රජ, "දුෂ්ටය , තෝ තාගේ ම පියා මැරුවෙහි නම් අන්‍යයන් මැරීම ගැන කවර කතා ද? තා විසින් මාගේ රට විපතින් මුදා ලීමෙන් කරන ලද්දේ මහත් උපකාරයකි. ඒ සඳහා තුටුපඬුරු ලැබිය යුතු නමුත් පියා මැරීම වැනි නපුරු ක්‍රියාවක් කළ තා මාගේ රටින් නෙරපිය යුතු ය"යි කියා විශාල නැව් දෙකක් පිළියෙල කරවා එහි ආහාරෝපකරණ පුරවා ඉන් එකක සිංහපුත්‍රයා ද අනිකෙහි ඔහුගේ සොහොයුරිය ද නංවා මූදේ පා කර හැරියේ ය. රටට කළ උපකාරය වෙනුවෙන් ඔවුන්ගේ මෑණියන්ට උවමනා සියල්ල සම්පාදනය කොට දී තමාගේ රටෙහි ම නවතින්ට සැලැස්වී ය. සිංහපුත්‍රයා නැඟුණු නැව පා වී ගොස් රත්නද්වීපයට පැමිණියා ය. එහි තිඛෙන රත්න වර්ගයන් දුටු හෙතෙමේ එහි වාසග්‍රහණය කෙළේ ය.
"මැණික් සොයන වෙළෙන්දෝ පසු කලක මේ ද්වීපයට බොහෝ සේ පැමිණෙන්ට පටන් ගත්හ. සිංහකුමාරයා, ප්‍රධාන වෙළඳුන් මරා ඔවුන්ගේ දරුවන් (හෝ සේවකයන්) මෙහි ම නවත්වා ගත්තේ ය. මෙසේ ඇති වූ ජනතාවගෙන් අතිවිශාල ජන සමූහයක් ඇති විය. ඔවුහු රජෙකු තෝරා ගෙන මිනිසුන් කොටස් වශයෙන් ඛෙදා ක්‍රමයෙන් මහා නගර කුඩා නගරයන් පිහිටුවා අභ්‍යන්තර දේශයන් ද යටත් කොට ගත්හ. මොවුන්ගේ ආදි පුරුෂයා 'සිංහයකු මැරූ නිසා' මෙරට 'සිංහල' නාමයෙන් ප්‍රකට විය.
"කුමරිය නැඟි නැව බටහිර - රකුසන් වසන පර්සියා දේශයට පා වී ගියා ය. ඇය පාර්සීයයන් හා එක් වීමෙන් උපන් දූවරුන් නිසා එරටෙහි ස්ත්‍රී පරම්පරාවක් ඇති විය. එහෙයින් දැන් එරට 'බටහිර ස්ත්‍රීන්ගේ දේශය' යි හඳුන්වනු ලැබේ" (Beal 1884: 239-40).(8)

යථෝක්ත ප්‍රවෘත්තිය අනුව පුරාවෘත්තාගත බටහිර ස්ත්‍රී වර්ගයාගේ ආදි මිත්තණියන් වූයේ සිංහල ජාතියේ ආරම්භකයා ලෙස සැලකෙන සිංහලයාගේ සොහොයුරිය බව පෙනේ. මේ අනුව ඔවුන්ගේ රැජින (එනම් 'පශ්චිමරාජිනිය') ආදි සිංහලයන් විසින් පූජනීයත්වයෙන් සැලකුණු තැනැත්තියක් වූවා ය. මේ ස්ත්‍රීන් සිංහලගේ සොහොයුරිය හා බටහිර යක්ෂයන් අතර සහවාසයෙන් ඇති වූ බව පැවසෙන හෙයින් මෙකී පශ්චිමරාජිනී වන්දනාව එකල බහුල ප්‍රචලිත ව පැවති යක්ෂ ඇදහිල්ලේ එක් අවස්ථාවක් සේ සැලකීම යුක්තියුක්ත වේ.

හියුං ත්සියෑං චීනයට පෙරළා යන අතරමඟ දී පැමිණි පර්සියාව පිළිබඳ ව කරන විස්තරයෙහි දී 'බටහිර ස්ත්‍රීන්' සම්බන්ධ වැඩි දුර තොරතුරු සඳහන් කරයි. "ෆෝ-ලින්(9) දේශයෙන් නිරිත දිග සමුද්‍ර මධ්‍යයෙහි පිහිටි දිවයිනක බටහිර ස්ත්‍රීන්ගේ රාජධානිය පිහිටියේ ය. මෙහි ස්ත්‍රීහු පමණක් ම වාසය කරති; පිරිමි නැත්තාහ. මේ ස්ත්‍රීන් සතු ව මැණික් හා අගනා ගල් වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඔවුහු ඒවා ෆෝ-ලින් දේශය සමඟ හුවමාරු කර ගනිති. එබැවින් ෆෝ-ලින් දේශයෙහි රජ එම ස්ත්‍රීන් සමඟ තාවකාලික ව වාසය කිරීම සඳහා ඇතැම් පුරුෂයන් පිටත් කර යවයි. ඔවුන්ට පිරිමි දරුවන් ලැබුණ හොත් එම දරුවන් ඒ දිවයිනෙහි ඇතිදැඩි කිරීමට අවසර දෙනු නො ලැබේ."(Beal 1884: 279).

ඉන්දියාවට බටහිරින් පිහිටි දූපතක 'ඇමසන්' වර්ගයක් වාසය කරන බව මධ්‍යකාලීන දේශ සංචාරකයන්ගේ විශ්වාසය විය. කෙස්මැකරන් දේශයෙන් (බලුකිස්ථානයේ මැක්රන් යැයි හඳුනා ගෙන ඇත) සැතපුම් 500ක් දකුණු දෙසින් පුරුෂයන් වාසය කළ දූපතක් ද ස්ත්‍රීන් වාසය කළ තවත් දූපතක් ද වී යැයි මාර්කෝ පෝලෝ පවසයි. මාර්කෝ පෝලෝගේ දේශාටන වාර්තා සංස්කරණය කළ සෙන්පති යූල් එකී දූපත්වල පිහිටීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කරයි "මේ දූපත්වල පිහිටීම පිළිබඳ නිවැරදි හඳුනා ගැනීමක් හෝ එසේ ම, මාර්ස්ඩන් නමැත්තා විසින් කරනු ලැබූ පරිදි මේ දෘෂ්ටාන්තය පිළිබඳ තර්ක කිරීම හෝ සමහර විට එතරම් අර්ථවත් නො වන්නක් විය හැකි ය. මේ දෘෂ්ටාන්තය ඈත අතීතයේ පටන් පැවත එන්නකි. කිසිවකුට මේ දූපත් සොයා ගත නො හැකි විය. එම දූපත්වල පිහිටීම සොකොත්‍රා හා ඒ ආසන්න ප්‍රදේශය ඇසුරෙන් මේ වෘත්තාන්තය සමඟ ම ක්ෂිතිජය පුරා විහිදී යයි" (Polo 1903:404 – 405). මේ දූපත් දෙක සම්බන්ධ වාර්තා සැපයූ අන්‍ය මධ්‍යකාලීන දේශාටකයන් ගැන ද යූල් සඳහන් කරයි.

ඇමසන් ස්ත්‍රීන්ගේ දූපත පිළිබඳ කතාන්තර සිහි ගන්වන පුවතක් සිංහල ජනප්‍රවාදය හා ආශ්‍රිතව මහාවංස වාර්තාවේ ද අන්තර්ගත ය. ලංකාවාසීන්ගේ මූලාරම්භකයා ලෙස සැලකෙන විජය ඔහුගේ අනුගාමිකයනුත් සමඟ සිය මව්බිමෙන් පලවා හරිනු ලැබීමේ දී ඔවුන්ගේ භාර්යාවෝ එක් නැවක ද දරුවෝ වෙනත් නැවක ද නංවා විදේශගත කරවන ලදහ. මේ ස්ත්‍රීහු එක්තරා දිවයිනක වෙරළට පැමිණියහ. එහි දී ඔවුන්ට ස්වාමිපුරුෂයන් සොයා ගත හැකි විය. එතැන් පටන් මෙකී දිවයින 'මහිලාද්වීප' නම් වී. මොවුන්ගේ දරුවන් රැගත් නැව ගොඩ බට දිවයින 'නග්නද්වීප' නමින් හැඳින්විණ. මාර්කෝ පෝලෝ සඳහන් කරන දිවයින් දෙක මේ දිවයින් දෙක හා තුල්‍යරූප වේ.(10) මහාවංස ආඛ්‍යානය අනුව, මහිලාද්වීපවාසීන්ගේ ආදිමිත්තණියෝ සිංහල ජනප්‍රවාදයේ පැනෙන වීරයාගේ බිරිය මිස සොහොයුරියෝ නො වෙති. විජය අයත් වූ ගෝත්‍රය සහෝදර-සහෝදරියන් අතර විවාහ වීමේ චාරිත්‍රය අනුගමනය කරන්නක් යැයි සැලකීම මේ අවුලට හේතු වන්නට ඇත.

ඇමසන් ස්ත්‍රී වර්ගයක් වෙසෙන ස්ත්‍රී පුර නමැති දේශයක් පිළිබඳ ව සිංහල ජනශ්‍රැතියක ද සඳහන් ව ඇත. ජනකාන්ත සිංහල කවිකතා රාශියක ම වීරයා වන පළමු වැනි ගජබාහු රජු සිය දකුණු ඉන්දියානු ප්‍රයාණයක දී මේ ස්ත්‍රී පුරයට ද පැමිණි බව මා අසා ඇත. ස්ත්‍රීපුරය යනු මලබාර් දේශය හැඳින්වීමට යෙදුණු අන්‍ය නාමයක් බව මේ කරුණු මට හෙළිදරව් කළ තැනැත්තා වැඩි දුරටත් සඳහන් කෙළේ ය. බටහිර ඉන්දියාවේ වෙරළබඩ ජීවත් වී යැයි පිළිගැනෙන ස්ත්‍රී වර්ගයක් පිළිබඳ වන සිංහල පුරාවෘත්තය ක්‍රි.ව. නව වැනි සියවසට අයත් අරාබි සහ පර්සියානු දේශාටකයන්ගේ සටහන්වලින් ද සනාථ වේ. ඉන්දියාවේ බටහිර වෙරළාසන්න ව පිහිටි තෆෙක් රාජධානියේ ප්‍රසන්න ඡවිවර්ණ ඇති රූමත් ස්ත්‍රී කොට්ඨාසයක් විසූ බව පූර්වෝක්ත දේශාටකයන් විසින් බුස්සෝරාවේදී වාර්තා කරන ලදි. මේ ප්‍රදේශයේ පිහිටීම පිළිබඳ ව යථෝක්ත දේශාටකයන් සපයන කරුණු අනුව මේ සුන්දර ස්ත්‍රීන්ගේ දේශය ගෝවට ආසන්න ප්‍රදේශයක් විය හැකි යැයි ජේ. කෙනඩි අදහස් කරයි. ගෝවට නුදුරු නිරිත දිග ප්‍රදේශයේ ප්‍රසන්න ඡවිවර්ණයට හා රූමත් බවට ප්‍රසිද්ධ ස්ත්‍රී වර්ගයක් සිටින බවට ගෝව ප්‍රදේශයේ ජනකතාවක් පවතින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. මේ ස්ත්‍රීන් නිදහස් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සල්ලාල ජීවිත ගත කරමින් පුරුතුගීසි කන්‍යාරාමයක විසූ අනාචාරශීලී පූජකවරියන්ගෙන් පැවතෙන්නියන් බවත් ඔවුන් ප්‍රධාන පූජකවරියක යටතේ පාලනය වූ බවත් වැඩි දුරටත් සඳහන් වේ (Kennedy 1904: 163). දහහතර වැනි සියවසේ විසූ ස්ත්‍රීලෝල අරාබි ජාතික යාත්‍රිකයෙකු වූ ඉබන් බතූතාට ද මේ ස්ත්‍රී රාජ්‍යය පිළිබඳ ව අසන්නට ලැබුණෙන් ඔහු ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු සෙවීමෙහි උත්සුක වී ඇති නමුත් ඒ වෑයම සාර්ථක වී නැත.(11)

ඉන්දියාවෙහි බටහිරි පෙදෙස්හි හෝ ඉන්දියාවට බටහිර යම්කිසි ප්‍රදේශයක හෝ වාසය කරන ඇමසන් ස්ත්‍රී කොට්ඨාසය පිළිබඳ මිථ්‍යා කථාව ඈත අතීතයේ පටන් නූතන යුගය දක්වා ම පවත්නා බව යථෝක්ත කරුණුවලින් පැහැදිලි වේ. හියුං ත්සියෑං අවධිය වන විට මේ ස්ත්‍රීන් සිංහලගේ සහෝදරියගෙන් පැවැතෙන්නියන් ය යන විශ්වාසය පැතිර පවතින්නට ඇත. ස්ත්‍රී ද්වීපය පිළිබඳ ව මහාවංසයේ සඳහන් වීම සහ ස්ත්‍රී පුරයක් පිළිබඳ ව සිංහල ජනප්‍රවාදයේ පවතින කතාන්තර ද කියා පානුයේ ඇමසන් ස්ත්‍රීන් පිළිබඳ පුරාකථාව පුරාතන ලාංකිකයන් ද දැන සිටි බව ය. මේ අනුව පණ්ඩුකාභය යුගයේ විසූ පශ්චිමරාජිනිය වූ කලි චීන දේශාටකයා පවසන 'බටහිර ස්ත්‍රීන්ගේ රැජින' ම ය යන්න සැක කිරීමට හේතුවක් නොමැත.

මේ දේවතා ඇදහිල්ලේ ස්වභාවය කුමක් ද ඇය පොදු ජන ඇදහිල්ලකට පාත්‍ර වීමෙන් ගිලිහුණේ කවර දා ද වර්තමාන සිංහල ජන ඇදහිලි අතර මේ දෙවඟන පිළිබඳ ඇදහිල්ලේ ඡායා මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත් ද වර්තමාන සිංහල ජනයා අතර පවතින දේව ස්ත්‍රීන් වන්දනාව විසින් පූර්වෝක්ත දේව වන්දනාව උකහා ගනු ලැබුවේ ද යන මේවා නිශ්චිත පිළිතුරු දීම සඳහා සාධක සොයා ගත හැකි ප්‍රශ්න නො වේ.


යක්ෂ ඇදහිල්ල පිළිබඳ පොදු නිරීක්ෂණ


පුරාතන ලංකාවේ බහුව්‍යාප්ත ව පැවති යක්ෂ ඇදහිල්ල ගැන සලකන කල යක්ෂයන් පිළිබඳ පොදු නිරීක්ෂණ කීපයක් දැක්වීම උචිත වනු ඇත.(12) බෞද්ධ හා ජෛන ලේඛනවලින් අපට දැන ගත හැකි කරුණු අනුව බුදුන් පහළ වීමට පෙරාතු ව සහ ඉනික්බිති වකවනුවේ සමාජයේ මධ්‍යම හා පහළ ස්තරවල ජනයාගේ ආගමික විශ්වාසයන්හි ප්‍රධාන බලවේගය ලෙස පැවති බව පෙනෙනුයේ යක්ෂයන් කෙරෙහි විශ්වාසය හා ඔවුන්ගෙන් අනුග්‍රහ ලැබීමය. විවිධ බෞද්ධ පුරාවෘත්තවලින් වෘක්ෂ, තටාක, ශිඛර හා ගංගා ද වෙනත් ස්වාභාවික වස්තු ද වාසභූමි කර ගත් යක්ෂයන් පිළිබඳව අපට කියවන්නට ලැබේ. සත්ත්ව කොට්ඨාසයක් වශයෙන් සලකන කල යක්ෂයෝ බොහෝ දුරට යුරෝපීය මිථ්‍යා කථාවල දැක්වෙන සුරංගනාවන්ට හා කුරුමිට්ටන්ට සමාන වෙති. ඉන්දියාවේ පළමුවෙන් බුදුසමය වැලඳ ගත්තවුන්ගෙන් බහුතරය යක්ෂ ඇදහිලි පිළිගෙන සිටි ඉන්දියානුවෝ ය. ප්‍රාථමික ඇදහිලි අත්හැර මේ උසස් ආගම වැලඳ ගැනීමෙන් පසු ව වුව ඔවුහු ස්වකීය ආදි දෙවිවරුන්ට ගරු සත්කාර කිරීම දිගට ම කර ගෙන ගියහ. භාරතයේ පැරණි ම බෞද්ධ ස්තූපයන්හි කැටයම් අතර ද යක්ෂ රූප බොහෝ ගණනක් නිරූපණය කර ඇත. ඉන්දියාවෙන් සොයා ගෙන ඇති පැරණි ම ප්‍රතිමා නිර්මාණවලින් ද නිරූපණය වනුයේ මේ යක්ෂ රූප ය.(13) බුදුන් වහන්සේ විසින් මේ යක්ෂයන් බොහෝ දෙනෙකු සම්‍යග්දෘෂ්ටියට හරවනු ලැබූ අයුරුත් ඉන් අනතුරු ව ඔවුන් සිය කුරිරු දිවිපෙවෙත අතහැර දමා හොඳ බෞද්ධයන් වූ අන්දමත් බොහෝ බෞද්ධ පුරාවෘත්තවල සඳහන් වේ. මේ සැම පුරාවෘත්තයකින් ම පාහේ වාර්තා කෙරනුයේ යකුන් අදහන විවිධ ජන කොටස් බුදුසමය වැලඳ ගැනීමේ පුවත් බව සිතිය හැකි ය. තමන්ට හුරුපුරුදු මිථ්‍යා විශ්වාස ඉවත දැමීමට අකමැති වූ ඔවුහු පූර්ව ඇදහිලි ක්‍රමයට අයත් යක්ෂයා අභිනව ලබ්ධියේ අවශ්‍යතාවලට සරිලන සේ ගළපා ගත්හ. බෞද්ධ අදහස්වලට නො ගැළපෙන ඇතැම් ශරීර ලක්ෂණ ඒ යක්ෂයාගෙන් ඉවත් කරන ලද නමුත් නව අර්ථකථන සහිත ව ඔහු දිගට ම පූජා ලැබුවේ ය. ලංකාවේ දී තිසා වැවේ දිය රකුසා සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන් ම කරුණු සිදු වූ බව අපි ඉහත දුටුවෙමු.

පුරාතන ඉන්දියාවේ සැම ප්‍රදේශයක ම හා නගරයක ම ඊට අරක් ගත් යක්ෂයෙක් සිටියේ ය. ක්‍රිස්තු වර්ෂ සිව් වන සියවස පමණ කාලයේ දී චීන භාෂාවට පරිවර්තිත උත්තර බෞද්ධයන්ගේ අභිචාරාත්මත ග්‍රන්ථයක් වූ මහා මයූරියේ (Levi 1915:40). එබඳු යක්ෂයන් හා ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ දීර්ඝ ලේඛනයක් දැක්වේ. මොවුනතුරින් විභීෂණ,(14) කළසෝදර(15) සහ ධනේශ්වර(16) ලක්දිවට අරක් ගත් යකුන් තිදෙනෙකු ලෙස එහි සඳහන් වේ. මෙයින් පළමු ව සඳහන් වන විභීෂණ රාවණාගේ සහෝදරයා සේ සැලකේ. ලංකාද්වීපයේ සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන මොහු අදත් කැලණියේ දී පූජා ලබයි. ධනේශ්වර යනු පණ්ඩුකාභය යුගයේ අනුරාධපුරයේ දී වන්දනමානනයට පාත්‍ර වී යැයි අප විසින් ඉහත දී සඳහන් කරනු ලැබූ කුවේර හෙවත් වෛශ්‍රවණ සඳහා පර්යාය නාමයකි. මෙම දෙවියා පසු කාලයක දී මහායාන බෞද්ධ දේව සභාවට ඇතුළත් කර ගැනිණ. මොහුගේ ප්‍රතිමා රාශියක් ලංකාවෙන් සොයා ගනු ලැබ ඇත. දෙවනුව දැක්වුණු කලසෝදර (=කළයක් වැනි උදරයක් ඇත්තා) යනු ද වෛශ්‍රවණට ම යෙදුණ අපර නාමයක් විය හැකි ය.

'යක්ෂ' යන පදය අද සාමාන්‍ය වසයෙන් ඉංගිරිසියට පරිවර්තනය කරනුයේ Demons යනුවෙනි. යක්ෂයන් වනාහි අයහපත් අමනුෂ්‍ය කොටසක් ය යන සංකල්පය පසු ව ඇති වූවකි. ආරම්භයේ පටන් ම යක්ෂයන් කෙරෙහි ඇල්මකට වඩා බියක් පැවති බව සැබෑ ය. එසේ ම කල්වේලා බලා ගරු සත්කාර නො කෙරුණ හොත් ඔවුන්ගෙන් උපද්‍රව සිදු වෙතැයි පිළිගැනුණු බව ද සැබෑ ය. එහෙත් යක්ෂයන් සහ දෙවියන් අතර පැවතියේ ඉතා සුළු වෙනසක් පමණි. ඇත්ත වශයෙන් ම භුම්මදේව (භුමාටුදේව) යනු යක්ෂයන් සඳහා භාවිත වූ එක් නාමයකි. දෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ද එක් තැනක දී 'යක්ඛ' යනුවෙන් හඳුන්වා ඇත (M.N.1 1888:253). ආදි ම බෞද්ධ ග්‍රන්ථ අතුරෙහි ගැනෙන මජ්ඣිම නිකායේ එක් ගාථාවක බුදුන් වහන්සේ උදෙසා ද 'යක්ඛ' යන පදය යෙදේ (M.N.1 1888:38). ඉහත සඳහන් කරන ලද මහාමයූරියේ හින්දු පුරාණ අවධියේ අතිශයින් ප්‍රචලිත දෙවිවරුන් වශයෙන් විෂ්ණු, ශිව හා කාර්තිකේය ගැන සඳහන් වෙයි. එහෙත් මොවුන් ගැන සඳහන් වනුයේ එක් එක් නගරයට අරක් ගත් යක්ෂයන් වශයෙනි. ග්වලියෝර් ජනපදයෙහි පවයා නම් ස්ථානයෙන් සොයා ගැනුණු මාණිභද්‍ර ප්‍රතිමාවක කොටා ඇති අභිලේඛනයක එම යක්ෂයා හඳුන්වනුයේ 'භගවත්' යනුවෙනි (The Annual Archaeological Report of the Gwalior State 1915-1916). 'භගවත්' යන්න බුදුන් වහන්සේ මෙන් ම විෂ්ණු දෙවියා ද හැඳින්වීම සඳහා බහුල වසයෙන් භාවිත වූ නාමයකි. 'යක්ෂ' යන්න පූජා අර්ථයෙහි චීයජ් ධාතුවෙන් උපන්නකි. මෙහි අර්ථය 'පූජාර්හ තැනැත්තා' යන්න යි. මෙම වචනයෙහි අර්ථය පිරිහී යාම ඉන්දියාවේ දී 'අසුර' යන වචනයේත් පර්සියාවේ දී 'දේව' යන්නේත් අර්ථ විකාසනය හා තුල්‍යරූප වෙයි.

යක්ෂ ඇදහිල්ලේ ඇතැම් මූලික ලක්ෂණ ජනප්‍රිය බුද්ධාගම හා සම්බන්ධ ජන ඇදහිලිවල ද දක්නට ලැබේ. ලංකාව ඇතුළු බොහෝ රටවල පොදු ජන බුදුසමයේ විශේෂාංගයක් වන චෛත්‍ය වන්දනාව ආරම්භයේ දී යක්ෂ ඇදහිල්ල හා සම්බන්ධ ව පැවතුණකි. බුද්ධකාලීන භාරතයේ වේසාලිය, රජගහනුවර, ආලවිපුරය සහ වෙනත් ස්ථාන කිහිපයක පැවති චෛත්‍ය ගැන පාලි ත්‍රිපිටක ග්‍රන්ථයන්හි සඳහන් වේ. මේ චෛත්‍ය යක්ෂ ඇදහිල්ල ආශ්‍රිත ව ඉදි කරන ලද බවත් බුදුසමය පැතිරීමෙන් පසු ඒවා බෞද්ධ විහාර බවට හරවා ගනු ලැබූ බවත් බුද්ධඝෝෂාචාරීහු ස්වකීය අට්ඨකථාවන්හි සඳහන් කරති (Paramatthajotika II.111916: 344).

යක්ෂ ඇදහීම සම්බන්ධයෙන් ප්‍රාග් බෞද්ධ ලංකාවේ පැවති තත්ත්වය සහ බුද්ධකාලීන උත්තර භාරතයේ පැවති තත්ත්වයත් හැම අතින් ම එක හා සමාන බව පෙනේ. තව ද බුදුසමය ලක්දිව ජාතික ආගම බවට පත් වී තිබිය දීත් එදා පටන් වර්තමානය දක්වා ම පෙර පැවති යක්ෂ ඇදහිලි පොදු ජනයා අතර සමාන්තර ව පැවත එයි. මේ තත්ත්වය පුළුල් ජන සාහිත්‍යයක් පහළ වීමට ද හේතු වී තිබේ. දැනට පවත්නා ආකාරයෙන් නම් මේ සාහිත්‍ය කෘති පසු කාලයක දී ආරම්භ වූ බව සිතිය හැකි ය. එසේ ම වර්තමානයේ ප්‍රචලිත ව සිටින යකුන්ගෙන් බොහෝ දෙනා එක්කෝ පසු කාලයක ඇති කර ගනු ලැබූ අය හෝ එසේ නැති නම් සංස්කෘතික වසයෙන් නො දියුණු දකුණු ඉන්දියානු ජනයාගෙන් මෙරටට ලැබුණු අය හෝ වෙති. තව ද බෞද්ධ ජෛන හා වෙනත් භාරතීය සාහිත්‍යයන්හි එන සාධක හා සසඳමින් මෙකී ජන සාහිත්‍යය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් කිරීමෙන් අර්ථවත් ප්‍රතිඵල ලැඛෙනු නිසැක ය.


වෘක්ෂ වන්දනාව


යක්ෂාධිපතියෙකු උදෙසා කැප කරනු ලැබූ නුග ගසක් පිළිබඳ ව ඉහත සඳහන් කෙරිණි. 'ව්‍යාධ දේව' හෝ 'ව්‍යාධි දේව' හෝ නමැති දෙවියකුගේ වාසස්ථානය වීමේ හේතුවෙන් පූජනීයත්වයට පත් වූ තල් ගසක් පිළිබඳව ද පණ්ඩුකාභය සමයේ අනුරාධපුරයෙන් වාර්තා වේ (Mahavamsa 1912: X.86). මේ නම් දෙක ම අත් පිටපත්වල යෙදෙන හෙයින් මෙහි නිවැරදි රූපය කුමක් දැයි පැහැදිලි නැත. මහාචාර්ය ගයිගර් 'ව්‍යාධි දේව' යන්න නිවැරදි සේ පිළිගෙන එයට 'රෝග පිළිබඳ දෙවියා' යනුවෙන් අරුත් දෙයි. එහෙත් පණ්ඩුකාභය විසින් අනුරාධපුර නගරයේ උතුරු දිසාවෙහි ව්‍යාධයන් (දඩයම්කරුවන්) සඳහා වාසභූමියක් ඉදි කරවන ලදැයි කියවෙන බැවින් මෙම දෙවියා ඔවුන්ගේ සුභසිද්ධිය අපේක්ෂාවෙන් පදිංචි කරවන්නට ඇතැයි සිතිය හැකි ය. මේ අනුව 'ව්‍යාධ දේව' යන්න නිවැරදි රූපය සේ පිළිගෙන එය 'දඩයම්කරුවන්ගේ දෙවියා' යනුවෙන් පරිවර්තනය කිරීමට මම කැමති වෙමි. මහාවංසය සිංහලයට පරිවර්තනය කළ ශ්‍රී සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ යන පඬිවරුන් දෙදෙනාගේ අදහස් වූයේ ද මෙය යි. මේ වචනයේ අර්ථ නිරූපණය කුමක් වුව ප්‍රාග් බෞද්ධ ලංකාවේ වෘක්ෂ වන්දනාව හා සම්බන්ධ සාධක දෙකක් අප හමුවේ ඇත. තල් ගස බුද්ධකාලීන පුරාතන භාරතයේ ද පූජ්‍යත්වයෙන් සලකනු ලැබූ බව පෙනේ. මේ සම්බන්ධ සාධකයක් විනය පිටකයෙන් ලැබේ. බුද්ධ ශ්‍රාවකයන් තල් කොළවලින් පාවහන් තැනීම සඳහා නො මේරූ තල් ගස් කැපූ කල්හි එසේ කිරීම ඒකීන්ද්‍රිය ජීවීන් විනාශ කිරීමක් යැයි සැලකූ ජනයා උද්ඝෝෂණය කරමින් බුදුන් වහන්සේ වෙත පැමිණිලි කළහ. වෘක්ෂවලට ප්‍රාණයක් ඇතැයි ජනතාව විශ්වාස කරන බව පැවසූ බුදුන් වහන්සේ මිනිසුන් අතර මුල් බැස ගත් ආගමික විශ්වාසවලට එරෙහි වීම නො මනා යැයි සලකා තල් කොළ පාවහන් පැලඳීම තහනම් කළහ (Mahavagga 1879: V.7.1 ). මේ පාඨය අනුව වෘක්ෂය ද ආත්මයක් ඇති වස්තුවකැයි සලකනු ලැබූ බව අපට සිතා ගත හැකිය. වෘක්ෂ වන්දනාව සම්බන්ධයෙන් ඉහත දැක්වූ උදාහරණ දෙකින් හා භාරතීය සාහිත්‍යයෙන් අපට හමු වන අනෙක් හැම උදාහරණයකින් ම පාහේ පැහැදිලි වන කරුණක් ඇත. එනම් වෘක්ෂයෙහි පූජනීයත්වයට හේතු වී ඇත්තේ හුදෙක් එය වෘක්ෂයක් වීම නොව යම් දේවතාවත්මභාවයෙකුගේ වාසස්ථානයක් වසයෙන් පිළිගනු ලැබීම බව ය.

වෘක්ෂ වන්දනාව යක්ෂ සහ චෛත්‍ය වන්දනාව සමඟ දැඩි ලෙස සම්බන්ධ වී පැවති බව පෙනේ. පූජනීයත්වයෙන් සැලකුණ වෘක්ෂ ඛෙහෝමයකට ඒ තත්ත්වය හිමි වනුයේ ඒවාට අධිගෘහීත යක්ෂයන් සිටීමෙනි. ත්‍රිපිටක ග්‍රන්ථයන්හි ස්තූප ලෙස සඳහන් වන්නා වූ ද බුද්ධඝෝෂාචාරීන් විසින් යක්ෂ වාසස්ථාන වශයෙන් සඳහන් කරනු ලැබුවා වූ ද ඇතැම් ස්තූප වූ කලි මුල දී පූජනීය වෘක්ෂ හෝ හෝ වනලැහැබ් හෝ වූයේ ය. භාරුත්හි කැටයම් අතර දැක්වෙන පූජනීය වෘක්ෂ කිහිපයක් යට සඳහන් අභිලේඛනවල හැඳින්වෙනුයේ චෛත්‍ය යනුවෙනි. මේ අනුව චෛත්‍ය සහ වෘක්ෂය පොදු ජන බුදුසමය හා මැනවින් සම්බන්ධ වේ. සිද්ධාර්ථ බෝධිසත්වයන් සම්බුද්ධත්වයට පැමිණීමේදී පිහිට කොට ගත් ඇසතු (බෝ) වෘක්ෂය බෞද්ධයන් විසින් අතිපූජ්‍යත්වයෙන් සලකනු ලැබේ. බෞද්ධයන් සිය ශාස්තෘවරයාට ගරු කිරීම් වස් පුදපූජා පැවැත්වීම ආරම්භ කිරීමට පෙර පවා ඇසතු වෘක්ෂය ඉන්දියාවේ පොදු ජන ඇදහිලි නිමිත්තක් වූයේ ය. බෝධිසත්ත්වයන් බුද්ධත්වය ලබන ඒ වැදගත් රාත්‍රියේ ඇසතු ගස මුල වැඩ සිටි බව කියවෙන පුවතෙහි කිසිදු අභව්‍යත්වයක් නොමැත. එහෙත් මේ ගස ඒ වන විටත් පූජ්‍යත්වයෙන් සලකනු ලැබීම පශ්චාත්කාලීන බෞද්ධයන් අතර එය පූජ්‍ය වස්තුවක් ලෙසින් ප්‍රචලිත වීමට ඛෙහෙවින් හේතු වන්නට ඇත. චෛත්‍ය සංඛ්‍යාත වෘක්ෂ වන්දනාව පිළිබඳ තොරතුරු දිව්‍යාවදානයේ ද සඳහන් වේ (1886:164). ඇසතු බෝධියට දක්වන විශේෂ වැඳුම් පිදුම් හැරුණු කොට පුරාතනයේ පැවති වෘක්ෂ වන්දනාව සිංහලයන් අතර අදත් දක්නට ලැබේ. අද්භුත සත්වයන්ගේ වාසස්ථාන ලෙස පිළිගැනෙන වෘක්ෂ අපේ ගම්වල එමට ය. අධිගෘහීත දේවතාවා අමනාප කර ගැනීමට දක්වන බිය නිසා කිසිදු ගැමියෙක් මේ ගසකට පොරෝ පහරක් දීමට පවා ඉදිරිපත් නො වෙයි. ගමේ තලතුනා උදවියගේ නිගමනය වනුයේ ගම්බද පවුලකට සිදු වන බොහෝ උපද්‍රවවලට හේතු වන්නේ ඒ පවුලේ යම් සාමාජිකයෙකු විසින් බලවත් රුක් දෙවියෙකුගේ වාසස්ථානය අහිමි කරනු ලැබීම බව ය.


නියමිත වෘත්තීන් හා සම්බන්ධ අනුග්‍රාහක දේවතාවෝ


අනුරාධපුරයෙහි පූජනීය තාල වෘක්ෂයට අධිගෘහීත ව විසූයේ දඩයම්කරුවන්ගේ දේවතාවා වී නම් ඉන් පැහැදිලි වනුයේ ප්‍රාග් බෞද්ධ ලංකාවේ විවිධ රැකියාවන් කරන මිනිසුන් විසින් වැඳුම් පිදුම් කරනු ලැබූ විශේෂ දෙවිවරුන් සිටි බව ය. කම්මාරදේව හෙවත් කම්මල්කරුවන්ගේ දේවතාවා ද එවැන්නෙකි. දේවානම්පිය තිස්ස රජතුමා අනුරාධපුරයෙහි මහා විහාරය සඳහා සීමා දැක්වීමේ දී මේ දේවතාවාගේ දෙවොල පසෙකින් එම සීමා රේඛාව ලකුණු වූ බව කියනු ලැබේ (Mahabodhivamsa 1891:135). මේ එක් එක් ශ්‍රේණියට විශේෂිත දෙවිවරුන් හැරුණ විට මුළු මහත් අනුරාධපුර නගරයේ ම ආරක්ෂාව පැවරුණ එක් දේවතාවෙක් ද විය. මොහුගේ දෙවොල ගැන මහාවංසයේ 25 වැනි පරිච්ඡේදයේ 87 වැනි පද්‍යයෙහි දැක්වෙයි. දුටුගැමුණු රජු හා භල්ලුක යෝධයා අතර සිදු වූ අනුස්මරණීය සටනෙහි දී වීර රජතුමා දෙමළ ආක්‍රමණිකයාට මුහුණ දීම සඳහා නගරයේ උතුරු දෙස පිහිටි කෝළම්බහාලක නම් තැන්නට පිවිස ඉනික්බිති මඟුලැතු සහ ඒ සමඟ මුළු බළ හමුදාව ම මහාවිහාර සීමාව අසල පිහිටි නගර දේවතාවාගේ වාසභවනය තෙක් පසු බැස ගිය බව එහි සඳහන් වේ.


නක්ෂත්‍ර යෝග ඇදහීම


රටක ජනතාවගේ පුද්ගල නාමවලින් ද ඔවුන් අතර ප්‍රචලිත ආගමික විශ්වාස පිළිබිඹු කෙරේ. එබැවින් ආදි ශිලාලේඛනවල දැක්වෙන පුද්ගල නාම පිළිබඳ ව කෙරෙන පරීක්ෂණයකින් අප මාතෘකාවට යම් ආලෝකයක් විහිදෙනු ඇත. ඉපැරණි ශිලා ලේඛන සියල්ල ම පාහේ බෞද්ධාගමික පූජා වාර්තා කෙරෙන කෙටි ලිපි වේ. ජනතාවට නව ආගමක් හඳුන්වා දීමෙන් අනතුරු ව වුව ඒ වෙනස් වූ ආගමික වාතාවරණය ධ්වනිත කෙරෙන පුද්ගල නාම භාවිතයට කලක් ගත වන හෙයින් ඉපැරණි බෞද්ධ ශිලා ලේඛනවල සඳහන් නම් ප්‍රාග් බෞද්ධ ආගමික තත්ත්වය පිළිබඳ සාධක වශයෙන් සැලකිය හැකි ය. මේ ලේඛනවල දැක්වෙන පුද්ගල නාම අතුරින් වැඩි ගණනක් නක්ෂත්‍ර නාම වේ. වෛදික යුගයේ පටන්ම ඉන්දියානුවෝ චන්ද්‍ර මාස ක්‍රමය දැන සිටියහ. මාසයේ සෑම දිනයකට ම විශේෂ නැකතක් බැගින් තිබිණ. ආදි සිංහලයෝ ද මේ නක්ෂත්‍ර මණ්ඩලය පිළිබඳ ව දැන සිටියහ. එබැවින් දරුවකු උපන් විට ඒ උත්පත්ති නක්ෂත්‍ර යෝගය අනුව ඔහුට නම් තැබීම සම්මත සිරිතක් වූයේ ය. දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන්ගෙන් එකෙකු වූ පුස්සදේවට නම් තැබීමේ සිද්ධිය රසවාහිනිය විශේෂයෙන් සඳහන් කරයි (1907:101). ඔහු එනමින් හඳුන්වනු ලැබූයේ පුස (පුෂ්‍ය) නැකතින් උපත ලද බැවිනි. මෙය විශේෂ භාග්‍යවත් නැකතක් සේ සැලකිණ. මෙහි පර්යාය පදයක් වන තිස්‍ය (පාලි. තිස්ස) යන්න මුල් කාලයේ ලක්දිව බොහෝ රජවරුන්ගේ නමක් වසයෙන් භාවිත විණි. කාර්තික, රෝහණ, අශ්ලේෂ, ඵල්ගුණ, විශාඛ, අනුරාධ, ආෂාඪ සහ රේවත ජනප්‍රිය ව පැවතුණු අනෙක් නක්ෂත්‍ර යෝග නාම වූයේ ය. අනුරාධ නැකත කාන්තාවන්ගේ විශේෂ ප්‍රසාදයට ලක් වූ බව පෙනෙනුයේ පුරාතන ලක්දිව බොහෝ කුමරියන්ගේ නම් මේ නැකත අනුව යෙදුණ නිසා ය (අනුරදි, අනුඩි, අනුළ). තව ද නැකත් යෝගවලට අනුව පොදු නිවාඩු දින නියම කෙරිණ. ඒ අනුව මේ දිනවල දී පවත්වනු ලබන උත්සව සඳහා 'නක්ෂත්‍ර ක්‍රීඩා' යන නම යෙදිණ. පූර්ණ චන්ද්‍රයා ඒ එක් එක් සුභ තාරකාවක් හා කේන්ද්‍රගත වන දිනය කෙළිදෙලෙන් හා විනෝදයෙන් යුතු ව ගත කෙරිණ. මේ අතුරින් කාර්තික උත්සවය චිත්තරාජ පිදීමේ උළෙලක් ලෙස පැවැත්විණි. රොබට් නොක්ස්ගේ වාර්තා අනුව මෙය මෑත අවධිය දක්වා ම පැවත ආ බව පෙනේ. දෙවැනි රාජසිංහ රජු දවස ද කාර්තික උත්සවය පැවැත්වූ බව නොක්ස් වාර්තා කරයි (Knox 1681:80). බුදුන් වහන්සේ භාරතයේ ධර්ම දේශනා කළ අවධියේ තාරකා වන්දනාව පැවති බව ථේරී ගාථාවල පැනෙන සඳහනකින් පෙනී යයි (1883:152(143)). මේ කෘතිය අනුව නම් බුදුන් වහන්සේ විසින් එය නිරර්ථක ක්‍රියාවක් ලෙස හෙළා දකිනු ලැබ ඇත. වයඹ දිග භාරත වාසීන් විසින් ද නක්ෂත්‍ර යෝග ආශ්‍රිත නම් භාවිතයට මහත් අභිරුචියක් දක්වනු ලැබූ බව භාරුත් සෙල්ලිපිවලින් ද ඔප්පු වෙයි. ක්‍රි. පූ. දෙවන සියවසේ දී පමණ විදිසාව පාලනය කළ සුංග රාජ වංශයේ හැම දෙනාට ම පාහේ මෙබඳු නම් යෙදිණ (උදා- පුෂ්‍යමිත්‍ර, ඵල්ගුණීමිත්‍ර ආදිය). මේ සිරිත ට්රැවන්කෝරයේ මහාරාජාවරුන් විසින් අද දක්වාත් ආරක්ෂා කරනු ලැබේ. මොවුන්ගේ පුද්ගල නාම යෙදෙනුයේ ඔවුන් උපන් නැකත අනුව ය.

ආකාශ වස්තු වන්දනාව මෙන්ම ප්‍රාග් බෞද්ධ ලංකාවේ පැවති විවිධ මිථ්‍යා විශ්වාස ද සිංහලයන් අතර තව මත් ප්‍රචලිත ව පවතී. එහෙත් නූතන ව්‍යවහාරයේ දී චන්ද්‍ර මණ්ඩලයට වඩා වැඩි අවධානයක් දොළොස් රාශි හා ග්‍රහ චක්‍ර කෙරෙහි දක්වනු ලැබේ. අපගේ සාකච්ඡාවට අදාළ යුගයේ දී නම් ඉන්දියාවේ මෙන් ම ලක්දිව ද මේ දොළොස් රාශි ආදිය පිළිබඳ දැනුමක් නො පැවතිණ.


ප්‍රාග් බෞද්ධ ලංකාවේ බ්‍රාහ්මණාගම


අප මෙතෙක් සාකච්ඡා කළ සංස්කෘතික වසයෙන් පහත් තත්ත්වයෙහි ලා සැලකෙන ආගමික විශ්වාස හා සමාන්තර ව බ්‍රාහ්මණ ආගමේ අනුගාමිකයන් ද ප්‍රාග් බෞද්ධ ලංකාවේ සිටි බව පෙනේ. එසේ ම ඒ මුල් යුගයේ දී බ්‍රාහ්මණයෝ සමාජයේ ගෞරව සම්පන්න ස්ථානයක් භජනය කළහ. විජයගේ පිරිවර සමඟ පැමිණියා වූ ද කලක් ලක්දිව අගනුවර වූ උපතිස්ස ගම ආරම්භ කළා වූ ද විජයගේ මරණයෙන් පසු පඬුුවස් දෙව් රජු පැමිණෙන තෙක් ලක්දිව පාලන භාරය දැරුවා වූ ද උපතිස්ස නමැත්තා බ්‍රාහ්මණයෙක් වූයේ ය; ඔහු විජයගේ පුරෝහිත තනතුර ද දැරී ය (Mahavamsa 1912: VIII.44). ළදරු පණ්ඩුකාභය කුමරා ඔහුගේ මව විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු උගැන්වීම සඳහා පණ්ඩුල නම් බ්‍රාහ්මණයෙකුට භාර දෙන ලදි. මෙකී පණ්ඩුල බ්‍රාහ්මණයා උගතෙකු මෙන් ම මහා ධනවතෙකු ද වූ අතර ඔහු පසු කාලයේ පණ්ඩුකාභය හා මයිලණුවන් අතර ඇති වූ සංග්‍රාමයේ දී පණ්ඩුකාභයට අවශ්‍ය යුද්ධ ශක්තිය ද සම්පාදනය කර දුන්නේ ය. පණ්ඩුලගේ පුත් චන්ද්‍ර නමැත්තා භාරතීය බ්‍රාහ්මණ කුලයට අයත් වෙනත් අය මෙන් ම පණ්ඩුකාභයගේ හමුදාපති ධුරය දැරීමට අමතර ව ඔහුගේ පුරෝහිතයා වසයෙන් ද සේවය කෙළේ ය (Mahavamsa 1912: X.20). අනුරාධපුර නගරයේ පණ්ඩුකාභය විසින් ඉදි කරන ලද ගොඩනැඟිලි අතර බ්‍රාහ්මණයන් සඳහා වාසස්ථානයක් ද විය (Mahavamsa 1912: X.102). පණ්ඩුකාභය විසින් ඉදි කරනු ලැබූ සොත්ථීසාලා නම් තවත් ගොඩනැඟිල්ලක් ද ඇත. මෙය බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර ජප කිරීම සඳහා වෙන් වූ ගොඩනැඟිල්ලක් ලෙස මහාවංස ටීකා කර්තෘ විසින් හඳුන්වනු ලැබ ඇත. එසේ වුව ද මේ අර්ථකථනය සැක සහිත වනුයේ ටීකා කර්තෘ විසින් ම වෛද්‍ය ශාලාව යනුවෙන් අනෙක් අර්ථයක් ද ඊට දී ඇති බැවිනි. දේවානම්පිය තිස්ස රජු විසින් සිය බෑණනුවන් වූ අරිට්ඨගේ මූලිකත්වයෙන් අශෝක රජු වෙත යවන ලද රාජකීය දූත පිරිසට බ්‍රාහ්මණ පුරෝහිතයෙක් ද අයත් විය (Mahavamsa 1912: XI.20). ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයට ගෙන එද්දී මුහුදු තොටේ සිට මෙම නගරය අතර මාර්ගයේ නවාතැන් ගත් එක් තැනක් ලෙස සඳහන් වනුයේ තිවක්ක හෝ තවක්ක නම් බමුණු ගම ය (Mahavamsa 1912: XIX.37). ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමේ උත්සවයේ දී එහි පැමිණ සිටි සම්භාවනීය පුද්ගලයන් අතර මේ නමින් යුතු බ්‍රාහ්මණයා විශේෂයෙන් සඳහන් කෙරේ (Mahavamsa 1912: XIX.54). එසේ ම අෂ්ටඵල බෝධීන්ගෙන් එකක් එ් බ්‍රාහ්මණ ග්‍රාමයෙහි රෝපණය කරවන ලදි (Mahavamsa 1912: XIX.61). දේවානම්පිය තිස්ස රජු අනුරාධපුරයේ පූජනීය ස්ථාන ලකුණු කරන අවස්ථාවේ රජතුමා ගමන් කළ විවිධ ස්ථාන අතර දීයවාස නම් බ්‍රාහ්මණයකුගේ ආශ්‍රමයක් ද පසු කර ගෙන ගිය බව මහාබෝධිවංසයේ සඳහන් වේ (Mahabodhivamsa 1891:136).

බුදුසමය මෙරටට හඳුන්වා දෙනු ලැබූ ආසන්නතම අවධියේ ලංකාවේ බ්‍රාහ්මණයන් සිටි බවට ආදි ශිලාලේඛන ද සාක්ෂ්‍ය දරයි. මේ අනුව ප්‍රාග් බෞද්ධ ලංකාවේ ද බ්‍රාහ්මණයන් වාසය කළ බව සිතා ගත හැකි ය. බ්‍රාහ්මණයන් වාසය කිරීමෙන් සනාථ වනුයේ ඔවුන්ගේ ආගමික විශ්වාස ද මෙරට පැවති බව ය. කුරුණෑගල දිස්තිරික්කයේ සැස්සේරුව ප්‍රදේශයේ ලෙන් පූජා කළ අය අතර වසකනිගේ පුත් සෝමදේව නම් බ්‍රාහ්මණයාගේ නම ද සඳහන් වේ. නුවරකලාවිය ප්‍රදේශයේ යාංගල නම් ස්ථානයේ පිහිටි ගල් ලෙනක කටාරමෙහි කොටා ඇති ලිපියේ එම ලෙනෙහි අයිතිකරු වශයෙන් දැක්වෙන්නේ බ්‍රාහ්මණ කෝසිකගේ (කෞෂික) පුත් විරිතසන නමැත්තා ය.(17) වංස කථාවල මෙන් ම සෙල් ලිපිවල ද දක්වා ඇත්තේ ස්වභාවයෙන් ම බෞද්ධාගමට අනුකූලතා දැක්වූ බ්‍රාහ්මණයන් ගැන ය. එසේම බෞද්ධාගම ගැන නො තැකූ හෝ ඊට එරෙහි වූ හෝ වෙනත් බ්‍රාහ්මණයන් ද සිටින්නට ඇත. එවැනි අය ගැන මෙම වාර්තාවල සඳහන් වී නොමැත. මෙම බ්‍රාහ්මණයන් වේදය දත් බවක් හෝ නො දත් බවක් අපි නො දනිමු. එහෙත් එක් වෙස්සගිරි ලෙන් ලිපියක සඳහන් වන යගදත(18) (යාග-දත්ත) යන නම අනුව පෙනී යන්නේ බුදුසමය මෙහි ගෙන එනු ලැබීමෙන් පසු ව පවා බ්‍රාහ්මණ යාග පිළිබඳ ඡායාමාත්‍ර දැනුමක් හෝ ලංකාවේ ආරක්ෂා වී පැවති බව ය. තරමක් මෑත අවධිය වන තුරු ම මහාවංසයෙහි බ්‍රාහ්මණයන් ගැන කලාතුරකින් සඳහන් වන අතර පසු කාලය තෙක් ම පුරෝහිත තනතුර ද පැවත ආවේ ය.


ලංකාවේ ජෛන සමය


පණ්ඩුකාභය රජු විසින් ජෝතිය, ගිරි, කුම්භණ්ඩ නම් වූ නිගණ්ඨයන් සඳහා වාසස්ථාන ඉදි කරවන ලද බව කියැවේ (Mahavamsa 1912: X.97-99). නිගණ්ඨ (සංස්. නිර්ග්‍රන්ථ) යන පදය පාලි සාහිත්‍යයේ යෙදී ඇත්තේ බුදුන් වහන්සේ හා සමකාලීන ශාස්තෘවරයෙකු වූ මහාවීර (බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි නිගණ්ඨ නාථපුත්ත) මුනිවරයාගේ අනුගාමික වූ ජෛනයන් සඳහා ය.

මේ වචනය පශ්චාත්කාලීන පාලි කෘතිවල අබෞද්ධ නිකායයන් හැඳින්වීම සඳහා නිශ්චිතාර්ථයකින් තොර ව යෙදුණු බව සැබෑ ය. උදාහරණ වසයෙන් දාඨාවංසයේ (Datavamsa 1884: 127 v.210,III.24) නිගණ්ඨ යන්න වෛෂ්ණව භක්තික යන අර්ථයේ යෙදී ඇති බව දැක්විය හැකි ය. එහෙත් මහාවංසය ලේඛනගත වූ ක්‍රි.ව. පස් වන සියවසේ දී මේ වචනයට පූර්වෝක්ත අවිනිශ්චිතාර්ථය ආරෝපණය වී නො තිබිණ. බුද්ධඝෝස අටුවාචාරීහු ද මේ වචනය එහි මුල් අර්ථයෙන් ම භාවිත කරති. මේ අනුව මහානාම තෙරුන් මේ වචනය ජෛනයන් උදෙසා ම යෙදූ බව පිළිගත හැකි ය. පණ්ඩුකාභය රජ සමය තරම් ඈත අතීතයේ දී පවා මහාවීරගේ අනුගාමිකයන් ලංකා භූමිය තෙක් දකුණු දෙසට ව්‍යාප්ත වීම සිදු විය හැකි කරුණක් ද? ජෛන සාහිත්‍ය සම්ප්‍රදාය අනුව චන්ද්‍රගුප්ත මෞර්ය රාජ්‍ය සමයේ දී උතුරේ පැවති දරුණු සාගතයක් නිසා මහාවීරගේ අනුගාමිකයන් භද්‍රබාහු නම් ආචාර්යයා යටතේ දකුණු ඉන්දියාවට පැමිණි බව පෙනේ. අද දක්වා ම මයිසෝරයේ පවතින ජෛනසමය එම දේශයට ගෙන එනු ලැබූ ආකාරය යථෝක්ත සිද්ධිය හා සම්බන්ධ කෙරේ. චන්ද්‍රගුප්ත රජු ද භද්‍රබාහු සමඟ මයිසෝරයට පැමිණි බවත් ජෛන තාපසයෙකු ලෙසින් ඔහුගේ අවසානය සිදු වූ බවත් කියනු ලැබේ (Rice 1878:3 ff). ඈත අතීතයේ පටන් ම පාණ්ඩ්‍ය දේශයේ ද ජෛනයන් සිටි බව දෙමළ සාහිත්‍යයෙන් අපට දැන ගත හැකි ය. ජෛනසමය දකුණු දෙසට පැමිණීම චන්ද්‍රගුප්ත රජ සමයේ දී සිදු වූ බව විශ්වාස කළ හැක්කක් සේ ඉතිහාසඥයෝ පිළිගනිති. මේ අවස්ථාවේ ජෛනයන් මගධයේ සිට දකුණු ඉන්දියාව තෙක් පැමිණි බව පිළිගත හැකි නම් ඔවුන්ගෙන් කිහිප දෙනෙකු ලංකාවට ද පැමිණි බව පිළිගැනීම අපහසු කරුණක් නො වේ.

මහාවංසය දක්වන රාජ වර්ෂ අනුක්‍රමණිකාව අනුව පණ්ඩුකාභය රාජ්‍ය සමය චන්ද්‍රගුප්ත සමයට පූර්වතර බව පෙනේ. එහෙත් ලංකාවේ මුල් රජවරුන්ගේ රාජ වර්ෂ වංසකථාවේ දී ඇති පරිදි ඒ ආකාරයෙන් ම පිළිගැනීම දුෂ්කර යැයි ඔප්පු වී ඇත. පණ්ඩුකාභය වූ කලි චන්ද්‍රගුප්තගේ මුණුබුරු වූ අශෝක රජුගේ කනිෂ්ඨ සමකාලිකයෙකු වූ තිස්සගේ සීයා ය. මේ අනුව පණ්ඩුකාභය රජු ප්‍රථම මෞර්ය අධිරාජයාගේ සමකාලීනයෙකු බව පිළිගැනීම යුක්තියුක්ත වේ. එබැවින් ජෛනයන් දකුණට පැමිණීම පණ්ඩුකාභය රාජ්‍ය සමයේ දී සිදු වූ බව පිළිගත හැකි වේ. තව ද පණ්ඩුකාභය රජු ජෛනයන්ට අනුග්‍රහ දැක්වූයේ ය යන මහාවංස වාර්තාව ඓතිහාසික සත්‍යයක් සේ පෙනේ.

පණ්ඩුකාභය විසින් ඉදි කරවන ලද එක් ජෛන ආශ්‍රමයක්,- එනම් ගිරි නම් නිගණ්ඨයා සඳහා ඉදි කරවන ලද්ද-, පිළිබඳ ව ලංකා ඉතිහාසයේ පසු අවධියක දී වාර්තා කෙරේ. වට්ටගාමණී අභය රජ තෙමේ දෙමළ ආක්‍රමර්‍ණකයන් කෙරෙන් පලා යද්දී මේ ආශ්‍රමය පසු කර ගියේ ය. ඒ දුටු ජෛන නිගණ්ඨයා ''මහා කළු සිංහලයා පලා යතී'' යි කෑ ගෑවේ ය. මේ අපමානය සිත්හි දරා ගත් රජ යළි බලය ලබා ලබා ගැනීමෙන් පසු ජෛන ආශ්‍රමය විනාශ කොට එතැන අභයගිරි විහාරය ඉදි කරවී ය (Mahavamsa 1912: XXXIII.44-45). වළගම්බාවන්ට පෙර රජකම් කළ ඛල්ලාටනාගයන්ගේ සමයෙහි දී මේ ආශ්‍රමය බිහිසුණු සිද්ධියක් ඇති වූ ස්ථානයක් ලෙස මහාවංස ටීකාව සඳහන් කරයි. ඒ මෙසේ ය: මේ රජ සිය බෑනණුවන් විසින් තමාට විරුද්ධ ව කරනු ලැබූ කුමන්ත්‍රණයක් අනාවරණය කර ගැනීමෙන් පසු ගිරි අසපුවට ගොස් ගිනි ගොඩක් මැදට පැන සිය දිවි හානි කර ගති. මේ සිද්ධියෙන් අනතුරු ව ඛල්ලාටනාගගේ ඥාතීහු එකී ස්ථානයේ අග්ගිපවිසික නම් වූ චෛත්‍යයක් ඉදි කළහ (වංසත්ථප්පකාසිනී 1895: 612). වට්ටගාමණී අභය රජු ජෛනයන්ට වධහිංසා පැමිණවීම සමහර විට ගිරි නිගණ්ඨ ආශ්‍රමය විනාශ කිරීමට පමණක් සීමා නො වන්නට ඇත. කෙසේ වෙතත් ලංකාවේ වංසකථාවල ඉන් පසු ජෛනයන් ගැන තව දුරටත් සඳහන් නො වේ. ක්‍රිස්තු වර්ෂාරම්භක අවධියේ දී පමණ ජෛනසමය ලංකාවෙන් අභාවිත වූ බව පෙනේ.

ජෛනයන්ට අයත් ගොඩනැඟිලි කිසිවක් ලංකාවේ කොතනකින්වත් ලැබී නැත. ආදි ජෛන ස්තූප හා ජෛන විහාර සහ සමකාලීන බෞද්ධ ස්තූප හා විහාර ද අතර වෙනසක් නො වූ බැවින් ශිලා ලේඛනවලින් හෝ ප්‍රතිමා කලාවෙන් හෝ සාධක නො ලැබ මේ දෙක අතර වෙනස තෝරා බේරා ගැනීම අතිශය දුෂ්කර කාර්යයකි. අපගේ සාකච්ඡාවට භාජන වන අවධිය වන විට ජෛන ප්‍රතිමා නිර්මාණය වර්ධනය වී නො තිබිණි. එ් ආගම ලංකාවේ පැවති අවධියේ දී චිරස්ථායී ද්‍රව්‍යවලින් ගොඩනැඟිලි ඉදි කිරීමක් ද නො වී ය. තව ද ජෛනසමය අභාවයට යාම හා සමඟ ම ඔවුන්ගේ වන්දනීය ස්ථාන බෞද්ධයන් විසින් අත්පත් කර ගනු ලැබෙන්නට ඇත. ගිරි නිගණ්ඨ ආශ්‍රමයට සිදු වී ඇත්තේ මෙවැන්නකි. මේ ආකාරයෙන් පෙර පැවති ජෛන ඇදහිල්ල පිළිබඳ ව තිබූ සලකුණු යටපත් වූවාට සැක නැත. කෙසේ වෙතත් කුඩා පරිමාණයේ වූ හඳුනා ගත් නොහැකි ඇතැම් ආදිතම ස්තූප ජෛන සම්භවයක් සහිත යැයි අනුමාන කළ හැකි ය.


පරිබ්‍රාජක ආජීවක ආදීහු


බුදුන් වහන්සේ හා සමකාලීන මක්ඛලීගෝසාල නම් ආචාර්යවරයා විසින් ආරම්භ කරනු ලැබූ නිත්‍ය වාසයක් නොමැති පරිබ්‍රාජක හා ආජීවක යන නම්වලින් හැඳින්වෙන තාපස කොටස් පිළිබඳ දැනුමක් පූර්වකාලීන ලංකාවේ ජනයා අතර තිඛෙන්නට ඇත. පඬුවස්දෙව්ගේ බිසව සහ ඇගේ පිරිවර මෙරටට පැමිණියේ පරිබ්‍රාජක වෙස් ගෙන ය (Mahavamsa 1912: VIII.24). පණ්ඩුකාභය රජු විසින් පරිබ්‍රාජකයන් සඳහා ආශ්‍රමයක් ද ආජීවකයන් සඳහා අශ්‍රමයක් ද ඉදි කරවන ලදි (Mahavamsa 1912: X.101-102). නියම වසයෙන් නම් කරනු ලැබූ යට කී තාපසයන් හැරුණු කොට 'සමණ' යන අපැහැදිලි පදයකින් හැඳින්වෙන විවිධ තාපස නිකායන් ද තුබුණු බව කියවේ (Mahavamsa 1912: X.98). මේ පදය බ්‍රාහ්මණික නො වන, බෞද්ධ භික්ෂූන් ද ඇතුළු කවර හෝ පූජක කොටසක් වෙනුවෙන් යෙදීම යෝග්‍ය ය. පණ්ඩුකාභය විසින් අනුරාධපුරයට බටහිර දෙසින් මිථ්‍යාදෘෂ්ටික පවුල් 500ක් පදිංචි කරවන ලද බව කියවේ (Mahavamsa 1912: X.100). මේ පදයෙන් කවර ඇදහිල්ලක් අරමුණු කර ගන්නා ලද ද යන්න පැහැදිලි නැත.


ලිංග පූජාව


පණ්ඩුකාභය රජු පුරාණ අනුරාධපුරයෙහි තැනින් තැන සිවිකා සාලා හා සොත්ථී සාලා නම් වූ ගෘහ ඉදි කරවූ බව මහාවංසයේ දස වන පරිච්ඡේදයේ 102 වැනි පද්‍යයෙන් කියවේ. මේ අතුරෙන් සොත්ථී සාලා යන පදය ගැන මීට ඉහත දී අප විසින් සාකච්ඡා කෙරිණි. ටීකා කතුවරයා විසින් සිවිකා සාලා යන්න විවරණය කෙරෙනුයේ ''සිව ලිංගය පිහිටුවීම සඳහා වූ ගෘහයක්" යනුවෙනි. එහෙත් මේ අර්ථකථනය එතරම් විශ්වසනීය නො වනුයේ ඊට 'සූතිකාගාරය' යන අපරාර්ථයක් ද දී ඇති හෙයිනි (බටුවන්තුඩාවේ හා ඤාණිස්සර 1895: 207). මහාචාර්ය ගයිගර් තම පරිවර්තනයේ දී මේ දෙවන අර්ථය පිළිගෙන ඇත. එසේ ද වුව මේ පාඨ දෙක ආගමික ස්වරූපයක් දරන වෙනත් ගොඩනැඟිලි සමඟ යෙදෙන බැවින් ඉහත කී පළමු අර්ථය පිළිගැනීමට ද ඉඩ තිබේ. එසේ නම් පණ්ඩුකාභය රජු දවස ලාංකිකයාගේ ඇදහිලි විශේෂයක් වසයෙන් ලිංග පූජාව ද පවතින්නට ඇත. මේ ඇදහිල්ල අතිපුරාණ අවධියේ පටන් පැවත එන බව හා විශාල ප්‍රදේශයක ප්‍රචලිත ව තිබීම යන කරුණු ගැන සලකන විට එසේ නො වීමට හේතු නැත. රජතුමා වෙසෙන නගරයේ වාසස්ථාන ඉදි කළ මනා දෙවියන් පිළිබඳ ව සඳහන් කරන කෞටිල්‍ය ශිව දෙවියාගේ නම ද ඒ අතර දක්වා ඇත (Arthasastra, 929:54). මේ ශිව දෙවියන් නිරූපණය කළ යුත්තේ දේව රූපයකින් ද නො එසේ නම් ලිංග සංකේතයකින් දැයි සඳහන් කර නොමැත. පසු කාලයක දී ශිව හින්දුන් අතරින් එක් කොටසකගේ අත්‍යුත්කෘෂ්ඨ දෙවියා බවට පත් වූ නමුත් අපට අදාළ වකවනුවේ දී ඔහුට එවැනි තත්ත්වයක් ලැබී නො තිබිර්‍ණ. කෞටිල්‍ය මොහු පිළිබඳ ව සඳහන් කරනුයේ අශ්වින් (දිව්‍ය වෛද්‍යවරයා), වෛශ්‍රවණ, මදිරා (සුරාවේ දෙවඟන) වැනි අවශේෂ දේව සමාගම සමඟ ය. පුරාණ ලංකාවේ ලිංග පූජාව සම්බන්ධ ව මහාවංස ටීකාවෙහි තවත් තැනක සඳහන් කෙරේ. එනම් මහසෙන් රජු සම්බන්ධයෙනි. සාම්ප්‍රදායික මහා විහාරයට හිංසා පීඩා කිරීමෙන් වැළකීමට සිදු වූ පසු මහසෙන් රජ ස්වකීය විනාශකාරී කි්‍රයා අන්‍ය ආගම් කෙරෙහි ද යොමු කෙළේ ය. ඒ රජු දෙවිවරුන්ගේ වාසස්ථාන කිහිපයක් ද විනාශ කළ බව වංසකථාව පවසයි (Mahavamsa 1912: XXXVII.40). මේ වාසස්ථාන ලිංග වන්දනාව සඳහා ඉදි කෙරුණු ගෘහ බව ටීකාව වැඩි දුරටත් සඳහන් කරයි (බටුවන්තුඩාවේ හා ඤාණිස්සර 1895 502). ටීකා කර්තෘෘන් විසින් සමකාලීන ප්‍රවෘත්ති පෙර දවස සිදු වූ කරුණු ලෙස සඳහන් කරනු ලැබූ බව සිතිය හැකි ය. අනික් අතට, සිංහලයන්ගේ සමීපතම අසල්වැසියන් වූ දෙමළ ජනයාගේ ප්‍රධාන ආගම ලිංග පූජාව බව සලකන කල්හි සිංහලයන් බුදුසමය වැලඳ ගැනීමට පෙර එ් ඇදහිල්ල හා සම්බන්ධතා පැවැත්වූ බව අනුමාන කිරීම අපහසු නො වේ. එසේ ම, බුදුසමය වැලඳ ගැනීමෙන් පසු ව ද සිංහලයා ලිංග පූජාව තව දුරටත් පවත්වා ගෙන යන්නට ඇත. ආදි ම ශිලා ලේඛනවල සඳහන් වන සිව, මහාසිව, සිවගුත යන පුද්ගල නාම කියා පානුයේ පුරාතන සිංහලයන් විසින් මේ දෙවියා පූජා කරනු ලැබූ බව ය.


නිගමනය


අසෝක රජුගේ ධර්මදූතයන් විසින් සර්වඥයන් වහන්සේගේ ධර්මය දේශනා කරනු ලැබූ අවධියේ ලංකාවේ පැවති ආගමික තත්ත්වය පිළිබඳ ව කරනු ලැබූ පූර්වෝක්ත සාකච්ඡාවෙන් ලංකාවාසී බහුතරය විසින්, ගංගා, තටාක, පර්වත, වෘක්ෂ ආදි ස්ථානවලට අධිගෘහීිත යැයි සලකනු ලැබූ, 'යක්ෂ' යන නාමයෙන් හැඳින්වූ ස්වාභාවික භූතාත්ම වන්දනා කරන ලද බව පැහැදිලි වේ. වෘක්ෂ පූජාව හෝ ආරාම වන්දනාව හෝ ප්‍රාථමික ආගමික ඇදහිලි සමඟ ද සම්බන්ධ වේ. ආකාශ වස්තු මිනිසුන්ගේ පූජාවට පාත්‍ර වූ අතර ඒ මඟින් ඔවුන්ගේ දෛනික ජීවිතයට ද බොහෝ දුර බලපෑම් සිදු වූයේ ය. මහජනයා අතුරින් වඩාත් බල සම්පන්න වූ පිරිස් සමහර විට බ්‍රාහ්මණ ආගම අදහන්නට ඇත. විවිධ නිකායවලට අයත් තාපසවරුන් මෙරට ජීවත් වූ බවත් පොදු ජනයා අතර ද ඒ එක් එක් නිකායට අයත් අනුගාමික පිරිස් සිටි බවත් සිතිය හැකි ය. සමස්ත වසයෙන් සලකන කල, මේ තත්ත්වය බුදුන් වහන්සේ ධරමාන කාලයේ දී උතුරු ඉන්දියාවේ පැවති ආගමික විශ්වාසවල ස්වභාවයට ඛෙහෝ සෙයින් ම සමාන වූයේ ය.



අධෝ ලිපි


* ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී මේ දිවයිනට ඉන්දියානු ධර්මදූතයන් විසින් නිල බුදුසමය හඳුන්වා දෙනු ලැබූ බව පිළිගැනේ. දිවයින ජනාවාස කිරීමට පැමිණි ඉන්දු-ආර්ය සාංක්‍රමණිකයන් පිළිබඳ වංසකථාගත ප්‍රවාදය අනුව උපමහාද්වීපය හා දිවයින අතර පැවති සම්බන්ධතා ක්‍රිස්තු පූර්ව පස් වන සියවස තෙක් දිව යයි. පළමු වන සහස්‍රකය තරම් ඈතක පටන් තත් සම්බන්ධතා පැවති බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. මෙරට මානව ජනාවාසයන්හි ව්‍යාප්තිය සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධකවලින් ක්‍රිස්තු පූර්ව 35000 පමණ කාලයෙහි සිට නූතන මානවයා මේ දිවයිනෙහි වාසය කළ බව හෙළි වෙයි. භාරතීය ජන සංක්‍රමණයන්ට පූූර්වයෙහි විසූ දිවයින්වාසීන් අතර ද විවිධ ඇදහිලි විශ්වාස ප්‍රචලිත ව පවතින්නට ඇති බව සැලකිය හැකි ය. ක්‍රිස්තු පූර්ව තෙවන සියවසට පූර්වයෙහි ඉතිහාසය සම්බන්ධයෙන් වංසකථා හා වෙනත් මූලාශ්‍රයයන්ගෙන් අනාවරණය වන සාධක ඇසුරින් පැහැදිලි වන්නේ බුදුසමයේ ව්‍යාප්තිය හා සමකාලීන මෙන් ම ඊට පූර්වයෙහි පටන් පැවති භාරතීය ආගමික විශ්වාස මෙන් ම දිවයිනෙහි මුල් වැසියන් අතර පැවති ඇදහිලි විශ්වාස ද ඒ වන විට විවිධ ප්‍රමාණයෙන් ව්‍යාප්ත ව පැවති ආකාරය යි. තත් විෂයය සම්බන්ධයෙන් සිදු කෙරුණු ප්‍රථම විධිමත් අධ්‍යයනය වන මේ නිබන්ධය මුල් වරට ප්‍රකාශයට පත් වී දශක නවයක් ඉක්මවා ඇතත් එහි පවත්නා ශාස්ත්‍රීය අගය කිසි දු ඌනතාවකට ලක් වී නොමැත. පශ්චාත්කාලීන පර්යේෂකයන් වැඩි දෙනකුට එය ප්‍රමුඛ මූලාශ්‍රයයක් ද වූයේ ය. 
මුල් නිබන්ධයෙහි පාදක සටහන් වසයෙන් පැනුණු විමර්ශන සටහන් සිංහල පරිවර්තනයෙහි දී නූතන සම්මත සූචනා ක්‍රමානුකූල ව යොදන ලදි. සෙසු පාදක සටහන් අධෝ ලිපි වසයෙන් දැක්වෙන බව සැලකිය යුතු ය [පරිවර්තකගේ සටහන් කොටු වරහන්හි දැක්වෙයි]. අවසානයට පැනෙන ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය ද මුල් ලිපියෙහි ආ අධෝ ලිපි අනුසාරයෙන් සම්පාදිත යි.

1. කුරුධම්ම ජාතකය ඉංගිරිසියට පරිවර්තනය කළ රවුස් මෙහි සංස්කෘත රූපය සලකා 'බහුවර්ණ රාජ' (King of Many Colours) යන අර්ථය ගනියි (Jataka 1895 b: 254).

2. ජාතක I: 433 මේ උත්සවය කාන්තා සමාගමයෙන් විනෝද වන්නක් බව පෙන්වා දෙයි (Jataka 1895 a: 261).

3. ''අනුබුදු මහමිහිඳු මහහිමියන් විසින් විනොයා සසුන් වැඩ ලොවැඩහි යෙදූ රකුස්-පිරිහා පැන්තිසැ උවනිසා", සිව් වැනි මිහිඳුගේ වෙස්සගිරි පුවරු ලිපිය, Wickremasinghe 1912: 31ff. දස වැනි සියවසේ සිංහල ශිලා ලේඛනවල 'හ' සහ 'ඟ' අක්ෂර සඳහා භාවිත වුණු සංකේතවල දැඩි සමානත්වය නිසා ආචාර්ය වික්‍රමසිංහ 'පිරිඟා' යන්න 'පිරිහා' යනුවෙන් කියවා ඇත. මේ පාඨයෙහි පරිවර්තනය සාවද්‍ය ය; වික්‍රමසිංහ ද එය සැක සහිත බව දක්වා ඇත.

4. උදාහරණ වසයෙන් සිරිසඟබෝ රජු දවස ලංකා ජනතාවට මහත් ව්‍යසන ගෙන දුන් රක්තාක්ෂියා මහාවංසයෙහි 'යක්ඛ' යනුවෙන් හඳුන්වා ඇති අතර (බලන්න: Mahavamsa1912: XXXV.12& පසු කාලයෙහි ලියවුණු හත්ථවනගල්ල විහාරවංසයෙහි (VI.1) 'රක්ඛස' නමින් හඳුන්වා ඇත. ලංකාවතාර සූත්‍රයෙහි දී රාවණ සඳහා 'යක්ෂ රාජ' සහ 'රාක්ෂස රාජ' යන නම් අවිශේෂයෙන් භාවිත කෙරේ.

5. අත්පිටපත්වලින් 'මහෙජ්ජා' සහ 'පභේද' යන පාඨාන්තර වාර්තා වේ. සමන්තපාසාදිකාවෙහි යෙදෙනුයේ 'මහේජ' යනුවෙනි [Samantapasadika1962:199]. ටීකාව මෙය යක්ෂ දෙවොලක් බව සඳහන් කරයි (1895: 269)

6. මේ යක්ෂයා ද විජය විසින් යක්ෂයන් ඝාතනය කෙරුණු සිරීසවත්ථු සංග්‍රාමයේ දී මරනු ලැබූ බව ටීකාවෙහි කියවේ.

7. [Amazon යනු ග්‍රීක පුරාණෝක්තිවල දැක්වෙන රණශූර ස්ත්‍රී කොට්ඨාසයකි. මෙවැනි රණශූර ස්ත්‍රීන් සම්බන්ධ මිථ්‍යා වෘත්තාන්ත හා ප්‍රවාද සඳහා බලන්න: Mayor, Adrienne. The Amazons: Lives and Legends of Warrior Women across the Ancient World, Princeton University Press, 2014 (පරිවර්තක)].

8. [සිංහල පරිවර්තනය බුද්ධදත්ත 1961: 316. උද්ධෘතයේ විරාම ලක්ෂණ, අක්ෂර වින්‍යාසය හා පද ඛෙදීම පමණක් සකස් කෙරිණ. (පරිවර්තක)]

9. මෙය බයිසන්ටයින් අධිරාජ්‍යය විය හැකි ය.

10. නෛරුක්තික වසයෙන් සලකන කල මහිලාද්වීපය හා නග්නද්වීපය මාලදිවයින් හා නිකොබාර් ලෙස හඳුනා ගත හැකි ය. මේ දූපත් සමූහ දෙක ම ලක්දිවට බටහිරින් පිහිටා ඇත. මහිලාද්වීප: (සිං.) මාලදිව; නග්නද්වීප: (දෙමළ) නක්කවාර.

11. ඇමසන්වරුන්ගේ දේශය මලබාරය යැයි සැලකීමට මුල් වී ඇත්තේ නායර්වරුන්ගේ සමාජයේ පැවති අන්දමේ මාතෘ මූලික සමාජ සංවිධානය පිළිබඳ අදහස විය හැකි ය.

12. ඉන්දියාවේ යක්ෂ වන්දනාව පිළිබඳ ව බලන්න: Eliot 1921: 103; Archaeological Survey of India 1927: 7 and Chanda 1921: 77 ff.

13. පර්ඛම්, පැට්නා, මථුරා, බේස්නගර් යන ස්ථානවල ඇති කැටයම්. පළමු කැටයම් දෙක සිසුනාග රාජ රූප බව ජයස්වාල් අදහස් කරයි.

14. විභීෂණස් තාම්‍රපාර්ණ්යාං

15. ලංකායාං කළසෝදරඃ

16. සිංහලේෂු ධනේශ්වරඃ

17. මේ සෙල්ලිපි මෙතෙක් ප්‍රසිද්ධ කොට නැත. [බලන්න: Paranavitana, 1970:17,78. (mßj¾;l)]

18.[බලන්න: Paranavitana, 1970: 7; lxviii-lxx. (පරිවර්තක)]



ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


බුද්ධදත්ත, පොල්වත්තේ අනු., චීන තෙරුන්ගේ ගමන් විස්තර හා හියුං සියං භ්‍රමණ වෘත්තාන්තය, 3 මු., අම්බලන්ගොඩ, 1961.

රසවාහිනී, සරණතිස්ස සං., 2 මු., කොළඹ, බු. ව. 2439 (1896).

වංසත්ථප්පකාසිනී නාම මහාවංස ටීකා, බටුවන්තුඩාවේ හා ඤාණිස්සර සං., කොළඹ, 1895.

Archaeological Survey of India 1927. Archaeological Survey of India - Memoir No. 3,

Beal, Samuel, Si-yu-ki, Buddhist records of the Western world Hsüan-Tsang, ca.596-664, in 2 vols., Vol. II, London, 1884.

Chanda, Ramprasad, ‘Four Ancient Yaksha Statues’, Journal of the Department of Letters, University of Calcutta, Vol. IV,Calcutta,1921, pp.47-84.

Coomaraswamy, Ananda. K., History of Indian and Indonesian Art, New York, 1927.

Dathavaṃsa , Rhys Davids and R. Morris, in The Journal of the Pali Text Society for 1884, London, 1884 , pp.109-151.

Eliot, Charles, Hinduism and Buddhism - An Historical Sketch, (in 3 vols), Vol. I, London, 1921.

[Inception of Discipline and Vinaya Nidana – Being a Translation and Edition of the [Bahiranidana of Buddhaghosa’s Samantapasadika, the Vinaya Commentary, N. A. Jayawickrama, London, 1962.]

Kautilya's Arthasastra, Tr. by R. Shamasastry, (1914),4th ed., Mysore, 1951

Kennedy, J., ‘A Race of Fair Women’, The Journal of the Royal Asiatic Societyof Great Britain and Ireland for 1904, London, MDCCCCIV,p.163.

Knox, Robert,An Historical Relation of the Island Ceylon in the East Indies, London, 1681,

Lévi, S., 1915, ‘Le Catalogue géographique des Yaksa dans la Mahamayuri’, Journal Asiatique, Janv.-Févr, pp.19-138.

Mahabodhivaṃsa, ed. S. Arthur Strong, London, 1891.

MahÁvaṃsa, ed. Wilhelm Geiger, London, 1912.

Paranavitana, S., “Mahayanism in Ceylon.” Ceylon Journal of Science, 1928:2, pp.35-71.

[Paranavitana, S., Inscriptions of Ceylon Vol. I; Early BrahmÍ Inscriptions, Colombo, 1970.]

Parker, Henry, Ancient Ceylon, London,1909'

Polo, Marco, The Travels of Marco Polo: The Complete Yule-Cordier Edition,By Henry Yule, Henri Cordier,(1871 & 1875), London, 1903.

Rice, Benjamin Lewis, Mysore and Coorg, Mysore, 1878.

Sutta Nipata Commentary being Paramatthajotika - II. Vol. I Uraga Vagga -Cula Vagga, ed. Helmer Smith, London, 1916,

The Annual Archaeological Report of the Gwalior State 1915 - 1916

The Divyavadana, ed. E. B. Cowell and R. A. Neil, Cambridge, 1886.

The Jataka; or, Stories of the Buddha’s Former Births, ed. E. B. Cowell, Vol. I , translated by Robert Chalmers, ambridge,1895a.

__________ , Vol. II , translated by W. H. D. Rouse, Cambridge, 1895b.

___________ , Vol. III, translated by H. T. Francis and R. A. Neil, Cambridge, 1897.

___________ , Vol. V, translated by H. T. Francis, Cambridge, 1905.

The Majjhima Nikaya,Vol. I, ed. V. Trenckner,London, 1888.

The Vinaya PiÔaka -Vol. I. The Mahavagga , H.. Oldernberg, London, 1879.

Thera and Theri Gatha, ed. H.Oldenberg and R. Pischel, London, 1883.

Wickremasinghe, D. M. de Z., Epigraphia Zeylanica, London, 1912.

ඉතිහාසයේ දෛවය හා සරදම

චන්දිම අඹන්වල



ඉතිහාසය කියන්නේ මිනිස්සුන්ගේ අතිත කථාවේ කොටසක්. ඉතිහාසය හරිම සංවේදි දෙයක්. මිනිසුන්ගේ හදවත් තුළින් ඉල්ලා සිටිනවා. වර්තමානයේ ඇතිවන විවිධ ඇනවුම් නිසයි මේ ඉල්ලූම ඇතිවෙන්නේ. මිසරයේ හිටපු අයට ලියපු ඉතිහාසයක් තිබුනා. ඒත් දැන් ලියැවෙන්නේ නැහැ. ඒ මිනිස්සුත් නෑ. ලංකාවේ අපට විතරයි පොතක් විදිහට නොකඩවා ලියැවෙන ඉතිහාසයක් තියෙන්නේ. ඉතිහාසය කියන්නේ කවුරුවත් හොයාගන්න දෙයක් නෙවෙයි. කෙනෙක් හෝ පිරිසක් ලියන දෙයක්. එක එක්කෙනාට එක එක ඉතිහාස. මම කලින් ඉඟියක් දීල තිබුණු විදිහට නිකලස් හා පරණවිතාන ‘සක්‍ෂිප්ත ලංකා ඉතිහාසය’ කියල ලියන් නැතිව ‘සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසයක්’ කියල ලිවුවේ ඒකනේ. ඒක ඒ දෙන්නා ලියපු ඉතිහාසය. දැන් අපිට හිතෙන්න පුළුවන් පරණවිතානට පුළුවන් නම් අපිටත් බැරිද ඉතිහාසය ගොතන්න කියල. පුළුවන්. හැබැයි ඉතිහාසය කියල හිතළු ලියන්න අවසරයක් නෑ. ලියන දේ ලියන්න ඕන ‘සංගත’ විදිහට. ‘සංගත’ ටිකක් අඩුවෙන් යෙදෙන වචනයක්. ඒ කියන්නේ, ඒ හා සමගාමි අනෙකුත් දේවලටත් ගැලපෙන නැත්නම් සැසදෙන විදිහට තියෙන්න ඕන කියන එකයි. ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා මේ ගැන පැහැදිලිව විස්තර කරල තියෙනවා. ඒ කියන්නේ අපි කාටකාටත් ඉතිහාස කතා ගොතන්න පුළුවන් වුනාට ඒවා අනෙක් මූලාශ‍්‍රයවලටත් ගැලපෙන්න ඕන. එහෙම නැත්නම් අපිට හිතෙන ඒ කතා තමන්ගේ ඔලූවේ විතරක් තියාගන්න එක හොඳයි ජාතියම අමාරුවේ දාන්නෙ නැතිව. ඒ කියන්නේ මහජනයාගෙන් පිරිසකට බලපාන දෙයක් ලියද්දි බලන්න වෙනවා ඒ ගොතන කතාව වංසකතාවලට ගැලපෙනවද? විදේශිකයන්ගේ වාර්තාවලට ගැලපෙනව ද? ලෝකේ වෙනත් රටවල ඉතිහාස කතා එක්ක, සමාජ විකාශනය එක්ක ගැලපෙනවද කියල. පුරාවිද්‍යා සාධකත් එක්ක තියෙන්නේ මොනවගේ ගැලපීමක් ද කියල. එහෙම ගැලපීමක් නැත්නම් වැඩක් නැහැ. දුර්වලයි. අසංගතයි. ඉතිහාසයේ ඇත්ත හා බොරු කියල දෙයක් නෑ. තියෙන්නේ සංගත අසංගත බවක්.


අපේ ප‍්‍රධාන වංසකතාව වෙච්ච මහාවංසය ගත්තොත් පාළි බසින් ලියල තියෙන්නේ. අදටත් ඒක ලියැවෙනවා. මහාවංසය ලියල තියෙන්නේ අපේ ඉතිහාසය කියන්න නෙමෙයි. ගමේ හිටිය ‘යශොබල’ ගැනයි ‘රකියා’ ගැනයි ලියන්නත් නෙමෙයි. නිශ්චිත අරමුණක් සඳහා. ක‍්‍රිස්තු වර්ෂ 5 වැනි සියවස විතර වෙද්දි කලාපීය වශයෙන් ථෙරවාද බුදුදහමට එල්ල වුණු බලපෑම දැකල, ඊට ප‍්‍රතිරෝධි තත්ත්වයක් තුළ ථෙරවාදි බුදුදහම රැකගැනීමේ වැඩපිළිවෙලක් වශයෙන්. ඒ හින්ද ඒක ඇතුළේ හැම දේම ලියල නැහැ. අවශ්‍ය දේ විතරයි ලියල තියෙන්නේ. සියඹලාන්ඩුවේ හරි අක්කරෙපත්තුවේ හරි තිබුණු අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් ගැන මහාවංසය පෙරලල හෙව්වුට හමු වෙන්නේ නැත්තේ ඒකයි.


අපේ රටට එරෙහිව හිිටිය හා ඉන්න ගොඩාක් අයට මේ මහාවංසය තමා මහම හිසරදය. දෙමළ ජාතිවාදින්ට විතරක් නෙවි, මහාවිහාර ථෙරවාදි බෞද්ධ සම්ප‍්‍රදාය සමඟ වෛර බැදගත්ත අයටත් එහෙමයි. මීට ටික කාලෙකට කලින් අභයගිරියේ තිබුනා යැයි කියක ‘උත්තර විහාර වංසකතාව’ කියල පොතක් මුල් කරගෙන මහාවංසයට පුළුවන් තරම් ගැරහුවා, ඒක අතුරුදහන් කළා කියල. දෛවය කියන්නේ ඒ පොත ගැන තියෙන්නෙත් මහාවංසයේමයි. හරිම සහනශිලි කියන අභයගිරිය බලවත් වුණු වෙලාවේ වෙච්ච දේ අපි දැක්කනේ. මහාවිහාරය බිමට සමතලා කරල, ඒ නිර්මාණ අභයගිරියට ඇදගෙන ගියා. මහාවිහාරයේ හාමුදුරුවරු පන්නලා දැම්මා. දානය තහනම් කළා. ඒ විතරක් නෙමෙයි පංසල තිබුණු බිමෙනුත් පළිගත්තා. සී සාල උඳු පිරුවා කියල ලියල තියෙන්නේ නිකං නෙවෙයි නේ.


මේ ‘මහාවංස වෛරය‘ හැමදාම තිබුණු එකක්. අවාසනාවට අපේ අය තේරුම් ගන්නේ නැත්තෙත් මේ දේ. වැඩිමහල් අයට මතක් වෙයි මීට අවුරුදු 20කට විතර කලින් සංවාදයක් ගියා අර මොකක්දො තාරකා පද්ධතියක තියෙන තරු තුනක කෝණයට තමා ගිසා හි මහා පිරමීඩ තුනයි, ලංකාවේ අනුරාධපුරයේ මහා ස්තූප තුනයි තියෙන්නේ කියල. මේවා හදල තියෙන්නේ අර ග‍්‍රහලෝකයෙන් ආපු අය කියල. ලඟ ලඟ සම්බන්ධතා බලල ගොතපු අමුම අමු බොරුවක්. මේ කවුරුත් හැබැයි කියන් නෑ චීන මහා ප‍්‍රාකාරය හැඳුුවේ චීන්නු නෙමෙයි පිටසක්වලයෝ කියල. කිවුවොත් එදාට බලාගන්න පුළුවන් වෙයි වෙන දේ. මේ මගේ අදහස විතරක් නෙවෙයි. ආචාර්ය නලින් ද සිල්වයි මේ අදහස ප‍්‍රසිද්ධියේ කිවුවේ.


මේවට පස්සේ තමා මේ රාවණා රජතුමාගේ කතාව නැවත පණ ගහල ගත්තේ. මේ රාවණා රජු සම්බන්ධ කතා බහුතරය හින්දු දේව විශ්වාස එක්ක හරිම සමිපයි. මේ ගැන මතු කරද්දි කීවා රාවණා බෞද්ධයෙක් කියල. රාවණා රජු හිටියය කියන කාලේ ගෞතම බුදුහාමුදුරුවන්ට ගැලපෙන් නැහැ. ඒ නිසා පාර මාරු කළා. කිවුව රාවණා දීපංකර බුදුහාමුදුරුවන්ගේ ශ‍්‍රාවකයෙක් කියල. තරුණ පිරිස ඇදල ගත්ත තව කතාවක් තමා රාවණා රජතුමා අහවල් තැන නිද්‍රාවට වැටිල ඉන්නවා ලඟදි නැගිටිනවා කියල. මේ කතාව විශ්වාසෙට හරිය කියමු. නමුත් ගමේ ඉන්න පෝය දිනයට සිල් ගන්න අත්තම්මත් දන්නවා බුදුදහම කියන්නේ අනාත්මවාදි දහමක් කියල. එතකොට මේ වගේ ආත්මවාදි කතාවලට බෞද්ධයෝ අන්දන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි?


බුදුහාමුදුරුවේ ලංකාවේ ඉපදුනා කියන කතාවත් මේ වගේම එකක්. ඒක කොච්චර උඩුදුවල ද කියනව නම් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන අය ඒ විශිෂ්ඨ ශාස්තෲවරයාට අමතන්නේ ‘බුදුන්’ කියල. මම අදහන බුදුදහමට අනුව නම් බෞද්ධයෙක් තුළ ශ‍්‍රද්ධාව තිබීම අනිවාර්යයි. ඉතිං මේ අදහස් පස්සේ යන, බුදු දහමට පණ ඇරල ඉන්න අයගෙන් මම අහන්නේ බුදු හාමුදුරුවන් පිළිබඳ ශ‍්‍රද්ධාව නැති තැන කොහේද බුදු දහමක්.


කියන්න බොහෝ දේවල් තිබුණත් සටහන දිග්ගැසෙන නිසා කෙටියෙන් අවසන් කරන්නම්. මේ කිවුව කාරණා එක්ක අපි හිතන්න වැදගත්ම දෙයක් තියෙනවා. මේ කතා හරිම අසංගතයි. අනෙක් සාධක එක්ක කිසිම ගැලපීමක් නැහැ. ඒ වගේම මම දැනගන්න කැමතියි දැන් තියෙන අපේ ඉතිහාසයේ අඩුව මොකක්ද? මේ ඉතිහාසය නිසා අපිට නැතිවෙලා තියෙන්නේ මොනව ද? ස්ථාපිත ඉතිහාසය අයින් කරල ගේන්න හදන කතාවලින් අපිට අලූතින් ලැබෙන්නේ මොනවද? මේ නිවාඩුපාඩුවේ හිතල බලන්න කරුණු කීපයක්.


මේ අසංගත කතා පටලවගෙන ඉන්න පිරිස අතර කණ්ඩායම් කීපයක් ඉන්නවා. අන්ධ ජාතිකත්වය නිසා මේ අදහස් වැළදගත් අය, මුදල් හෝ වෙනත් වාසි තකා මේ අදහස් පතුරවන අය, නොදන්නාකම නිසා මේ අදහස වැලදගත් අය හා මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක හේතු නිසා මේ අදහස් වැලදගෙන පීඩාකාරි ලෙස ඒවා පතුරුවන අය කියල. වැදගත් දේ මෙතැන ඉන්න බහුතරයක් මේ රටට ජාතියට සැබවින්ම ආදරය කරන පිරිසක්. එයාලා මේ වෙන්කරල ගහමරාගන්න යන්නේ අර දෙමළ චිත‍්‍රපටවල ඉන්නවා වගේ සතුරෙක් එක්කද? නෑ, මේ රටේම ඉන්න මේ රටට ආදරය කරන තවත් පිරිසක් එක්කයි. මේක රූකඩ නටවන සෙල්ලමක්. කණගාටුයි. යම් ආකාරයකින් මේ හිතළු අසංගත කතා සමාජගත වුව දාට මේ සාධක රහිත අසංගත මායාව විනාශ කරන්න මිසයිල ඕන නෑ. පොඩිම ඇල්පෙනෙති තුඩත් වැඩියි.


මම මාතෘකාවට දාල තිබුනනේ ඉතිහාසයේ දෛවය හා සරදම කියල. දෛවය තමා අවසානයේ සංගත බව ජයගන්නවා කියන එක. ඒ වගේම තමා බොහො ශක්තිමත් සංගත ඉත්හාසයක් තියෙන මිනිස්සු කැරට් අලයක් දිහා බලාන තමන්ගේ ඇදිවත ගලවල විසිකරන එක. සරදම තමා මේ බව නොදැන එක් එක් අනු පරිච්ෙඡ්ද අල්ලගෙන නටන එක. කෑල්ලක් අල්ලගෙන අලිය විස්තර කරන්න යන එක. දැන් සමහර අය කියයි මේ ලේඛකයා කොන්ත‍්‍රාත් එකක් කරනවා. සල්ලි අරන් මේවා ලියනවා කියල. ඉතිහාසය නැවත නැවතත් අපි අතර ජීවමාන වෙනවා. ඒ වගේමයි අර කවුදෝ කියල තියෙන්නේ ඉතිහාසයයෙන් අපට ඉගෙන ගැනීමට තියෙන ලොකුම පාඩම තමා මිනිසා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බව කියල.

2020-04-26

රවුළු වත හෙවත් පරඹු සොර රවුළාගේ කථා වස්තුව

තව ද, බඩ සයින් පෙළෙන්නහු බත් දී සුවපත් කළ හැකි වුවත්, නැණ හීන පීඩාවෙන් පෙළෙන්නහු නුවණ වඩවන ඔසුවක් තිලොව මැ නො හෙන බව හඟවනු වස්, රවුළු රද වත කියමු.

යට ගිය දවස, සකල ශ්‍රීයෙන් සමෘද්ධ වූ ලංකා නම් රාජ්‍යයෙක් වී යැ. සමෘද්ධියෙන් පිරිහෙත් මැ නැණ නුවණින් ද පිරිහීමේ ලකුණු පහළ කෙරෙමින්, ධර්මවාදිත්වයට නිකෘෂ්ඨ කෙරෙමින් පර අඹුවන් ගෙන රකවල් ලූ රවුළු නමැති රදෙක්  ඒ රාජ්‍යයෙහි වී යැයි සිතන්නහු සිය දහස් ගණනින් පහළ වන්නට වී ය. අ‍‍‍ඳෝ මැ යි, ආයු පිරිහෙන සත්ත්වයා, නැණ මඳ වැ ගැසී වැසී යන අරුමයක මහත! ඔවුහු රවුළා ද නො දත් ගත් රවුළාට මැ නිසි කළහ. රවුළා ද ‍නො දත් සකුවක් රවුළාට මැ ඇමිණූහ. මිනිසකුට තබා සුනඛ, කැනැහිල් ආදි තිරශ්චීනයකුට වුව ද වැද්ද නො හෙන ඌරු වළක්, පැන් රැඳි ගෝකුර වළක්  මුත් අත නො හැර රවුළාට මැ නිල කළහ. නුබ ගැබ සසල කළ රවුළා ඌරු මුගටින් සෑරූ වළ සිදුරුවලැ මැ බහා මුව අවුරා පීහ. වාතයෙන් නො පීරී මිදෙන්නා වූ කිසිවකුත් අවකාශයේ නැත්තාක් මෙන් රවුළා අත නො ගෑ ගලක්, ලෙනක් මුත් ලක’ඟන හිසැ නැතැ යි කීහ.

යටගියාවත්, දෙසත් බදා මත්තේ පොත්ත පත්තට යන්නාක් මෙන් තළන්නා වූ හර සුන් වූවහු ‍‍ගේ නො නිස්ස, ඉවසුම් නො දෙන්නක් මැ වී ය. එසේ වූ කලැ, රෑ දෙවරු නිදි නො ලැබ වැඩූ ගොයම ගිනි ගන්නා කල පහළ වූ අකල් මේඝයක් මෙන්, ලක’ඟන තුරුළ තැනැ තැනැ රවුළු වාද මඬින්නහු මතු වන්නට පටන් ගත්හ. ඔවුහු යටගියාවත්, දෙසත්, බසත් මැදි කොට රකවල් ලමින්, දුටු දුටු තැනැ රවුළුවාදීහු තළාපීහ. මඬින්නහු ගේ වාදයෙන් පීඩිත රවුළුවාදී ඇතම්හු, තැළී මිරිකී කසළ වූ, වේයන් අරක් ගත් උක් දඬු කැබැල්ලෙක රූ පෑහ. විරුද්ධ වැ නැඟෙන වාද දැඩි වත් ම, රවුළා සරණ ගිය ඇතමුන් ගේ ඉහ මොළ දැවෙන්නාක් බඳු වී ය. ඔවුහු අසැබි වහරින් හා  පරුස පිසුණ බස් බෙණෙමින් මඬින්නහු මඬිනු වස් අවි ගත්හ. මඬින්නහු ද ඊට මැ නිසි වැ ලෝ පටළ දරමින් රවුළුවාදින් පෙරට මැ වන්හ. ගත් ගත් අවි නසන බඹ මතුරු දපමින් හුන් රවුළුවාද මඬින්නහු, දීධිති සම්පන්න වැ වඩ වඩා සිය ලකුණු රැඳැවූහ.

පෙර මඟැ පෙනෙන කැලිපන් පංක්තියෙන් ගැසී සිටි රවුළුවාදීහු, මඬින්නන් වාද නො දැනෙන සේ කෙසි සිදුරු තර කොටැ තැනැ තැනැ සැඟැ වී ගත්හ. කුමක් මෙන් ද යත්? ඉඳුනිල්මිණිමුවා පව්වෙක නැඟී, සිහ නද කෙරෙන කෙසුරු සිහ රදකු ගේ හඬින් ගැසී ගිය සාවුන්, මුවන්, ගිජිඳුන්, කැනහිලුන් ආදි න‍ා නා විධ සත්ත්වයන් තම තමන්ට මැ නිසි නිසි තන්හි සැඟැ වී, මුව දෙනෙත් නො හැර, හිස පතුලෙහි තද කැරැ ගත්තාක් මෙනි. ඉන් දිරි වැඩූ රවුළුවාද මඬින්නහු, වඩ වඩා වාද තර කරන්නට වූහ. මඬින්නහු ‍ගේ වාදයෙන්, මිසදිටු අඳුරු පටලයෙන් නෙත් වසා හුන් ඇතැම්හු  සම්දිටු රිවි කිරණ වෙත ගෙනැ හැරැ පෑහ. පින්, දිය කැරැ පොවාවත් කළ පින් නැත්තවුන් දුගතියෙන් ගොඩ ලිය නො හැක්කාක් මෙන්, රවුළුවාදයෙහි මැ බැඳී සිටි ඇතමුන් මුදාලීම කවරකුටවත් කළ නො හැක්කක් මැ වී ය.

එ හෙයින් සත් පුරුෂයෙනි, සිප් සතරෙහි වැඩ කැමැති ඇදුරන් විසින් මැ කළා වූ මාහැඟි පත පොතින් සැබෑව දැනැ, යටගියාවටත්, දැයටත්, බසටත් මතු වැඩ පිණිස, නැඟී සිටි විරියෙන් මැ කැප වීමට සිහි තබා ගත යුතු.

2020-04-11

රාමායණය කවි කල්පිතයක් පමණක් ද?

මහාචාර්ය රත්නසිරි අරංගල


රාමායණය සාහිත්‍ය කෘතියකි. සාහිත්‍යය යන්නට අර්ථ කිහිපයක් තිබුණත් එහි ප්‍රධාන අර්ථය යම් නිර්මාණාත්මක හැකියාවක් අති අයකු විසින් ගොතන ලද රස වින්දනය අරමුණු කර ගත් රචනාවක් යන්න යි. ඒ කෘතිය සඳහා ඉන්දියාවේ පැවති විවිධ 'ජන කතා' පාදක කොට ගෙන තිබේ. අග්නි පුරාණ, කුර්ම පුරාණ, විෂ්ණූ පුරාණ, භාගවත පුරාණ, පද්ම පුරාණ වැනි කෘතිවල රාමායණ කතාව ඇතුළත් වෙයි. දසරථ ජාතකය ම හෝ, එම ජාතක කතාවට මුල් වූ ජන කතාව හෝ දෙකෙන් එකක් ද රාමායණයට වස්තු වී තිබේ. රාමායණයේ එකිනෙකට වෙනස් ස්වරූප (versions) ඇති අතර ඒවායින් එකිනෙකින් වෙනස් කරුණු හමු වන බව උගතුන්ගේ මතයයි. එයින් 'දකුණු ස්වරූපය' (southern version) වඩාත් විශ්වාසදායක ලෙස පිළිගැනේ. මේ නිසා රාමායණය වරින් වර කොටස් එකතු කිරීමෙන් සම්පාදනය වූවක් බව පෙනේ. (වාල්මීකි විසින් මුලින් ම ලියූ කොටස හෝ 'වාල්මීකි' නමට ආරෝපණය කොට තිබූ කොටස හෝ දිගු කලක් මුඛ පරම්පර‍ාවෙන් 'ජන කතාවක්" වසයෙන් ගෙන ආ පසු ව මෙසේ අලුතින් කොටස් එකතු කිරීම සිදු විය හැකි ය.) හින්දු ආගමික සංකල්පවල වර්ධනය හා ඒවා ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව මත මෙසේ විවිධ කොටස් වරින් වර එකතු කිරීම සිදු වූ බව පෙනේ. කුර්ම පුරාණයේ 'විෂ්ණු' හා 'ලක්ෂ්මී' සම්බන්ධ වෘත්තාන්තය රාමායණයට පිවිස ඇත්තේ 'රාම' – 'සීතා' පුවත ලෙසිනි. එහි අරමුණ පති භක්තියෙන් යුතු භාර්යාව පිළිබඳ හින්දු ආගමික සංකල්පය ප්‍රචලිත කිරීම යි. එහි පළමු කාණ්ඩය රචනා වන්නට ඇත්තේ ක්‍රි.ව. සිවු වන සියවසේ දී හෝ ඉන් පසුව බව විශ්වාස කෙරේ. රාමායණයෙි ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය ද කාව්‍යමය අගය ද ආගමික සංකල්පවල වැදගත්කම ද නිසා සකු බසට අමතර ව ඉන්දියාවේ ව්‍යවහාර වන භාෂා ගණනාවකින් ම රාමායණය නැවත ලියවී තිබේ. රාමායණයේ ජෛන ස්වරූපයක් (versions) ද ඇත. එය පඋමචරියා (=පද්මපුරාණ(චරිතය)) නම් වෙයි. මෙයින් පෙනෙන්නේ රාමායණය ඉන්දියාවේ ප්‍රචලිත වෘත්තාන්තයක් වී පැවති බව යි. ඒ සමඟ ම සිහි තබා ගත යුත්තක් වන්නේ මේ සියලු රචනා කිරීම් හා නවිකරණ සිදු විය හැක්කේ සංස්කෘත භාෂාව සාහිත්‍ය මාධ්‍යයක් වසයෙන් ස්ථාපනය වීමෙන් අනතුරු ව පමණක් බව ය.

දැනට පිළිගැනෙන සාධක අනුව කාව්‍ය සංස්කෘතය හෙවත් ලෞකික සංස්කෘතය ක්‍රි.පූ. තෙ.වන සියවසින් ඈතට නොයන අතර සංස්කෘතය විධිමත් රීති මාලාවක් අනුව විග්‍රහ කළ පාණිනී විසූ කාලය කි.ව. සිවු වන සියවස පමණ වෙයි. එසේ නම් රාමායණය ක්‍රිස්තු වර්ෂාරම්භක සියවස් දෙක තුන ඇතුළත රචනා වූවක් විනා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කෘතියක් නොවන බව සැලකිය යුතු වෙයි. ග්‍රන්ථය රචනා කළ නිශ්චිත දිනයක් ග්‍රන්ථාභ්‍යන්තරයෙහි නොදැක්වෙන කෘතියක කාලය සෙවීමේ දී අභ්‍යන්තර සාධක රාශියක් කෙරෙයි අවධානය යොමු කෙරේ. රාමායණයේ කාලය සම්බන්ධයෙන් උගතුන්ගේ අවධානය යොමු වූ එවැනි කරුණු කිහිපයක් සඳහන් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. එකක් නම් එහි භාෂා ව්‍යවහාරයෙහි යටි තලයෙන් අනාවරණය වන කරුණු යි. අදාළ කෘතියෙහි ඇතුළත් ඇතැම් වචන ක්‍රි.පූ. යුගයේ ‍ව්‍යවහාරයෙහි පැවතුණේ ද ඒවාහි මූලය කුමක් ද යන්න මෙහි දී සලකා බැලේ. කෘතියක ඇතුළත් වන සමාජ චාරිත්‍ර ඇවතුම් පැවතුම් ආදිය සම්බන්ධයෙන් ද මෙහි ලා අවධානය යොමු කෙරේ. රාමායණය සම්බන්ධයෙන් නම් බ්‍රාහ්මණ හා ක්ෂත්‍රිය ස්තර දෙකෙහි ම සාමාජිකයන් එක් ව දුනු කෙළියෙහි යෙදීම වැනි සිද්ධි ආදි බ්‍රාහ්මණ සමාජයට අදාළ වන්නක් නොවීම මෙහි ලා නිදසුන් කළ හැකි ය.

රාමායණයේ රචනා සමය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරක් ග්‍රන්ථාභ්‍යන්තරයෙන් ම සපයා ගත හැකි ය. එනම් රාමායණයේ සුන්දර කාණ්ඩයේ ඇතුළත් වන හනුමාන් සීතා දේවිය හා කතා කිරීම සම්බන්ධ කොටස යි. සීතාට සංස්කෘත භාෂාවෙන් ඇමතුව හොත් තමා 'ද්විජයකු' (බ්‍රාහ්මණයකු) එනම් රාවණ යැයි සලකා සීතා බියපත් වනු ඇතැයි සිතන හනුමාන් ඇයට මනුෂ්‍ය භාෂාවෙන් ඇමතිය යුතු යැයි තීරණය කරයි. මෙය සංස්කෘතය හා සමගාමී ව ප්‍රාකෘත ව්‍යවහාර බල පැවැත්වූ කාලයකට සම්බන්ධ වෙයි. ලෞකික හෙවත් කාව්‍ය සංස්කෘතයේ භාවිතය හා සමගාමී ව ප්‍රාකෘත ව්‍යවහාර භාවිතය සිදු වනුයේ ක්‍රි.පූ, තෙවන සියවසින් මෑත අවධියේ බැවින් ඉහතින් සාකච්ඡා කරන ලද රචනා සමය සම්බන්ධ අදහස මෙයින් ද තහවුරු වෙයි.



එමෙන් ම යම් කෘතියකින් ගත් කොටස් ව්‍යාකරණ, කාව්‍යාලංකාර හෝ ඡන්දස් හෝ සම්බන්ධ නිදසුන් පසු කාලයෙහි කෘතිවල ඇතුළත් වී තිබීම ද කෘතියක කාල නිර්ණය සම්බන්ධයෙන් සලකා බැලෙන්නකි. උදහරණ වසයෙන් සිදත් සඟරාවෙහි හා එළු සඳස් ලකුණෙහි ඇතුළත් නිදසුන් පාඨ හා පද්‍ය දඹදෙණි රාජධානි සමයට පෙර ලියවුණු සිංහල කෘතිවලින් උපුටා ගැනුණු ඒවා සේ පිළිගැනීම මෙහි ලා දැක්විය හැකි ය. ඒ අනුව රාමායණයෙහි ඇතුළත් විශේෂ ප්‍රයෝග, වියරණ විදි ආදිය පාණිනීගේ අෂ්ටාධ්‍යායීහි ඇතුළත් නොවීම රාමායණය පාණිනී සමයට පසු කාලයට අයත් වන්නක් සේ සැලකීමට තුඩු දෙන හේතුවකි. භාෂා ලක්ෂණ අතින් රාමායණයෙහි ශුද්ධ සංස්කෘත මෙන් ම සංස්කෘතීකරණය වූ ප්‍රාකෘත ව්‍යවහාර ද ඇතුළත් බව වියතුන්ගේ අවධානයට ලක් වූ කරුණකි. මේ ශෛලීය ලක්ෂණ ද කෘතියෙහි කාලය සම්බන්ධයෙන් ආලෝකයක් සපයන බව කිව යුතු ය. මේ සියලු ම කරුණු සලකා බැලීමෙන් අනතුරු ව සංස්කෘත භාෂාව හා සාහිත්‍ය සම්බන්ධ විශාරදයන් පෙන්වා දෙන්නේ රාමායණය අවධි තුනක දී වරින් වර කොටස් එකතු කිරීමෙන් සම්පාදනය වී ඇති බවකි. එහි මුල් ම කොටස ක්‍රිස්තු පූර්ව 400 දී පමණ ද අවසාන කොටස ක්‍රිස්තු වර්ෂ සිවු වන සියවස වැනි කාලයක ද සම්පාදනය වන්නට ඇතැයි නිගමනය කිරීම ශාස්ත්‍රයුක්තියට එකඟ බව එනයින් දැක්විය හැකි ය. සිවු වන සියවසේ භෘරතයට පැමිණි ෆාහියන් හිමියන් අයෝධ්‍යා පුරය සම්බන්ධයෙන් කරන විස්තරයේ දී එය රාම චරිතය හා සම්බන්ධ බවක් දක්වා නොතිබීමෙන් ද පෙනී යන්නේ මේ වෘත්තාන්තය ඒ වන විට ප්‍රචලිත ව නො පැවති බව යැයි විද්වතුන්ගේ මතය යි. රාමායණයේ යවනයන් ගැන සඳහන් ව තිබීම ද ඇලෙක්සැන්ඩර්ගේ ආගමනයෙන් පසු කාලයක රචනා වන්නට ඇතැයි යන මතයට සාධක සපයයි.

බෞද්ධයන්ට අඛණ්ඩ හා විශ්වාසදායක ඉතිහාස ලේඛන සම්ප්‍රදායක් පැවතුණු බවට හොඳ ම සාධක වන්නේ ලංකාවේ වංස කථා මාලාව යි. මේවායේ ආරම්භක කොටස්වල දී පාරම්පරික විශ්වාසය අනුව ඇතුළත කෙරුණු ලෝක විස්තරය, බුදුන්ගේ ලංකාගමනය හා පූර්ව ඉතිහාසීය සමය සේ ගත හැකි විජයාගමනය, පණ්ඩුකාභය වෘත්තාන්තය වැනි ජනප්‍රවාද ඇතුළත් වෙයි. එහෙත් ඉතිහාසය ආරම්භ වීමෙන් පසු කාලය සම්බන්ධ වාර්තාවන්හි විශ්වසනීයත්වය පුරාවිද්‍යාත්මක සාධකවලින් ද සනාථ වී තිබේ. හින්දූන්ට එවැනි ඉතිහාස සම්ප්‍රදායක් නොතිබිණි. හින්දූන් සිද්ධි වාර්තා කිරීමේ දී ඉතිහාසීය අනුපිළිවෙළ නොසලකන බව ඉන්දියානු අධ්‍යයනයන්හි පුරෝගාමියා සේ සැලකෙන අල්බිරූනි නම් පර්සියානු ඉතිහාසඥයා ද වාර්තා කරයි. එබැවින් දීපවංස, මහාවංස, බෝදිවංස, ථූපවංස ආදි සිංහල වංසකථාවන්හි ඇති ඓතිහාසික අගය රාමායණය වැනි ප්‍රබන්ධයන්හි ඇතුළත් නොවන බව මෙහි ලා සඳහන් කළ යුතු ය. එබැවින් රාමායණයෙහි ඇතුළත් වන්නේ සත්‍ය ප්‍රවෘත්තියක් නො වේ. එහි හමු වන දශරථ, රාම, ලක්ෂ්මන, ජනක, සීතා මෙන් ම රාවණ ද කල්පිත චරිත පමණි. රාම - රාවණ යුද්ධය ද හුදු කවි කල්පිතයකි. එහෙත් මේ චරිත ක්‍රියාකරනුයේ - කෘතියෙහි පසුබිම වනුයේ- භාරතීය භූ-සමාජීය පසුබිම යි. මෙය වර්තමාන සාහිත්‍යය සම්බන්ධ නිදසුනකින් දක්වතොත් ගම් පෙරළියෙහි චරිත වන පියල්, නන්දා, ජිනදාස, අනුලා, කයිසාරුවත්තේ මුහන්දිරම්, මාතර හාමිනේ, තිස්ස ආදීන් කිසි කලක ඒ නම්වලින් යුක්ත ව ජීවත් වූ සැබෑ මනුෂ්‍ය චරිත නො වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එහි පසුබිම වන විසි වන සියවසේ මුල් කාලයේ ලංකාව - විශේෂයෙන් දකුණු ලංකාව- මත ඒ චරිත හැසිරවීමට මාර්ටින් වික්‍රමසිංහ සමත් වූ ආකාරය පාඨකයා තුළ විශ්වසනීයත්වයක් ඇති කරයි. යට කී රාම, සීතා ආදි කල්පිත චරිත මුල් කොට ගත් රසවත් කතා පුවතක් අතීත භාරත සමාජය සම්බන්ධ කොට ගනිමින් ගෙතීමට වාල්මීකි හා සෙසු කවීන් සමත් වී ඇත්තේ ද ඒ ආකාරයෙනි. කවියා මේ කල්පිත චරිත භාරතීය පු‍රාණෝක්තීන්හි ඇතුළත් වන ඉක්ෂ්වාකු, මහා සම්මත, මන්ධාතෘ ආදි චරිත හා සම්බන්ධ කරනුයේ තත්කාලීන භාරත වාසියාගේ දෘෂ්ටිවාදයන්ට අනුකූල වන පරිද්දෙනි. නොඑසේ නම් ගතානුගතික භාරතීය සමාජයට මේ කාව්‍ය නිර්මාණය පිරිනැමීමට ඔහුට අපහසු වනු ඇත. රාමායණයේ මුල් කොටස් අනුව පෙනී යන්නේ වාල්මීකී විසින් රාම ආදීන් නිරූපණය කොට ඇත්තේ ඔවුන් තමන් ජීවත් වන කාලයෙහි ම ජීවත් වන චරිත පරිද්දෙනි. ඔවුන් වෙසෙනුයේ ක්‍රිස්තු පූර්ව පළමු සහස්‍රකයේ දෙවන භාගය හා ක්‍රිස්තු වර්ෂ පළමු සහස්‍රකයේ මුල් භාගය ඇතුළත භාරතීය සමාජයේ -එනම් ඒ වන විට ජන විඥානයේ තැන්පත් ව ඇති සමාසන්න ඉතිහාසයෙහි- යැයි පෙනී යන පරිද්දෙන් කවියා සිය කෘතිය ගෙත්තම් කොට තිබේ. රාමායණයෙහි හමු වන විදේහ, අංග, වෛශාලී ආදි ස්ථාන නාම (නගර, ගංගා ආදිය) එදා රාමායණ කවියා දැන සිටි භාරතීය භූ-සමාජීය පසුතලයට අයත් වෙයි. ඒ සමඟ ම ඇතැම් කල්පිත ස්ථාන ද ගොඩ නඟා ගැනීමට කවියා කටයුතු කොට තිබේ. රාමායණයේ ලංකා යනු එවැනි තැනකි. එය කතාව විකාසනය සඳහා යොදා ගත් පසුබිමෙහි සඳහන් වන, භාරතීය නගර, ගංගා ආදිය මෙන් නිශ්චිතව හමු වන තැනක් නොවේ. එහෙත් පුද්ගල නාම සම්බන්ධයෙන් ඒ විශ්වසනීයත්වය කවියාට අවශ්‍ය නැත. ජනක, රාම ආදීන් යම් ආකාරයකින් භෘරතීය සමාජය හා ගැළපිය හැකි වුව ද එසේ ගැළපීමක් අවශ්‍ය නොවන 'රාවණා' චරිතයක් ගොඩ නඟන්නේ කවි අවශ්‍යතාව මත බව පෙනේ. නැවතත් නූතන සිංහල සාහිත්‍යයෙන් වැඩි දෙනා කියවා ඇති කෘති සම්බන්ධයෙන් උදාහරණයක් දක්වතොත් ගම් පෙරළියේ තිස්ස චරිතය දැක්විය හැකි ය. එය කලියුගය හා යුගාන්තය තෙක් දිවෙන්නකි. 1904 අප්රේල් මාසයේ සිංහල අවුරුද්ද ගැන කෙරෙන විස්තරයට අදාළ ව සලකන කල තිස්ස ඒ වන විට පාසල් යන අවුරුදු 10ක් වයසැති දරුවෙකි. කලියුගයේ දී පියල් හා නන්දා විවාහ වී කොළඹ පදිංචියට පැමිණීම සිදු වන්නේ ගම් පෙරළියේ හා කලියුගයේ අදාළ සිදුවීම් දැක්වෙන අන්දමට අඩුම තරමින් ගම්පෙරළිය ඇරඹෙන 1904 සිට වසර විස්සකට පමණ පසුව විය යුතු ය. කලියුගයේ දී නන්දාගේ හා පියල්ගේ දරුවන් වන ඇලන් හා නාලිකා උපදින්නේ එසේ කොළඹ පැමිණි පසු ව වන බැවින් ඒ 1925-30 පමණ කාලය සේ සැලකිය හැකි ය. නාලිකා හා සයිමන් කබලාන විවාහ වන්නේ පියල්ගේ මරණින් බසුව බව පෙනේ. දළ වසයෙන් එය 1958/60 පමණ සේ සැලකිය හැකි ය. ඔවුන්ගේ පුත් මාලින් එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලබා ආපසු පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 20-25 පමණ වන්නට ඇතැයි සැලකුවහොත් යුගාන්තය ඇරඹෙන්නේ 1980 මුල දී සේ සැලකීම යෝග්‍ය ය. මේ වන විට තිස්ස අවුරුදු 80 ඉක්මවූ අයෙකි. වික්‍රමසිංහ ඔහු හැට වයස් ඉක්මවූවකු බව කියයි. එහෙත් යුගාන්තයේ ඔහු නිරූපණය වන්නේ -තවත් අවුරුදු කීපයක් ඉදිරියේ දීත්- මාලින්, නාලිකා හා අරවින්ද ආදීන් සමඟ සමාන අදහස් ඇත්තකු පරි‍ද්දෙනි. එහෙත් යුගාන්තයේ තිස්සගේ චරිතය සම්බන්ධයෙන් පාඨකයාට අවිශ්වාසයක් ඇති වන බවක් වාර්තා නොවේ. වික්‍රමසිංහගේ අවශ්‍යතාව මේ රටේ සිදු වූ සමාජ පෙරළිය ප්‍රතිනිර්මාණය කිරීම යි. (මා දන්නා තරමින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කොට ඇත්තේ මහාචාර්ය සුරවීරයන් පමණි. එතුමා මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවල ශිල්පධර්ම පිළිබඳ ව ලියූ ශාස්ත්‍රී‍ය ලිපියක දී මේ කරුණු සාකච්ඡා කරයි. එතුමා පවසන්නේ සමාජ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කොට ගෙන එය ප්‍රතිනිර්මාණය කිරීමට යෑමේ දි වික්‍රමසිංහයන් ගණිත ප්‍රශ්න විසඳීමට උනන්දු නො වූ බව යි!) නූතන යථාර්ථවාදී ලේඛකයාට පවා චරිත නිර්මාණය සම්බන්ධයෙන් එවැනි නිදහසක් භුක්ති විඳිය හැකි නම් පැරණි කාව්‍ය සම්ප්‍රදාය අනුව වාල්මීකි භුක්ති විඳි නිදහස අපට වටහා ගත හැකි ය. රාවණාගේ චරිතය ද එවැන්නකි. වාල්මීකි සිය අරමුණ අනුව රාම චරිතයේ උතතරීතරභාවය හා සීතාගේ පාරිශුද්ධිය සම්බන්ධ හින්දු සංකල්ප වර්ණනා කිරීමට යෑමේ දී චරිතවල විශ්වසනීයත්වය ගැන උනන්දු වී නැත. 'රාවණා' නම් චරිතයක් ගොඩ නැ‍‍ඟ‍ෙනුයේ එපරිද්දෙන් බව සැලකුව මනා ය.

රාමායණයේ ඇති සාහිත්යික අගය නිසා එහි කතුවරයාට දිව්‍යමය සම්බන්ධයක් ආරෝපණය කොට තිබේ. ඒ අනුව වාල්මීකි රාමායණය ලියනුයේ මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙනි; ඔහුගේ මුවෙහි සරස්වතිය පහළ වෙයි. මෙයින් පෙනෙන්නේ රාමායණය විශිෂ්ට කාව්‍ය නිර්මාණයක් වසයෙන් ඇති පිළිගැනීමයි. කවියකු නිසා වාල්මීකිට (මෙන් ම 'වාල්මීකි' යනුවෙන් පෙනී සිටිමින් වරින් වර රාමයණය ගෙතූ කවීන්ට) විවිධ සංකේත භාවිත කිරීමේ හැකියාව තිබෙන බව පෙනේ. ජන කතාවල තිබූ චරිත කවියා වෙනස් ආකාරයෙන් නිරූපණය කරයි. රජු (=ජනක) යනු උත්පාදකයා ය. ඔහුගේ හී විටෙන් (නඟුල් දතෙන්) සීතා හෙවත් ''හී වැල" උපදියි. රාවණා විසින් සීතා පැහැරගෙන යනු ලැබීමෙන් සංකේතවත් කෙරෙන්නේ දැඩි නියඟයක් නිසා ගහකොළ වියළී යෑම යි. හනුමාන්ගේ වානර රංචුව මේඝය යි. මේඝය වර්ෂාව උපදවා වියළී ගිය ගහකොළට යළි ජීවය ගෙන දීම සීතා ගලවා ගැනීම යි. මේ සංස්කෘත භාෂාවත් කවි සමය හා අලංකාර ශාස්ත්‍රයත් දන්නා උගතුන් රාමායණයට අර්ථ දක්වා ඇති අයුරු යි. මෙය රසවත් කාව්‍යයකි. සාහිත්‍ය කෘතියක ඇත්තේ වචනාර්ථය පමණක් නොවේ. වචනයේ මුල් තේරුම ඉක්මවා ගිය අර්ථ දැක්වෙන පරිදි සාහිත්‍ය කෘතියක් වටහා ගත හැකි ය.

සාහිත්‍ය කෘතියක් කල්පිතයක් (ඇත්තක් සේ පෙනෙන්ට ගෙතූ කතාන්දරයක්) වුවත් එහි පසුබිමට යම් සත්‍ය කරුණු ඇතුළත් විය හැකිය. නවකතාව වැනි නූතන සාහිත්‍යයකදී නම් සත්‍ය ලෙස පෙනෙන චරිතවල ක්‍රියාකාරිත්වය ඇදහිය යැකි ආකාරයෙන් පෙන්වීම අපේක්ෂා කෙරෙයි. රාමායණය ආදි 'අද්භූත' කථා සම්ප්‍රදායට අනුව නම් කාලය දේශය ආදි ප්‍රකෘති සීමා ඉක්මවා යෑමේ බාධාවක් නැතත් සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය අනුව කවියකුට කාල, දේශ, ලෝක, සමය, කලාව, න්‍යාය ආදිය සම්බන්ධයෙන් පවත්නා සම්මත උඩු-යටිකුරු කළ නොහැකි ය. කෙසේ වුවත් රාමායණයේ ඇති පරිසර හා ස්ථාන වර්ණනා ඇසුරෙන් ඊට පදනම් වූ - එනම් කතා පුවත පිහිටුවා ඇති- කාලය දේශය හඳුනා ගත හැකි ය. මේ නිසා සාහිත්‍ය කෘතියක් අධ්‍යයනයෙන් සමාජ සංස්කෘතික තොරතුරු හැදෑරීමට මඟ පාදා ගත හැකිය. අද ලෝකයේ මේ ආකාරයෙන් සාහිත්‍යය අධ්‍යයනය කිරීම සිදු වෙයි. එහි දී සාහිත්‍ය කෘතියේ සැබෑ සමාජ-සංස්කෘතික පසුබිම එයට බැහැරින් එකතු කළ කවි කල්පිතවලින් වෙන් කොට හඳුනා ගැනීමට විවිධ විෂයන්ගෙන් සාධක අපේක්ෂා කෙරෙයි. රාමායණයේ නිරූපණය වන සමාජ තත්ත්වය හඳුනා ගැනීමට සාහිත්‍යය හා ඉතිහාසය හැදෑරූ උගතුන් ප්‍රයත්න දරා ඇත. ඒ රාමායණය පමණක් කියවීමෙන් නොව පුරාවිද්‍යාවෙන් හා සාහිත්‍යයෙන් ද ලබා ගත හැකි දත්ත ද එක්රැස් කිරීමෙනි. එයින් පැහැදිලි වී ඇත්තේ රාමායණයේ පසුබිම මුළුමනින් ම භාරතය බව යි. එහි ඇතුළත් ලංකාපුරය ද භාරතීය දේශයෙහි නගර හා මාලිගා ආදිය පදනම් කොට ගනිමින් නිර්මාණය කළ කල්පිත ප්‍රදේශයක් බව පැහැදිලි වී තිබේ.

රාමායණයේ දැක්වෙන ලංකාපුරය ලංකාව -වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යය - බව ඇතැම් පිරිසකගේ අදහස වී තිබේ. එහි ලා සලකා බැලෙන්නේ 'ලංකා' යන නාමය පමණකි. මෙහි දී සිදු වී ඇත්තේ 'ලංකා' යන්න මේ දිවයින හැඳින්වීමට යෙදුණු පරිද්දෙන් ම රාමායණයේ රාවණාගේ රාජධානිය හැඳින්වීමට ද යොදා තිබීම පමණි. ලංකාවේ සෙල් ලිපිවල ද 'ලංකාද්වීප', 'ලංකාතල' ආදි වසයෙන් මේ රට හඳුන්වා තිබේ. දීපවංසයේ හා මහාවංසයේ දිවයින සම්බන්ධ පූර්ව ඓතිහාසික තොරතුරු දැක්වීමේ දී මෙය 'ලංකා' නමින් හඳුන්වා ඇත. ඒ අනුව මේ දිවයින 'මනුෂ්‍යවාසයක් නොවේ'! මහාවංසයෙහි සඳහන් වන පරිදි විජය කුවේණිය හා ප්‍රථම සම්භෝග රාත්‍රිය ගත කරනුයේ සිරීසවත්ථුවෙහි ය; ඒ රාත්‍රියෙහි තූර්ය ශබ්ද නැත හොත් ගීත-වාදිත ශබ්ද ඇසුණේ ලංකාපුර වාසී කුමරියක ආවාහ කොට ගැනීමේ මංගලය පැවැත්වුණු ස්ථානයෙනි; කුවේණියගේ ආධාරයෙන් සිරීසවත්ථු මෙහෙයුම අවසන් කර කිහිප දිනක් එහි ගත කරන විජය හා පිරිවර තම්බපණ්ණියට පැමිණෙති. මේ අනුව ලංකාදීපයෙහි නගර තුනක් පැවති බව කියවෙයි.

මහාවංසයේ අරමුණ අනුරාධපුරය කේන්ද්‍ර කොට ගනිමින් ගොඩ නැඟුණු නව සංස්කෘතිය සම්බන්ධ ඉතිහාසය වාර්තා කිරීම බව ප්‍රකට ය. එමෙන් ම ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ අශෝකගේ දේශපාලන ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමෙන් අනතුරු ව ඇරඹුණු නව සංස්කෘතියට අනුගත ව ඉතිහාස පුවත් වාර්තාකරණය ඇරඹුණු බව ද නිගමනය කළ හැකි ය. අඩු ම තරමින් රජවරුන් සම්බන්ධ ක්‍රියාකාරකම් මුලින් ම එසේ වාර්තා කරන ලද තොරතුරු සේ සැලකීම අපහසු නොවේ. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි නිදසුනක් වන්නේ දුටුගැමුණු රජුගේ පින් පොත යි. රජුගේ අවසන් මොහොතෙහි එය කියවීම පැවරුණේ ද පින් පොත ලියන්නාට ම ය. මෙය රාජ්‍ය ලේඛන භාරකාර ධුරයක් වැන්නක් විය හැකි ය. මේ අන්දමින් බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ වූ පසු ව තොරතුරු විධිමත් වාර්තා කිරීම ඇරඹුණු බැවින් එය ඉතිහාසකරණයට ප්‍රයෝජනවත් වන්නට ඇති බව නිගමනය කළ හැකි ය. එවැනි වාර්තා නොමැති පූර්වාවධිය සම්බන්ධයෙන් සමකාලීන තොරතුරු අතීතයට ගළපා ලිවීම මෙන් ම ජනප්‍රවාදාගත තොරතුරු යොදා ගැනීම ද සිදු වන්නට ඇත.

දිවයිනේ ඉතිහාසයේ මුල් යුගය සම්බන්ධයෙන් වංස කථාවල ඇති තොරතුරු විශ්වාසදායක ඉතිහාස ලේඛනකරණය ඇරඹීමට පෙර වූ ජනප්‍රවාද ආදියෙන් හා කාව්‍යෝක්තීන්ගෙන් ගහන බැවින් මේ පුවත මුළුමනින් ම පිළිගත හැක්කක් නො වන බව ඉතිහාසඥයන්ගේ මතය යි. මෙයින් අපට ගත හැකි එක ම ප්‍රයෝජනවත් කරුණ නම් අතීතයේ දී මේ දිවයින හැඳින්වීමට 'ලංකා' යන්න යෙදුණු බව පමණි. වංස කථා රචකයන් රාමායණ ප්‍රවාදය දැන සිටි බවක් නම් එයින් කිසි සේත් ම ගම්‍ය නො වේ. විජය ප්‍රවාදය කිසි සේත් ම සත්‍යයක් සේ ගත නොහැකි ය. මහාවංසය ම පවසන පරිදි එය ලියවෙනුයේ කලින් තුබූ පොතපතෙහි වූ කරුණු ම අඩු-වැඩි කරමිනි. මේ පොතපත අතර සංක්ෂිප්තතාව, විස්තාරිතතාව හා පුනරුක්තිය යන දෝෂ සහිත ඒවා තිබුණු බව පවසන මහාවංස කතුවරයා එකී දෝෂ ඉවත් කරමින් අභිනව කෘතිය සම්පාදනය කරන බව පවසා ඇත. මේ කෘති අතුරෙහි නිශ්චිත නිවැරදි කරුණු ඇතුළත් ඒවා මෙන් ම වගකීමෙන් තොර ව ලියවුණු ඒවා ද තිබීමට අවකාස ඇති බව අමුතුවෙන් සිතා ගත යුත්තක් නො වේ. එමෙන් ම කරුණුවල නිරවද්‍යතාව සත්‍යේක්ෂණය කිරීමේ මාර්ගයක් මහාවංස කතුවරයා සතු වූ බවක් ද නො පෙනේ. ඒ හැරෙන්නට ලංකා දිවයින රාමායණය හා සම්බන්ධ කිරීමක් හෝ ලංකාධිපති රාවණ කෙනකුගේ සම්බන්ධයක් දැක්වීමක් හෝ වංස කථාවෙන් සිදු නො වේ.

භාෂා ශාස්ත්‍ර පරිහාණි සමයෙහි ලියවුණු, ජන සම්ප්‍රදායේ ලේඛනයක් වන රාජාවලිය ද විජය ශ්‍රී ලංකාද්වීපයට පැමිණි බව දක්වයි. සිරීසවත්ථු හා ලංකාපුර වෙනුව‍ට රාජාවලියේ දැක්වෙන්නේ ලග්ගල හා ලොග්ගල යන ස්ථාන නාම යි. යකුන් වැනසීමෙන් පසු විජය තම්මැන්නා නුවරට පැමිණෙයි. විජය ප්‍රවාදය හා ඍජු සම්බන්ධයක් රහිත ව රාවණා යන නාමය රාජාවලියෙහි දැක්වෙයි. ඒ විජයගෙන් පසු ව රජ පැමිණි සේ සලකන පඬුවස්දෙව් රජටු වැළඳුණු බව කියන දිවි දොස සමනය කිරීමේ පුවත සම්බන්ධයෙනි. එහි ද පැවසෙන්නේ ''එදාට මූද ශ්‍රී ලකට අතරතුර පළමු රාවණාගේ නුවර විය. රාවණාගේ අධර්මයෙන් රාවණාගේ කෝට්ටයත් මාලිගා පස් විස්සත් වීදි සාරලක්ෂයත් මූදට ගිලී ගියයි දැනගත යුතුයි" යනුවෙනි. මෙයින් පැහැදිලි වන එක ම කරුණ නම් රාජාවලිය ලියවුණු අවධිය වන විට රාවණා සම්බන්ධ ජනප්‍රවාදයක් කනිෂ්ඨ ලේඛකයන් අතර ප්‍රචලිත ව පැවති බව යි. රාජාවලියේ මේ කොටස දැක්වෙනුයේ පඬුවස්දෙව් රජුට වැලඳුණු බව කියන 'දිවි දොස' සුව කිරීමේ පුවතට අදාළ ව ය. 'දිවි දොස' සම්බන්ධ ප්‍රවාදය කෝට්ටේ රාජධානි සමයෙන් ඈතට දිවෙන්නක් නො වන බව මේ සම්බන්ධයෙන් විශේෂ අධ්යයනයන්හි නිරත වූ විද්වතුන් විසින් පැහැදිලි ව පෙන්වා දී තිබේ. කෝට්ටේ රාජධානි සමයේ රජ වාසල කටයුතු සඳහා ගෙන්වා ගැනුණු දකුණු ඉන්දියානුවන් මාර්ගයෙන් මේ ප්‍රවාදය සමාජයේ යම් ස්තරයක් අතරෙහි පැතිර යන්නට ඇතැයි සැලකිය හැකි ය. ශාන්තිකර්ම සඳහා ද ඔවුන් මුල් වන්නට ඇති බවත් එමඟින් ශාන්තිකර්ම සාහිත්‍යයට රාමායණයේ ඡායාව වැටීමත් සිදු විය හැකි ය. කෝට්ටේ යුගයේ මෙන් ම ඊට පෙර ද සිංහල උගතුන් රාමායණය දැන සිටි බවට ද සාධක හමු වෙයි. ඉංගිරිසි හටන කතුවරයා ද රාම-රාවණ යුද්ධය පිළිබඳ කතා පුවත දැන සිටියකු බව පෙනේ. සාහිත්‍යකරුවන්ට තමන් කියවා හෝ අසා හෝ ඇති පුවත්, පුරාණෝක්ති නව නිර්මාණ සඳහා පාදක වීම හෝ ඒවායෙහි බලපෑමක් නැත් නම් ආභාසයක් ලැබීම සිදු විය හැක්කකි. ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම් පොත, රාවණා රාජාවලිය ආදියට ද රාවණා ප්‍රවාදය පිවිසෙනුයේ මේ සමාජ පසුබිම මත බව නිගමනය කළ හැකි ය.

රාමායණයේ දැක්වෙන ලංකාපුරය පිහිටා ඇත්තේ ත්‍රිකූට නම් පර්වතය මස්තකයේ ය. ත්‍රිකූටය පිහිටා ඇත්තේ මහාමේරුව මස්තකයේ ය. (වාසුකී හා වායු භගවාන් අතර සටනේ දී ත්‍රිකූටය මුහුදට කඩා වැටුණු බව ද පුරාණෝකිතීන්හි දැක්වේ (මේ පර්වතය මලය යනුවෙන් ද හැඳින්වෙයි. මලය යන්න සංස්කෘතයෙහි පර්වත අරුතින් යෙදෙනේනකි. ඒ හේතුව මත ම පමණක් ලංකාපුරය පිහිටි පර්වතය නිශ්චය කිරීම අපහසු වෙයි). පුරාණෝකිත අනුව ත්‍රිකූටය මත ලංකාපුරය ගොඩ නංවන ලද්දේ විශ්වකර්මයා විසිනි. ඒ කුවේරයාගේ මාලිගය වසයෙනි. රාවණා විසින් මේ මාලිගය පැහැර ගනු ලැබ තිබේ. මේ මාලිගය නවරත්නයෙන් සෑදු බව ද ඒ වටා පරිවාර මාලිගා නවයක් එක් එක් ග්‍රහයාට නියමිත මාණික්‍යයෙන් නිම කළ බව ද කියනු ලැබේ. වෙනත් පුරාණෝක්තියකට අනුව ලංකාපුරයේ භූමිය වැල්ලෙන් තොර ය. ඊට හේතු වී ඇත්තේ ගරුඩයා අමෘතය සොයා යන ගමනේ දී ගොදුරු පිණිස වසා සිටි සියවක් යොදුන් දුරට අතුපතර විහිදුණු වෘක්ෂය උගේ බරට කඩා වැටුණු පසු ව ඒ වත පුරය ඉති කොට ඇති බැවිනි! මේ සියල්ලෙන් ම පැහැදිලි වනුයේ ලංකාපුරය හුදෙක් කවි කල්පිතයක් පමණක් බව යි.

රාමායණයෙහි දැක්වෙන සෙසු ස්ථාන නාම සියල්ල ම පාහේ ගැළපෙනුයේ භාරතීය භූ දර්ශනයට විනා මේ දිවයිනේ පරිසරයට නම් නො වේ. රාමායණය ලියවෙන කාලය වන විට භාරතය හා මේ දිවයින අතර සම්බන්ධතා වර්ධනය වී පැවතීම හේතුවෙන් රාවණ රාජධානිය සඳහා කතුවරයා මේ ඓශ්වර්යයෙන් යුත් දිවයින සඳහා යෙදුණු එක් නාමයක් භාවිත කළා විය හැකි ය. රාමායණය සම්පාදනය වන අවධිය වන විට මේ දිවයින හැඳින්වීමට 'සීහලද්වීප' යන්න හා එහි රූපාන්තර සුලබ ව භාවිත වූ බැවින් ලංකාපුර යන්න නිදහස් ලෙස භාවිතයට රාමායණ කතුවරයාට හැකි වන්නට ඇති බව සැලකීම යෝග්‍ය ය. එය කථා නායකයා වන රාම චරිතයට ගැළපෙන අන්දමේ ප්‍රතිනායක චරිතයක් ගොඩ නැංවීම අවශ්‍ය බැවින් කරන ලද්දක් සේ සැලකීම යෝග්‍ය ය. එහෙත් ලංකාවේ පිහිටීම හෝ නගර ගම් ආදි සමාජීය ලක්ෂණ හෝ භූ හා අනෙකුත් ස්වාභාවික සාධක හෝ පිළීබඳ ව කතුවරයාට නිරවුල් අවබෝධයක් තුබුණු බවක් නො පෙනේ. අනෙක් අතට, කල්පිත නගරයක් මවා පාමින් නූතන චරිත එහි ගෙන යාමට රයිඩර් හැගාර්ඩ්ට හා ඩබ්ලියු. ඒ. සිල්වාට තිබූ නිදහස ඊට ද වැඩියෙන් රාමායණය ලියූවන්ට තිබීම පිළිගත හැකි ය.


රාවණා නම් චරිතය හමු වන්නේ වාල්මීකි නම් කවියා ලියූ මේ රාමායණ නමැති කෘතියේ ය. රාවණා මේ ලංකාවේ -වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යයේ- වාසය කළ බවට කිසි ම සාධකයක් (සාහිත්ය හෝ පුරාවිද්‍යා හෝ ඉතිහාස හෝ) නැති බව මේ දිවයිනෙහි මෙතෙක් සිදු කරන ලද ගවේෂණවලින් පෙනී යන කරුණකි. ජන වහරෙහි ඇති රාවණ ඇල්ල, සීතාඑළිය, සීතාවක ආදි ස්ථාන නාම රාවණා වෘත්තාන්තය හා ගැළපීමේ ප්‍රයත්නයක් දැකිය හැකි ය. භාෂාමය පාර්ශ්වයෙන් මේ ප්‍රශ්නය විමසන කල පෙනී යන්නේ 'රාජකුල' යන්න 'රද්කොල්' > 'රදොල්' > 'රදල' යනුවෙන් බිඳී ඒම සිදු වන ආකාරයෙන් 'ප්‍රධාන වනය' නැත හොත් 'රජුට අයිති වන ප්‍රදේශය' යන අර්ථ දෙන 'රාජ වන' යන්න 'රාවන' යනුවෙන් බිඳී ඒමට හැකි බව යි. 'රාජ වන' යන්න 'රාවන' වූමෙන් අනතුරු ව එය ලේඛනගත කිරීමේ දී 'ර' කාරයෙන් පසුව යෙදෙන 'න' කාරය මූර්ධජත්වයට පත් වීමේ රීතිය දන්නා යමකු විසින් එය 'රාවණ' යනුවෙන් සකසා ගැනීම සිදු වන්නට ඇතැයි සැලකීම යෝග්‍ය ය. 'සීතා' යනුවෙන් යෙදෙනුයේ 'සීත' යන්නෙහි සුඛෝච්චාරණීය රූපයක් සේ සැලකිය හැකි ය. මේ ස්ථාන නාමවලට මෑත කාලයේ 'රාවණා' හා 'සීතා' යන නාම ඈඳා ගැනීම සිදු වූ බව පෙනේ. 'කුඩා රාවණා කොටුව' හා 'මහා රාවණා කොටුව' යනුවෙන් හැඳින්වෙන ප්‍රදීපාගාරවලට ඒ නම් යෙදීම මෑත කාලයේ රාමායණය සම්බන්ධ දැනුමක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයන් අතින් සිදු වූවක් බව පෙනේ.

රාවණා විසූ බව කියන කාලය සම්බනධයෙන් ද කිසිවකු අතර නිශ්චිත මතයක් ඇති බවක් නොපෙනේ. ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම් පොතට අනුව රාවණා වාසය කොට ඇත්තේ යුග සතරෙන් එක් යුගයකය. මේ යුග දැක්වීම මිථ්‍යා මතික වූවක් පමණි. කුරුණෑගල් විස්තරය නමැති චූල සාහිත්‍ය ලේඛනයට අනුව රාවණා කාශ්‍යප බුදුන් දවස විසූවෙකි. ගෞතම බුදුන් හැරෙන්නට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන සෙසු බුදුවරුන් ඓතිහාසික චරිත වසයෙන් සැලකීමට සාධක ලැබී නොමැති බව ද කිව යුතු වෙයි. රාජාවලියට අනුව රාවණා වාසය කොට ඇත්තේ ''අප බුදුන් බුදු වන්ඩ පළමුව.. එක්දාස් අටසිය සූසාළිස් අවුරුද්දක්" කාලයට පෙර ය.

රාවණාගේ මාලිගය ඉදි කොට තිබුණේ මේ දිවයිනෙහි නම්, පුරාවිද්‍යා ගවේෂණ කිසිවකින් ‍මේ දිවයිනෙහි මානව ක්‍රියාකාරකම් සම්බන්ධ සාධක හමු වන අදින් වසර 30000කට පූර්ව කාලයෙහි පටන් රාවණා කාලය මෑත ඉතිහාස අවධියට ආසන්න වසයෙන් සම්බන්ධ කොට දක්වන බුදුන් වහන්සේගේ කාලයෙන් වසර 1844කට පෙර කාලය තෙක් වකවනුවලට සම්බන්ධ රාවණා රාජධානියක් පිළිබඳ කිසිදු විශ්වාසදායක හෝ අනුමාන වසයෙන් දැක්විය හැකි හෝ සාධකයක් අනාවරණය වී නොමැත. දිවයිනේ ආදි ම අභිලේඛන වන, ක්‍රි.පූ 3/2 සියවස්හි පටන් ක්‍රිස්තු වර්ෂාරම්භය තෙක් කාලයකට අයත් බවට සැලකෙන, සංඛ්‍යාවෙන් 1300ක් පමණ වන, මේ වන තෙක් හමු වී ඇති බ්‍රාහ්මී අකුරින් ලියවුණු ප්‍රාකෘත ලේඛනවලින් ද රාවණ යන නාම මාත්‍රය හෝ හමු වී නොමැති බව තිර කොට පැවසිය හැකි ය. එසේ ද වුව මේ සෙල් ලිපිවලින් දිවයිනේ බුදුසමයේ ව්‍යාප්තිය සම්බන්ධ මහාවංසාගත ප්‍රවාදය සනාථ කෙරෙන ස්ථිර සාධක නම් හමු වී තිබේ. ආදි බ්‍රාහ්මී ලේඛන සම්බන්ධ පුරාක්ෂරරූපවිද්‍යාත්මක ඥානය හෝ සිංහල ප්‍රාකෘතය ප්‍රමුඛ පුරාතන හා මධ්‍ය ඉන්දු-ආර්ය භාෂා සම්බන්ධ අවබෝධය හෝ නොමැති පුද්ගලයන් මේ ලිපි අතුරින් කිහිපයක අක්ෂර රූප වෙනස් කරමින් ද ප්‍රාකෘත වචනවලට සාවද්‍ය හා පදනම් විරහිත අර්ථ දක්වමින් ද මේවායෙහි රාවණා වෘත්තාන්තය සම්බන්ධ පුද්ගල නාම (රාවණ, කුම්භකර්ණ ආදිය) මෙන් ම ඒ සම්බන්ධ යැයි සැලකෙන වෙන් කරුණු (නිදසුනක් වසයෙන් 'බ්‍රාහ්මණ' යන අරුත් දෙන 'බමණ' යන සිංහල ප්‍රාකෘත රූපය රාවණගේ පුෂ්පක රථය හැඳින්වීම සඳහා තනා ගත් 'බිමන' යන කල්පිත රූපය සේ පෙන්වමින් කරන සාවද්‍ය අර්ථකථන) දක්වන අවස්ථා හමු වෙයි. මේවා ශාස්ත්‍රීය අර්ථකථන නොව වංචක ප්‍රයත්න බව පැවසිය යුතු වෙයි. මේවා හැඳන්විය යුත්තේ 'ව්‍යාජ පුරාවිද්‍යාව' වසයෙනි.

සුප්‍රකට සීගිරි නගරය හා එහි අවශේෂ ඊනියා රාවණ රාජධානියක් හා සම්බන්ධකොට දැක්වීමේ 'ව්‍යාජ පුරාවිද්‍යාත්මක' ප්‍රයක්නයක් ද දැකිය හැකි ය. කිසිදු ඉතිහාසඥයෙකු සීගිරි නගර නිර්මාණය සම්බන්ධයෙන් වංස කථාව දක්වන කරුණ සත්‍ය්‍ය ඉක්මවා යෑමක් ලෙස සලකා නැත. වංස කථාව සීගිරියේ ‍ඓශ්වර්යය අලංකාරෝක්තියකින් දක්වමින් එය ''කුවේරයාගේ දෙවනආලකමන්දාවක් වැනි" යැයි පවසයි. මේ අලංකාරෝක්තිය යාපහු රාජධානිය සම්බන්ධයෙන් ද යොදා තිබෙන්නකි. මහාවංසය ලියවුණු කාව්‍ය මාර්ගය අනුව එහි රචකයාට මෙවැනි අලංකාර භාවිතයට අවකාස පැවති බව සත්‍යයකි. මෙය පදනම් කොට ගනිමින් සීගිරිය රාවණා රාජධානිය යනුවෙන් විකෘති ඉතිහාසයක් ගොඩ නැඟීමට ඇතැම් පිරිස් උත්සුක වන ආකාරය දැක ගත හැකි වෙයි. සීගිරිය සම්බන්ධයෙන් අධ්‍යයනයේ දී වංස කථාවට ද වඩා විශ්වාස දායක මූලාශ්‍රයනක් වසයෙන් සීගිරි කුරුටු ගී සැලකිය හැකි ය. ඒවා සීගිරි නගර නිර්මාණයට ආසන්න පශ්චාත්කාලීන ලේඛන බව පුරාක්ෂරරූපවිද්‍යාත්මක හා වාග්විද්‍යාත්මක සාධක මත තහවුරු වී තිබේ. සීගිරි කුරුටු ගී රචකයන් සීගිරිය සම්බන්ධයෙන් දක්වන අදහස්වල ගැබ් වන්නේ කාශ්‍යප වෘත්තාන්තය සනාථ කෙරෙන ප්‍රකාශ පමණි. මෙතෙක් කියවා ප්‍රකාශයට පත් කොට ඇති කිසිදු සීගිරි කුරුටු ලිපියක් රාවණා හෝ රාමායණ ප්‍රවාදය හෝ සම්බන්ධ කිසිදු කරුණකට ඉඟියකුදු සපයා නොමැත. සීගිරි භූමියෙන් හමු වන පුරාවස්තුවලින් ද පෙනී යන්නේ පූර්වයෙහි ලෙන් විහාරයක් වූ එය අනුරාධපුර රාජධානි සමයේ අන්තර්ජාතික වාණිජ හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ව පැවති බවත් ඊට පසු නැවතත් ආගමික මධ්‍යස්ථානයක් බවට පත් වූ ආකාරයත් පමණි.

'ඉසුරුමුණි පෙම් යුවළ' යනුවෙන් නම් කෙරෙන, මහායාන බෝධිසත්ත්ව හා ශක්තී නිරූපිත මූර්ති නිර්මාණය ද රාවණා කතාව හා සම්බන්ධ කිරීමේ වෑ‍යමක් දැකිය හැකි ය. මේ සම්බන්ධයෙන් කලාවිචාරකයන් විසින් ප්‍රතිමා නිර්මාණ මූලධර්ම මත පදනම් වෙමින් කර ඇති විග්‍රහවලින් පෙනී යන්නේ එයකිසි සේත් ම රාවණ ප්‍රවාදයට සම්බන්ධ කළ නො හැකි බව යි.

යම් ආකාරයකින් එරාවණා ලක්දිව විසය කෙළේ නම්, ඉහතින් දක්වන ලද නිදසුන අනුව රාවණා සංස්කෘත භාෂකයකු විය යුතු ය. සංස්කෘත ඉන්දියාවෙහි වර්ධනය වීඹ සම්බන්ධ ප්‍රශස්ථ අධ්‍යයන ගණනාවකි. එවායින් පැවසෙන්නේ එහි ප්‍රභව කාලය ක්‍රිස්තු පූර්ව සවන සියවසින් ඈතට නො යන බවකි. එහි පූර්ව අවධිය වන වෛදික සංස්කෘතය ද ක්‍රි.පූත දෙවන සියවසේ මධ්‍ය භාගයෙන ඈතට දිවෙන්නක් නො වේ. දැනට පවත්නා පුරාවිද්‍යා සාධක අනුව දිවයිනට ආර්ය භාෂක සාංක්‍රමණිකයන්ගේ පැමිණීම කි.පූ.7/6 සියවස් තරම් ඈ.තට ගෙන යා හැකි වෙයි. එහෙත් එය සාංක්‍රමණික හෝ වාණිජ අවශ්‍යතා හෝ සඳහා පැමිණීමක් පමණි. මේ සාංක්‍රමණිකයන් දිවයිනේ ජනපද පිහිටුවීම ආරම්භය ද ඒ සමාසන්න කාලයෙහි පටන් ම සිදු වන්නට ඇතැයි සැලකීම අසීරු නො වේ. ඉන්දියානු භාෂා සම්බන්ධ සමාජීය සාධක අනුව සංස්කෘතය ආගමික හා සාහිත්යික භාෂාව වූ අතර බුදුන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රමණ සම්ප්‍රදායේ ද සාමාන්‍ය ජනයාගේ ද භාෂාව වී ඇත්තේ ප්‍රාකෘත උපභාෂා ය. දිවයිනේ භාෂා විකාසනය සම්බන්ධයෙන් සලකන කල පෙනී යන්නේ සිංහල භාෂාවට පදනම වැටී ඇත්තේ මුල් භූමියෙහි විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජන කොටස් විසින් වහරන ලද ප්‍රාකෘත විශේෂයන්ගේ සම්මිශ්‍රණයකින් විනා සංස්කෘතයේ විපරිණෘමයෙන් නො වන බව ය. මෙය ද රාවණා මේ දිවයිනේ වාසය නොකළ බවට සාධකයකි.

මේ සියලු කරුණුවලින් සනාථ වන්නේ රාමායණය කල්පිත ප්‍රබන්ධයක් බවත් එහි දැක්වෙන ලංකාපුරය මේ දිවයිනට සම කළ හැක්කේ නාමික වසයෙන් පමණක් බවත් එහි හමු වන චරිත සත්‍ය වසයෙන් ජීවත් වූ චරිත නොව කවියකුගේ මනසෙහි පහළ වුණු මනස් පුතුන් පමණක් බවත් ය.

2020-04-04

හෙළ බස එදා - අද සහ හෙට

එච්. ඩී. සුගතපාල අනුස්මරණ දේශනය

ප්‍රධාන දේශක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගල මහතාගේ දේශනය

2015 පෙබරවාරි 27 වන දින කොළඹ 07 සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ දී පවත්වන ලද එච්.ඩී. සුගතපාල අනුස්මරණ උළෙලේ දී පවත්වන ලද දේශනය.

(පියසේන වික්‍රමගේ මහතා විසින් පටිගත කොට විද්‍යුත් යතුරු ලියනය කරවන ලදි)

ගරු සභාවෙන් අවසරයි. ආචාර්ය ඒ. ටී. ආරියරත්න මැතිතුමා, සිබිල් වෙත්තසිංහ මැතිනිය, සිරිසුමන ගොඩගේ මැතිතුමා, මගේ හිත මිත්‍ර ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මැතිතුමා සහ අපේ ප්‍රකාශක සංගමයේ ප්‍රේමසිරි මැතිතුමා, ඒ වගේම අනුර සී. පෙරේරා මහත්මයා, වීරමන් මහත්මයා, කරුණා පෙරේරා මැතිනිය, හේමා චන්ද්‍රිකා මැතිනිය, සුනීතා වික්‍රමගේ මැතිනිය ඇතුළු මේ සියලු ම දෙනා දන්නා පුරුදු මුහුණු. මේ සියලු දෙනා ම පෞද්ගලික ව දන්නා අය. සභාවකට වඩා කිසියම් සුහද හමුවක් කියලායි මට දැනෙන්නේ. සභාවකට ආවාම හුඟාක් වෙලාවට දකින්නේ දන්නේ නැති මුහුණු. මේ අපේ මාධ්‍යවලින් පැමිණ සිටින සහෝදරවරුනුත් අපි දන්නා අය. ඒ නිසා එක අතකින් මට සතුටක් ඇති වුණා.

සාහිත්‍යවේදී, අධ්‍යාපනඥ එච්. ඩී. සුගතපාල සූරීන් අනුස්මරණය කරමින් එතුමන්ගේ 103 වන ජන්ම සංවත්සරය - එතුමා ඉපදිලා තිඛෙන්නේ 1912 පෙබරවාරි 27 වන දා. මට වඩා අවුරුදු 50කටත් වඩා වැඩිමල් - වෙනුවෙන් සහ එතුමන් විසින් සම්පාදනය කරන ලද - ඒ කාලයේ ශ්‍රී ලංකාව නොවෙයි නේ ද? - ලංකාවේ ළමා සහ යෞවන සාහිත්‍යය පිළිබඳ පුස්තිකාව ජනගත කර එතුමා සම්බන්ධයෙන් මතකය අවදි කිරීමට, ප්‍රණීත් අබේසුන්දර මිතුරා කිව්වා වාගේ කෘතගුණ සැලකීමට, මෙවැනි රැස්වීමක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එච්. ඩී. සුගතපාල සමරු කමිටුවට සහ අපේ හිතමිත්‍ර පියසේන වික්‍රමගේ මහතාට මම ඛෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

සුගතපාල මහත්මයා ගැන මම අහලා තිබුණාට මට කවදාවත් එතුමා දකින්න හම්බ වුණේ නැහැ. මට මතකයි, නවමඟ සමහර පොත් මම කියෙව්වා. ඉර තරුවකි සහ Sun is a Star කියන පොත් දෙක මම කියෙව්වා. ඒ කාලයේ 70 ගණන්වල 80 ගණන්වල විතර හංස පොත් ප්‍රකාශකයෝ සමාගම තිඹිරිගස්යායේ හන්දියේ තිබුණා. ඒ එම ආයතනය වැහිච්ච කාලය. ඒ කාලයේ තමයි මම පොත් එකතු කරන්න ගියේ, ප්‍රණීත්ටත් මතක ඇති. එතැන තිබුණා, හංස පොත් සමාගමෙන් හොඳ පොත් ගහලා තිබුණා. මහාචාර්ය සුරවීර මහතාගේ පිඹිත් නළා සුරා මතින්, සිරිල් සී. පෙරේරා මහත්තයා පරිවර්තනය කරපු පිස්සු තරුණයා දුටුවිකාර සිහිනය, මහල්ලා සහ මුහුද හා චාමලී , ඒ. පී. ගුණරත්න මහතාගේ රන් කැකිර වැනි හංස නිවසෙන් පළ කළ පොත්. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ කළු නික සෙවීම; සයිමන් නවගත්තේගම මහතාගේ සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා; විමල් දිසානායක මහතාගේ ගිරිකුළ හා සඳ මඬල; ටී. බී. ඉලංගරත්න මහතා පරිවර්තනය කළ චාල්ස් ඩිකන්ස්ගේ අ ටේල් ඔෆ් ටූ සිටීස් දෙනුවර කතාව හා බර්ට්රන්ඩ් රසල් ශ්‍රීමතාණන්ගේ සුප්‍රකට පොතක් වන Marriage and Morals දයාරත්න ගරුසිංහ මහතා විසින් විවාහය හා සදාචාරය මැයෙන් පළ කළේත් හංස ප්‍රකාශනයක් වසයෙන්. ඉතා වැදගත් පොතක් හැටියට හඳුන්වන්න කැමති යි මහගම සේකරයන්ගේ සරු පොළොවක් අපට ඇතේ කියන පොත. - ගොඩගේ මහත්තයා අලුතෙන් මේ පොත පළ කරලා තිඛෙනවා.- මෙය ළමා පොතක්; ළමයින් සඳහා ලියූ පොතක්. මහගම සේකර මහතා විසින් ම අඳිනු ලැබූ චිත්‍රවලට ලීවලින් බ්ලොක් කපලායි ඒ පොතේ මුල් මුද්‍රණය පළ කරලා තිබුණේ. තවත් වැදගත් පොතක්, හුඟ දෙනකුට අමතක යි පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ සීතාවක උරුමය මාක්ස්වාදී දේශපාලනඥයෙක් ලංකාවේ ඉතිහාසය දෙස හෙළන 'දේශප්‍රේමී බැල්මක්'. හංස නිවස, හංස පොත් ප්‍රකාශකයෝ ඒ වාගේ හොඳ පොත් පළ කරන්න දැවැන්ත පියවරක් අරගෙන තිබුණා. මෙය එච්. ඩී. සුගතපාල මහත්තයාගේ දැවැන්ත ව්‍යාපෘතියක්.

අපට සුගතපාල මැතිතුමා වැදගත් වනවා, කාරණා කීපයක් නිසා. එක පැත්තකින් අපේ භාෂා අධ්‍යාපනය නඟා සිටුවන්නට සම්බන්ධ වුණු විද්වතෙක්. ඒ සඳහා ප්‍රධාන වැදගත් ම සාධකය තමයි එතුමා විසින් සම්පාදනය කරන ලද නවමඟ කියවීම් පොත් පෙළ. මේවා අතිරේක කියවීම් පොත් කියලා හඳුන්වන්නට පුළුවන්. අතිරේක කියවීම් පොත් කියලා කියන්නේ ශිෂ්‍යයාට භාෂාව ඉගෙන ගන්න අත් උදව්වක් හැටියට සම්පාදනය කරන බොහොම රසවත් කතාන්දර සහ පද්‍ය නිර්මාණ ඇතුළත් කළ, ශිෂ්‍යයාගේ වාක්කෝෂය වර්ධනය වන විධියට නව වචන සංග්‍රහ කළ, ඒ වාගේම ඔහුගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය වන අන්දමට පිළියෙල කළ පොත්. මේ නවමඟ පොත් වැටෙන්නේ මේ ගණයට.

අපේ රටේ ළමයින්ට කියවන්නට පොත් ලිවීම ආරම්භ වෙලා වැඩි කාලයක් නැහැ. අපි බොහොම අභිමානයෙන් කියනවා, අපට අවුරුදු 2500ක ඉතිහාසයක් තිඛෙනවා කියලා. ඒ 2500ක ඉතිහාසය තුළ අපට හම්බ වෙන සාහිත්‍යය ළමයා අමතක කළ සාහිත්‍යයක්. සමහර සාහිත්‍ය කෘතිවල, කාව්‍යශේඛරයේ ළදරු වර්ණනාව වැනි තැනක, ළමයින් ගැන සඳහන් ව තිබුණාට ළමයා කේන්ද්‍ර කර ගත් සාහිත්‍යයක් නැහැ. ඊ ළඟට අපට හමු වෙනවා, මහනුවර කාලයේ පිරිවෙන්වල උගන්වන්න සම්පාදනය කරපු පොත් කීපයක්. ඒවාත් හාමුදුරුවන්ට භාෂා ව්‍යවහාරය උගන්වන්නට පිළියෙල කරපු පොත් මිසක් බාලයන්ට පිළියෙල කළායි කියලා අපට හඳුනා ගන්නට බැහැ. නමුත් කිසියම් විධියක අධ්‍යාපන සම්ප්‍රදායයක් මෙරට පැවති බව පෙනී යනවා. එක්තරා විධියකින් අපේ රටේ ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයට ම අධ්‍යාපනය ලබා දුන් බවට සාධක හමු වෙතත් ඒ ලබා දුන් අධ්‍යාපනයේ ස්වරූපය නිශ්චිත ව හඳුනා ගත හැකි සාක්ෂ්‍ය හමු නො වන බව කිය යුතු වෙනවා. මෙවැනි පසුබිමක ළමයින්ට කියවීම් පොත් සම්පාදනය ආරම්භ කරන්නේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරපු ලන්දේසි ජාතිකයෝ 1700 ගණන්වල දී. ඒ අය තමයි මෙහි පුරෝගාමීන් වෙන්නේ. ඒ අය අප යටත් කර ගන්න ආවත් ඒ අයට නිසි ගෞරවය අපි ලබා දෙන්න ඕනෑ.

ලබන සඳුදාට බ්රිතාන්යයන් අපේ රට යටත් විජිතයක් බවට පත් කොට ගෙන අවුරුදු 200ක් සම්පූර්ණ වෙනවා. හරි නම් අපි ඇත්තට ම දැවැන්ත සංස්කෘතික වැඩ සටහනක්, උත්සවයක් පවත්වන්නට ඕනෑ, ඒ වෙනුවෙන්. අද අපි මේ නූතන සමාජයට ඇවිත් තිබෙන්නේ ඒ නිසායි. නමුත් කවුරුවත් ඒ ගැන අවධානය යොමු කරලා නැහැ. අපි ''යටත් විජිතවාදය", "ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියලා පපුවට ගහ ගත්තාට අපි මේ නූතනත්වයට ආවේ ඒ සුද්දෝ මේ රටට ආපු හින්දා. එහෙම නැත්නම් සමහර විට අපි තාමත් ඉතියෝපියාවටත් වඩා පසුගාමී වෙයි. යටත් විජිතයක් නොවුණු රටක් නේ ඉතියෝපියාව.

කොහොම නමුත් ඊට පසුව ළමයින් සඳහා විධිමත් පොත් සහ පාඩම් පොත් ආරම්භ වන්නේ බ්රිතාන්යයේ සම්ප්‍රදායත් එක්ක. බ්රිතාන්යයන් ලංකාව යටත් කර ගන්න කොට දියුණු පාසල් සම්ප්‍රදායයක් ඔවුනට තිබුණා. එහි ප්‍රතිඵලය හැටියට ඔවුන් මේ රටේ ආරම්භ කරනවා, නව පෙළ පොත්. මේ සම්බන්ධයෙන් මා දීර්ඝ වශයෙන් අදහස් පළ කරන්නට යන්නේ නැහැ. අපේ රටේ භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍යය සම්බන්ධ කීර්තිමත් උගතකු වූ අපේ ගුරුදේව මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමා මේ පෙළ පොත් ආරම්භය ගැන වටිනා ශාස්ත්‍රීය අධ්‍යයනයක් කර තිඛෙනවා ආරම්භක සිංහල කියවීම් පොත් පිළිබඳ ව මහාචාර්ය ඩී. ජේ. විජයරත්න උපහාර කලාපය සඳහා. එච්. ඩී. සුගතපාල මහත්මයාගේ අවධානය යොමු වුණු පළමු වන අංශය තමයි ශිෂ්‍යයන් සඳහා යෝග්‍ය කියවීම් ද්‍රව්‍ය සම්පාදනය කියන කාරණය.

දෙවනුව, එතුමා ග්‍රන්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් දැක්වූ අවධානය සහ උනන්දුව හා ඒ සම්බන්ධයෙන් එතුමාගේ ඇති විශේෂඥභාවය විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ග්‍රන්ථ ප්‍රකාශනයත් අපට ලන්දේසීන්ගෙන් ලැබුණු උරුමයක්. උරුමය කියන්නේ දෙමළ වචනයක්. උරුමය කියන එක මෙතැනට ගැළපෙනවා, මම හිතන්නේ. යමක් අපේ බවට පත් වෙලා නම් ඒක අපේ උරුමයක්.

ලෝකයේ මේ ග්‍රන්ථ ප්‍රකාශනය ආරම්භය සිදු වී තිඛෙන්නේ ධනේශ්වර ක්‍රමය කියලා හඳුන්වන මේ අලූත් සමාජ ආර්ථික ක්‍රමයේ වර්ධනයත් එක්ක. ඊට කලින් ලෝකය පුරා ම පොත තිබුණේ පූජ්‍යස්ථානවල; පන්සල්වල නැත්නම් පල්ලිවල හා ප්‍රභූන් භාරයේ පමණ යි.

සිංහල උගතුන් අතර බොහොම ප්‍රසිද්ධ කවියක් තිඛෙනවා, කව් සිළුමිණේ පිටපතක් ඉල්ලා, ප්‍රහේලිකා ස්වරූපයෙන් කරතොට හාමුදුරුවෝ ලියපු.

රැකලා කෙවුලූ ලීසිට තැළුවා සෙමින
පැනලා ගිය මෙගණ සය මැද වණ කෙමෙන
දැනලා මෙනම් යුත් පොත විමසා සොඳින
නුමුලාසි ව එවනු අප වෙත කර කුලුන

කියලා.

පණ්ඩිතයන්ටවත් තේරෙන්නේ නැති විධියට යාළුවකුට ලියලා යවනවා, "මට කරුණාකරලා කව් සිළුමිණේ පිටපත එවන්න" කියලා. උගතුන් අත මේ පොත් තිබුණා. මේ පොත්වලට වැන්දා.

සුරවීර මහාචාර්යතුමා වාර්තා කරනවා නවසිය හැට ගණන්වල දී එතුමාගේ අත්දැකීමක්. පුස්කොළ පොතක් අරන් දුම්රියේ යද්දී වැඩිහිටි ස්ත්‍රියක් - මාතාවක් - මහත්තයෝ දෙන්න පොත් වහන්සේ මම ගරුසරු ඇතිව තියා ගන්නම් කියලා පුස්කොළ පොතට වැඳලා දෝතට ගත්තු බව. අපි එදා කිව්වේ, 'පොත් වහන්සේ' කියලා. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ කියලා එදා කිව්වේ. ඒ තත්ත්වය වෙනස් වෙනවා, මුද්‍රණයත් එක්ක. පොතට වෙළෙඳ වටිනාකමක් එනවා. අද 'පොත් වහන්සේ' කියලා කියන්නේ නැහැ. අද පොත වෙළෙඳ භාණ්ඩයක්. සැප්තැම්බර් මාසයේ දී ප්‍රේමසිරි මහත්තයාලා, වීරමන් මහත්තයාලා, ගොඩගේ මහත්තයාලා මුල් වෙලා කරන කොළඹ අන්තර්ජාතික පොත් සල්පිලේ දී අපට පෙනෙනවා, පොත වෙළෙඳ භාණ්ඩයක් වෙලා කියන එක. වාණිජ භාණ්ඩයක් වීමත් එක්ක පොතට මිලක් නියම වුණා වාගේ ම අනෙක් පැත්තෙන් පොත යාන්ත්‍රික ව නිෂ්පාදනය කිරීම වැඩි වුණා. ඒ එක්ක ම අලූතින් පාඨකයන් බිහි වුණා. ඉස්සර හිටියේ නැහැ, පාඨකයෝ. ඉස්සර හිටියේ ශ්‍රාවකයෝ. ඉස්සර උගතාට කිව්වේ 'බහුශ්‍රැතයා' කියලා. 'බහුශ්‍රැත' කියන්නේ බොහෝ දේවල් ඇසූ කියන එක. බොහෝ දේ අසා දැනුම පුරවා ගත් නැත් නම් දැනුමින් පිරුණු තැනැත්තා. අද කියවන තැනැත්තෙක්, එනම් පාඨකයෙක් බිහි වෙලා. මෙවැනි වෙනස්කමක් තමයි අපේ රටේ දහනව වන ශතවර්ෂයේ දී පොතට සිද්ධ වුණේ. මේ තත්ත්වය මත දැන් ප්‍රකාශකයෝ ඉන්නවා.

මේ තත්ත්වය යටතේ අපට හම්බ වෙනවා, 'ප්‍රකාශකයා' කියලා අලුත් කෙනෙක්. ප්‍රකාශකයා යනු සාහිත්‍යය හා සංගීත නිර්මාණ හෝ තොරතුරු හෝ විතරණය කරන්නා කියා හැඳින්වෙනවා. ප්‍රකාශකයාගේ කාර්යය - එනම් ප්‍රකාශනය - නිෂ්පාදනය හා පතළ කිරීම සඳහා යෝග්‍ය පොත් හෝ සංගීතමය නිර්මාණ හෝ තෝරා ගැනීම, නිෂ්පාදනය සහ ඛෙදා හැරීම යනුවෙන් ත්‍රිවිධාකාර වන බව සාහිත්යික සමාජවිද්‍යා පර්යේෂක රොබට් එස්කාපිට් දක්වනවා තනි පුද්ගලයකුගේ කාර්යයක් විශාල ජන කොට්ඨාසයක් ඉදිරියට පැමිණවීම ප්‍රකාශකයාගේ පරම කාර්යය බවත් එස්කාපිට් පෙන්වා දෙනවා. මෙහි දී පාඨක පිරිස කෙරෙහි අවධානය යොමු කරමින් කෘති තෝරා ගැනීම මෙන් ම කෘතියට යෝග්‍ය පාඨක පිරිස තෝරා ගැනීමත් ප්‍රකාශකයා කළ යුතු වෙනවා. ලේඛකයාත් පාඨකයාත් අතර සුහද සම්බන්ධය ඇති කර ගැනීමත් ප්‍රකාශකයාගේ වගකීමක්.

දැන් මෙතැන ඉන්නවා, අපේ රටේ ඉන්නා ප්‍රධාන ග්‍රන්ථ ප්‍රකාශකයෝ කිහිප දෙනා. මා දන්නා හැටියට ගොඩගේ මහත්තයා තමයි දැනට අවුරුදු දශක තුනකට වැඩි කාලයක් හොඳ ම ප්‍රකාශකයා හැටියට සම්මාන ලබා ගත්ත වැඩි ම පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශකයා. හොඳ පොත් ප්‍රකාශන ආයතන සහ පොත් වෙළෙඳසැල් වෙනුවෙන් අපේ ප්‍රේමසිරි මහත්මයා ආදීන් සම්මානයට ලක් වුණා. මේ අයගේ වෘත්තිය අපේ ලංකාවට විධිමත් ව ඇවිල්ලා තව ම අවුරුදු සියයකට වැඩිය නැහැ. මේ තත්ත්වය තුළ අපේ සුගතපාල මහත්මයා 1970 දී ග්‍රන්ථ ප්‍රකාශනය විධිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශේෂයෙන් අපේ අවධානයට යොමු කරන්න ඕනෑ කාරණයක්. 1970 දී හංස පොත් ප්‍රකාශකයෝ සමාගම පිහිටුවීමෙන්, එතුමා ඊට පුරෝගාමී වීමෙන් ප්‍රකාශකයාට සමාජයේ වගකීමක් තිඛෙන බව එතුමා පෙන්නුම් කළා.

ප්‍රකාශකයා කියන්නේ අතට අහු වෙන හැම දේ ම අච්චු ගහන කෙනෙක් නොවෙයි. සමහර විට මම ගොඩගේ මහත්තයා එක්කත් මේ ගැන කියනවා. "ගොඩගේ මහත්තයෝ, මේ වාගේ පොත් ගහන්නේ ඇයි?" කියලා මම එතුමාගෙන් සමහර විට අහනවා. ගොඩගේ මහත්තයා කියනවා, "මේ ආධුනිකයන්ට අත දෙන්න කෙනෙක් නැහැ, මම මේවා නොගැහුවොත් කියලා." නමුත් මම කියනවා, අතට අහු වෙන හැම එකක් ම ගහන්න එපා කියලා. අපි වුණත් දෙයක් දුන්නොත් ඒක ගහන්න එපා. හොයලා බලලා ගහන්න. සුගතපාල මහත්තයා ඒ වගකීම ගැන මීට දශක හතරකට කලින් - හතරකට කලින් නේ ආරම්භ කරන්නේ. ඒ කියන්නේ ඊටත් කලින් අවබෝධ කර ගෙන ඇති.- අවබෝධයෙන් සවිඥානක ව සිටපු කෙනෙක්.

ඒ වාගේ හොඳ ප්‍රමිතියෙන් සහ නිෂ්පාදන ගුණාත්මකභාවයෙන් යුක්ත පොත් පළ කිරීම ප්‍රකාශකයාගේ වගකීමක්. මා ළඟ තව ම තිඛෙනවා, මහගම සේකර මහත්තයාගේ සරු පොළොවක් අපට ඇතේ පොතේ මුල් මුද්‍රණය. ඒ කාලයේ අච්චු ගැසුවේ ලෙටර් ප්රෙස් ක්‍රමයට නේ. ලෙටර් ප්රෙස් ක්‍රමයට අච්චු ගහපු පරණ පොත් අල්ලන කොට අර බ්රේල් ක්‍රමයට කියවන්නන්ට වාගේ අකුරු අනෙක් පැත්තෙන් මතු වෙලා තිඛෙනවා. මේක එහෙම නොවෙයි, ඕෆ් සෙට් මුද්‍රණය කළා වාගේ ඉතා හොඳින් මනහර අන්දමින් ඒ පොත් තිබෙනවා. ගුණාත්මක බවින් යුත් නිෂ්පාදනය සහ උසස් ප්‍රමිතිය ගැන එතුමා අවධානය යොමු කර තිබුණා. ඒ ගැන අපි අගය කරන්න ඕනෑ. එතුමාගේ ආයතනය දීර්ඝකාලීන ව පවත්වා ගෙන යාමට නොහැකි වීම එක පැත්තකින් අපේ අවාසනාවක්. ඒ හිස් තැන පුරවන්න අද අපේ ප්‍රකාශක මහත්වරු සිටීම ගැන අපි සතුටු වෙනවා.

සාහිත්‍යයේ සමාජීය අගය ගැන මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා කියලා තිඛෙනවා, හොඳ සාහිත්‍ය කෘතියක් කියවන තරුණයා තැන්පත් නුවණින් යුතු මහල්ලෙකු බවට පත් වෙනවා කියලා. වික්‍රමසිංහ මහත්තයා එහෙමයි කියන්නේ. හොඳ සාහිත්‍ය කෘතියක් කියවන තරුණයා මහල්ලකු බවට පත් වෙනවා කියලා එතුමා කියනවා. අපිත් ඩයි එහෙම ගාන්නේ නැතුව, රැවුලේ සුදු පාට එහෙම ම තියා ගෙන, මහලූ පෙනුම පෙන්නා ගෙන ඉන්නවා, ගතිගුණවලින් කොහොම වෙතත් පෙනුමින්වත් මහල්ලෙක් වෙන්න. එහෙම මහල්ලෙක් නොවෙයි, හැසිරීමෙන් මහල්ලෙක්, ඇවතුම් පැවතුම්වලින් මහල්ලෙක්, ගතිගුණවලින් මහල්ලෙක් ඒ කියන්නේ පරිණතභාවයෙන් මහල්ලෙක් ගැනයි එතුමා කිව්වේ. 'ජීවිත පරිඥානය' කියන යෙදුම වික්‍රමසිංහ මහත්තයා යෙදුවා. ඒ වාගේ ම එතුමා කිව්වා, "ජාතක පොත කියවීමෙන් අවුරුදු දෙතුන් සියයක ජීවත් වීමෙන් ලැබිය නො හැකි තරම් ජීවිතාවබෝධයක් ලබන්න පුළුවන්" කියලා.

අද නම් සාහිත්‍යය කියලා නිකුත් කරන කඩදාසි ගොඩවල් දැකීමෙන් ජීවිත පරිඥානය නොවෙයි, ජීවිතය ගැන අප්පිරියාවකුයි ඇති වෙන්නේ. "අනේ! අපොයි!! මම දකින ඒවා." කියලා හිතෙනවා. ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙනවා වෙනුවට ජීවිතය ගැන මහා හිරිකිතයක් ඇති වන තත්ත්වයක් ඇති වෙනවා. මම ඕක නිතර කියනවා. කරන්න දෙයක් නැහැ. ජීවිතය ගැන පරිඥානය නොවෙයි සිය දිවි නසා ගන්න තරම් හිතෙනවා. ඒ වාගේ තත්ත්වයක් ඇති වෙනවා, අද නම්. මනුෂ්‍ය ජීවිතවලවත්, සමාජයේවත් මොනවත් ම නැහැ, බලා ගෙන ගියාම.

මම මේ මුල් හැඳින්වීම කළේ සුගතපාල මහත්මයා ගැන මූලික හැදින්වීමක් හැටියට. මෙහි සංවිධායක අපේ වික්‍රමගේ මහත්තයා මට මාතෘකාවක් දුන්නා

සිංහල බස එදා - අද සහ හෙට... කියලා.

මේ මාතෘකාවේ අංශ හතරක් තිබෙනවා. පළමු ව, සිංහල භාෂාව කියන අංශය.

අද ලෝකයේ භාෂාව පිළිබඳ දත්ත සහ තොරතුරු සම්පාදනය කරන ප්‍රධාන ආයතනයක් තිඛෙනවා, Ethnologue කියලා. මේ ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2007 වන විට සිංහල භාෂාව ව්‍යවහාර කරන, ඒ කියන්නේ සිංහල මවු බස වන ජන සංඛ්‍යාව 1,55,00,000ක් වෙනවා. ඊට අමතර ව, සිංහල කථා කරන්න දන්න අය 1,57,00,000 ආසන්න සංඛ්‍යාවක් කියලා ඒ අයගේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. දෙවන බසක් හැටියට සිංහල බස ව්‍යවහාර කළ හැකි සංඛ්‍යාව ඇතුළත් වූ කල එය කෝටි දෙකක් බවත් මේ අයගේ සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා. ඔවුන් කියනවා, මේ මුළු දිවයිනේ ම සිංහල භාෂාව පැතිර තිඛෙනවා කියලා. විශේෂයෙන්ම උතුර, නැඟෙනහිර පළාත් දෙකේ සහ මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශ හැර දිවයින පුරා ම සිංහල භාෂකයන් ව්‍යාප්ත ව සිටිනවා. අපි දන්නවා, උතුරු හා නැඟෙනහිර පළාත්වල ප්‍රධාන භාෂාව සිංහල නොවෙයි කියලා. මධ්‍යම පළාතේත් සිංහල කථා නොකරන ප්‍රදේශ කීපයක් තිබෙනවා. ඒ හැරෙන්න රට පුරා ම සිංහල භාෂාව ව්‍යාප්ත වෙලා තිඛෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල භාෂාව රට පුරා ම ජාතික භාෂාවක් හැටියට පත් වෙලා තිඛෙනවා.

ලෝකයේ භාෂා වර්ග කරන ක්‍රම කීපයක් උගතුන් අතර, භාෂාඥයන් අතර සම්මත වී තිබෙනවා. එයින් එක් ක්‍රමයක් වනනේ භාෂා ඥාති සම්බන්ධතා අනුව කෙරෙන වර්ගීකරණය. සිංහල භාෂාවේ ඥාති සම්බන්ධකම් අනුව සිංහල භාෂාව වර්ග කළ විට එය, ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ඉන්දු-ආර්ය ගණයට අයිති වෙනවා. ඊට අමතර ව, සිංහල භාෂාවේ සම්බන්ධකම් තිඛෙන භාෂා. සිංහල භාෂාවෙන් බිඳුණු භාෂා දෙකක් හැටියට දැක්වෙන්නේ, රොඩී බස හා වැදි බස. දිවෙහි බස එහෙමත් නැත්නම් මාලදිවයින් භාෂාව සිංහල භාෂාවේ දුවක් හෙවත් දුහිතෘ භාෂාවක් කියා සැලකෙනවා. එනම් සිංහලයෙන් බිඳී ගිය බසක් හැටියට සැලකෙනවා. පොලොන්නරු රාජධානි සමයේ පමණ ලංකාවෙන් ගොස් මාල දිවයින් ජනාවාස කළ "සිංහලයන්" ව්‍යවහාර කළ භාෂාව වෙනස් වීම නිසා දිවෙහි බස ඇති වූ බව පිළිගැනෙනවා.

මෙන්න මේ ටික තමයි සිංහල භාෂාවේ උප්පැන්න සහතිකය. මේ හැර තවත් උප්පැන්න සහතික සිංහල භාෂාවට තිබේදැයි මම නොදනිමි.

භාෂාවේ තත්ත්වය ගැන සලකන කල සිංහල භාෂාව සම්පූර්ණයෙන් සංවර්ධනය වුණු භාෂාවක් කියා සැලකෙනවා. fully developed කියන වචනය Ethnologue ආයතනය යොදනවා. ඒ අය ඊට හේතුව දක්වනවා

පළමු වැන්න ලේඛනය සඳහා වර්තමානයේ විධිමත් සංකේත පද්ධතියක් හෙවත් අක්ෂර මාලාවක් භාවිත වීම හා එය දීර්ඝකාලීන ඓතිහාසික පරිණාමයක් සහිත වීම

දෙවැන්න භාෂකයන්ගේ සාක්ෂරතා අනුපාතය ඉහළ අගයක් ගැනීම හා භාෂා කලාපයේ ප්‍රධාන භාෂාවක් සේ සැලකීම

තෙවනු ව විවිධ වර්ගයේ සාහිත්‍ය ප්‍රවර්ගයන්හි (ගද්‍ය පද්‍ය නිර්මාණ, පරිවර්තන කෘති (සෞඛ්‍ය, සංවර්ධන සාහිත්‍යය හා බයිබලය) පැවැත්ම හා පුවත් පත්, සඟරා ආදි වෙනත් මුද්‍රිත මාධ්‍යයන්හි පැවැත්ම } 1823 සිට 1992 දක්වා අවුරුදු 160ක පමණ කාලයක් තුළ බයිබලයේ පරිවර්තන ගණනාවක් සිංහලෙන් පළ වී තිඛෙනවා. 1700 ගණන්වල දී බයිබලය මුලින් ම ලන්දේසීන් ආරම්භ කරනවා. ඒ බයිබලය වරින් වර සංශෝධනය කරලා සම්මත ස්වරූපයකට ගෙනෙනවා. කිසියම් පොතක් සම්පාදනය කරලා, විධිමත් ව සංස්කරණය කරලා සම්මත ස්වරූපයකට යම් භාෂාවක් ගෙනෙනවා නම් එය දියුණු භාෂාවක් කියා සැලකිය හැකි යි.

සිවු වනු ව, ගුවන් විදුලිය, රූපවාහිනිය වැනි විකාශන මාධ්‍ය, සංයුක්ත හෙවත් සංගත තැටි හා පටිගත කළ මාධ්‍ය, ඩිජිටල්, වීඩියෝ තැටි ආදිය, හෝ චිත්‍රපට හා වීඩියෝ පට, නව මාධ්‍ය යනුවෙන් හඳුන්වනු ලබන චැට් කාමර, Podcasts සහ MP3 ආදි බාගත කිරීම් හා ජංගම දූරකථන හෝ වෙනත් ඉලෙක්ට්රොනික උපාංග මාර්ගයෙන් භාවිත කළ හැකි වීම, කෙටි පණිවුඩ හා අන්තර්ජාල පෘෂ්ඨ (වෙබ් පිටු) මත භාෂා භාවිතය.

පස් වනු ව පරිපාලන කාර්ය සඳහා භාෂා භාවිතය.

සවනු ව සිය දෙවැනි භාෂාව ලෙස අන් අය විසින් භාෂා භාවිතය.

මේ ලක්ෂණ සියල්ල සිංහල භාෂාව සම්බන්ධයෙන් ගැළපෙනවා.

ඒ සියල්ල කෙසේ වෙතත් ප්‍රධාන වසයෙන්

graphization - රේඛා චිත්‍රීකරණය එනම් ලේඛන පද්ධතික සංවර්ධනය හෙවත් ස්වාධීන වූ අක්ෂර රූප මාලාවක් තිබීම.

standardization - ප්‍රමිතිකරණය කලාපීය හා සමාජීය උපභාෂා වසයෙන් පවත්නා ප්‍රභේදන ඉක්මවූ ප්‍රතිමාන සහිත සම්මත ව්‍යවහාරයක් තිබීම.

modernization - නවීකරණය කාර්මික, ලෞකික හා ව්‍යූහාත්මක රූප විභේදිත නවීකෘත සමාජයන්හි පුළුල් පරාසයක විෂයානුබද්ධ සංකථන පරිවර්තනය හා පවත්වා ගෙන යෑමේ හැකියාව වර්ධනය වී තිබීම.

සිංහල භාෂාව සම්බන්ධයෙන් මේ ලක්ෂණ තුන පමණක් සැලකුවත් සිංහලය පූර්ණ වසයෙන් සංවර්ධිත භාෂාවක් සේ හැඳින්විය හැකි යි. භාෂා සංවර්ධනය යනු භාෂක ප්‍රජාවකට ඔවුන්ගේ භාෂාව ඔවුන්ගේ සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථීක මෙන් ම ආධ්‍යාත්මික අපේක්ෂා සාධනය සඳහා ඵලදායී ලෙස භාවිත කළ හැකි බව තහවුරු කිරීම සඳහා පවත්නා සැලසුම් සහගත ක්‍රියාමාලාවේ ප්‍රතිඵලයක් විය යුතු යි.

අපි දන්නවා, සිංහල භාෂාව ලෝකයේ තිඛෙන භාෂා අතර සුවිශේෂ භාෂාවක් බව. හැබැයි සමහරු කියනවා, එහෙම නො වෙයි කියලා. දැනට සති කීපයකට ඉහත දී අපේ හිතවත් ආචාර්යවරයකු වන මහාචාර්ය විනී විතාරණ මහත්මයා පත්තරයක සම්මුඛ සාකච්ඡාවකට කියලා තිබුණා, '' සමහරු කියනවා, සිංහල භාෂාව සුවිශේෂී භාෂාවක් කියලා, නමුත් ඒක එහෙම නො වෙයි, එහෙම කියන්නේ සමාජය තුළ කැපී පෙනෙන ආශාවෙන් පෙළෙන අය යි " කියලා. එතුමාගේ මතයට අපට එකඟ වන්න බැහැ. එතුමාගේ මතයට ගිය සතියේ දී මගේ ගුරුදේව මහාචාර්ය බලගල්ලේ මැතිතුමාට පිළිතුරු දෙන්න සිදු වුණා. එතුමා කිව්වා, "එහෙම කියන්න ඕනෑ නැහැ. සිංහල භාෂාව සුවිශේෂ භාෂාවක්" කියලා. ඔව්. ඒ නිසා ම තමයි මට මේ මාතෘකාව වික්‍රමගේ මහත්තයා දුන්නේත්, ඒ මාතෘකාවට මා එකඟ වුණෙත්. සිංහල භාෂාව 'සුවිශේෂ භාෂාවක්' ඇයි ඒ?

පළමු ව, අපි මේ භාෂාව සුවිශේෂ භාෂාවක් කියලා කියන්නේ, අපට මේ භාෂාව ගැන ගෞරවාන්විත හැඟීමක් තිඛෙන නිසා. මෙය අපේ මවුබස හැටියටයි අපට උරුම වුණේ. මේ භාෂාවෙන් අපට සියලූ ම දේවල් කරන්නට පුළුවන්.

එක වතාවක් මාර්ටින් වික්‍රමසිංහයන් ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් සඳහන් කෙළේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇමීබාගේ පටන් බුදු දහම සහ මාක්ස්වාදය දක්වා ලියූ බව යි. ඇමීබා කියන්නේ ජීවයේ මූලික ම, සරල ම අවස්ථාවක් වන ඒක සෛලික ජීවියෙක්. බුදු දහම සහ මාක්ස්වාදය කියලා කිව්වේ පෙරදිග සහ අපරදිග සම්ප්‍රදායයන් දෙකකට අයිති, කාල වකවානු දෙකකට අයිති, දාර්ශනික චින්තන ධාරා දෙකක්. ජීවයේ වර්ධනයේ උසස් ම සංකීර්ණ ම අවස්ථාව වන මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ ම මට්ටමෙන් බිහි වූ දර්ශන දෙකක්. මේවා සියල්ල ගැන සිංහලෙන් ලියන්න පුළුවන්. අපට එය අභිමානයෙන් කියන්න පුළුවන්. සිංහල භාෂාවේ ඒ අභිමානය තිඛෙනවා. ඒ නිසා අපට වෙන භාෂාවකින් කටයුතු නො කර, සිංහල භාෂාවෙන් කටයුතු කරන්න හැම තැනක දී ම පුළුවන්. අපට දෙවන භාෂාවක් අවශ්‍ය වන්නේ සිංහල නො දන්නා භාෂක කණ්ඩායමක් අමතන්න වුණොත් පමණයි. මෙතැන සිංහල නො දන්නා පිරිසක් සිටියොත් අප මේ අදහස් පළ කළ යුත්තේ වෙනත් භාෂාවකින්, ඔවුන්ට තේරෙන මාධ්‍යයක් භාවිත කරන්න වෙනවා. එහෙම නැත්නම් ඕනෑ ම සභාවක, මේ සිංහල භාෂාව තේරුම් ගත හැකි පිරිසක් සිටින සභාවක අපට ඕනෑ ම විෂයයක් පිළිබඳ ව කථා කරන්න පුළුවන්. භෞතික විද්‍යාවේ පදාර්ථයේ මූලික ගුණාංගයන්හි පටන් ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව දක්වා අපට කථා කරන්න පුළුවන්. දර්ශනය සම්බන්ධයෙන් පූර්ව සොක්‍රටීය දර්ශනයේ සිට විශ්ලේෂී හා මහාද්වීපීය දර්ශනය තෙක් කතා කළ හැකි යි. සිංහලෙන් යහපාලනය ගැනත් කථා කරනවා; ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් කථා කරනවා; වගවීම, විනිවිදභාවය, උපායමාර්ගික දැක්ම, නීතියේ පරමාධිපත්‍යය, නිර්වාණය, ස්වර්ගය, අපාය ගැන... ඕනෑ ම විෂයයක් ගැන කථා කරන්න පුළුවන්. සිංහලය ගැන අපට ඒ අභිමානය තිඛෙනවා. එය දියුණු භාෂාවක්.

පෞරාණිකත්වය සම්බන්ධයෙන් අපට විශේෂත්වයක් තිබෙනවා. ලෝකයේ බොහෝ භාෂා තිබෙනවා. වර්තමාන ව්‍යවහාර භාෂා සංඛ්‍යාව ගැන ඒකමතිකත්වයක් නැහැ. භාෂාධ්‍යයනයේ නිරත වන සමහරු කියනවා, ලෝකයේ භාෂා 7,000ක් තිඛෙනවා කියලා, තවත් සමහරු කියනවා, භාෂා 10,000යි කියලා. එයට හේතු වී තිඛෙන්නේ ජන සංගණන ආදියේ දී තොරතුරු එකතු කරන විට සමහර භාෂකයන් දක්වන අදහස්. "අපි කථා කරන්නේ අර පැත්තේ අර ගංගාවෙන් එහා පැත්තේ ඉන්න අයගේ භාෂාව නොවෙයි, වෙනත් භාෂාවක්" කියා ඇතැම් විට කිසියම් භාෂක ප්‍රජාවක් කියනවා විය හැකි යි. එක ම භාෂාවක, පළාත අනුව, සමහර විට ජන කණ්ඩායම් අනුව, උච්චාරණ වෙනස්කම් අනුව පවත්නා විශේෂතා හේතුවෙන් ඒ ඒ ජන කොටස තම තමන්ගේ භාෂා ව්‍යවහාරය ස්වාධීන භාෂාවක් නැත් නම් තනි භාෂාවක් හැටියට සැලකීමක් විය හැකි යි. ඇත්තට ම එය ස්වාධීන භාෂාවක් නො වී තවත් භාෂාවක ප්‍රදේශීය ව්‍යවහාරයක් විය හැකි යි. සිංහලයේ එහෙම භේදයක් නැහැ. උඩරට අය කථා කරන සිංහල භාෂාවටත් ඒ අය කියන්නේ සිංහලය කියලා, පහත රට අය කථා කරන සිංහල භාෂාවටත් ඒ අය කියන්නේ සිංහලය කියලා. බස්නාහිර පළාතේ සිංහලත් සිංහල. බැරි වෙලාවත් උඩරට අය කිව්වොත් අපි කථා කරන්නේ කොළඹ තිඛෙන සිංහල නො වෙයි, ඒ උඩරට සිංහල, ඒක වෙන භාෂාවක් කියලා, අන්න ඒ අය අර සංඛ්‍යා ලේඛනවලට දමනවා, ''වෙනත් භාෂාවක්" කියලා. එක හින්දා තමයි ඉලක්කම් ගැන ඒකමතිකත්වයක් නැත්තේ. කොහොම හරි මේ භාෂා 7,000 හෝ 10,000 ඇතුළත තිඛෙනවා, 'පැරණි භාෂා' යැයි සැලකිය හැකි භාෂාත්.

ඇත්තට ම ලෝකයේ පැරණිම භාෂාව කුමක් දැයි නිශ්චිත ව කිය නොහැකි යි. පැරණි භාෂණය හා උච්චාරණය අපට දැක ගත හැකි වන්නේ නැහැ. භාෂාවක පැරණිකම සලකන්නේ පවත්නා පැරණි ම ලේඛන නිදර්ශන අනුව යි. සමහර පැරණි භාෂා සම්බන්ධ ලේඛන නිදර්ශන තිබුණාට අද ව්‍යවහාරයෙන් ඈත් වෙලා. අද මේ ලෝකයේ තිඛෙන පැරණි භාෂා අතරින් ග්‍රීක භාෂාව හා චීන භාෂාව හැරුණු කොට දීර්ඝ කාලයක් අඛණ්ඩ ව භාවිත කළ භාෂාවක් වන්නේ සිංහල යි.

සිංහල භාෂාව ගැන අපට ක්‍රිස්තු පූර්ව තුන් වන ශතවර්ෂයේ සිට ලිඛිත සාධක තිබෙනවා. සමහරුන් උත්සාහ කරනවා ලංකාවෙ ලේඛන සාධක ක්‍ර්ස්තු පූර්ව 600-400 තරම් ඈතට යන බව පෙන්වන්න. අනුරාධපුර ඇතුළු නුවරින් හමු වුණු, අකුරු කුරුටු ගා තිබෙන වළන් කටු දෙකක් පදනම් කර ගෙන. ඒ වළන් කටු අයිති කොයි කාලෙට ද කියා කිසි .තැනක කාල නිර්ණය කර නැහැ. මා මේ ගැන ආචාර්ය සිරාන් දැරණියගල මහතාගෙනුත් විමසුවා. එතුමා කිව්වේ කාල නිර්ණය කළේ කැණීම් ස්තර පමණක් බව යි. යම් විධිහකින් අකුරු සහිත වළන් කටුවලටත් ඈත දිනයක් ලැබුණොත් ලංකාව තමයි මේ කලාපයේ පැ‍රණි ම ලේඛන සාධක තියෙන රට. එහෙම වෙන්න තවත් සංස්කෘතික සාධක ගණණාවක් අවශ්‍ය වෙනවා. ඒ ගැන මෙතන දී දිගින් දිගට කතා කිරීම මාතෘකාවෙන් පිට පැනීමක් වෙයි. කොහොම වුණත් අද ඒකමතික ව පිළිගන්නවා ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ පටන් අපි අකුරු ලිව්වා කියලා. ඇයි? ඒ බවට නොබිඳිය හැකි සාධක තිබෙන නිසා. යම් භාෂාවක ලිඛිත සාධක හමු වන්නේ භාෂාවට අකුරු මාලාවක් හදා ගත්තු දිනයේ පටන් ම නොවෙයි. එතකොට ඒක ඊටත් වඩා අවුරුදු පන්සීයකට, දාහකට ඉස්සර සිට භාවිත කරන්න ඇති. මවාවංසෙ කියනවා දේවානම්ලිය තිස්ස රජුගේ කාලයට පෙර ලිපි ගනුදෙනු කිහිපයක් ගැන. අකුරු තියෙන්න ඇති. වෙළඳාමට නාවිකයන් පැමිණි බවට ප්‍රවාද වගේ ම පුරාවිද්‍යා සාධකත් හමු වෙන නිසා එහෙම විය හැකි යි. කොහොම වුණත් ක්‍රිස්තු පූර්ව තුන් වැනි දෙවැනි සියවස්වල පටන් ඒ ලිඛිත සාධක තිබෙනවා. ඊට වඩා පැරණි මිසර කොප්ටික්, සුමේරියන් වැනි භාෂාවලට පැරණි ලිඛිත සාධක තිබුණාට ඒවා මඟ දී නතර වුණා; කැඩුණා. ග්‍රීක භාෂාව හැරුණු විට චීන භාෂාවටත් ඒ ඉතිහාසය තිඛෙනවා. හීබ්රූ භාෂාව ක්‍රිස්තු වර්ෂය ආරම්භ වීමට වසර දහසකට පමණ පෙර සිට භාවිත වී තිබෙන බසක්. මේ භාෂා දෙක තුන පමණයි පැරණි භාෂාවලට තිඛෙන්නේ. මිසර, සුමේරියන් භාෂා අවුරුදු තුන් හාර දහසක් පැරණි වුණාට ඒවා මඟ දී කඩා ගෙන වැටුණා. සංස්කෘත භාෂාවත් එවැනි යි. අද වන තෙක් ඒ ගොල්ලන්ගේ අඛණ්ඩ පැවැත්මක් නැහැ. ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසේ සිට අඛණ්ඩ පැවැත්මක් පිළිබඳ ලිඛිත සාධක තිබීම අපේ භාෂාවේ විශේෂත්වයක් වෙනවා. ඒක වැදගත්. එදා සිට අද දක්වා අකුරු ලියා ඇති සැටි ආරක්ෂා වෙලා තිඛෙනවා. අකුරු විකාසනය වුණු ආකාරයත් සියවසින් සියවසට විග්‍රහ කර දැක්විය හැකි යි. ඒ වගේ ම භාෂාවත් ක්‍රමයෙන් පරිණාමය වුණු ආකාරය දැක්විය හැකි යි. සමහර භාෂාවලට ඒ තරම් පැරණි ලේඛන ඉතිහාසයක් නැහැ; ලේඛනය සාහිත්‍යය සම්බන්ධයෙන් නිදර්ශනත් නැහැ. ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ සිට අපේ පොත් ලියැවුණු බවට සාධක තිඛෙනවා. ක්‍රිස්තු වර්ෂ දහ වැනි ශතවර්ෂයේ ඉඳලා ලියැවුණු පොත් ඉතිරි වෙලා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ හත් වැනි, අට වැනි ශතවර්ෂවල ඉඳලා ලියැවුණු සාහිත්‍ය නිර්මාණ තියෙනවා. ඒ සීගිරි ගී. ගැහැනු ළමයි කොණ්ඩා කටුවලින් කැටපත් පවුර සීරුවේ නැත්නම් මේවා තව අවුරුදු දහස් ගණනක් තියෙයි. ඒ වාගේ අවාසනාවන්ත තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. මේ නිසා සිංහලයේ මේ වැදගත්කම තියෙනවා. පෞරාණික භාෂාවක්.

සිංහල භාෂාව ගැන කියන කොට හුඟ දෙනෙක් කියනවා, පාලි සහ සංස්කෘත සිංහලයේ මාතෘ භාෂා කියලා; මවුබස් කියලා. පවතින සාධක අනුව ඒකට එකඟ වෙන්න බැහැ. මම කලිනුත් මේ ගැන පැහැදිලි කරලා ලිපියක් ලිව්වා, අපේ කේ. එන්. ඕ. ධර්මදාස මහාචාර්යතුමන් වෙනුවෙන් කරපු උපහාර කලාපයට. සංස්කෘත භාෂාව පිළිබඳ සාධක හම්බ වෙනවා, ක්‍රිස්තු පූර්ව 1500 පමණ කාලයේ ඉඳලා වේදයේ. වේදය කියන්නේ ලිඛිත ස්වරූපයක්. එය ලිඛිත ස්වරූපය වසයෙන් පිළිගැනෙන්නේ මිනිස්සු කථා කරපු භාෂා ගණනාවක් තියෙද්දි. ඉන්දියාවේ එක එක පළාත්වල කථා කරන භාෂා තියෙනවා. ඒකෙන් එකක් කමයි වේදය ලියන්න බමුණෝ සකස් කර ගත්තේ. ඒ වේදයේ ඊ ළඟ අවස්ථාව තමයි හම්බ වෙන්නේ සංස්කෘත සාහිත්‍යයේ. මේ තමයි ඉන්දියාවේ තියෙන පරණ ම භාෂා. සිංහල භාෂාව ආරම්භ වෙලා තියෙන්නේ, අර වේදයට සමගාමී ව තිබුණු පොදු ජනතාව අතර ව්‍යවහාර වුණු ප්‍රාකෘත භාෂාවක් කථා කළ මිනිසුන් හෝ වෙනස් භාෂා කිහිපයක් කථා කරපු මිනිසුන් කණ්ඩායම් කිහිපයක් හෝ වරින් වර මේ දිවයිනට පැමිණීම නිසා. වෛදික සංස්කෘත භාෂාව එක්ක සමකාලීන ප්‍රාකෘත භාෂාවලින් තමයි සිංහලය ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව සංස්කෘතය සිංහලයේ මාතෘ භාෂාවක් කියලා සලකන එක යෝග්‍ය නැහැ.

පාලි භාෂාව ගැන කියනවා නම්, පාලි භාෂාවේ උත්පත්තිය ගැන උගතුන් අතර එකඟබවක් නැහැ. මොකද, ඉන්දියාවේ කොහේ වත් පාලියෙන් ලියවුණු සෙල් ලිපියක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔච්චර ධර්මය ප්‍රචාර කරපු, ධර්මය මාර්ගයෙන් අවට රටවල් තමන්ට නතු කර ගත්තු අශෝක රජ්ජුරුවෝ අශෝක චින්තනය පාලියෙන් ලිව්වේ නැහැ. ඒ නිසා උගතුන් කොටසක් පිළිගන්නවා, පාලිය ලංකාවේ හාමුදුරුවෝ හදා ගත් භාෂාවක් කියා. එහෙම නම් පාලිය ඇති වුණේ ලංකාවේ සිංහලයන් මෙහේ පදිංචි වුණාට පස්සේ. එහෙම නම් පාලිය කොහොම ද, සිංහලයේ මවුබසක් වෙන්නේ? එහෙම නැත්නම් ඉන්දියාවේ හිටපු හාමුදුරුවරු බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ යම් කාලයක, බුදු හාමුදුරුවෝ උගන්වපු දේවල් පොදු භාෂා ස්වරූපයකට නැඟීමේ අවශ්‍යතාව නිසා පාලි භාෂාව හදා ගත්තා විය හැකි යි. ඒ අනුව බලන විට පාලි හා සංස්කෘත දෙක ම සිංහලයේ මවුභාෂා නොවෙයි. සංස්කෘතයට සමාන්තර ව තිබුණු ප්‍රාකෘත භාෂා කිහිපයක වෙනස් වීමෙන් සිංහලය ඇති වෙනවා. පාලිසිංහල ප්‍රාකෘතය වෙනස් වෙමින් පුරාණ සිංහලය ආරම්භ වන අවධීයේ දී එය සමඟ සමකාලික ව එක කාලයේ ඇති වුණු භාෂාවක් කියා සලකන්න පුළුවන්. ඒ නිසා දීර්ඝ ඉතිහාසයක් තිඛෙන භාෂාවක් අපට තිබීම ගැන, ඒ අතීත උරුමය ගැන අපි ආඩම්බර වනවා.

සිංහලය ක්‍රිස්තු වර්ෂ සත් වැනි සියවස වන විට ස්වාධීන භාෂාවක් බවට පත් වූ සේ සැලකිය හැකි යි යන්න අද ඓතිහාසික වාග්විද්‍යාඥයන්ගේ පිළිගැනීම. අනික් ඉන්දු-ආර්ය භාෂාවල හෝ ඉන්දු-යුරෝපීය පවුලට අයත් සෙසු භාෂවල හෝ හමු නො වන සඤ්ඤක අකුරු පහක් හා ඇ, ඈ යන ස්වර දෙකත් සිංහලයේ ඇති වී තිඛෙන්නේ ක්‍රිස්තු වර්ෂ සත් වැනි සියවස පමණ කාලයේ දී යි. ඒ නිසා ඉන්දියාවේ අද ප්‍රමුඛස්ථානයට පත් ව තිඛෙන භාෂාවලට කලින් සිංහලය ස්වාධීන ලක්ෂණ සහිිත තත්ත්වයකට පත් වී අවසන් වූ බව කිය හැකි යි.

සිංහල භාෂාව ගැන තවත් ආඩම්බර වෙන්න කාරණයක් තියෙනවා. අපටත් තියෙනවා, අපෙන් වෙන් වෙලා ගිය තවත් භාෂාවක්. ඒ තමයි මාලදිවයිනේ කථා කරන භාෂාව. අපි කියනවා, ඒ භාෂාව සිංහල භාෂාවේ දුහිතෘ භාෂාවක් කියලා. අපෙන් ගිය මිනිස්සු තමයි එහේ පදිංචි වෙලා තියෙන්නේ. ඒ අය කථා කළ සිංහල වෙනස් වෙලා, අද මාලදිවයින් භාෂාව බවට පත් වෙලා. මේ, සිංහලයේ එදා තත්ත්වය.

අපේ විත්‍රමගේ මහත්මයා මට දුන් මාතෘකාව ''සිංහල භාෂාව එදා - අද සහ හෙට". සිංහල භාෂාවේ අද තත්ත්වය මොකක්ද? මම කිව්වා, අද සිංහලය ඉතා හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා. ඒ පත් වුණේ දීර්ඝ කාලයක් මේ භාෂාවෙන් වැඩ කළ නිසා, සාහිත්‍ය කටයුතු කළ නිසා. විශේෂයෙන් ම දහනව වැනි ශතවර්ෂයේ අපට අලූත් මාධ්‍යයක් එනවා; පුවත්පත් එනවා, සඟරා එනවා, ආගමික විෂයයන්ගෙන් බැහැර වෙනත් දේවල් ගැන සංවාද ඇති වෙනවා. මේවා කලිනුත් ඇති වෙන්න ඇති. නමුත් වාර්තා වුණේ නැහැ. මේවාට සාමාන්‍ය මිනිස්සු එකතු වෙනවා. ඉස්සර මේවා ගැන කථා කළේ හාමුදුරුවරු. අද "අපේ හාමුදුරුවනේ" කියලා කියන්න මේ සභාවේ හාමුදුරු නමක් නැහැ; ඉන්නේ ගිහියෝ. දහනව වැනි ශත වර්ෂයේ ඔන්න ඔය වැදගත් වෙනස් වීම වනවා. එතෙක් කල් භික්ෂූන්ගේ ආධිපත්‍යයේ තිබුණු භාෂාමය කාර්යයන්, සාහිත්‍ය කටයුතු ප්‍රධාන වශයෙන් ගිහියන්ගේ අතට පැවරෙනවා. ගිහියෝ යි, මේ භාෂාව වර්ධනය කළේ. අපි සිංහල භාෂාව පන්සලෙන් මුදවා ගත්තා; හාමුදුරුවරුන්ගෙන් බේරා ගත්තා. සභාවේ හාමුදුරුවෝ නැති නිසා භය නැතිව ඕනෑ දෙයක් කිව්ව හැකි. ඒ හින්දා භාෂාව වර්ධනය වුණා, මේ ලෞකික දේවල් කථා කරන්න භාෂාව යොදා ගත්තා. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා සිංහල නවකතාවේ ආරම්භය සම්බන්ධයෙන් මේ තත්ත්වය බල පෑ අන්දම පෙන්වා දී තිඛෙනවා.

ලෞකික දේවල් මිනිස්සු කථා කරන්නේ හොර රහසේ ලූ. බොහෝ දෙනා දකින්න ඇති, අර “PK” කියන ළඟ දි ප්‍රචලිත වුණු ඉන්දියානු චිත්‍රපටය. ඒකේ එන ප්‍රධාන චරිතය වන වෙනත් ග්‍රහලෝකයකින් ආපු ජීවියා අහනවා, " ඇයි, මේ පොළොවේ මිනිස්සු හුඟක් දේවල් එළිපිට කරනවා, නමුත් සමහර දේවල් හොර රහසේ කරන්නේ? විවාහ මංගල්ලය මහා ලොකුවට උත්සවයක් හැටියට කරනවා. නමුත් ලිංගික කටයුතු කරන්නේ හොර රහසේ. ඒ ගැන කථා කරන්නේත් නැහැ" කියලා.

කොහොම හරි භාෂාවේ මේවා කථා කරන්න ඇති, මේවා වාර්තා වුණේ නැහැ. දෛනික ජීවිතයේ ලෞකික දේවල් වාර්තා කළේ නැහැ. නමුත් දහනව වැනි ශතවර්ෂයේ මේ අලුත් සාහිත්‍යයත් එක්ක, පත්තර සඟරාවල මේ ලෞකික ජීවිතයේ ගැටලු පිළිබඳ කතන්දර පළ වුණා. ඒවාත් එක්ක අලුතින් මේ සාහිත්‍යය සමඟ භාෂාව වර්ධනය වනවා.

යටත් විජිතවාදයට ප්‍රතිචාර දක්වපු අපේ හාමුදුරුවරු, විශේෂයෙන් ම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ සහ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හාමුදුරුවෝ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ, විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ කිරීම, ඒ එක්ක ඇති වුණු ප්‍රබෝධය එක්ක සිංහල භාෂාව නැවතත් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා සාහිත්‍යයට යෝග්‍ය භාෂාවක් ඇති වනවා. මෙන්න මේ කාරණා නිසා දහනව වැනි ශතවර්ෂය අග භාගය වෙන කොට මේ නව ප්‍රබෝධය ඇති වනවා. ඒ සමඟ විසි වැනි සියවසේ ඉඳලා මේ භාෂා පුනර්ජීවනයට උර දුන් පඬිවරුන්ගේ ක්‍රියාකාරිත්වය, අපේ පැරණි පිරිවෙන් ආශ්‍රිත පඬිවරු, හික්කඩුවේ සුමංගල සහ රත්මලානේ ධර්මාලෝක හාමුදුරුවෝ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා, ඒ. එම්. ගුණසේකර, ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන මුදලිවරුන් ප්‍රමුඛ ගිහි පඬිවරුන්, ඉන් පසු ව කුමාරතුංග පඬිතුමා ප්‍රමුඛ ඒ භාෂාප්‍රේමීන්, පියදාස සිරිසේන, ඩබ්ල්යු. ඒ. සිල්වා, හේමපාල මුනිදාස ආදි ඒ පැරණි පරම්පරාවේ ලේඛකයෝ, මේ සියලු දෙනාගේ ම දායකත්වය නිසා සිංහලය අද වන විට පරිපූර්ණ භාෂාවක් බවට පත් වෙලා තිඛෙනවා.

මේ පරිපූර්ණ භාෂාව රට පුරා පැතිරුණා, එක පැත්තකින් මාධ්‍ය නිසා; අනෙක් පැත්තෙන් අධ්‍යාපනය නිසා. විශේෂයෙන් ම නිදහස් අධ්‍යාපනය කියලා හඳුන්වන, නිල වශයෙන් මුදල් අය නො කර ලබා දෙන අධ්‍යාපනය නිසා. අධ්‍යාපනය නො නිල වශයෙන් මුදල් අය කරනවා. මම අදත් දැක්කා, අපේ ප්‍රණීත් අබේසුන්දර මහත්මයාත් දකින්න ඇති. අපේ විශ්වවිද්‍යාලයේ පෝස්ටරයක් ගහලා තියෙනවා, පාසල්වල මුදල් අය කිරීමට නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කරනු කියලා. නමුත් අපි කියනවා, නිදහස් අධ්‍යාපනයක් තිඛෙනවා කියලා. නො මිලේ අධ්‍යාපනයක් දෙනවා. මේක රට පුරා ම එක සමාන ව ව්‍යාප්ත ව ගියා, සමාන ව ගියා කියලා අපි විශ්වාස කරනවා. ප්‍රණීත් අබේසුන්දර මහත්තයා කිව්වා, වැලිකන්ද ප්‍රදේශයේ තත්ත්වය ගැන. ලොකු ගොඩනැඟිලි හැදුවා. ගොඩනැඟිලි හදන එක බොහොම ලාභදායී ව්‍යාපෘතියක් වෙලා තිබුණ බවත් ගොඩනැඟිල්ලට යන මුදල වාගේ තුන් හතර ගුණයක් සාක්කුවලට වැටුණු බවත් අපි දැන ගත්තා, පසු ගිය කාලයේ. කම්පියුටර් අර ගත්තා කියලා කිව්වා. මේ වාගේ දේවල් නිසා සම ව්‍යාප්තියක් මොකක් හරි පෙන්නුවා. කිසි යම් දුරට සම ව්‍යාප්තියකුත් සිද්ධ වුණා. ඒ නිසා රට පුරා ම එක සමාන තත්ත්වයකින් භාෂාව ව්‍යවහාර වුණා. අපේ ගුවන් විදුලියෙන්, "කොළඹින් කථා කරමි" කියලා ඒ කාලයේ කොළඹගේ මහත්මයා කියපු දේ ඇහුණා, ඈත පළාත්වලට. ඒක ඒ අයට තේරුණා. භාෂාව සමරූපී වුණා, රට පුරා ම. අනිත් පැත්තෙන් දේශපාලන ක්‍රියාකාරකම් හින්දාත් ඒ දේ වුණා. විශේෂයෙන් ම වාමාංශික ව්‍යාපාරය, පොදු ජනයාට තැනක් දෙන්න ඕනෑ කියපු නිසා, ඒකත් බලපෑවා, මිනිසුන්ගේ චින්තනයට. ඒ නිසා එක ම භාෂාවක් රට පුරා ම ව්‍යාප්ත වුණා.

ඊ ළඟට සිංහලය අධ්‍යාපන මාධ්‍යය වීම, මවුබසින් නව විෂය ඉගැන්වීමට ගත්ත පියවර මේ ආදි හේතු නිසා අපේ සිංහලය සංවර්ධනය වුණා. ඒක තමයි අද තත්ත්වය. මේ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ආදි ආයතන අලුත් විෂය සම්බන්ධ පොත් පත් පළ කළා. සිංහලෙන් වාගේ ම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් මේ ග්‍රන්ථ දෙමළෙනුත් රටේ ප්‍රධාන ජාතික භාෂා දෙකෙන් ම, උසස් අධ්‍යාපනයට අවශ්‍ය පොත් පළ කළා. හැබැයි, අද කියන්නේ මේ සමාජ සංවාද ඊයේ වෙච්ච තත්ත්වය. මෑත දශකයක දෙකක ඉඳලා ඒ තත්ත්වය වෙනස් වෙලා. අද සිංහලෙන් අලුත් දැනුම එන්නේ නැහැ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් මොනවත් ම කෙරෙන්නේ නැහැ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ප්‍රකාශන පළ කරනවා ආරියරත්න මැතිතුමනි, භාෂාවේ මූලික නීති රීතිවත් දන්නේ නැති මිනිස්සු ඒවායේ ලියන්නේ. මම අවස්ථා කිහිපයක දී ම කථා කරලා කිව්වා, රාජ්‍ය භාෂා කොමසාරිස්තුමාට. මම ඇමැතිතුමාටත් කථා කරලා කිව්වා. තේරෙන්නේ නැහැ, බීරි අලින්ට වීණා ගැයුවා වාගේ තමයි මේ අයට මේවා කියන එක. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නොමිලයේ පාඩම් පොත් දෙන එකට සීමා වෙලා. ඒ නිසා ඒ ගොල්ලෝ අලුත් විෂය දැනුම බෙදා දෙනපොත් කිසිවක් පළ කරන්නේ නැහැ. අද ඒ කාර්යයට උර දීලා තිඛෙන්නේ පෞද්ගලික ප්‍රකාශන ආයතන. ඒ ආයතන නැත්නම් නව දැනුමක් ජනගත වෙන්නේ නැහැ; අලුත් විෂය නැහැ.

කළමනාකරණය කියලා අලූත් විෂයයක් තිඛෙනවා, සිංහලෙන් පොත් නැහැ. වෛද්‍ය විද්‍යාවට පොත් නැහැ. ඉංජිනේරු විද්‍යාවට පොත් නැහැ. අපි කියනවා, පරිගණක විද්‍යාවට "අයි ටී" "අයි ටී" කියලා ජප කරනවා, එකසිය අට වාරයක්. පොත් නැහැ, සිංහලෙන්. අර ආණ්ඩුවෙන් දෙන, නොමිලයේ දෙන පෙළ පොත් ටික විතරයි තිඛෙන්නේ. ඒකට හොඳ පොත් සම්පාදනය කළේ නැහැ. ඒ ව්‍යාපාරය කෙරුණේ නැහැ. ඒ හින්දා කිසියම් විධියකට කඩා වැටීමක් සිද්ධ වුණා.

අනෙක් පැත්තෙන් සන්නිවේදන මාධ්‍ය ව්‍යාප්ත වුණු හින්දා එදා භාෂාව වර්ධනය වුණත්, අද වන විට මේ තත්ත්වය වෙනස් වෙලා, අද ඒ සන්නිවේදන මාධ්‍යවල භාෂාව පිළිබඳ ව උනන්දුවක් දක්වන අය නැහැ. මම මේ මාස දෙක තුනකට කලින් ගුවන් විදුලි සංස්ථාවේ උත්සවයකට ගියා. ඒ වෙලාවේ එහි හිටපු සභාපතිතුමා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා හිටියා. මම ඒ දෙන්නාට කිව්වේ, ගුවන් විදුලියෙන් අපි ඉස්සර ඉගෙන ගත්තා; භාෂාව ඉගෙන ගත්තා; උච්චාරණය ඉගෙන ගත්තා. පුළුවන් නම් මේ නිවේදක නිවේදිකාවෝ ගෙන්වලා ඒ අයට පුහුණුවක් දෙන්න ප්‍රවෘත්ති කියවන්න. කියලා යි. ඔන්න ප්‍රවෘත්ති කියන්න එනවා. පටන් ගන්නේ හ්..ග් ගාලා ඉහළට ඇදලා. නිකම් කාසකාරයෝ වාගේ. " හ්..ග්, මේශ්රලංකාගුවන්විදුලිසංස්තාවයි, හ්...ග්... මෙන්නප්‍රවුර්තීප්‍රකාශය... " කියලා. අඩු ම තරමින් නිවැරදි ව උච්චාරණය උච්චාරණය කරන්නත් බැහැ. ඉස්සර අපි කුඩා කාලයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ඇහුවා. අමරබන්දු රූපසිංහලා, සිරිල් රාජපක්ෂලා ඉතා ම ව්‍යක්ත ව " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි, මෙන්න ප්‍රවෘත්ති, ප්‍රකාශය සිරිල් රාජපක්ෂ" කියලා කියනවා. "හ්...ග්.... මේශ්‍රලංකා ගුවංවිදුලීසංස්තාවයි, හ්...ග්..." කියලා කිව්වේ නැහැ, එදා. අද මාධ්‍යවල තත්ත්වය ඕකයි. "ශ්‍රී ලංකා" නෙමෙයි ''ශ්‍ර ලංකා" ; "ක්‍රීඩා" නෙමෙයි '' ක්‍රඩා" ; "ප්‍රවෘත්ති" නෙමෙයි "ප්‍රවුර්තී" .. මේ විදිහට යි අද උච්චාරණය. මම ප්‍රසිද්ධියේ කිව්වා, හුඟක් තැන්වල කියනවා. හුඟක් දෙනෙක් මා එක්ක අමනාපත් වුණා. දැන් මොන ම මාධ්‍ය ආයතනයකවත් හොඳට නිවැරදි ව භාෂාව දන්නා අය නැහැ. මම හිතන්නේ මුළු රටෙන් ම කෝටි දෙකක් වූ ජනතාවගෙන් ම හොඳට සිංහල දන්නා අය දෙසීයක්වත් හොයා ගන්න නැහැ. මම කිව්වහම සමහරු අමනාප වෙනවා. ඇත්ත තත්ත්වය ඕකයි.

භික්ෂූන් වහන්සේගේ උච්චාරණය ගැනත් මම කියන්න ඕනෑ. මම ගුවන් විදුලියේ ස්වදේශීය සේවයට සවන් දෙනවා. උදේ අටයි නවයයි අතරයි, රෑ අටයි නවයයි අතරයි බණ ප්‍රචාරය වෙනවා. අනේ! මේ හාමුදුරුවන්ට "බුද්ධං සරණං ගච්ඡාමි" කියන්න බැහැ. කියන්නේ "බුද්දං සරණං ගච්චාමි" කියලා. "ධම්මං සරණං" කියලා කියන්න බැහැ, කියන්නේ "දම්මං සරණං" කියලා. සංඝයාට, "සංඝං" කියලා කියන්න බැහැ. කියන්නේ ''සංගං" කියා. "ගච්ඡාමි" කියලා කියන්න බැහැ, කියන්නේ "ගච්චාමි" කියලා. "ධම්ම" කියලා වත් "ධර්මය" කියලා වත් කියන්න බැහැ, කියන්නේ "දම්ම" කියලා. "මේ දර්මය තුළින් පැහැදිලි වන්නේ..." කියලා කියන්නේ. ඒ වාගේ අව්‍යක්ත තත්ත්වයට භාෂා භාවිතය පත් වෙලා. අද මාධ්‍යවල භාෂාව ව්‍යවහාර කරන්නේ මෙහෙම අය.

අද මට අයිටීඑන් එකේ සභාපතිතුමා හම්බ වුණා. ප්‍රසිද්ධියේ මම එතුමාට මගේ විරෝධය පළ කළා, අයිටීඑන් එකේ භාෂාව දූෂණය කිරීම ගැන. ප්‍රසිද්ධියේ මම එතුමාට කිව්වා, මම කලින් ලියලාත් තිඛෙනවා. අද මම එතුමාගේ මුහුණට ම කිව්වා. "අලුත් ආණ්ඩුවේ ඔබතුමාගේ අනික් වැඩ පිළිවෙළ ගැන මම දන්නේ නැහැ. ගැහැනු ළමයින්ගේ ඇඳුම් මෝස්තර වෙනස් කළත්, දණ හිසෙන් උඩ කොටස පෙන්නුවත් මට කමක් නැහැ, භාෂාවට ඔය දේ කරනවාට මම විරුද්ධයි. භාෂාවට මේ දේ කරන්න එපා" කියලා.

මම මේ දේ ගැන දකින්නේ මේ එක ම මාධ්‍ය ආයතනයකවත් භාෂාව ගැන දන්නා අය නැහැ කියලායි. මේ ගොල්ලන්ට ඕනෑ විධියකට කියා ගන්න කියලා මේවා ලියලා ඇරලා තිබෙනවා. හරක් ගාල ලිහලා ඇරලා. උන් ඇත්තට ම කකා යනවා. ඒ තත්ත්වයට අද අපේ මාධ්‍ය ආයතන පත් වෙලා. මාධ්‍යවල අපේ මිත්‍රයෝ ඉන්නවා. කමක් නැහැ. ඕකයි තත්ත්වය.

සාවද්‍ය භාෂා ප්‍රයෝග හැම තැන ම තිඛෙනවා. සාවද්‍ය වචනෝච්චාරණය, සාවද්‍ය අක්ෂර වින්‍යාසය, සාවද්‍ය පද සාධන, සාවද්‍ය වාක්‍ය වින්‍යාස, ආකුල/සාවද්‍ය පද බෙදීම් තිඛෙනවා. මම මේවා ගැන ලියලාත් තිඛෙනවා. මෑත දී අප කිහිප දෙනකු මහාචාර්ය බලගල්ලේ මහතාගේ මූලිකත්වය ඇති ව ජනමාධ්‍ය සඳහා භාෂා අත් පොත මැයෙන් පොතක් සකස් කළා. එහි දී මේ ගැන කරුණු සාකච්ඡා කෙරෙනවා. අප හැම විට ම මාධ්‍යකරුවන්ගේ දොස් දකිනවා; ඔවුන්ට බණිනවා, භාෂාව වරද්දනවා කියා. මා මේ ගැන මාධ්‍ය හා පොතපත විමසමින් සොයා බැලුවා. භාෂාව වරද්දන්නේ මාධ්‍යයට සම්බන්ධ වූවන් ම පමණක් නොවෙයි. ශිෂ්‍ය අවධියේ පටන් ම මා කියවන පොත්වල ව්‍යාකරණ වැරදි - එපමණක් නො වේ අන්තර්ගතයේ සාවද්‍ය තැනුත් ලකුණු කිරීම පුරුද්දක් කොට ගෙන තිඛෙනවා. ලංකාවේ, බස්නාහිර පළාතේ ජාතික විශ්වවිද්‍යාලයවල සිංහල අංශවල ආචාර්යවරුන්ගේ පොත්වලින් මම සොයා ගත්තා, භාෂා වැරදි. මම ලිපියක් ලියුවා, "නූතන සිංහල අපභ්‍රංශ" කියලා. ඒ මාතෘකාව සැර වැඩියි කියා කීප දෙනෙක් කියූ නිසා මම ඒක "නූතන සිංහලයේ අපභාෂා ලක්ෂණ" කියලා දැම්මා. "අපභාෂා" කියන්නේ කුණු හරුපවලට. බණින කොට කෑ ගහලා කියන වචන නොවෙයි කුණු හරුප කියන්නේ. ඒවා නැතුව බණින්නත් බැහැ නේ. "මට ගෙදර ගියේ ය" කිව්වොත් ඔන්න කුණු හරුප. "මා මෙසේ පවසමි" කියලා කිව්වොත් කුණු හරුප. ඒවාට තමයි කුණු හරුප කියන්නේ. ඒ ලිපිය රාජ්‍ය ආයතන කීපයක අය මගෙන් ඉල්ලලා ප්‍රකාශන කීපයක පළ කළා. ඒ ලිපිය අන්තර් ජාලයේත් දාලා තිඛෙනවා. Google සෙවුම් යන්ත්‍රයක Apabhasha කියලා ගැහුවා ම ඒ ලිපිය බලන්න පුළුවන්. මම ඒ ලිපියෙන් කථා කළා භාෂා ව්‍යවහාරයේ සාවද්‍ය ස්ථාන පිළිබඳ ව.

හැම මට්ටමක ම අය භාෂාව වරද්දනවා. මේ ගොල්ලෝ කියනවා, භාෂාවේ සම්මතයක් නැහැයි කියලා. සම්මතයක් නැති කම නොවෙයි, සම්මතයක් තිඛෙනවා. ඔය ගැන කිව්වාම සමහරු කියනවා, එක විධියකට යොදන්න බැහැ නේ. එක එක ගුරුකුල තිඛෙනවා නේ කියලා. අද ගුරුකුල නැහැ. ගුරුකුල තිබුණේ, හතළිස් ගණන්වල, පණස් ගණන්වල. හැට ගණන්වලින් පස්සේ ගුරුකුල නැහැ. ඇත්තට ම අපේ භාෂා ගුරුකුලයක් තිබුණේ හෙළ හවුල විතරයි. 1969 දී ඊරියගොල්ල මැතිතුමාගේ කාලයේ සම්මත සිංහලය කියලා එකක් හැදුවා. පොතකුත් පළ කළා භාෂා රීති ඇතුළත් වුණු. ඒකට ඒ කාලයේ බොහෝ දෙනෙක් විරුද්ධ වෙලා තිබෙනවා. ඒක ඉතා හොඳ පියවරක්. එදා ඒක යූඑන්පී ආණ්ඩුවෙන් කරපු හින්දා සමහර අය දේශපාලන හේතු මත විරුද්ධ වුණා. හෙළ හවුලේ අය මුල් වූ නිසාත් විරුද්ධ වී තිඛෙනවා. නමුත් ඒක ඉතා හොඳ පියවරක්. එක ම ප්‍රශ්නය කුමාරතුංග රීතිය මුල් කොට ගැනීම. නැවත 1989 දී වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇමැතිතුමාගේ කාලයේ ජාතික අධ්‍යාපනය ආයතනය මුල් වී හැදුවා, සිංහල ලේඛන රීතිය. මේ දෙකේ ම තිබෙනවා, සමකාලීන සම්මතය. අද ගුරුකුල නැහැ. හෙළ හවුල කියලා අද ඉතුරු වෙලා ඉන්නේ හතර පස් දෙනායි. පැරණි පඬිවරු, අ. ආ. ගුණතිලක මහත්තයා වාගේ කෙනෙක් විතරයි ඒ අන්තවාදයට එන්නේ. විනී විතාරණ මහත්මයා වගේ කෙනෙකුත් එහෙම හෙළ හවුලේ අන්තවාදයේ නැහැ. සඳදස් කෝපරහේවා මහත්මයා වාගේ කෙනෙකුත් අන්තවාදයට නැහැ. තරුණයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා, පොදුවේ අන්තගාමීකමක් තිඛෙන. කැලර්‍ණය විශ්වවිද්‍යාලයේ රන්දුල කියලා ශිෂ්‍යයෙක් ඉන්නවා. අපේ ශ්‍රීනාත් ගණේවත්ත මහත්තයා, සිළුමිණ පත්තරේ ජයත් පියදසුන් වාගේ කිහිප දෙනෙක් තමයි හෙළ හවුලේ තරුණයන් ඉතුරු වෙලා ඉන්නේ. මේ දෙතුන් දෙනා බොහොම හුදකලා ව ඒක කරනවා.

අද ගුරුකුල භේද නැති හින්දා භාෂාව අරක ද මේක ද කියලා නිශ්චය කර ගන්න බැරි කමක් නැහැ. අද නිශ්චය කර ගන්න බැරි නො දන්නාකම හින්දා යි. මෙන්න මේක වැදගත් වෙනවා. අපි අවස්ථා කිහිපයක දී උත්සාහ දැරුවා, රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ගණේගල මහත්තයා මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හැටියට ඉන්න කොට මාධ්‍යවල පිරිස් ගෙන්වලා එතුමා අපට වැඩ මුළු කීපයක් සංවිධානය කරන්න අවස්ථාව දුන්නා. වැඩක් නැහැ. හැබැයි ඒ වැඩසටහන කරද්දී හිටපු මාධ්‍ය ඇමතිතුමා -අනුර ප්‍රියදර්ශන යාපා මහත්තයා- කිව්වා ලූ, "ඔය කොම්බුව කොහොම ලියුවත් එකයි, ඕවා වැඩක් නැහැ" කියලා. ඉතින් අමාත්‍යාංශය මේ වැඩ සටහන නවත්වලා දැම්මා. දේශපාලනඥයන්ට මේ දේවල් ගැන වුවමනාවක් නැහැ. ඒ ගොල්ලන්ට ඕනෑ, ඊට වඩා ලාභදායී ව්‍යාපෘති. මෙන්න මේ කටයුත්ත කරන්න ඕනෑ, කවුරු හෝ මුල් වෙලා. ඔබතුමන්ලා කරන මේ වැඩය වැදගත් වන්නේ අන්න ඒ නිසා. එච්. ඩී. සුගතපාල මහත්තයා එහෙම දායකත්වයක් දුන්නා. දැන් ඒක නතර වෙලා. අද වන විට කෝටි එකහමාරක් වන සිංහල ජනයාගෙන් දෙතුන් සියයක් වත් නිවැරදි සම්මත සිංහලය නොදන්නා බවට පත් වෙලා. එක ම මාධ්‍ය ආයතනයක වත් ප්‍රකාශන ආයතනයක වත් භාෂා ප්‍රවීණයන්, භාෂා සංස්කාරකවරුන් නැහැ. අද නව දැනුම සිංහලයෙන් නැහැ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා අධ්‍යාාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එදා නව දැනුම ව්‍යාප්ත කිරීමට ගත් පියවර ලොප් වෙලා. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගහන්නේ කිලෝ පේර වගේ හරසුන් ලිපි එකතු.

අපි අපේ අනන්‍යතාව රැක ගන්න ඕනෑ. අපි සිංහලකම රැක ගන්න උදචු කරනවා. සිංහලකම කොහේ ද තිඛෙන්නේ? පපුවට ගහ ගත්තාට සිංහලකම එන්නේ නැහැ. ඇඳුමේ සිංහලකමක් නැහැ. මේ අය අඳින්නේ නානාප්‍රකාර ඇඳුම්. අපේ ගෙවල් දොරවලූත් එහෙමයි. අපේ අලුත් පාර්ලිමේන්තුව හදලා තිඛෙන්නේ ජපන් සම්ප්‍රදායට ලු! පැරණි පාර්ලිමේන්තුව, කටු ගේ, කොළඹ නගර සභාව ගොතික් ගෘහ නිර්මාණ සම්ප්‍රදාය හා ඩොරික් ගෘහ නිර්මාණ සම්ප්‍රදාය වාගේ බටහිර සම්ප්‍රදායන් අනුව හැදුණු ගොඩනැඟිලි.

අපේ නම් ගැන බැලූවාම පාලි, සංස්කෘත මිශ්‍ර වූ නම් අපට තිඛෙන්නේ. මගේ නම රත්නසිරි. රත්න කියන නම සංස්කෘත, සිරි කියන නම පාලි. ප්‍රණීත් මහත්තයාගේ නම සංස්කෘත. නම් එහෙමයි. අලූත් නම් තිඛෙනවා, තේරෙන්නේ නැහැ. අචිනි කියලා තිඛෙනවා, අයෝනි කියලාත් නම් තිඛෙනවා ලූ. ජේ. බී. දිසානායක මහත්තයා එහෙම නම් ගැන බොහොම උපහාසයෙන් කියනවා මම අහලා තිඛෙනවා. අපේ නම්වලත් සිංහලකම නැහැ; අපේ කෑම බීමෙත් සිංහලකම නැහැ. අපේ සිංහලකම තිබෙන්නේ භාෂාවේ. අපි ඒක රැක ගන්න ඕනෑ. ඒක තමයි අපි අද නො කරන්නේ. මේ සිංහලකම නැති වන එක, භාෂාව නැති වන එක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නො වෙයි; අපේ තිඛෙන මෝඩකම හින්දා, අපේ තිබෙන නොසැලකිල්ල නිසා අපි කර ගත්තු දෙයක්.

අද භාෂා උගතුන්- වාග්විද්‍යාඥයන් - අතරේ සංකල්පයක් තිඛෙනවා, language death කියලා. ඒ වාගේ ම endangerous language කියලාත් යෙදුමක් තිඛෙනවා. භාෂා වියෝගය, භාෂා මරණයට පත් වෙනවා කියලා කියනවා. ඒ වාගේ ම තර්ජනයට පත් වෙච්ච භාෂා කියලා වර්ගයක් හඳුනා ගෙන තිඛෙනවා. භාෂාඥයෝ වාගේ ම UNESCO එකත් කියනවා, ලෝකයේ තිබෙන භාෂාවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ඉතා ඉක්මනින් නැති වෙලා යයි කියලා. සියවසක් ඇතුළත දී ලෝකයේ තිඛෙන භාෂාවලින් සියයට 90ක් නැත්තට ම නැති වෙලා යයි කියලා කියනවා. අන්න එවැනි තත්ත්වයක් තිඛෙනවා. භාෂාව නැති වුණොත් මොකද, වෙන්නේ? අන්න ඒ ගැන අපේ අවධානය යොමු කරන්න ඕනෑ.

සියබස්ලකරේ පද්‍යයක් තිඛෙනවා, මෙහෙම

පෙර මහරු මහ රජ යස පිළිබිඹු ගොස්,
බස් කැට තෙලෙහි සිටුනෙ පෙනේ පිළි ඔවුන නට කල්හිදු

පූර්වයෙහි වාසය කළ මහාර්ඝ වූ මහරජවරුන්ගේ යස පිළිබිඹුව, කීර්තියෙහි ප්‍රතිබිම්බය ගොස් භාෂාව නමැති කැටපතෙහි, දර්පණ තලයෙහි, ප්‍රතිබිම්බනය වන්නේ ය, ඔවුන් මිය ගිය කල්හි ද එය දර්ශනය වෙයි. ඒකයි එහි තේරුම. මේක සියබස්ලකර සම්පාදනය කළ සේන රජතුමාගේ අදහසක් නො වෙයි. දිගු කලක් තිස්සේ භාරතයේ භාෂාවේදීන් අතර ප්‍රචලිත මතයක් බව පැහැදිලි යි. මේ සියබස්ලකර පැදියට මුල් වෙන්නේ දණ්ඩී කියන පඬිවරයා ලියූ "ආදිරාජ යශෝබිම්බමාදර්ශං ප්‍රාප්‍ය වාංමයම් - තේශාම සන්නිධානේපි න ස්වයං පශ්‍ය නශ්‍යති" යන ශ්ලෝකය. භාෂාවේ වැදගත්කම ගැන උගතුන්ගේ පිළිගැනීම මෙයින් පෙනෙනවා. කැටපතකින් පිළිබිඹුවක් පේන්නේ එය ඉදිරියෙන් සිටින විට පමණ යි. එහෙත් භාෂාව කියන කැටපතෙන් පෙර මහරු රජදරුවන්ගේ කීර්ති ප්‍රතිබිම්බය ඔවුන් මිය ගිය පසුත් දර්ශනය වෙනවා. භාෂාව එතරම් ප්‍රබල යි.

අපි දුටු ගැමුණු රජ්ජුරුවෝ ගැන කථා කරනවා; වළගම්බා රජ්ජුරුවෝ ගැන කථා කරනවා; පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ගැන කථා කරනවා; රාජසිංහ රජ්ජුරුවෝ ගැන කථා කරනවා. භාෂාවෙන් අපට ඒ අය ගැන කියන්න පුළුවන්. අපි කුමාරතුංග මහත්තයා ගැන කියනවා; පරණවිතාන මහත්තයා ගැන කියනවා; වික්‍රමසිංහ මහත්තයා ගැන කියනවා; ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයා ගැන කියනවා. භාෂාව නිසායි ඒ අයගේ නම් ඉතුරු වෙන්නේ. භාෂාව නැති වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ තත්ත්වයට අද ලෝකය මුහුණ දීලා තිඛෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න නම් අප කළ යුත්තේ අපේ අනාගත පරම්පරාව ප්‍රබල ද්විභාෂිකයන් කිරීම යි. ඒ අයට සිංහල විතරක් ඉගැන්නුවොත් ඒ අය ලෝකයෙන් කොන් වෙනවා. හැමෝට ම සිංහල සමඟ තවත් ප්‍රධාන භාෂාවක් උගන්වන්න ඕනෑ. සිංහල එක්ක තවත් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න ඕනෑ. දෙවෙනි භාෂාවෙන් අලුත් දැනුම අරගෙන සිංහල භාෂාවෙන් ඒක කියන්න පුළුවන් වෙන්න ඕනෑ. ජපන්නු, ප්‍රංශකාරයෝ, ජර්මන්කාරයෝ දියුණු වෙන්නේ ලෝක දැනුම තමන්ගේ භාෂාවෙන් දෙන නිසා. ප්‍රබල ඒකභාෂික රටවල් විශේෂයෙන්ම ජර්මනියේ සහ ජපානයේ ඒ තත්ත්වය තිඛෙනවා.

ජෝන් රොස් කියලා ඇමෙරිකානු ලේඛකයකුගේ ලිපියක් තිඛෙනවා, ‘First kill the Language then the Culture’ කියලා. මුලින්ම භාෂාව මරන්න නැත්නම් මැරෙන්න හරින්න, ඉන් පසුව සංස්කෘතිය මරන්න කියලා. එවිට සංස්කෘතිය මැරෙනවා.

ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ කවියක් ඉංගිරිසියට පරිවර්තනය කරනවා

'When a language dies
the divine things
stars, sun and moon
the human things,
to think and to feel
are no longer reflected
in this mirror',

භාෂාව මැරුණු දවසට ඉර, හඳ තරු ගැන අපට කියන්නට බැරි වේවි. අපේ කවි සිංදුවල ඉර හඳ තාරකා ගැන අපි කියනවා. අපට ඉර, හඳ, තාරකා ගැන, සිකුරු ගැන, අඟහරු ගැන, බෘහස්පති ගැන, සෙනසුරු ගැන, සෙනසුරුගේ අපලය ගැන කියන්න බැහැ, සිංහල නැත්නම්. භාෂාව මැරුණොත් මේවා නැති වෙනවා. මිනිසුන් ගැන, මනුෂ්‍යත්වය ගැන සීගිරි අප්සරාවෝ ගැන, ආලකමන්දාව ගැන කියන්න බැහැ. භාෂාව නැහැ. සීගිරිය ඔහේ තියෙයි, වල් බිහි වෙලා. ආලකමන්දාව ගැන අපට කියන්න බැහැ, සිංහල නැහැ. මිසර පිරමීඩ්වලට වෙච්ච දේ වෙයි. අද මිසර පිරමීඩ් ඒ රටේ ජනතාවගේ උරුමයක් නොවෙයි. සීගිරිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, ඉසුරුමුණි පෙම් යුවළ අපේ උරුමයන් වන්නේ ඒ ගැන අපේ භාෂාවෙන් කියන්න පුළුවන් හින්දා. භාෂාව නැති වුණ දාට, තව දුරටත් භාෂාව නමැති දර්පණ තලයේ මේ මිනිසුන්ගේ ජීවිතය, මේ මිනිසුන්ගේ සිතුම් පැතුම් චිත්‍රණය වන්නේ නැහැ; ප්‍රතිබිම්බනය වන්නේ නැහැ.

එහෙම කියලා ඊ ළඟට ඔහු කියනවා, මෙහෙම.

When a language dies,
All that there is in this world
Oceans and rivers,
Animals and plants,
Do not think of them,
Do not pronounce their names,
They do not exist now

පළගැටියෝ, කූඹියෝ, කපුටෝ, ගිරාමලිත්තෝ, බට්ටිච්චෝ උන් ඉඳීවි. නමුත් භාෂාව නැති වුණොත් අපට උන් ගැන කියන්න භාෂාවක් නැහැ. "පෙත්තෝ බත් කෑව ද?" කියලා අහන්න සිංහලයක් නැහැ. පෙත්තා ඉඳියි. දෙන දෙයක් කාලා ඌ ඉඳියි. "පෙත්තෝ බත් කෑව ද?" කියලා අහන්න අපට සිංහලයක් නැහැ. භාෂාව නැති වුණොත් මේවා නැති වෙනවා, ගහ කොළ ගැන කියන්න වෙන්නේ නැහැ. අපේ මුළු විඤ්ඤාණය ම නැති වෙනවා.

When a language dies,
The window and the door
Are closed up
To all the people of the world.

භාෂාව නැති වුණොත් අපට ලෝකය බලන්න කණ්ණාඩියක් නැති වෙනවා. මේ මගේ ඇස් කණ්ණාඩිය ගැලෙව්වාම මට නම් මොනවත් පෙනෙන්නේ නැහැ. මට බත් ටිකක් කන්නත් බැහැ, කණ්ණාඩිය ගැලෙව්වාම. මගේ ඇස් එච්චර දුර්වල යි. කණ්ණාඩිය දැම්මාම මට හරියට පෙනෙනවා, ඈත තියෙන දේවල් වගේ ම ළඟ තියෙන දේවලුත් මට හරියට බාභිගත වෙන්නේ නැහැ මේ කන්නාඩිය නැත්නම්. කන්නාඩිය දැම්මහම මේ මහත්මයා පෙනෙනවා; ප්‍රේමසිරි මහත්මයා පෙනෙනවා; හැරල්ඩ් පීරිස් මහත්මයා පෙනෙනවා. භාෂාවත් හරියට ඒ වගේ. ඈත තියෙන දෙවල් අපට ළං කරලා පැහැදිලි ව පෙන්වා දෙනවා. ඒ භාෂා කණ්ණාඩියෙන් තමයි අපි ලෝකය දකින්නේ. සිංහල නැති වුණොත් භාෂාව නැති වුණොත් අපට ලෝකය දකින්න බැහැ. භාෂාවෙන් අපට ලෝකයට දොර ජනෙල් විවෘත කර දෙනවා. භාෂාව නැති වුණොත් ඒ භාෂාවෙන් පැවසූ දේවල් නැති වෙනවා. අපි සිංහලෙන් හඳුන්වන සතෙක්, 'හංසයා' ගමු. ''තොප තුඩ තුළට කිරි රස දිය හැර වදිය- තොප පිට පිහිට කොට බඹ තෙදිය ඇවිදිය" කියලා හංසයා වර්ණනා කරනවා හංස සන්දේශයේ. ''තොප සැටි රැගෙන සිටි තනටත් කෙරෙති රුතී" කියලත් කියනවා. සිංහල භාෂාව වඳ වෙලා ගිය කාලෙක මේ රටේ මිනිස්සු වෙන නමකින් ඒ සතා හඳුන්වයි. එතකොට අර 'හංසයා' සම්බන්ධ හැඟීම අපට ඇති වෙන්නේ නැහැ.

නිකම් හිතලා බලන්න. සත්ත්වෝද්‍යායනයට ගිහින් ඉන්න වෙලාවක අපේ සතුන් ගැන විදේශිකයන් කථා කරන වෙලාවට, සිංහලයන් කවුරුත් නැති වෙලාවට බලන්න, අපට මොකක් ද දැනෙන හැඟීම කියලා. අපට මේක තේරුම් ගන්න පුළුවන් හොඳ ම අවස්ථාව ඒක. කිසි ම සිංහලයෙක් නැති තැනක සිට බලන්න. අර ඇතුන් නටන කොට අපි කොච්චර දේවල් කියනවා ද? "ළමයින්ට, අලියන්ට නළියන්ට ම යි ඕනෑ" කියන අපූරු කියමනක් තිබෙනවා නේ. ඒක අපේ ඔළුවේ තිඛෙනවා නේ. විදේශිකයෝ විතරක් ඉන්න තැනක අලි නැටුමක් බලන්න ගියොත්, අපට ඒ මිනිස්සු කියන එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. අපට ලොකු පාළුවක්, තනිකමක් දැනෙනවා. ඔන්න ඔය දේ වෙනවා. එතකොට අපේ මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, ආදරය, කරුණාව, මෛත්‍රිය විතරක් නොවෙයි, වෛරය - මෛත්‍රිය- දැන් මෛත්‍රිය කියන වචනය දැන් තහනම් නැහැ නේ. කාලයක් ඒක තහනම් කරලා තිබුණා කිවුවා නේ - ඔය මොනවත් කියා ගන්න බැහැ, භාෂාව නැති වුණොත්.

When a language dies,
then many have died,
and many more will die soon,
mirrors forever broken,
shadows of voices
forever silenced,
humanity grows poorer
when a language dies.

කැටපත, මේ දර්පණය සදාකාලික ව බි‍ෙඳනවා. මුහුණ බලන්න කැටපතක් නැහැ, කණ්ණාඩිය කුඩු වුණා ම අපේ මුහුණ පෙනෙන්නේ නැහැ. භාෂාව කියන කණ්ණාඩියෙන් තමයි අපේ මුහුණ පෙනෙන්නේ. භාෂණ ශබ්දවල තිඛෙන ධ්වනිය, මේවායේ තිඛෙන දෝංකාරය හා එයින් මතු වන ඡායාව සදාකාලික ව ම නැති වෙලා යනවා. භාෂාව නැති වුණොත් මනුෂ්‍යත්වය දුගී භාවයට පත් වෙනවා. මනුෂ්‍යයා අනිවාර්යයෙන් දුප්පතකු බවට පත් වෙනවා. ඔන්න ඕකයි තත්ත්වය. එදා සියබස්ලකර කිව්වේ, රජ්ජුරුවෝ මැරුණත්, රජ්ජුරුවන්ගේ ප්‍රතිබිම්බය, කීර්තිය, භාෂාව කියන කැටපතෙහි තිඛෙනවා කියලා යි. මෙහෙම ගියොත් රජා මැරෙන්න කලින් භාෂාව මැරිලා ඉවරයි. එම නිසා රජාට කලින් භාෂාව බේරා ගන්න ඕනෑ. භාෂාව බේරා ගැනීම සඳහා සංවිධානයක්, සංගායනාවක් අවශ්‍යයි.

මම එකතු කර තිඛෙනවා, වරින් වර භාෂාව ගැන හා සම්මත ව්‍යවහාරය විද්වතුන්ගේ අදහස් ඇතුළත් පත්තර පිටු. මේ ලිපියේත් තිඛෙනවා, "සිංහල ලේඛන ව්‍යවහාරයට සම්මතයක් අවශ්‍යයි" කියලා බලගල්ල මහාචාර්යතුමා කියලා. එතුමා ම කිව්වා, "සම්ප්‍රදාය මඟ හැර නවීකරණය සන්නිවේදනයට බාධාවක්" කියලා. භාෂා උගත්තු මේ ගැන හඬ නඟනවා. පණ්ඩිත සිරි තිලකසිරි මහත්මයා කථා කළා. කරුණාරත්න අමරසිංහ මහත්මයා කථා කරනවා. අ. ආ. ගුණතිලක මහත්මයා කථා කරනවා. "භාෂා අවුලට විසඳුම කුමක් ද?" මේ ආදි වශයෙන් උගත්තු කථා කළා, මේ භාෂාවේ තිඛෙන ප්‍රශ්න ගැන. මේ සුමානේ පත්තරේ කථා කරනවා. ඊ ළඟ සුමානේ ඒක මතක නැහැ. බත් එක ඔතලා පත්තර කෑල්ල විසි කරනවා. ඊට වඩා එහාට ගිය කතිිකාවක් මාධ්‍යයෙන් සිදු කරන්න ඕනෑ. ඒ සඳහා මේ උගතුන්ගේ අවධානය යොමු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

අපේ අනන්‍යතාව තිඛෙන්නේ භාෂාව රැකුණොත් විතරයි, වෙන කිසි දෙයකින් නොවෙයි. භාෂාවක් රැකෙන්න නම් නව දැනුම ඒ භාෂාවෙන් දෙන්න ඕනෑ. ඒ සඳහා පුරෝගාමීන් මේ සභාවේ ඉන්නවා. ඒ තමයි ග්‍රන්ථ ප්‍රකාශන ආයතනවල අධිකාරි භවතුන්. කරුණාකරලා අලුත් දැනුම සිංහලෙන් දෙන්න. ඒක කරන්න. ඔබතුමන්ලා දැනටත් කරනවා. මා එය ගෞරවයෙන් සඳහන් කරනවා. තව තවත් ඒක කරන්න. ඒකෙන් විතරයි සිංහල ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ.

පරිගණක විද්‍යාව ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, අලුත් විෂයයන් ගැන, ජාන තාක්ෂණය ගැන ලෝකයේ අලූත් දැනුම තිඛෙනවා.. සාම්ප්‍රදායික විෂයන් කියන ඒවා ගැනත් නූතන දෘෂ්ටියෙන් පොතපත ලියවෙනවා. භාෂාව ගැන, ඉතිහාසය ගැන,සාහිත්‍යය ගැන. දශකයක් දශකයක් පාසා සිය දහස් ගණනින් එය වැඩි වෙනවා කියා පිළිගන්නවා. එම නිසා අලුත් දැනුම අනාගත පරම්පරාවට දීමෙන් අපි භාෂාව සුරක්ෂිත කරමු. එච්. ඩී. සුගතපාල මහත්මාට කළ හැකි ලොකු ම උපහාරය එය යි. එතකොට එතුමා මේ දරුවන්ගේ කියවීමේ රුචිය, බුද්ධිය වර්ධනය කිරීමට ගත් පියවර සදාකාලික ව ආරක්ෂා වෙයි. සිංහල භාෂාවේ හෙට දවස සුරක්ෂිත වන්නේ එවිට පමණ යි.

බොහොම ස්තුතියි.

* ඡායාරූපය අන්තර්ජාලයෙනි.

අලුත්ම පළකිරීම - Latest Post

ලංකාවේ ප්‍රාග් බෞද්ධ ආගමික විශ්වාස*